
වැව් බැඳි රාජ්ජේ ලෙස හඳුන්වන අනුරාධපුර පොළොන්නරු රජරට ප්‍රදේශවල අපේ රටේ වැඩිම වැව් පොකුණු හා ජලාශ පවතී.
ඒ වැව්වලින් ජලාශවලින් මිරිදිය මත්ස්‍ය අස්වැන්න නෙළා ගන්නා ධීවර ජනතාව ඉතිරිවෙන මාළු කරවල බවට පත් කිරීමට විවිධ ක්‍රම අනුගමනය කරති. නමුත් රජරට වැව් මාළු පැය 12 න් කරවල බවට පත් කළ හැකි සුවිශේෂී ක්‍රමය වනාහි දුම් කරවල සකස් කිරීම බව මිරිදිය ධීවර සංගම් නිලධාරීහු පවසති. ඒ කටයුත්ත උතුරු මැද පළාතේ ප්‍රධාන ලෙස ඉටු කරන්නේ රජරට මහ වැවක් වන මහ කනදරාව වැව ආශ්‍රිත පාරම්පරික ධීවර ජනතාවයි.
පවුල් 125 ක 750 ක් පමණ දෙනා ජීවත්වන මිරිදිය ධීවර කර්මාන්තයෙන් අමතර ආදායමක් ලබන්නට ඔවුහු දුම් කරවල ව්‍යාපාරයේ නියැළෙති.
දුම් කරවල සකස් කිරීමට සුවිශේෂී දුම් මැස්සක් අවශ්‍ය වේ. ඒ සඳහා තුන් පැත්තකින් බිත්ති බැඳ මැද කම්බි දැලක් දමා යටින් ගින්දර පත්තු කිරීම් සිදු කරයි. පාරම්පරිකව කරගෙන යන මේ දුම් කරවල සකස් කිරීමට මෙතෙක් කල් කිසිම අවස්ථාවක නව තාක්ෂණය, බැංකු ණය හා වෙළෙඳපොළ හඳුන්වාදීමක් සිදුවූයේ නැත. කිසිම රජයක් මේ සුවිශේෂී නිපැයුම් පිළිබඳව අවධානය යොමු කළේ නැත.
මෙසේ දුම් කරවල පිළිබඳව කතා කිරීමේදී මහ කනදරාව වැවේ දුම් කරවලවලට උතුරු මැද පළාතේ ප්‍රමුඛත්වය දක්වයි.
ඒ එම කරවල ඇති විශේෂ රසය හා පෙනුම නිසාය. නමුත් මේ දුම් කරවලවල ප්‍රමිතිය ඉහළ නැංවීමට විද්‍යාත්මක තාක්ෂණික පුහුණුවීමක් කනදරාවේ ධීවර ජනතාවට ලබාදිය යුතුව ඇත. මේ කරවල හරියට වියළා රන්වන් පාටට සකස් කළොත් ඉල්ලුම වැඩියි. දුම් කරවල සංචාරක හෝටල්වලට පවා අලෙවි කළ හැකි බවත් ඉන් තම ආදායම වැඩිවන බවත් මහ කනදරාව ඩොල්පින් ධීවර සංවිධානයේ සභාපති මොරිස් ප්‍රනාන්දු පවසයි. මේ දුම් කරවල නිෂ්පාදකයන්ට දැන් ගැටලු රැසක් ඇත. මාළු පැටව් දැමීම, ඉහළ ප්‍රමිතියට සුදුසු පරිදි දුම් කරවල නිෂ්පාදනය හා දුම් කරවල වැඩි මිලට අලෙවි කර ගැනීම ඒ ප්‍රධාන ගැටලු අතර වේ. සියලු ගැටලුවලට විසඳුම් දෙමින් මෙරට ප්‍රථම දුම් කරවල නිෂ්පාදන ගම්මානය සමෘද්ධි ගෘහ ආර්ථික ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ අතින් මිහින්තලයේදී ආරම්භ විය. ඒ අනුරාධපුර මිහින්තලය සියඹලාගස්වැව ප්‍රදේශය ආශ්‍රිතවය.
මහකනදරාව වැවේ ධීවරයන්ට සියලු පහසුකම් ඇතිව ගැටලු අවම කර ඉහළ ප්‍රමිතියේ දුම් කරවල ඉල්ලුම පරිදි නිපදවීමට අත හිත දීම මෙම ගම්මානය පිහිටුවීමේ ප්‍රමුඛතම අරමුණ බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි. පුරා වසර ගණනාවක සිට මෙරට පැවති සමෘද්ධි ප්‍රතිලාභ පරම්පරාවෙන් ලැබෙන උරුමයක් ලෙස සිතන්නට අපේ රටේ මිනිසුන් කටයුතු කළ යුගයක එම ආකල්පයෙන් ජනතාව මුදවා ගෙන දියුණු ආර්ථික රටාවත් සමඟ සවිබල වූ සමෘද්ධිලාභීන් පිරිසක් මෙරටට දායාද කිරීමට වත්මන් සමෘද්ධි රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මේ වනවිට කටයුතු කරමින් සිටී.
සමෘද්ධි සෞභාග්‍යා සතිය ලෙස නම් වූ නව ව්‍යාපෘතියක් මෙරට ජනතාවට හඳුන්වා දී ඇත්තේ එම නිසාවෙනි.
එහි සැලසුම්ගත ව්‍යාපෘති ආරම්භය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව 71,183 ක් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් අතර 13,780 ක ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමට කටයුතු කර ඇත. එයින් ද 3,664 ක තෝරාගත් ප්‍රතිලාභීන් පිරිසකගේ ව්‍යාපෘති ආරම්භ කිරීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඒ අනුව සමෘද්ධි සෞභාග්‍යා වැඩසටහන යටතේ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන, සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය, ණය ප්‍රදානය, නව මුද්දර ලබාදීම, නිෂ්පාදිත ගම්මාන බිහි කිරීම, නිවාස ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව පසුගියදා මිහින්තලයේ සියඹලාගස්වැව ප්‍රදේශයේ සමෘද්ධි සෞභාග්‍යා කාර්යාංශය විසින් දුම් කරවල නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කළේ ය. පවුල් 25 කින් සමන්විත මෙම ගම්මානය මෙරට ඇරඹුණු පළමු දුම් කරවල නිෂ්පාදිත ගම්මානය ලෙස නම් කළ හැක. වර්ග කිලෝමීටර් පන්සියයකට වැඩි භූමි ප්‍රමාණයක ජලාශ තිබෙන දිස්ත්‍රික්කයක් ලෙස නම් දරා ඇති අනුරාධපුර දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම මිරිදිය ජල ජීවී නිෂ්පාදන සිදුවන දිස්ත්‍රික්කයයි. දුම් කරවල ගම්මානයේ ආරම්භක අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ සමෘද්ධි රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පැවසුවේ දිවයින පුරා මෙවැනි නිෂ්පාදිත ගම්මාන 500 ක් ආරම්භ කරන බවයි. “අපි තෝර ගත්ත ගම්මාන 500 ම සාර්ථක ව්‍යාපෘති විය යුතුයි.
එය සාර්ථක කර ගැනීමේ අරමුණින් මම පෞද්ගලිකව ඒ පිළිබඳව සොයා බැලුවා. ලක්ෂ 50 කට ආසන්න මුදල් ප්‍රමාණයක් අපේ අමාත්‍යාංශය මඟින් මෙම ව්‍යාපෘතියට වෙන් කළා. මෙහි තාක්ෂණ දැනුම, පුහුණුව පවත්වා ගෙන යාම සම්බන්ධව නිලධාරීන් මනාව තෝරාදීමක් සිදු කළා. මෙහි අපගේ අරමුණ පවුල් 40,000 ක් සවිමත් කිරීමයි. අපි නිෂ්පාදන ගම්මාන තෝරා ගද්දී එම ගම්මානවල සංකල්ප හඳුනා ගැනීම ඉතාම වැදගත්. පාරම්පරික ව්‍යාපෘති සඳහා මුල් තැන ලබාදෙමින් අපගේ සමාජයෙන් ඈත්වන ව්‍යාපෘති සඳහා නැවත පණ දෙමින් මෙම නිෂ්පාදන ගම්මාන ආරම්භ කරන්නේ ගමේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල, සමෘද්ධිලාභී පවුල ආර්ථික වශයෙන් සවිමත් කිරීමටයි. මේ සියලු නිෂ්පාදන ඉහළ ගුණාත්මක භාවයකින් සිදුකළ යුතුයි. ඇමැතිතුමා පැවසීය.
මේ අලුත් ගම්මානය පිළිබඳ කරුණු දැක්වූ මහ කනදරාව ඩොල්පින් ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති මොරිස් ප්‍රනාන්දු පවසන්නේ අලුත් දුම් කරවල නිෂ්පාදන ගම්මානය නිසා පවුල් 125 ක පුද්ගලයන් 750 කට පමණ සෙත සැලසෙන බවයි.
“ධීවර සමිතියේ අය කරන මාළු ලෑලි 25 ක් පාර අයිනේ තිබෙනවා. ඒ අයගේ ඉතිරිවෙන මාළු තමයි කරවල කරන්නේ. අපේ මහ කනදරාව දුම් කරවලවලට මේ පැත්තේ හොඳ ඉල්ලුමක් තිබෙනවා.
මේ කරවල වේළන දුම් මැස්ස හදාගත්තේ හයිය කම්බිවලින්. තුන් පැත්තකින් බිත්ති බැඳලා ඒ බිත්තිවලට කම්බි දැලක් හයි කරනවා. පසුව යටට දර දාලා ගින්දර දමනවා. අර මාළු ලෑලිවල ඉතිරි වෙන මාළු හවස 6 ට විතර ඒ දැලට දමනවා. දිගටම දර පත්තු කරලා ගින්දර දමනවා. එතකොට පාන්දර 5 – 6 වනවිට කරවල බවට පත්වෙනවා.
මෙතෙක් කල් ඒ අය ඒක කළේ පාරම්පරික විදියට. මාළු කිලෝ 1 කින් කරවල 250 ක් තමයි හදන්න පුළුවන්. තිලාපියා කිලෝ 1 ක් රු. 1500 ක් වෙනවා. ලූලා කිලෝ 1 ක් 2000 කට විතර විකුණන්න පුළුවන්.
මෙතෙක් කල් මේ කරවල දුම් ගැහුවේ පාරම්පරික විදියට. නමුත් ශෙහාන් ඇමැතිතුමා උනන්දු වෙලා අපට දුම් කරවල නිෂ්පාදන ගම්මානයක් ලබාදීලා නව තාක්ෂණය ලබාදෙන්න කටයුතු කිරීම අගය කරනවා.
“අපිට අවශ්‍ය අපේ මහ කනදරාව දුම් කරවලවලට කොළඹ නගරයේ අලුත් වෙළෙඳපොළක් ලබාගැනීමටයි. ඒකට රජය හා සමෘද්ධි රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා අපට දක්වන සහාය අපි සේරම අගය කරනවා. ඒ පිළිබඳව රජයට අපි ස්තුතිවන්ත වෙනවා” ධීවර සංගම් සභාපති මොරිස් ප්‍රනාන්දු පවසයි.
මේ පිළිබඳව තවදුරටත් අපට කරුණු දැක්වූ මොරිස් ප්‍රනාන්දු පවසන්නේ අගෝස්තු, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල මත්ස්‍ය අස්වැන්න වැඩි නිසා අලුත් වැඩ පිළිවෙළ මඟින් ධීවර පවුල්වල හා දුම් කරවල හදන අයගේ ආදායම වැඩිවන බවයි.
මිහින්තලේ සිප්පිකුලම සියඹලාගස්වැව පදිංචි මහකනදරාව වැවේ ධීවරයකු වන ඩී.බී. සූරියබණ්ඩාර පවසන්නේ අලුත් දුම් කරවල නිෂ්පාදන ගම්මානය නිසා තම පවුල ඇතුළු පවුල් 100 කට පමණ අලුත් ජීවන තත්ත්වයක් හා අමතර ආදායමක් ලැබෙනු ඇති බවයි.
“මෙතෙක් කල් මේ මහ කනදරාව වැවේ ධීවර කට්ටිය මාළු ලෑලි තියෙන කට්ටිය දුම් කරවල හැදුවා. ඒත් ඒ සේරම කළේ පාරම්පරික ක්‍රම අනුව. කවදාවත් කවුරුවත් අපි පිළිබඳව සොයා බැලුවේ නෑ.
නමුත් අපිට අලුත් තාක්ෂණය සමඟ ගමක් දෙන්න ආරම්භක කටයුතු කරලා තිබෙනවා. ඒ පිළිබඳව ස්තුතියි. ඒ ගම ඉක්මනට පොරොන්දු විදියට හැදුණොත් පින්. සූරියබණ්ඩාර පවසයි.