පෙනෙන තරම් සුන්දර නැති වැඩි­හිටි නිවාස | සිළුමිණ

පෙනෙන තරම් සුන්දර නැති වැඩි­හිටි නිවාස

මරිකාවේ ජීවත් වන ඇය තමන්ට අත්වූ සත්‍ය කතාව අපට පැවැසූයේ පුවත්පත හරහා හෝ තවත් දෙමවුපිය පිරිසකට සාධාරණයක් ඉටුවේ යැයි අපේක්ෂාවෙනි. ලක්මාලි සේනානායක නම් වූ ඇය ඇමරිකාවේ ජීවත් වූවද සිය මව වැඩිහිටි නිවාසයකට බාර දුන්නේ පවුලේ එකම දරුවා ඇය වූ නිසාත්, මව තමන් සමඟ විදෙස්ගත වීමට තිබු අකමැත්ත නිසාවෙන් හා සිය මව බලා කියා ගන්නට වෙනත් කවුරුත් නොමැති වූ නිසාවෙනි. මව වෙනුවෙන් මහරගම ප්‍රදේශයේ වූ හොඳම වැඩිහිටි නිවාසයක් ඇය මේ වෙනුවෙන් තෝරාගත් අතර මව ඊට ඇතුළත් කළේ රුපියල් 150,000 ඇතුළත් කිරීමේ ගාස්තුවක් ගෙවීමෙනි.

එත් මාසික වියදම වෙනුවෙන් මාස්පතා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ඇය විදෙශයේ සිට එවුවද, සිය මව ඇතුළත් කිරීමේදි වැඩිහිටි නිවාසයෙන් ඇයට ලබාදුන් පොරොන්දු දිනෙන් දින පැහැර හැරියේ මව මිය යන තෙක්ය. මුලින්ම වට්ස්ඇප් හරහා සිය මවට කතා කිරීමේ පොරොන්දුව මේ ආයතනය විසින් බැහැර කළේ මෙහි ආරම්භක පියවරේදීය. දෙවැන්න විවිධ දේ සඳහා යැයි පවසමින් මුලික මුදලට විවිධ ගාස්තු එකතු කරන්නට විය. ‘ මව හොඳ දොස්තරවරුන්ට පෙන්වීමට, හොඳින් මව නැවීමට ‘ ඉන් කිහිපයකි. ඇය අවස්ථා කිහිපයකදීම සිය මව වට්ස්ඇප් තාක්ෂණය හරහා පෙන්වීමට කළමණාකාරවරයාට ඇවටිලි කළත් මව පෙන්වීම ඔවුන් විසින් සිදුකළේ නැත. ‘ටැබ් එකේ ඩිස්ප්ලේ කැඩිලා, වට්ස් ඇප් කෝල් වෙනුවෙන් රුපියල් 750 ක අමතර ගෙවීමක් කරන්න....‘ එවිට ඔවුන් අකාරුණික වූ සැටිය. මවගේ අසනීපය හමුවේ ඇය ඉල්ලු සියලු වියදම් පමණක් නොව ඇයට අවශ්‍ය ආහාර, ඇඳුම් කිසිත් අඩුවක් නොකර එවමින් මව පෙන්වීමට ඇවිටිලි කළ පසු හා ආදාළ අමතර මුදල් ගෙවීමෙන් පසුව මේ වසරේ ජනවාරි මස ඇයට තාක්ෂණය ඔස්සේ සිය මව දැක ගන්නට ලැබුණි.

ඇය සිහි විකල් වූයේ ඒ දර්ශන දැකීමෙනි. මවගේ ශරීරයේ පිළිස්සුණු ආකාරයේ තුවාලය. පසුව ඇයට සිහිවූයේ එය ඇඳ තුවාල බව ය. ඇඳ තුවාල සෑදෙනතෙක් ඇගේ මව මේ වැඩිහිටි නිවාසය විසින් බලා ගත්තේ මේ ආකාරයෙන්ද? වැඩිහිටි නිවාසයේ මෙම තිරිසන් ක්‍රියා කලාපය හේතුවෙන් ඈ ලංකාවට පැමිණීමට උත්සහ කළද, ඊට පෙර ඇයගේ මව වියෝ විය. කෙසේ වෙතත් ඇය ලංකාවට පැමිණ නිරෝධායනය වී මවගේ අවසන් කටයුතු සිදු කළ අතර සිය මව වෙනුවෙන් මෙසේ ආකාරුණික වූ වැඩිහිටි නිවාසයේ ක්‍රියාකලාපයට විරුද්ධ නීතිමය ක්‍රියාමාර්ගයට ඇය ප්‍රවේශ විය. නමුත් තවමත් නීතිය ඉටු වී නැත.

ලක්මාලි සේනානායක දියණියට උරුම වූ මේ සිදුවීම එක් සංසිද්ධියක් පමණි. බොහෝමක් දරුවන් තම දෙමවුපියන් වැඩිහිටි නිවාසවලට කොටු කරන්නේ දෙමවුපියන් කෙරෙහි වෛරයෙන් නොව වෙනත් විකල්පයක් නොවූ නිසාවෙනි. ඒ සඳහා අති විශාල මුදලක් ගෙවුවද බොහෝ වැඩිහිටි නිවාසවල තත්ත්වය මෙසේ නම් අහිංසක දෙමවුපියන්ට අත් වන්නේ කවර ඉරණමක්ද? ලංකාවේ ක්‍රියාත්මක වන සැම වැඩිහිටි නිවාසයකින්ම මවුපියන්ට අත් විඳින්ට සිදුවන්නේ මෙවන් කටුක අත්දැකීම්ද?

ජාතික වැඩිහිටි මහ ලෙක්ම් කාර්යාලයට අනුව දැනට ලංකාව පුරා වැඩිහිටි නිවාස 349 ක් ඇති අතර ඒවා මේ වන විට ලියාපදිංචි කරමින් පසු වෙයි. 2009 අංක 9 දරන ජාතික වැඩිහිටි පනතට අනුව වැඩිහිටි නිවාසයක් පවත්වා ගෙන යායුත්තේ කෙසේද, ඒ සඳහා වූ නීති රීති මොනවාද යන්න සඳහන් වෙයි. එම පනතට 2011 වසරේදි විශේෂ එකතු කිරීමක් සිදුව ඇති අතර ඒ යටතේ වැඩිහිටි නිවාස ලියාපදිංචිය අනිවාර්ය කර ඇත. එහෙත් මේ වන විට සිය අඩුපාඩුකම් සපුරා ගනිමින් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මේ වන විටත් ලියාපදිංචි වී ඇත්තේ වැඩිහිටි නිවාස 30 ක් පමණි.

“වැඩිහිටි නිවාසයකට තිබිය යුතු ප්‍රමිති නිර්ණායක කිහිපයක් හදුන්වා දී තියෙනවා. එහි වැඩිහිටියන්ගේ ආරක්ෂාව, ඉඩ පහසුකම්, අනිකුත් පහසුකම්, නොලිස්සන සුළු බිම, ආවරණ සහිත පඩිපෙළ, අසනීප වූ විට අවශ්‍ය ප්‍රතිකාර, විනෝදාස්වාදය පැසයීම, අමුත්තන් හමුවීම ගැන නිර්ණායක තිබුණත් වැඩිහිටි නිවාස සම්බන්ධව මුදල අයකිරිම් නියාමනය කිරීමක් නැහැ. නමුත් ඉදිරියේදි සියලු නිවාස ලියාපදිංචි වූ පසු ඒ සම්බන්ධව නියාමනයක් සිදු කෙරෙනවා. ඒ වගේම යම් වැඩිහිටි නිවාසයක් යම් ප්‍රමිතියකට යටත් කිරීමේදී රුපියල් මිලියන දෙකක් දක්වා ආධාර කිරීමේ වැඩ පිළිවෙළක්ද අපි ආරම්භ කර තියෙනවා. අපි මේවා ලියාපදිංචි කිරීමේදී ප්‍රමිති කාර්යාලයේ 1506/2015 නිර්ණායකවලට අනුවයි, එය සිදු කරන්නේ. ඉන්පසු අපි මේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අධීක්ෂණය කරනවා. ....“ ඒ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂ කේ. ජී ලැනරෝල්ය.

ඔවුන් පවසන පරිදී වැඩිහිටි ලේකම් කාර්යාලයට වැඩිහිටි නිවාස සම්බන්ධව පැමිණිලි දිනෙන් දින විභාග කිරීම සිදු වෙයි. නමුත් වැඩිහිටියන් වෙනුවෙන් සැමදා පිහිට වන හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය පවසන්නේ වැඩිහිටි නිවාස වෙනුවට ඊට විකල්පයක් ලෙස වැඩිහිටි දිවා මධ්‍යස්ථාන හඳුන්වා දීම උචිත බවයි.

“අපි වැඩිහිටියන් නිවාසවලට කොටු කරන්නේ නැහැ. ඔවුන් කැමති දරුවන් සමඟ සිටින්නට. නමුත් දරුවන් නැති අයට මෙවන් ආයතන පවත්වා ගෙන යාම හොඳ දෙයක්. නමුත් වැඩිහිටි නිවාස සකස් කර දීම සමාජයට නරක පූර්වාදර්ශයක්. අප නිතර දකින දෙයක් තමයි වැඩිහිටි නිවාසවල දෙමවුපියන් සතුටින් සිටින්නේ ටික දවසක් බව. කුමන ප්‍රශ්න තිබුණත් ඔවුන් සතුටු දරුවන් සමඟ සිටින්න. මේ නිසා හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය නිතරම උත්සාහ කරන්නේ විශ්‍රාම දිවියට සරිලන ගම්මානයක් හෝ නිවසේ ඔවුන් සඳහා වෙනමම කාමරයක් වෙන් කිරීම. ......“ ඒ හෙල්පේජ් ශ්‍රි ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේය.

2012 වර්ෂයේ සිදු කළ ජන සංගණනයට අනුව ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි පිරිස මිලියන 2.5 කි. එය ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ නම් 12.4% කි. මෙම සංඛ්‍යාව 2022 වර්ෂය වන විට 17% ක් වන බවත් 2030 වර්ෂය වන විට 20% ක් වන බවත් එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල පුරෝකථනය කර තිබේ. එහි අදහස 2030 වර්ෂය වන විට සෑම පුද්ගලයන් 5 දෙනකුටම අවුරුදු 60 ට වැඩි 1 ක් අයකු සිටින බවයි.

වර්තමාන කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ, විදේශයන්හි ජීවත්වන පවුල්වල ආදරණීය කෙනකුට පරිපූර්ණ වැඩිහිටි සත්කාරයක් ලබා දීම සඳහා සාත්තු නිවාසයක් තෝරා ගැනීම වැදගත් තීරණයකි.

නමුත් වැඩිහිටි සත්කාරක නිවාසවල නොසැලකිලිමත්කම මෙහි ඇති බරපතළම චෝදනාවකි. රජය විසින් නීති ශක්තිමත් කිරීමට සහ පෞද්ගලික සත්කාරක නිවාස සම්බන්ධ යාන්ත්‍රණ අධීක්ෂණය කිරීමට අවධානය යොමු නොකළහොත් මේ තත්ත්වය තවත් උග්‍රවිය හැකිය.

 

Comments