මව්පිය සෙනහස කොතැනක සැඟවිණි ද? | සිළුමිණ

මව්පිය සෙනහස කොතැනක සැඟවිණි ද?

ඝාතනයට ලක්වූ සුනිල්ගේ බිරිඳ නිරෝෂා ප්‍රියදර්ශනී සිය දියණිය සහ සිඟිත්තිය සමඟින්
ඝාතනයට ලක්වූ සුනිල්ගේ බිරිඳ නිරෝෂා ප්‍රියදර්ශනී සිය දියණිය සහ සිඟිත්තිය සමඟින්

"අ‍නේ ඇයි මගේ මහත්තයට මෙහෙම අපරාධයක් කළේ... මම දැන් මහත්තයා නැතිව කිරි සප්පයෝ දෙන්නත් එක්ක අනාථ වුණා... මට කියලා කවුරුත් නෑ... මගේ අම්මත් එක තැන... මට වෙන්නෙ දරු දෙන්නත් එක්ක මහ පාරේ හිඟාකන්න තමයි..."

 

මේ සිය සැමියා වන සුනිල් නිශ්ශංක ඔහුගේ පියා, මව, නැඟණිය සහ ඇගේ සැමියා එක්ව පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කිරීමෙන් අසරණව සිටින සුනිල්ගේ බිරිය නිරෝෂා නඟන අ‍ඳෝනාවයි. පසුගියදා එම ශෝචනීය පුවත වාර්තා වූයේ මහියංගණය, හසලක ප්‍රදේශයෙනි.

ඉකුත් කාලයේ මිනීමැරුම් අපරාධ කොතෙක් වාර්තා වුවද තම මව, පියා, සහෝදරිය ඇතුළු පවුලේ අයවලුන්ම එක්ව තම කුසෙන් වැදු මෙන්ම තම ලෙයින් හැදු පුත්‍රයා ඝාතනය කිරීම වැනි කුරිරු සිදුවීමක් නම් වාර්තා නොවිණි.

ඝාත­නයට ලක් වූ සුනිල් නිශ්ශංක

එලෙස ඝාතනය වූයේ 28 හැවිරිදි ඇල්ලේපිටගෙදර සුනිල් නිශ්ශංකයි. හරිහමන් රැකියාවක් නොකළ සුනිල් දෙදරු පියෙකි. වයස අවුරුදු තුනක කුඩා දියණියක සහ දින 21ක් තරම් කුඩා කිරිකැටියකුගේ පියායි.

හසලක, හතේ ඇළ, අංක 343 ලිපිනයේ සිය දෙමාපියන්ගේ නිවෙසට යාබද තනි කාමරයකින් යුත් කුඩා නිවෙසක විසූ සුනිල් හා මව්පියන් අතර ගැටුමට මුල් වී තිබුණේ සුනිල්ට තනි කාමරයේ කුඩා දරුවන් දෙදෙනා සමඟ විසීමට අපහසුතාවයි. සුනිල් දෙවැනි දියණිය මෙලොව එළිය දැකීමත් සමඟ මාපියන්ගෙන් සිය මහගෙදර නිවෙසෙන් කාමරයක් ඉල්ලා තිබුණේ කුඩා කිරිකැටියා සමඟ ඉවුම්පිහුම් කටයුතුද සිදුකරමින් එම කාමරයේම විසීමට වූ අපහසුව නිසාවෙනි.

ඊට උරණ වූ මව්පියන් ඔහු සමඟ ගැටුම්වලට පටලැවිණි. ඒ පිළිබඳව අසල්වැසියෙක් කීවේ,

"දෙවැනි දරුවා හම්බ වුණාට පස්සෙ සුනිල් දෙමාපියන් හිටිය යාබද නිවෙසෙන් කාමරයක් ඉල්ලලා... කුඩා දරුවා තියාගන්න... ඊට පස්සෙ අම්මා කියලා, 'කාමරයක් දෙනවද උඹට... උඹ හිටපන් පිල්අගුවේම... ඒක තමයි මුල්ම ප්‍රශ්නය..."

එම ආරවුලත් සමඟ වූ ගැටුම්කාරි තත්ත්වය උත්සන්න වී තිබුණේ පසුගිය අඟහරුවාදා (6) දින රාත්‍රියේ 7.45ට පමණය. තම සැමියාගේ ඉරණම ගමන නිමා කළ ශෝචනීය මොහොත සුනිල්ගේ බිරිය නිරෝෂා ප්‍රියදර්ශනී හැඬු කඳුළින් සිහිපත් කළේ,

පියාගේ ඝාතනයෙන් පසු සොවින් තැවෙන දියණිය

"මම රණ්ඩුව බේරන්න හැදුවා... ඒත් අම්මයි... නංගියි... තාත්තයි... මට බේරන්න දුන්නෙ නෑ... මං දණ ගහලා වැඳලා කිව්වා නංගිගේ මහත්තයට 'අනේ අයියෙ ගහන්න එපා... දැන් ඇති... දැන් ඇති... කියලා. ඒත් මාව පැත්තකට ඇදලා දාලා පොල්ල කැඩෙනකම්ම ගැහැව්වා... මගේ කෙලි පැටියා 'අනේ සීයේ තාත්තට ගහන්න එපා...' කියමින් කෑගැහුවා... පස්සෙ අපි දෙන්නා මහත්තයගේ නංගි ඇදගෙන ගිහින් කාමරයට දාලා දොර වැහුවා.

ගෙට උඩහ ඉන්න අක්ක කෙනෙක් ඇවිත් කාමරේ දොර ඇරලා මාව එළියට ගත්තෙ... මහත්තයගේ ළඟට යද්දි හරියට සිහියත් නැහැ. මගෙන් අන්තිමට ඉල්ලුවේ වතුර... හැබැයි එයා මාව අඳුනගත්තදවත් මං දන්නෙ නෑ. වතුර පෙව්වට පෙවුණේ නෑ... ඊට පස්සෙ ඇස් දෙක වහගත්තා..."

මාර්ගයේ ඇද වැටි සිටි සුනිල් ගැන පොලිස් 119 හදිසි ඇමැතුම් අංකය අමතා දැන්වීමත් සමඟ එම ස්ථානයට පැමිණියේ හසලක පොලිසියේ ජංගම මුර සංචාරක නිලධාරින් පිරිසකි.

පොලු මුගුරුවලින් පහර කෑම නිසා බරපතළ තුවාල ලබා සිටි සුනිල් පොලිසිය මැදිහත් වීමෙන් ප්‍රදේශවාසීන් එක්ව හසලක රෝහලට ඇතුළත් කරන විට රාත්‍රී 8.30 පමණ වී තිබිණි.

හසලක රෝහලෙන් මහියංගණය මූලික රෝහලට රැගෙන ගිය සුනිල්ගේ තත්ත්වය බරපතළ වූ හෙයින් ඔහු 7 වැනිදා බදුල්ල මහ රෝහලට යැවිණි. එහිදී අවාසනාවන්ත ලෙස තවත් ශෝචනීය මරණයක් සනිටුහන් කරමින් පසුගිය 8 වැනිදා සුනිල් සිය බිරිය සහ කෙළි පැටවු දෙදෙනා මෙලොව තනිකොට අවසන් ගමන් ගියේය.

බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රුචිර නදීර සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබුණේ, පොලුවලින් පහර දීමෙන් ශරීරයේ අස්ථිවලට හානිවී අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලට ලේ ගැලීමෙන් සිදුවූ මරණයක් ලෙසිනි.

ඝාතනය පිළිබඳව තෙල්දෙණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් සේරම්ගේ උපදෙස් මත තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරි අංක 2 ඔමේෂ් රන්දිකගේ මෙහෙයවීමෙන් හසලක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු කණ්ඩායම විමර්ශන ආරම්භ කළහ. එහිදී සුනිල්ගේ ඝාතනයට සැකපිට ඔහුගේ පියා 61 හැවිරිදි ඒ. ජේ. නිශ්ශංක, මව 53 හැවිරිදි විජිත මල්ලිකා, නැඟණිය 24 හැවිරිදි සංජීවනි සහ ඇගේ සැමියා වන 27 හැවිරිදි සුදේශ් ඉන්දික විමර්ශන නිලධාරින්ගේ අත්අඩංගුවට පත් විණි.

පසුගිය 11 වැනිදා මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියංකර වෙත ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

සුනිල්ගේ දේහය ඔහුගේ මවුපියන්ගේ නිවෙසට නොගෙන ගම්වාසීන් විසින් ප්‍රදේශයේ ප්‍රජා ශාලාවේ තැන්පත්කොට අවසන් ගෞරව දක්වා භූමිදාන කෙරුණේ පසුගිය 11 වැනිදා සන්ධ්‍යාවේයි.

එම අවස්ථාවේ ප්‍රදේශවාසීහු 'මව්පිය සෙනෙහස සහෝදරත්වය කොතැනක සැඟවුණිද?' 'ගමක් කම්පා කළ දෙමාපියන්ගේ දෑතින් මිලින කළ අහිංසක තරුණයාගේ බිරියට සාධාරණය ඉෂ්ට කරනු' ආදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක්ද පැවැත්වූහ.

එහිදී ගම්වැසියෙක් කීවේ,

"මේ වගේ අපරාධයක් ආයෙත් කිසිම දවසක අහන්න... දකින්න බැරි විදිහට මේ අපරාධය කළවුන්ට නීතියෙන් උපරීම දඬුවම් දෙන්න... ඒ වගේම මේ අපරාධයෙන් අසරණ වුණ ඒ චූටි දරු දෙදෙනා ඇතුළු පවුලට ඇතිහැකි අයවලුන් උදව් කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නෙ..."

සුනිල්ගේ ඝාතනයට එරෙහිව ගම්වැසියන් පැවැත්වූ විරෝධතාව

ඝාතනය වූ සුනිල් නිශ්ශංකට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. එක් සහෝදරයෙක් මීට කලෙකට පෙරදී මිය ගොසිනි. සුනිල් කලෙකට පෙරදී හසලකින් සංක්‍රමණය වී හලාවත ප්‍රදේශයට ගොස් තිබුණේ වෙළෙඳසලක රැකියාවක් සඳහායි.

එම රැකියාව අතරතුර සුනිල්ට මුණ ගැසී තිබුණේ නිරෝෂායි. පෙමින් වෙළුණු දෙදෙනා දෙපාර්ශ්වයේම මාපිය ආශිර්වාද මැද විවාහ වී තිබුණේ මීට වසර පහකට පෙරදීය.

"බැඳලා මහත්තයලයි මහගෙදර ආවේ... නැවතත් මහත්තයට වැඩට යන්න ඕන නිසා හලාවත ගිහින් කුලියට හිටියා... ඒ අතරේ ලොකු බබා හම්බ වුණා... පස්සෙ මහත්තයා වෙළෙඳසල් රැකියාවෙන් ඉවත්වෙලා මේසන් වැඩට ගියා... ලොකු බබාට මාස හයක් වෙද්දි හැමදාම කුලියට ඉන්න බෑ කියලා මහත්තයා අපිවත් රැගෙන හසලකට ආවා..."

හසලකට පැමිණි පසු නිරෝෂාට සුපුරුදු නැන්දම්මා - ලේලි ගැටුමට මැදිවීමට සිදුවිණි. ඉන් දැඩි සේ පීඩාවට පත්වූයේ සුනිල්ය. ඔහුට බිරියගේ පැත්ත හෝ මවගේ පැත්ත ගැනීමට නොහැකි විය. අනතුරුව සුනිල් සහ නිරෝෂා තීන්දු කළේ නැවතත් හලාවතට ගොස් කුලි නිවෙසක් ගෙන ජීවත්වීමටයි. එලෙස ගොස් හලාවත වසර එකහමාරක පමණ කලක් දෙදෙනා සතුටින් විසූහ. එහිදී දෙදෙනාට තවත් දරුවකු බිහිවීමේ ලකුණුද පහළ වෙමින් නිරෝෂා ගැබ් ගත්තාය. ඒ අතර වූ අභාග්‍යසම්පන්න සිදුවීමකින් සුනිල්, නිරෝෂා, දියණිය සහ නිරෝෂාගේ මව හලාවතදී බරපතළ රිය අනතුරකට මුහුණ දෙන්නට වූහ. ඉන් නිරෝෂාගේ මව එක්තැන් වූවාය. ඇය අදටත් එක්තැන්ව සිටින්නෙ නිරෝෂාගේ ලොකු අම්මාගේ නිවෙසේයි.

නැවතත් දිනක් සුනිල්ගේ නැඟණිය සුනිල්ට ඇමැතුමක් දී කීවේ,

"අයියේ දැන් ඔයා හලාවත ඉන්න එපා... කවුරුත් නෑනේ... අක්කට බබා හම්බ වුණාමත් කරන්න කෙනෙකුත් නෑනේ... ඔයා අක්කයි දරුවයි එක්ක ඇවිත් මහගෙදර ඉන්න... මේ ගෙදර ඉඩ තියෙනවානේ..." එදා එලෙස පැවැසූ නංගී සුනිල්ගේ ඝාතනයටද මුල් වූ සැකකරුවෙකි. ඇය එදින සුනිල්ට උණු වතුර ප්‍රහාරයක්ද එල්ල කර තිබූ බවට සැල වේ.

නංගිගේ පෙරැත්තය නිසාම සුනිල්, බිරිය සහ දරුවා සමඟ නැවත මහගෙදර පදිංචියට පැමිණියේ මීට මාස හයකට පමණ පෙර නිරෝෂාගේ දෙවැනි දරු ප්‍රසූතියට මාස පහක් පමණ තිබියදියි.

එසේ පැමිණියද නැවතත් සුපුරුදු පරිදි සුනිල්ගේ පවුලේ උදවියගෙන් ඔහුගේ බිරිය සහ දරුවන්ට ලැබුණේ කුඩම්මගේ සැලකිලිය. ඒ අතර දිනක් සුනිල්ගේ නැඟණියගේ සැමියා වන සුනිල්ගේ ඝාතනයේ සැකකරුවකු වන සුදේශ් කසිප්පු ජාවාරමකටද පොලිසියට කොටුවිණි. ඔහුට ඇප දී නිවෙසට රැගෙනවිත් තිබුණේද සුනිල්ය. නිවෙසට ආ මස්සිනාට සුනිල් කීවේ,

"ආයෙත් එහෙම ඔය ජරා වැඩ කරන්න එපා... අපිට ගමේ ඉන්නත් ලැජ්ජයි... මේ ගෙදර පොඩි දරුවොත් එන්නවා" කියායි.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු සුනිල්ට වූයේ එකී පුද්ගලයා ඇතුළු ඔහුගේ මවුපියන්ගෙන් පහර කෑමෙන් මියැදෙන්නටයි.

"පහුගිය දවස් ටිකේම මහත්තයට හරිහැටි රස්සාවක්වත් තිබුණේ නෑ. මාස ගණනාවක්ම ගෙදර හිටියේ. අපි වේලක් නොකා වේලක් කාලයි ජීවත්වුණේ... එහෙව් අසරණව සිටි අපිට ඇයි මෙහෙම දෙයක් කළේ...මං දැන් ඉල්ලන එකම ඉල්ලීම මගේ දරුවෝ දෙන්න හදාගන්න මට පින්වත්ත පිරිස් උදව් කරන්න කියලා..." ඒ සුනිල්ගේ බිරිඳ නිරෝෂා පියදර්ශනී කළ කාරුණික ඉල්ලීමයි.

 

(ඡායාරූප - එච්. එම්. රංජිත් කරුණාවිර, මාපාකඩවැව සමූහ)

Comments