
විශ්වයේ මහා රංගනය හෙවත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 23වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිතය. සැබවින්ම එය ජපානය ලබා ගත් තවත් යුද ජයග්‍රහණයකට සමාන කළ හැකිය. එසේ කියන්නේ මෙවර ඔලිම්පික් පැවැත්වීම සැබවින්ම අභියෝගයක් වූ නිසාය.
නියමිත කාලය අනුව නම් ඔලිම්පික් පැවැතිව යුතුව තිබුණේ පසුගිය වසරේ එනම් 2020 ජූලි මාසයේදීය. එහෙත් ක්‍රමයෙන් මුළු ලොවම කොවිඩ් වයිරසයේ ග්‍රහණයට නතු වන විට ජපානය තීරණය කර සිටියේ ඔලිම්පික් 2021 වසරට කල් දැමීමටය. ඒ හැර වෙනත් විකල්පයක් නොවීය. එසේ නොකරන්නේ නම් කළ යුතුව තිබුණේ 2020 ඔලිම්පික් උළෙල සම්පූර්ණයෙන් අහෝසි කර 2024 ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ජපානයට ලබා දීමය. ඒ යටතේ 2024 ඔලිම්පික් පැවැතවීමේ අවස්ථාව ලබා සිටින ප්‍රංශයට 2028 වසරේදී ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ලබා දිමටත්, 2028 ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ලබා සිටින ඇමරිකාවේ ලොස් ඇන්ජලස් නගරයට එම අවස්ථාව 2032 වසරේදී ලබා දීමටත්, 2032 වසරේ ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව දිනා සිටින ඔස්ට්‍රේලියාවට එම අවස්ථාව ඉන් පසුව උදා කර දීමටත් යනාදී වශයෙන් විකල්ප යෝජනා විය.
එහෙත් ජපානය සෑම විටම උත්සාහ දැරුවේ තම රට වයිරසයෙන් ආරක්ෂා කර ගනිමින් කෙසේ හෝ ඔලිම්පික් පැවැත්වීමය. අවසානයේ තරගාවලිය 2021 වසර දක්වා කල් දැමූ අතර සංචරණ සීමා දිගටම පවත්වා ගනිමින් ජපානය ඔලිම්පික් පැවැත්වීම සඳහා උපරිම උත්සාහ දැරීය. එහෙත් එය සිතූ තරම් පහසු වූයේ නැත.
මේ වන විටත් ටෝකියෝ නගරයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ දිනෙන් දින වර්ධනය වන කොවිඩ් ආසාධිතයන්ගේ සංඛ්‍යාව හේතුවෙනි. ඔලිම්පික් සඳහා සහභාගී වීමේ අරමුණින් යුක්තව ජපානයට පැමිණෙන ක්‍රීඩකයන් අතරින්ද කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම වාර්තා වෙමින් තිබේ. ඒ අතරින් ඇතැම් ක්‍රීඩකයෝ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ලෙසද වාර්තා වී තිබිණි.
අවසානයේ ජපාන බලධාරීන් කොවිඩ් පාලනය කළ නොහැකි වාතාවරණයක් තුළ ඔලිම්පික් පැවැත්වීමේ අභියෝගය ජය ගැනීමට උප්පරවැට්ටියක් කල්පනා කළහ. ඒ අනුව මෙවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙනු ඇත්තේ නරඹන්නන් නොමැතිවය. එබැවින් මෙවර ඔලිම්පික් තරගාවලිය අති විශේෂ තරගාවලියක්ම වනු ඇත.
ඒ අනුව ජපාන බලධාරීන්ගේ අප්‍රතිහත උත්සාහය නිසාම ලබන 23 වැනිදා 2021 ඔලිම්පික් තරග ජපානයේදී ආරම්භ කෙරෙණු ඇති අතර සමාරම්භක උත්සවය 21වැනිදා පවත්වනු ඇත. මෙලෙස ආරම්භ වන ජපාන ඔලිම්පික් උළෙල අවසන් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 8 වැනිදාය. ඒ අතර තුර ක්‍රීඩා ඉසව් 33 පැවැත්වීමට නියමිත අතර ඒවායේ ජයග්‍රාහකයන්ට පදක්කම් 339ක් බෙදා දිමට නියමිතය.
ජපානය පුරා ස්ථාන 42කදී මේ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු යොදා අවසන්ය. සමාරම්භක උත්සවයෙන් පසු ප්‍රථම ක්‍රීඩා තරගය ලෙස සොෆ්ට් බෝල් ක්‍රීඩා ඉසවිව ෆුකුෂිමා හිදී පැවැත්වීමට නියමිත අතර ඒ ක්‍රීඩා තරගයට ‘යළි නැගිටිමු’ තේමාව ලබා දී ඇත.
වසංගතය හේතුවෙන් ප්‍රේක්ෂකයන් නොමැතිව මෙවර ඔලිම්පික් පැවැත්වෙනවා සේම අතීතය විමසා බලව විට තවත් එවැනි සුවිශේෂී අවස්ථා යටතේ පැවැත්වූ ඔලිම්පික් තරග කිහිපයක්ම හමුවේ.
එම ඔලිම්පික් උළෙල සාමාන්‍ය අවස්ථාවන් ගෙන් වෙනස් වීමට බලපෑ හේතු අතර ප්‍රධාන වශයෙන් හමුවන්නේ යුද්ධයයි. අවසන් වශයෙන් වසංගතයක් ලොව පුරා පැතිර ගිය 1918 වසරේදී වාසනාවකට මෙන් ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට නියමිතව තිබුණේ නැත. එහෙත් ඊට පෙර එනම් 1916දී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල කල් දමනු ලැබුවේ පළමුවැනි ලෝක යුද්ධය හේතුවෙනි. එවර ඔලිම්පික් උළෙලේ සත්කාරක රට බවට පත්ව තිබුණේ ජර්මනියයි.
එහෙත් වසංගත සහ යුද්ධ අවසන්ව 1920 වසරේදී සාර්ථක ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට බෙල්ජියමට හැකියාව ලැබිණි.
එහෙත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වන්නේය යන කියමන සැබෑවක්දැයි සිතෙන්නේ හරියටම 1940ද ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නොහැකි වීමෙනි. එයට හේතුව වූයේ වර්ධනය වෙමින් පැවති ලෝක යුධමය තත්ත්වයයි. එවර කොතරම් උත්සාහ දැරුවද ඔලිම්පික් උළෙල පැවැත්වීමේ හැනියාව ජපානයට ලැබුණේ නැත. එයින් පසු 1944දී ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව උදා කරගෙන සිටියේ ඉතාලිය වූ නමුදු එම ඔලිම්පික් උළෙලද අවලංගු කරනු ලැබුවේ දෙවැනි ලෝකය යුද්ධය හේතුවෙනි.
මෙලෙස යුධමය තත්ත්වයන් හේතුවෙන් ඔලිම්පික් උළෙල කිහිපයක්ම අහෝසි කරනු ලැබුවද ඒවා නොපැවැත්වීම හැරුණු කොට වෙනයම් ඛෙදවාචකයන් වාර්තා වූයේ නැත. ඇතැම් විට එම උළෙල අහෝසි කර දැමීමට ගත් යහපත් තීරණ හේතුවෙන් විය හැකිය. එහෙත් 1972 ඔලිම්පික් උළෙල නම් එවැනි වූ වාසනාවන්ත ක්‍රීඩා උළෙලක් වූයේ නැත. එම ක්‍රීඩා උළෙල ලෙයින් අවසන් වූ උළෙලක් වූයේ සමස්ත ලෝකයම කඳුළු ගඟක ගිල්වමිනි.
එවර ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව හිමි වී තිබුණේ බටහිර ජර්මනියට වූ අතර මියුනිච් නගරය ඒ සඳහා මනාව සූදානම් කර තිබිණි. ඒ සඳහා සහභාගී වීමට පැමිණි කණ්ඩායම් අතර ඊශ්‍රායෙල් ක්‍රීඩා කණ්ඩායමද වූ අතර ඔවුන් සැප්තැම්බර් 4වැනිදා රාත්‍රියේ අවට නගරයේ සැරිසරමින් ප්‍රීතියෙන් කාලය ගෙවූහ.
බොහෝ රෑ බෝවූ පසු තම කාමරවලට පැමිණ සුවසේ නින්දට පිවිසි ඔවුන් පසුදින උදැසන අවදි වූයේ ඛේදවාචකයක් අත් විඳිමටය. රාත්‍රියේ ඔවුන් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට පිවිසි පලස්තීන ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඊශ්‍රායෙල් ක්‍රීඩකෙයක් ප්‍රාණ ඇපයට ගත්හ. ඔවුන් පලස්තීනයේ ‘කළු සැප්තැම්බර්’ නම් ත්‍රස්තවාදී කණ්ඩායම යනුවෙන් තමන් හඳුන්වා දුන්හ. ඔවුන් අට දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම ඊශ්‍රායෙල් ක්‍රීඩකයන් නව දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමට සමත් වූහ.
ඔවුන් තම මෙහෙයුම ‘ඉක්රිට් සහ බිරාම් ‘ යනුවෙන් නම් කර තිබිණි. මේ ස්ථාන දෙකම පලස්තීනයේ ප්‍රදේශ වූ අතර ඒවා ක්‍රමයෙන් ඊශ්‍රායලය විසින් අත්පත් කර ගෙන තිබිණි.
ප්‍රාණ අපැකරුවන් අත්අඩංගුවට ගෙන මඳ වේලාවකින් මේ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ඊශ්‍රායලයට පවසා සිටියේ ඊශ්‍රායෙල් අත්අඩංගුවේ සිටින පලස්තීන ජාතිකයන් 234 දෙනෙකු නිදහස් කරන ලෙසයි. එහෙත් ඒ වන විටත් මියුනිච් පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටි අතර ක්‍රීඩකයන් මුදා ගැනීමේ මෙහෙයුමක් හැකි ඉක්මනින් සංවිධානය කෙරිණි. ඒ වන විටත් ත්‍රස්තවාදීන් අතින් ක්‍රීඩකයන් දෙදෙනකු මියගොස් සිටි අතර සෙසු පිරිස එකා බැගින් මරා දමන බවට තර්ජනය කෙරෙමින් පැවතිණි.
අවසානයේ මියුනිච් පොලිස් නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුම සාර්ථක වූ නමුත් ත්‍රස්තවාදීන් සමඟ ඊශ්‍රායෙල් ක්‍රිඩකයන් හය දෙනෙක්ද ඒ වන විට මරු තුරුලට ගොස් තිබිණි.
ත්‍රස්තවාදී අට දෙනාගෙන් හය දෙනෙකු මරා දැමිමට මියුනිච් පොලීසිය සමත්ව තිබූ අතර සෙසු ත්‍රස්තවාදීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
ලෝක සාමය අරමුණු කර ගනිමින් පවත්වන ඔලිම්පික් වැනි ක්‍රීඩා උත්සවය සිදුවූ මේ මහා ඛේදවාචකය මුළු ලොවම තිගැස්සවීමට සමත් විය. එතැන් සිට ඔලිම්පික් තරග පැවැත්වීමේදී නව නීති රීති ගෙන ඒමටද ඔලිම්පික් කමිටුවට සිදුවිය.
පසුව පලස්තීන ත්‍රස්ත කණ්ඩායම ‘ලුෆ්තාන්සියා’ ගුවන් යානය පැහැර ගනිමින් පලස්තීන සිරකරුවන් නිදහස් කරන ලෙස නියෝග කර සිටි අතර එසේ නිදහස් කළ සිරකරුවන් අතර මියුනිච් ප්‍රහාරයට පැමිණ දිවි බේරා ගත් ත්‍රස්තවාදීන් දෙදෙනාද විය.
කෙසේ වුවද එතෙක් මෙතක් ඔලිම්පික් උළෙලකදී සිදුවූ කනගාටුදායකම සිදුවීම මියුනිච් ඛේදවාචකය වූ අතර එයින් පසුව ලොව පුරා කොතෙක් භයානක ත්‍රස්ත කණ්ඩායම් බිහිවුවද ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර එවැනි ඛේදවාචක සිදු නොවීමට වග බලා ගැනීමට ලොව පුරා මෙතෙක් ඔලිම්පික් තරග සංවිධානය කළ සංවිධායකයන්ට හැකියාව ලැබිණි.
දැන් යළිත් කොවිඩ් වසංගතය ප්‍රේක්ෂකයන් නොමැති ඔලිම්පික් උළෙලක් ලොවට තිළිණ කර තිබේ. ක්‍රීඩාව කොතරම් උද්‍යෝගී වුවද එහි ආත්මය වන්නේ ප්‍රේක්ෂකයන් බවට තර්කයක් නැත.
එබැවින් සජීවී ලෙස ක්‍රීඩා තරග නැරඹීමට ප්‍රේක්ෂකයන් නොමැති ඔලිම්පික් උළෙලක් ‘විශ්වයේ මහා රංගනය’ ඔලාරික කරනු ඇතිද යන බිය ඇතිවීම වැළැක්විය නොහැකිය. ඒ කෙසේ වුවද වයිරසයට පරාජය නොවී හැකි උපරිමයෙන් ඔලිම්පික් පැවැත්වීමට දැඩි උත්සාහයෙන් කටයුතු කළ ජපානය නම් මේ වන විටම රන් පදක්කමක් දිනා සිටින බව සඳහන් කළ යුතුමය.