යල්පැන ගිය පාරිභෝගික නීති යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවක් | Page 4 | සිළුමිණ

යල්පැන ගිය පාරිභෝගික නීති යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවක්

පාරිභෝගික අධිකාරියට වර්ෂයකට පැමිණිලි 6.000ක්

මෙරට පාරිභෝගිකයන්ගේ අයිතීන් මේ වනවිට ගිලිහෙමින් පවතී. ඒ සඳහා කරුණු ගණනාවක් හේතු සාධක වෙයි. විශේෂයෙන් පවතින නීතිය යාවත්කාලීන නොවීම ප්‍රධාන සාධකයකි. එමෙන්ම පාරිභෝගිකයාට තම අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත් නොවීම තවත් එක් හේතු සාධකයකි. කූට ව්‍යාපාරිකයන්ගේ විවිධ ක්‍රමවේදයන් පාලනය කිරීමට සහ යම් ක්‍රියාමාර්ගයන් ගැනීමට නීතියෙන් ප්‍රතිපාදන නොමැති වීමත් පාරිභෝගික අයිතීන් ගිලිහීමට බලපාන තවත් හේතුවකි.

පාරිභෝගිකයාගේ අයිතීන් සුරක්ෂිත වන්නේද යන කාරණාවේදී පළමුවෙන් ඒ සඳහා පාරිභෝගිකයා වෙළෙඳපොළ තුළ හැසිරීමේදී තමන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත් විය යුතුය. භාණ්ඩ ප්‍රමිතිය පිළිබඳව නීතිරිතී පැනවිය යුතුය. පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. කෙසේ වෙතත් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරගන්නේ කෙසේද සහ එම අයිතිවාසිකම් මොනවාද යන කරුණට පෙර පාරිභෝගිකයා යනු කවරෙක්ද? යන්න පිළිබඳව මුලින් හඳුනාගත යුතුය. එනම් පාරිභෝගිකයා යනු නීතියේ නිර්වචනය වන්නේ වෙළෙන්දන් හෝ නිෂ්පාදකයන් හෝ මිලක් ලබාදීමට සලස්වන යම් භාණ්ඩ හෝ සේවා නියම වශයෙන් භාවිත කරන්නා හෝ භාවිත කරනු ලැබෙතැයි බලාපොරොත්තු වනු ලබන තැනැත්තාය. එනම්, කෙටියෙන් සඳහන් කළහොත් පාරිභෝගිකයා යනුවෙන් සඳහන් වන්නේ භාණ්ඩ හා සේවා පාරිභෝජනය කරනු ලබන තැනැත්තාය.

ලෝක ඉතිහාසයේදිම මේ ගනුදෙනුවලදී සැලකිය යුතු ස්ථානයක් පාරිභෝගිකයාට හිමි වෙයි. වර්තමානය වන විට සංකීර්ණ වෙළෙඳ ක්‍රමයත් සමඟ පාරිභෝගිකයා පිළිබඳව නිරන්තරයෙන් කතා බහට ලක්වෙයි. ඊට අමතරව අතීතයේ පටන් පවතින පාරිභෝගිකයාට සුවිශේෂි ස්ථානයක් හිමිවී ඇති බව ‍ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිදරව් වෙයි. හතරවැනි උදය රජුගේ දෙවැනි රාජ වර්ෂයේ මේ ලිපිය ක්‍රිස්තුවර්ෂ 10 වැනි සියවසේ මැද කාලයට පමණ අයත් සොරබොර නම් ප්‍රදේශයේ හෝපිටිගම නම් වෙළෙඳ මධ්‍යස්ථානයේ පාලනයට අදාළව ගම් වැසියන්, වෙළෙඳුන් හා රාජ්‍ය නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු නීති රීති හා ව්‍යවස්ථා මාලාවක් සෙල් ලිපියෙහි සඳහන් වේ. මේ අනුව ඉතිහාසය පුරා පාරිභෝගිකයාට හිමි වියයුතු අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කෙරෙයි. ඒ අනුව ලෝක ඉතිහාසයට වඩා ඉතිහාසයක් අපේ රටේ පාරිභෝගිකාට හිමි වී ඇත.

කෙටියෙන් සඳහන් කළහොත් සංකිර්ණ සමාජ වටපිටාවත් සමඟ පාරිභෝගික අයිතිවාසිකම් යනුවෙන් හඳුන්වන්නේ මූලික අවශ්‍යතා, රැකවරණය ,තොරතුරු දැනගැනීම, තෝරා ගැනීම, සවන් යොමු කර ගැනීම, සහන පිළියම්, සුවදායක පරිසරය යනාදියයි. අපේ රටේ බහුතරයක් අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කරමින් පාරට බසිනු මිස යුතුකම් පිළිබඳව කතා නොකරයි. එහෙත් එය කාලීන මාතෘකාවකි. පාරිභෝගිකයා එකිනෙකට තමන්ගේ යුතුකම් ඉටුකරන්නේ නම් එය ඉතා වැදගත් වෙයි. පාරිභෝගිකයකුට යම් අසාධාරණයක් වුවහොත් සියලු දෙනාම ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එවිට අපේ අයිතීන් ආරක්ෂා වෙයි. ලංකාවේ යුතුකම් ඉටුවන ආකාරයක් දක්නට නොලැබෙයි. අයිතිවාසිකම් ඉටුවිය යුත්තේ රජයෙන් සහ අදාළ පාලන අධිකාරිය විසිනි. අපි අවධාරණය කළයුතු කාරණාව වන්නේ අයිතිවාසිකම් නොව යුතුකම් පිළිබඳව කතා කිරීමයි. මේ කියන වෙළෙඳපොළ තුළින් අපට කිසියම් අසාධාරණයක් සිදුවන්නේ නම් එයට සහන ලබාගත හැකි පිළියම් ලබාගත හැකි අවස්ථා ඇත. විශේෂයෙන්ම හොඳ පරිසරයක ජීවත් වීමේ අයිතියක් තිබිය යුතුය.

එමෙන්ම පාරිභෝගිකයාට වෙළෙඳපොළෙන් යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී නීතිරීති වෙයි. එනම් නිෂ්පාදකයා කවරෙක්ද? භාණ්ඩ නිකුත් කළ දිනය, කල් ඉකුත් වන දිනය, භාණ්ඩය භාණ්ඩයේ ඇතුළත් ද්‍රව්‍ය නියමිත බර, රසායනික ද්‍රව්‍ය රසකාරක හෝ වර්ණක පිළිබඳව නිෂ්පාදකයාගේ නම ලිපිනය තිබිය යුතුය. එමෙන්ම සෑම වෙළෙඳ සැලකම තරාදියක් තිබිය යුතුය. භාණ්ඩයක බර කිරාබලා රැගෙන ඒමට ඇති අයිතියක්ද වෙයි.

අපේ රට ලෝකයේ භාවිත නොවන අධික වසවිස අලෙවි වන රටක් බවට පත්වී ඇත. විවෘත ආර්ථිකයත් සමඟ මෙරටට වෙන රටවල්වල නැති සියලුම අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ආරම්භ විය. ලෝකයේ අනෙක් රටවල් ප්‍රතික්ෂේප කරන, ඉවත් කරන දේ කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩ ලංකාවට ආනයනය කිරීම කූට ලෙස සිදුවෙයි, එමෙන්ම ඉක්මනින් කල්පිරෙන ඇතැම් භාණ්ඩ ඇසුරුම් වෙනස් කරමින් විකිණීම් සුලබය.

මෙවැනි අනීතික දේ විශාල ලෙස සිදුවෙයි. අපේ රටේ නීතියත් සමඟ නීතිය යාවත්කාලීන නොවීම නිසා මෙවැනි භාණ්ඩ වෙළෙඳපොළට පැමිණෙයි. ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුම්වත් වී සිටින්නේ නම් මෙවැනි තත්ත්වයක් සිදුනොවෙයි. අපේ පාරිභෝගිකයා දැනුම්වත් නොවීම, සබුද්ධික නොවීම, සවිඥානික නොවීම සහ තාර්කික නොවීම ගැටලුවකි. සංකීර්ණ සමාජයක ජීවත් වීමට කරන අරගලයේදී ඉතා ඉක්මනින් භාණ්ඩයක් මිලදී ගැනීමට පුරුදු සිටිමු. විවිධ රසකාරක සහ වර්ණක වෙයි. අපේ නීතිය අනුව භාවිත කළ හැකි වර්ණක වෙයි. ඇසුරුමේ E අංක වෙයි. ලෝකයේ හඳුනාගෙන ඇති එවැනි අංක කිහිපයක් වෙයි. භාණ්ඩයේ අඩංගු දෑ සඳහන් වෙයි.

ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයා මේ පිළිබඳව වඩා සැලකිලිමත් නොවෙයි. සියලු සත්ත්වයන් ජීවත් වන්නේ ආහාර මත වීම සරල කාරණාවකි. ලංකාවේ සුරක්ෂිත ආහාර හිඟවීම ගැටලුවකි. එළවළු, සහල්, මාළු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල වසවිස ඇති බව අපි තර්ක කළද ඒ කිසිවක් පිළිබඳ පාරිභෝජනයේදී අප සවිඥානික නොවෙයි. ඇසුරුම් පිළිබඳ අවධානයක් යොමු කරන්නේද නැත. ඇතැම් ආහාර දිනකට පරිභෝජනය කළ හැකි ප්‍රමාණයන් වෙයි. අවවාද තිබුණත් ඒවා පාරිභෝගිකයාට දැකිය නොහැකි ආකාරයට ඉතාමත් කුඩා ප්‍රමාණයේ අකුරින් සඳහන් කර ඇත. ඒවා ලොකුවට ප්‍රදර්ශනය කර ඇත්තේ නම් එය ජනතාවට නිරායාසයෙන්ම දක්නට ලැබෙයි.

ඇතැම් අවස්ථාවලදී අපි දැන්වීම්වලට රැවටෙන අවස්ථාවෙයි. විවිධ සමාගම්වල කූට උපක්‍රමවලට රැවටෙමින් පාරිභෝගිකයා මිලදී ගැනීමට පෙළඹෙයි.

අපි අනවශ්‍ය භාණ්ඩ පරිභෝජනය කිරීම තුළ අපේ ශරිරයට මෙන්ම ආර්ථිකයට ආයෝජනයටද හානිදායක විය හැකියි. වෙනත් පාර්ශ්වයන්ට නොව අපි අත දිගු කර ගතයුතු වන්නේද අපටමය. කාබනික පොහොර යෙදූ ආහාර වගාවන්ට අපි විරුද්ධ වුවත් එය දීර්ඝකාලීන වශයෙන් ප්‍රථිඵලදායක වෙයි. සමහර දේ පාරිභෝගිකයන් නොදැනුම්වත් වීමෙන් සහ පෙළඹවීමෙන් සිදුවෙයි. වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයන් සුරක්ෂිතද යන්න අපිට සියයට සියයක් කිව නොහැක්කේ මේ කරුණු නිසාවෙනි. ක්ෂණික ආහාර වෙළෙදුන්ගේ කූට උපක්‍රම වෙයි. මේ පාරිභෝජන භාණ්ඩ බොහෝවිට අනාරක්ෂිත භාණ්ඩ වෙයි. බහුතරයක් ව්‍යාපාරිකයන්ද මේ භාණ්ඩවල ඇති අනාරක්ෂිත භාවයන් නොදනි. විවිධ රසායනික ද්‍රව්‍ය කල් තබා ගැනීම්, වර්ණ කාරක වෙයි. ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් පවතියි.

පවත්නා නීති යාවත්කාලීන විය යුතුය. සමහර පැනවිය යුතු නීති නොපැනවීම ගැටලුවකි. යල්පැනගිය නීතිරිති වෙනස්විය යුතුය. වර්තමානයට ගැළපෙන ආකාරයට නව නීතිරීතීන්ද ඒ අනුව වෙනස් විය යුතුයි. උදාහරණ ලෙස 1980 ආහාර පනතක් තවමත් ක්‍රියාත්මක වීම කිසිසේත් සුදුසු නොවෙයි. ලෝකය වෙනස් වෙයි. ආහාර සුරක්ෂිතතාව ගැන කතා කිරීමට පෙර මේ දේවල් වෙනස් විය යුතුය. 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනත වර්තමානයට කෙතරම් ගැළපේද? එය පාරිභෝගික ආසාධාරණකම් පිළිබඳව සොයා බැලීමට ඇති පනතයි. 2003 වසරේදී පැවැති තත්ත්වය වර්තමානයේ බොහෝවිට වෙනස්වෙයි. නව ගැටලු රාශියක් මතුවී ඇත. 2003 වන විට ඔන්ලයින් ක්‍රමය ඉතා කුඩා ප්‍රතිශතයක් අනුගමනය කළ අතර අද වන විට එය අතිවිශාල පාරිභෝගික සංඛ්‍යාවක් හුරුවී ඇති වෙළෙඳ මාධ්‍යයකි.

එහිදී පාරිභෝගිකයාට අසාධාරණයක් වුවහොත් නීතියක් නොවෙයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතා සංකීර්ණවීමත් සමඟ ඒ සඳහා නීතීද වෙනස් විය යුතුය. විශේෂයෙන් ආහාර පනතේ නීතිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

පාරිභෝගිකයෙක් ලෙස අපි කෙසේද අපේ අයිතීන් රැක ගතයුත්තේ යන කරුණ පිළිබඳව විශේෂයෙන් කතා කළ යුතුය. මක්නිසාදයත් පාරිභෝගික අයිතීන් කඩවන බවට අපට ලබගත හැකි හොඳම සාක්ෂියක් නම් පාරිභෝගික අධිකාරියට පැමිණිලි 6000ක් පමණ වාර්ෂිකව ලැබීමයි. සෑම අසාධාරණයක් වන අවස්ථාවකදීම පාරිභෝගිකයන් පැමිණිලි නොකරයි. එයට හේතුව පාරිභෝගිකයා පැමිණිලි කිරීමෙන් ඇතැම් විට එය විසඳා ගැනීමට වසර හතරක් පහක් පමණ ගතවන නිසාවෙනි.

මේ අනුව ලංකාව තුළ පාරිභෝගික අයිතීන් සුරක්ෂිත නොවීම සිදුවෙයි. අපේ අයිතීන් රැක ගැනීමට වෙළෙඳපොළ තුළ අපි ඉතා කල්පනාකාරීව හැසිරිය යුතුය. අපි අපේ අයිතිවාසිකම් සහ ඒ පිළිබඳව ඇති නීති රීති සහ භාණ්ඩ සේවා තෝරා ගන්නේ කෙසේද? වෙළෙඳපොළ තුළ හැසිරිය යුතු වන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව දැනුම්වත් විය යුතුයි. පාරිභෝගිකයාගේ නොදැනුම්වත් වීම මෙයට ප්‍රධාන හේතුවකි. නීතිය පිළිබඳව අවබෝධයක් වේ නම් රැවටීමට ඇති අවස්ථාව අඩුවෙයි. වෙනත් රටවල මෙන් පාරිභෝගිකයන් විසින් සංවිධානය විය යුතුය. 2003 අංක 9 දරණ පනතේම සඳහන් වන කරුණක් නම් පාරිභෝගික අධිකාරිය විසින් පාරිභෝගික සංවිධාන පිහිටුවීමට කටයුතු කළයුතු සේම ප්‍රවර්ධනය කිරීමට සහාය දිය යුතු බව සඳහන් බවයි.

ලංකාවේ පාරිභෝගික සංවිධාන පිහිටුවීමට එතරම් උනන්දුවක් අපි නොදකි. ගම් මට්ටමින් පාරිභෝගික සංවිධාන ඇති විය යුතුයි. සංවිධාන ගත වී ගැටලු සාකච්ඡා කිරීමේදි ඉක්මනින් ඒවා සමාජ ගත වෙයි. සෑම පුරවැසියෙකුම පාරිභෝගිකයෙකි. ජනගහනයෙන් සියලු දෙනාම පාරිභෝගිකයෝ වෙයි.

විශේෂයෙන් ජෝන් එස්. කෙනඩි 1952 දී සඳහන් කරන ආකාරයට සියලු පුරවැසියෝ පාරිභෝගිකයෝය. ආර්ථික ක්ෂේත්‍රෙය නියෝජනය කරන ස්ථරය ඔවුන් වන අතර, රාජ්‍ය සහ පෞද්ගලික සෑම ක්ෂේත්‍රයකම තීරණවලින් පීඩා විඳින්නෝ ඔවුන්ය. මේ අනුව පාරිභෝගිකයා දැනුම්වත් කිරීමට ලොකු කුඩා සියලු දෙනාම දැනුම්වත් විය යුතුය. ඒ අනුව පාසල් අධ්‍යපනය තුළ සිට හෝ ඒ පිළිබඳව දැනුම්වත් කළ යුතුය. විශ්වවිද්‍යාලවලද මේ සම්බන්ධයෙන් පාඨමාලාවක් ඇතුළත් කළ යුතුය.

මේ රටේ දරුවාගේ සිට භාණ්ඩ සහ සේවා පරිභෝජනය කරනු ලබයි. මේ දැනුම්වත් කීරීම් පුළුල් ක්‍රියාවලියක්ලෙස ක්‍රියාත්මක කළ යුතුය. පාරිභෝගිකයා තාර්කික පාරිභෝගිකයකු වුවහොත් ඔහු වියදම් කරන මුදල නියමාකාර දේ සඳහා යොමු කළහොත් පිටරටින් ආනයනය කරන බොහෝ දේ අපි අපි භාර නොගන්නා ජාතියක් බවට පත්වෙයි. එහිදී පාරිභෝගිකයා සුරක්ෂිත වෙයි. ආනයනය මිල අඩුවන අතර පාරිභෝගිකයාගේ ඉතුරුම් පිළිබඳ ප්‍රශ්නය මතු නොවෙයි. සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇති පාරිභෝගිකයන්ගේ ගැටලුවලට පිළියම් ලෙස මෙවැනි ක්‍රමවේදයන් අප අනුගමනය කළ යුතුයි. ගැටලුවල සංකීර්ණ ස්වභාවය අනුව පාරිභෝගික ගැටලු විසඳීමට වෙනම අධිකරණයක අවශ්‍යතාව මතු වී ඇත. පාරිභෝගික ගැටලු අධිකාරියට ඉදිරිපත් කළද අධිකරණයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයන් ඉතාමත් සංකිර්ණය. සමහර ප්‍රශ්නවලට විසඳුම් වසර ගණනාවක් යනතුරු නොවිසඳෙන අතර ඒ අයගේ ක්‍රමවේදයන්ගේ සංකීර්ණ ක්‍රියාවලිය නිසා නිසා පාරිභෝගිකයන් අධෛර්යයට පත් වෙයි. විශේෂයෙන් ආහාර පනතේ සඳහන් වෙන ආකාරයට ආහාර පිළිබඳ උපදේශන කමිටුවක් ක්‍රියාත්මක වෙයි. ඒ උපදේශන කමිටුව නියෝජනය කළ යුතු වන්නේ විවිධ ආයතන සහ පුද්ගලයන් විසිනි. එහිදී පැහැදිලිවම පාරිභෝගික සංවිධානවල දෙදෙනකුට ආහාර උපදේශක කමිටුවල සිටිය යුතු බව සඳහන් වෙයි.

ලංකාවේ එය ක්‍රියාත්මක නොවෙයි. පාරිභෝගික සංවිධානවල කිසිවකු ඒ කමිටුව නියෝජනය නොකරයි. ඒ නිසා පාරිභෝගික ගැටලු එවැනි ස්ථානයකට යොමු කිරීමට ඉඩ ප්‍රස්ථාව අහිමිවෙයි.

පවතින යල්පැන ගිය පාරිභෝගිකයන් සම්බන්ධව පවතින නීතිය යාවත්කාලීන කිරීම, උචිත ආකාරයට නීති සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවකි.

Comments