වරද කාගෙද? | සිළුමිණ

වරද කාගෙද?

ලකට ඉහත රාජ්‍ය නිවේදනයක් ලෙස සැලකූණේ ගලේ කෙටූ අකුරක් මෙන් වූ තිරසාර සටහනකි. එය මොනම හේතුවක් නිසාවත් විටින් විට වෙනස් නොකෙරිණි. එදා සිට අපේ පැරැන්නෝ එවැනි රාජ්‍ය නිවේදන කෙරෙහි දැඩි භය පක්ෂපාතී බවක් දැක්වූහ. එහෙයින් එවැනි රාජ්‍ය නිවේදනයක් එකල විසූ පැරැන්නන් අතින් නොසලකා හැරුණේ ද ඉතාමත් කලාතුරකිනි; නැතහොත් සිදුනොවූ තරම් විය.

එසේ වූවද මෙකල එවැනි රාජ්‍ය නිවේදන කෙරෙහි දැක්වෙන ජනතා සැලකිල්ල බින්දුවටම පහළ වැටී ඇති බවක් පෙනෙන්නට තිබේ. රජයේ විවිධ ආයතන මගින් නිකුත් කෙරෙන එවැනි නිවේදන කෙරෙහි ජනතාව අතරින් දැක්වෙන සැලකිල්ල එතරම් අඩු තක්සේරුවකට වැටී ඇත්තේ ඒ පිළිබඳව රාජ්‍ය ආයතන විසින් දැක්වෙන නොසැලකිල්ල නිසා විය හැකිය.

අපේ උත්තරීතර රාජ්‍ය ආයතනය වන පාර්ලිමේන්තුව ඒ සඳහා දැක්විය හැකි හොදම උදාහරණයකි. අප එසේ කියන්නේ පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයකින් සම්මත වන ඇතැම් ව්‍යවස්ථාමය සංශෝධන පවා අණ්ඩු පක්ෂයේම ප්‍රබලයන් විසින් නොතකා හරින ලද අවස්ථා ඕනෑතරම් ඇති බැවින් උදාහරණයක් වශයයෙන් 1987 දී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගින් 2/3 ක වැඩි ඡන්දයකින් සම්මත කෙරුණු 13 වැනි සංශෝධනය දැක්විය හැකිය. එම ව්‍යවස්ථාමය සංශෝධනය යටතේ පිහිටුවෙන ලද පළාත් සභාවලට අයත් බලතල ප්‍රදේශයේ පොලිස් හා ඉඩම් බලතල ද ලැබී තිබුණේ ඒ ඒ පළාත් සභාවලටය. ඒ පිළිබඳව පළාත් සභා ආඥා පනතේ පැහැදිලිවම සඳහන් කර ඇත.

1987 අත්සන් කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම යටතේ 13 වැනි සංශෝධනය සමත්වී මේවන විට වසර 34ක තරම් දිගු කාලයක් ගතවී ඇතත් මේ වනතුරුම කිසිදු පළාත් සභාවකට පොලිස් සහ ඉඩම් බලතල නොලැබී තිබේ. එහිදී පැහැදිලිවම කැපී පෙනෙන තවත් ප්‍රශ්නයක් වන්නේ පළාත් සභා ආඥා පනත ඇතුළු මුළු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පත් කිරීමට උපදෙස් දුන් දිවාංගත ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින්ම එම පොලිස් හා ඉඩම් බලතල අදාළ පළාත් සභාවලට පවරා නොදීමයි. එදා සිට මේ දක්වා මෙරට බලයට ගත්වූ කිසිදු ජනාධිපතිවරයකු ඒ පිළිබඳව උනන්දුවක් නොයෙදවීම ද ප්‍රශ්නයකි.

පළාත් සභාවලට බලතල දීම පිළිබඳ රටේ බහුතරයකගේ විරෝධය එල්ලවී ඇති බව අමතක නොකළ යුත්තකි. ඒ පිළිබඳ අපගේ ද එකඟතාවක් නොමැති බව මෙහිලා සඳහන් කරමු.

එහෙත් මෙහිදී පැන නඟින බලවත්ම ප්‍රශ්නය වන්නේ එදා ජේ.ආර් ආණ්ඩුව පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල නොදීමට කල්තියා තීන්දුවක් ගෙන තිබුණා නම් පළාත් සභා බලතල පිළිබඳ කෙටුම්පතට පොලිස් සහ ඉඩම් බලතල පිළිබඳ සඳහනක් ඇතුළත් කරන ලද්දේ වෙන පැත්තකටද? යන්නය. අන්තිමේ දී සිදුවූයේ මෙරට පිහිටි කිසිම පළාත් සභාවකට පොලිස් සහ ඉඩම් බලතල මේ දක්වාම නොලැබී යාමයි.

මෙරට පාර්ලිමේනිතුවේ පමණක් නොව ඊට පරිබාහිරව පිහිටි වෙනත් රාජ්‍ය ආයතනවල පවා නිකුත් තරන ලද චක්‍රලේඛයක් ඊට පසුදාම අවලංගු කර වෙනත් චක්‍රලේඛ නිකුත් කරන අයුරු බොහෝවිට පෙනෙන්නට තිබේ. ඇතැම් අවස්ථාවල දී එවැනි දෑ සිදුවන්නේ මෙරට අධිකරණයේ බලපෑමෙනි. ඉකුත් 2018 වසරේ ඔක්තෝබර් 26 වෙනිදාත් එම වසරේම දෙසැම්බර් 16 දාත් අතර කාලය තුළ පත් කෙරුණු දින 52 ආණ්ඩුව සමයේ මෙවැනි සිදුවීම් කීපයක් ගැනම අසන්නට ලැබුණේය. ඒ අතරින් එක් සිද්ධියක් වන්නේ එවකට සිටි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 6 වෙනි දා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සිදු කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එම වසරේ දෙසැම්බර් මස 13 දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගත් තීන්දුවකින් අහෝසි කිරීමයි.

කෙසේ වෙතත් මීට පෙර වසර දහයකට හෝ දොළහකට පමණ පෙර එවැනි දෑ සිදු කෙරුණේ ඉතාමත් අඩු වශයෙනි. එහෙත් අද පවතින තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. විශේෂයෙන්ම වර්තමානයේ පවතින කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා එවැනි දෑ බහුල වශයෙන් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම මෙවැනි තත්වයක් ඇතිවී තිබෙන්නේ මෙරට සෞඛ්‍ය ක‍්ෂේත්‍රය තුළය. අද සවස් වරුවේ නිකුත් කෙරෙන සෞඛ්‍ය සේවා චක්‍රලේඛයක් අහෝසි කරමින් ඊට වඩා හාත්පසින්ම වෙනස් උපදෙස් මාලාවක් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරිම දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අලුත්ම විලාසිතාව වී තිබේ.

වර්තමානයේ පොලිස් දෙපාර්තමෙන්තුව මගින් නිකුත් කෙරෙන නව තීන්දු තීරණ ඇතුළත් ඇතැම් චක්‍රලේඛ තනිකරම හතර බීරි කතාය. ඉකුත් දා විල්බැරෝවක් තල්ලු කර ගෙන වෙළඳපොළට ගිය පුද්ගලයෙකුට පොලිස් කූඩුවේ ලැගීමට සිදුවි තිබුණේද පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ මෙවැනි හතරබීරි උපදෙස් මාලාවක් නිසියාකාරව තේරුම් ගැනිමට අපහසු වීමෙනි.

මෙහිදී අප තුළ පැන නැගෙන ප්‍රශ්නයක් තිබේ. එනම් පොලිසියට කෝචෝක් කිරීම සඳහා මහජනතාව පොළඹවන ළද්දේද රජය විසින් නිකුත් කරනු ලබන සහ විටින් විට වෙනස් කරනු ලබන සෞඛ්‍ය නීති රෙගුලාසි නිසා නොවේදැයි යන්නයි. එම ප්‍රශ්නය පොලිසියට පමණක් ලඝු කිරිමද අසාධාරණය. මන්ද තත්ත්වය මුළු මහත් රාජ්‍ය සේවයට අයත් සෑම අංශයකම සිදු වෙමින් තිබෙන බැවිනි.

Comments