
නිවුන් සහෝදරයන් වූ සතික සත්සිදු කන්දඋඩ හා සමිත සත්සිදු කන්දඋඩ පුංචි පුතුන් දෙදෙනා හය හැවිරිදි වියේ පසුවුහ. මල් කැකුළු වන් මේ පුංචි පුතුන් දෙදෙනා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටියහ. මේ පුතුන් දෙදෙනාගේ පියා දිලිප් රෝහණ කන්දඋඩය. ඔහු විදේශ රටක රැකියාවක් කොට මීට වසරකට පමණ ඉහතදී මෙරටට පැමිණියේය. මව අගම්පොඩි ශ්‍යාමලි සෙව්වන්දි මෙන්ඩිස්ය. දිලිප් හා ශ්‍යාමලි යුවළ පුංචි දරු පැටවුන් දෙදෙනාට දැක්වුයේ දැඩි ආදරයකි; සෙනෙහසකි. දඟකාර වියේ පසුවු මේ පුංචි කොලු පැටව් දෙදෙනා නිවසේ දුව පැන ඇවිදමින් කෙළිදෙළෙන් ගත කළහ. මේ පුංචි පවුල ගාල්ල දඩැල්ලේ මුල්ගෙදරවත්තේ පදිංචිව සිටියහ.
ශ්‍යාමලීගේ දෙමව්පියන් කොස්ගොඩ දුවමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටියහ. ශ්‍යාමලී තම දරු දෙදෙනා සමඟ මාසයකට වරක් තම මවුපියන් බැලීම සඳහා කොස්ගොඩ මහගෙදර වෙත යාමට පුරුදුව සිටියාය. පසුගිය 09 වැනි දින ශ්‍යාමලී තම පුතුන් දෙදෙනා සමග මව්පියන් බැලීම සඳහා කොස්ගොඩ මහගෙදරට ගියහ. මේ පුංචි පුතුන් දෙදෙනාගේ ආච්චි අම්මා හා සීයා පුතුන් දෙදෙනා එනතෙක් ඇඟිලි ගනිමින් සිටියහ. පුංචි මුනුපුරන් දෙදෙනාට සීයා වන ඉන්දික රාජ්කුමාර මෙන්ඩිස් හා ආච්චි අම්මා වන කමලාවති ද දැඩි ලෙස ආදරය කළේය. සමනළ ජෝඩුවක් වැනි මේ පුතුන් දෙදෙනා ද නිදහසේ දුව පැන සෙල්ලම්කරමින් පරිසරයේ අසිරිය විඳ දරා ගැනීම සඳහා කොස්ගොඩ පිහිටි තම මවගේ මහගෙදර යාමට දැක්වූයේ දැඩි කැමැත්තකි; ආශාවකි.
“සීයේ අපි ගඟේ නාන්නට යමු,“ පුතුන් දෙදෙනා සියාගේ ඇගේ දැවටෙමින් කිවේය. දිනය ඉකුත් 10 වැනිදාය. එදින සියා වන ඉන්දික රාජ්කුමාර මෙන්ඩිස් තම මුනුපුරන් දෙදෙනා සමඟ උදෑසන ආහාරය ගත්තේය. කොස්ගොඩ දුවේමෝදර ගංගාව ඉන්දික මෙන්ඩිස් පදිංචි නිවසේ සිට මීටර් 800ක පමණ දුරින් පිහිටා තිබුණි. ඉන්දික තම මුනුපුරන් දෙදෙනා දිය නෑම සඳහා කොස්ගොඩ දුවේමෝදර ගංගාව වෙත කැටුව ගියහ. ඉන්දිකගේ ළඟම ඥාතිවරයකු වන සෙනරත් මෙන්ඩිස් ද මොවුන් සමඟ ගියේය. ඉන් මිනිත්තු 15කට පමණ පසු පුතුන් දෙදෙනාගේ මව වන ශ්‍යාමලී හා ආච්චි ආම්මා ද ගංගාව අසලට ගොස් ගංඉවුරේ ඇති වාඩියේ සිට කතාබස් කරමින් සිටියෝය. ඉන්දික තම මුනුපුරන් දෙදෙනාට පිහිනීමට කියා දෙමින් සිටියේය. ශ්‍යාමලිගේ ලොකු පුතා මව දැක අම්මේ කියා අත වනමින් කැගසුවේය. ශ්‍යාමලීද අතවනා තම පුතුට ප්‍රතිචාර දැක්වීය.
![]() |
දරුවන් සමඟ මියගිය සීයා - ඉන්දික මෙන්ඩිස් |
සතික හා සමිත දියබුං ගසමින් ජලයේ ඒ මේ අත යමින් විනෝද වෙමින් සිටියහ. කොටින්ම කිවහොත් මේ පුංචි පුතුන් දෙදෙනා ඒ සුන්දර ළමා කාලය විඳිමින් සිටියහ. මේ පුංචි කොලු පැටව් දෙදෙනා දිය නාමින් විනෝද වන අයුරු ඉන්දික හා සෙනරත් දෙදෙනා ගොඩට වී බලාගෙන සිටියහ.
ඉන්දික සතුව ඔරු දෙකක් තිබුණි. ‘අනේ සීයේ අපි ඔරුවේ නැගලා යමු‘ එක් පුතකු ඉන්දිකට කිවේය. පසුව ඉන්දික දරු දෙදෙනා ඔරුවට නංවා ගත්තේය. සෙනරත් මෙන්ඩිස්ද ඔරුවට ගොඩවිය. ඉන්දික ලෑලි කැබැල්ලක් ගෙන හබල්ගාමින් ගංගාවේ මිටර් 20ක් පමණ ඉදිරියට ඔරුව පදවාගෙන ගියේය. පසුව ලීයක් සිටුවා ඔරුව එහි ගැට ගැසුවේය. එහි එතරම් ගැඹුරක් නොතිබු අතර දරු දෙදෙනාගේ උරහිසට පමණ වන්නට වතුර පිරි තිබුණි. පසුව මේ පුංචි පුතුන් දෙදෙනා ඔරුවේ සිට ගඟට පනිමින් විනෝද වන්නට වුහ. මේ පුංචි පුතුන් දෙදෙනා ඔරුවේ සිට දියට පනිමින් සතුටුවෙන හැටි ඉන්දික හා සෙනරත් බලා සිටියේ ආදරයෙනි.
“ඉන්දික අයියේ අපි දැන් ගෙදර යමු පොඩි අයට සීතලත් ඇති‘ සෙනරත් කීවේය.. ‘දරුවනේ දැන් නෑවා ඇති නේ. අම්මත් ඒවි. ඔයලාට අම්මා ගහවි‘ කියා ඉන්දික මුනුපුරන් දෙදෙනාට කීවේය. ‘අනේ සීයේ තව ටිකක් නාමු“ පුතුන් දෙදෙනා කීහ.
ගතවූයේ නිමේෂයෙකි. සිදුවුයේ කිසිවෙක් බලාපොරොත්තු නොවු දෙයකි. එකවරම පැමිණි සුළඟත් සමග ඔරුකඳ ලීයෙන් ගැලවී ගංගාවේ පහළට ගසාගෙන යන්නට විය.
ඉන්පසුව වූ හද කම්පාකරවන ඒ ශෝකජනක සිද්ධිය අගම්පොඩි සෙනරත් මෙන්ඩිස් (47) විස්තර කළේ මේ අයුරිනි.
![]() |
මියගිය දරුවන් අධ්‍යාපනය ලත්
ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ විදුහල්පති අනුර ගමගේ
|
“ඔරුව ලීයෙන් ගැලවිලා පහළට යන්න පටන් ගත්තා. ඉන්දික අයියා හා මම ඔරුවේ හිටියා. දරු දෙදෙනාගේ අම්මා හා ආච්චි අම්මා එම ස්ථානයට ආවා. පොඩි දෙන්නා ඔරු දෙකත් සමඟ ගහගෙන ගැඹුරු දියට ගියා. ඒ අවස්ථාවේ ඉන්දික අයියා එක් දරුවෙක් අල්ලා ගත්තා. ඊට පස්සේ ඉන්දික අයියා හා දරු දෙදෙනා නොපෙනී ගියා. ඉන්දික අයියායි දරු දෙදෙනා ගැඹුරු දියට ගිහින් තිබුණා. දරුවන්ගේ අම්මාත් ගඟට පැන්නා; එතන ගැඹුරුයි ඇය ගොඩට ආවා; මමත් ගොඩට ආවා. මේ තුන්දෙනා දියේ ගිලුනේ මගේ ඇස්පනාපිටම. මම විතරක් නෙවෙයි දරු දෙදෙනාගේ මවත් මෙම සිද්ධිය දැක්කා. හිතට දැනෙන්නේ දරා ගන්න බැරි දුකක්. මියගොස් සිටින ඉන්දික රාජ් මගේ ලොකු තාත්තාගේ පුතා. මමත් ඉන්දික ලොකු අයියාත් ලොකු අයියාගේ මුනුපුරන් දෙදෙනාත් ගඟ ළඟට යන්න 12.00ට විතර ඒ අයගේ නිවෙසින් ආවා. ගඟ ළගට එනවිට 12.15 විතර වුණා. පස්සේ ඉන්දික අයියා පුහු පොල්ගෙඩි දෙකක් ගැටගහලා දරුවන්ට පිහිනීමට දුන්නා යැයි අගම්පොඩි සෙනරත් මෙන්ඩිස් කීවේය.
තම පුතුන් දෙදෙනා හා පියා දියේ ගිලෙන අයුරු බලා සිටීමට අගම්පොඩි ශ්‍යාමලි සෙව්වන්දි මෙන්ඩිස් (33) ට සිදුවුවාය. ඇයට කිසිවක් කරගැනීමට නොහැකි වූවාය.
‘පුතුන් දෙදෙනා සහ තාත්තා දියේ ගිලෙනවා මගේ ඇස් දෙකින්ම දැක්කා. එත් මම මොනවා කරන්නද?‘ ඇය එසේ කියමින් වැළහින්නියක් ලෙස හඬා වැළපෙන්නිය. ඇය ඒ අවස්ථායේ දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියාය. ඕ මොරදෙමින් කැගසන්නට වූවාය. තමන් ඉදිරියේ දීම තම දරු දෙදෙනා හා පියා දියේ ගිලෙන අයුරු බලාගෙන සිටිමට තරම් ඇයගේ දෑස් පව්කොට තිබුණි. ශ්‍යාමලිගේ එකම පුතුන් දෙදෙනාගේ වියෝවය ඇයට දරාගත නොහැකිය. ඇය පුතුන් දෙදෙනාගේ මෘත දේහ දෙස බලාගෙන හඩා වැළපෙන්නීය. ශ්‍යාමලී සෙව්වන්දි හඬා වැළපෙමින් මෙසේ කීවාය.
‘දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ මගේ පියා හා දරුවන් දෙදෙනා. මම විවාහ වෙලා අවුරුදු 12ක් වෙනවා. මගේ සැමියාගේ නම දිලිප් රෝහණ කන්දඋඩ. අපි මාසයකට වරක් කොස්ගොඩ ගෙදරට දෙමව්පියන් බලන්න එනවා. පසුගිය 09 වැනිදින මම මගේ දරුවන් දෙදෙනා සමඟ දෙමව්පියන් බලන්න කොස්ගොඩ නිවසට ආවා.10 වැනි දින මගේ තාත්තා දරුවන් සමඟ උදෑසන ආහාරය අරගෙන 11.30ට 12.00ට විතර නාන්න යනවා කියා ගඟට ආවා. සෙනරත් බාප්පාත් තාත්තා සමග ගඟට ආවා. ඒ අය ගිහින් විනාඩි 15කට පමණ පසු මමත් අම්මාත් දරුවන් ගැන බලන්න ගඟ ළඟට ගියා. අපේ නිවසේ සිට මිටර් 800ක් විතර දුරක් තමයි ගඟට තිබුණේ. අම්මයි මමයි එතනට යනවිට දරුවන් වතුරේ බැහැලා හිටියා. තාත්තා දරුවන්ට පිහිනීමට කියා දෙමින් හිටියා. මාව දැකලා ලොකු පුතා අම්මේ කියා වතුරේ ඉන්න ගමන් අත වැනුවා. මමත් දරුවන්ට අත වැනුවා.
මමයි අම්මයි ගංඉවුරේ තියෙන වාඩිය ළගට වෙලා කතා කර කර හිටියා. සෙනරත් බාප්පා ලොකු අයියේ කියනවා අපිට ඇසුණා. අම්මයි මායි ඒ පැත්ත බැලුවා. මා දැක්කා තාත්තා පොඩි දෙන්න බදා ගන්නවා. එතකොට ටිකක් ගැඹුරට ඇදිලා ගිහින්. මාත් කෑගහගෙන වතුරට පැනලා ඇවිදගෙන ගියා. මාත් ගිලුණා; අමාරුවෙන් දඟලලා මා ගොඩට ආවා. ඊට පසු තාත්තා හා දරුවන් දෙන්නා දැක්කේ නැහැ. ඒවනවිට වෙලාව 1.00ට විතර ඇති. මම සෙනරත් බාප්පාට කිව්වා පැනලා දරුවන් හොයන්න කියලා. එතනට යන්න බෑ ගැඹුරුයි කියලා සෙනරත් බාප්පා ගියා කාව හරි හොයාගෙන එන්න. මා දියේ සිට කෑගැසුවා. අම්මා පාර අසලට ගිහින් කට්ටිය එක්කගෙන ආවා. මුලින් ආපු කෙනා මාව වතුරෙන් ගොඩට ගත්තා. පසුව ආපු අය ගඟේ බැහැලා දරුවන් සෙව්වත් හොයාගන්න බැරිවුණා. සෙනරත් බාප්පා පොලිසියට මේ බව දැනුම් දුන්නා. පසුව පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට ආවා. පොලිසිය ගාල්ලේ නාවික කඳවුරේ නිලධාරීන් දැනුම්වත් කළා. නාවික භටයන් ඇවිත් තාත්තාගේ හා දරු දෙදෙනාගේ මෘතදේහ සොයා ගත්තා. මරණ ගැන සැකයක් නැහැ. මගේ ඇස් දෙකින්ම දැක්කා මේ අය දියේ ගිලෙනවා. එත් මම මොනවා කරන්නද?“ ඇය හඬා වැළපෙමින් එසේ කීවාය.
මෙකී පුවත කනවැකුණු කොයිකාගෙත් මුවින් පිටවුයේ අනේ හපොයි කියාය. හා පැටවුන් වැනි කොලු පැටවු දෙදෙනෙකු හා තම පියා අවාසනාවත්ත අයුරින් මේ අයුරින් දියේ ගිලි මිය යෑම කෙසේනම් ඉවසන්නද.?
“ගං ඉවුරේ මඩුවට වෙලා දුවයි, මමයි කතා කර කර හිටියා. ඔරුව මත සිටි සෙනරත් මල්ලි ලොකු අයියේ කියලා හයියෙන් කෑගැසුවා. ඒ ශබ්දයට බලන විට මගේ මහත්තයා දරු දෙදෙනා බදා ගන්නවා මා දැක්කා. ඒ අය ගැඹුරු දියට ගිහින් තිබුණා. මගේ දුවත් ගඟට පැන්නා. දුවට එතනට යන්න බැරිවුණා. මහත්තයා හා දරු දෙදෙනා නොපෙනී ගියා. නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ඇවිත් දරු දෙදෙනාගේ හා මහත්තයාගේ සිරුර ගොඩට ගත්තා“ යැයි දරු දෙදෙනාගේ ආච්චි අම්මා වන වාසල බණ්ඩාරගේ කමලාවති (56) හැඩූ කඳුළින් යුතුව අප සමඟ කීවාය.
මේ පුංචි පැටවු දෙදෙනා අකුරු කරන්නට ගියේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයටය. එම පාසලේ විදුහල්පති අනුර ගමගේ කීවේ මෙවැනි කතාවකි.
“මේ දරු දෙදෙනාට සහ දරුවන්ගේ සීයාට වූ දේ පිළිබඳ අපි කනගාටු වෙනවා; දුක්වෙනවා. වැඩිහිටියන් විදියට දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මේ වනවිට දරුවන් ඉන්නේ දෙමවුපියන්ගේ ආරක්ෂාව යටතේ. නිරන්තරයෙන්ම අපි දෙමවුපියන් දැනුවත් කළා; දරුවන් නිවසින් පිටතට යවන්න එපා කියලා. කිවා. සූම් තාක්ෂණය ඔස්සේ පාසලේ දෙමව්පියන් දැනුවත් කළා; දරුවන්ගේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වෙන්න කියා උපදෙස් දුන්නා. මිට වඩා වැඩිහිටියන් සැලකිල්ලක් දැක්වුවා නම් මේ වගේ දෙයක් නොවීමට ඉඩ තිබුණා; එය මගේ පෞද්ගලික මතය.“
මියගිය තිදෙනාගේ හදිසි මරණ පරික්ෂණය ඉදුරුව හදිසි මරණ පරික්ෂක ජයන්ත පරාක්‍රම අකුරටියගම විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ගංගහවත්ත විසින් සිදුකරනු ලැබීය.
(ඡායාරූප- කරන්දෙනිය සමූහ, අනුරාධ ප්‍රියදර්ශන)