‘විකා­ර­රූපී’ නාට්‍ය කලාවේ ආලෝ­කය නිවී යයි | සිළුමිණ

‘විකා­ර­රූපී’ නාට්‍ය කලාවේ ආලෝ­කය නිවී යයි

ප්‍රවීණ කලාකරු සුමන ආලෝකබණ්ඩාර
ප්‍රවීණ කලාකරු සුමන ආලෝකබණ්ඩාර

සුමන ආලෝක බණ්ඩාරයන් 1940 ඔක්තෝබර් 31 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ දිවුල්ලෑගොඩ ග්‍රාමයේදී මෙලොව එළිය දුටුවේය. දිවුල්ලෑගොඩ මහ විද්‍යාලයෙන් සිප්සතර හැදෑරු සුමනයන් පසුව වේදිකාව, නවකතාව, කෙටිකතාව, පරිවර්තනය සහ සාහිත්‍ය විචාරය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සමත්කම් පෑවේය.

සුමන ආලෝක බණ්ඩාර යන නම කලා ලොවේ ප්‍රකට වූයේ හැටේ දශකයේ වේදිකා නාට්‍යකරුවකු වශයෙනි. හෙතෙම නව යොවුන්වියේ සිටම සයිමන් නවගත්තේගමයන්ගේ ප්‍රාණ සම මිතුරකු විය. ඔවුන් දෙපල කලා ලොවට පිවිසියෙද 60 දශකයේ දීය. 1965 දී ධර්මදාස ජයවීර සහ එස්. කරුණාරත්න නිර්මාණය කළ ‘අකල්වැස්ස’වේදිකා නාට්‍යයේ ඉතාම දක්ෂ රංගනය නිරත වූ ආලෝක බණ්ඩාරයන් සමඟ පසුකාලීනව සිංහල සිනමාවේ නිළි රැජින ලෙස කිරුළු පලන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ද රඟපෑවාය. එහි රඟපෑම වෙනුවෙන් ලංකා කලා මණ්ඩලයෙන් හොඳම නිළියට හිමි සම්මානය ද ඇයට හිමි විය. ඒ සාර්ථකත්වය පිටුපස සුමන ආලෝක බණ්ඩාරයන් සිටි බව වරක් ඇය මා සමඟ පැවසුවාය.

එකල සුගතපාල ද සිල්වා මුල්වී හඳුන්වලා දුන්න තාත්වික නාට්‍ය සම්ප්‍රදායට විකාරරූපි රංග ශෛලියක් රැගෙන ආ නාට්‍යකරුවන් කීප දෙනා අතරින් ප්‍රමුඛයා ලෙස සුමන ආලෝක බණ්ඩාරයන් හැඳුන්වා දිය හැකිය. ඒ ඔහු විසින් 1967 දී නිෂ්පාදනය කළ ‘නිදිකුම්බා’ වේදිකා නාට්‍ය එකී රංග විධි ක්‍රමය අනුදත් නාට්‍ය වූ නිසාය. බොහෝ ප්‍රේක්ෂක අවදානයක් දිනාගත් මෙම නාට්‍යයේ මාලනී ෆොන්සේකා ද රඟපෑවාය. ඒ ඇගේ දෙවන වේදිකා නාට්‍යය විය. ‘ABSURD’ යන ඉංග්‍රීසි යෙදුම සඳහා ‘විකාරරූපී’ යන සිංහල නිරුක්තිය ප්‍රතම වරට ව්‍යවහාර කෙරුණේ මේ නාට්‍යය සඳහාය. මෙනිසා කලා විචාරයට ද නවමානයක් එක් විය. එසේ වුව ‘ 60 දශකයේ නාට්‍යකරුවෝ’ යන නාමකරණය යටතේ පළ වූ කෘතියෙහි ෆිලික්ස් ප්‍රේමවර්ධන නාමය සටහන්ව තිබුණ ද සුමන ආලෝක බණ්ඩාරගේ නම සඳහන් නොවිනි. ඒ කුමන හේතුවක් නිසාද යන්න තවමත් අභිරහසකි.

පසුකාලීනව සුමන ආලෝක බණ්ඩාරයන් වේදිකාවට ආයුබෝවන් කියා සාහිත්‍යකරණයට යෙමු විය. ඔහු විසින් රචනා කළ ‘පෑලවිය’, ‘සුමන මතක’, ‘සොඳුරුමේ ජීවිතේ’, ‘අසානාසිය(පරිවර්තන)’, ‘පැටිකිරිය’, ‘දවසකටවත් පුත්තු’ සහ ‘පුසුඹ’ ඒ අතර වේ. පුසුඹ පසුගිය මාර්තු 13 වැනිදා එළදැක් වූ අතර එය ඔහුගේ අවසාන කෘතිය විය. එය ප්‍රේමය පිළිබඳව අපූර්ව හැඟීම් මතු කරන කෘතියකි. බොහෝදෙනා රූපයට,අඟපසඟවලට,කතාලතාවට,වරලසට,නෙත්වලට, තොල්වලට ආදරය කරද්දී ඔහු ප්‍රේම කරන්නේ ඇගෙන් විහිදෙන සුවඳටය.

‘සුමන මතක’කෘතිය රැකියාවක් සොයා කොළඹට පැමිණ වේදිකා නාට්‍ය කලාවට ලොල් වී ලැබූ ජීවන පරිචයෙහි විසිතුරු සිත්තමකි. මෙම කෘතිය වඩා වැදගත් වන්නේ එකී කාල පර්ච්ඡේදය පිළිබඳව අවංක ජීවිත අත්දැකීම් සටහන් වී තිබීමය. ඒ තුළ ඔහු කළ කී දෑ පිළිබඳ පශ්චාත්තාපයද වේ. තම අඩුපාඩුකම් දැකීමට බොහෝ දෙනා මැලිවෙද්දී ආලෝකයන් එය නොබියව අකුරු කරති.

හෙතෙම ‘දිනමිණ’ ට ලියූ ‘පැටිකිරිය’ ලිපි පෙළද එවැන්නකි. එය පසුව පොතක් ලෙස පළ විය. මේ තුළ ඔහුගේ ළමා විය, පාසල් විය හා යොවුන් වියේ අත්දැකීම් මෙන්ම තම උපන් ගමේ ගත කළ ජීවිතයෙන් ලද ජීවන අනුභූතීන් ද රසවත් ලෙස රචනා කර ඇත. ඔහු ගම ගැන සඳහන් කිරීමේදී අතිශයෝතියක් නැතුවාම නොවේ. එහෙත් ඊට නාගරික පරිසරයෙන් ලද ජවන අත්දැකීම් හා සමාජ පරිහානිය අගුල්පත් තබා ඇති බව එය කියවා ඇති කිසිවකුට රහසක් නම් නොවේ. ඔහු ගමෙන් නගරයට පැමිනි බොහෝ දෙනකු මෙන් ගම ‘ෆැන්ටසයිස්’ කළ ද ඒ තුළ මානවීය ගුණය නොඅඩුව වෑහිනි. පසුව ඔහු පරිවර්තන සාහිත්‍යටද යොමු විය. ඇල්බටෝ මොරොවියා ගේ ‘the woman of rome’ ‘අසිනාසිය’ නමින් සිංහලට නැඟීය. හෙතෙම සයිමන් නවගත්තේගම මෙන් බොහිමියානු ජීවිතයක ගත කළ අපූර්ව නිර්මාණ කරුවෙකි. සුමන ආලොක බණ්ඩාරයන් 2017 දී කලාභූෂණ සම්මානයෙන් ද පුදනු ලැබීය.

සුමන ආලෝක බණ්ඩාරයන් ජුලි 11 වැනිදා සිය භෞතිකකාය අත්හරින විට 79 වැනි වියේ පසුවිය. ඔහුගේ අවසන් කටයුතු ජුලි 15 වැනිදා ඔහු උපන් නිකවැරටියේ වාසිවැව ගමේදී සිදු කෙරිණි.

 

Comments