
ජීවිතය යනු සුවහසක් බලාපොරත්තුවලින් පිරුණු එකකි. ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට නම් ඉලක්ක තිබිය යුතුය. ජීවිතය සුන්දර හෝ අසුන්දර වීම තීරණය වන්නේ එම ඉලක්ක සපුරා ගැනීම හා නොගැනීම මතය. බලාපොරොත්තු වන ඉලක්ක හඹා යෑමට වයස වලංගු වන්නේ නැත. අවශ්‍ය වන්නේ කැපවීම හා ඒ සඳහා වන වුවමනාව පමණි.මෙයට හොඳම උදාහරණය විතානගේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්න මාතාවයි. සැමියාගේ අභාවයෙන් පසු දූවරු සිවු දෙනකු සමඟ මෙලොව තනිවූ ඇය දිරියෙන් ජීවිතයට මුහුණ දී දරුවන් සිවුදෙනා උපාධිධාරීන් කරන්නට සිහින මැව්වාය. එය යථාර්ථයක් කර ගැනීම සඳහා ඇය උපාධිධාරිනියක් වීමේ තම සිහිනය මෙයට පනස් වසරකට පෙර සිත තුළම හකුලාගෙන මහත් වෙහෙසක් දරා දියණියන් තිදෙනා එම කඩ ඉමෙන් එගොඩ කරන්නට සමත් වූවාය.
![]() |
පරම්පරා හතරක් නියෝජනය වෙන මෙම පිංතූරයේ ලීලාවතී සමඟ සිටින්නේ ඇගේ දියණිය ඉන්දුලතා (54), ඉන්දුලතාගේ දියණිය වින්ද්‍යා (28) හා වින්ද්‍යාෙග් දියණිය වන මාස දහයක් වයසැති රෙයානා යි. |
ඔවුන් රටක් වටින දරුවන් කළ ඇය පනස් වසරකට පෙර වළ දැමූ තම උපාධි සිහිනය සැබෑවක් කරගන්නට සිතා යළි පාඩම් පොත අතට ගත්තේ පසුගිය වසරේදීය. මුලින්ම ඇය කළේ උපාධි සිහිනය සැබෑ කර ගැනීම සඳහා මඟ පාදා ගැනීමේ අරමුණින් ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව විසින් විදුදය පිරිවෙන විභාග අංශයට අනුබද්ධව පවත්වනු ලබන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිටීමය. ඉකුත් පෙබරවාරි මස 6 වැනි දින මහනුවර ඩී.එස් සේනානායක විද්‍යාලීය විභාග ශාලාවේදී ලීලාවතී ධර්මරත්න මාතාව විභාගයට පෙනී සිටි අතර ඒ පිළිබඳව රටම කතා කළේ ඒ වන විට ඇය 94 වැනි වියේ පසුවීම නිසාය. එහි ප්‍රතිපල අනුව ප්‍රථම, මධ්‍යම හා අවසාන වන විභාගවලින් ඇයට ගෞරව සමාර්ථ හිමිව තිබීමත් සමඟ දැන් ඇය ගැන යළිත් කතා කරන්නට නිමිත්තක් යෙදී ඇත. එය සැබවින්ම සුන්දර නිමිත්තකි.
අභියෝග හමුවේ දිරියෙන් ජීවිතයට මුහුණ දී දිවිමඟ ජයගත් ඇය වැනි මිනිසුන් දුලබය. ඒ නිසාම ඇය ගැන කතා කළ යුතුව ඇත. මී මුණුපුරන්ද දැක ජීවිතයේ සැදෑ සමය සුවයෙන් ගෙවමින් සිටින ලීලාවතී ධර්මරත්න මාතාව අභියෝගවලට අභියෝග කරමින් ජීවිතය ජයගත් දිරිය කතකි. 1928 පෙබරවාරි මස 12 දින උපත ලද ඇය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයුවේ උපැස් යුවළක් හෝ නොපලඳාය. විවාහ වී හත් වසකට පසු සැමියා මරණයට පත් වුවත් දිරියෙන් ජීවිතයට මුහුණ දී තම දියණියන් සිවු දෙනාම උපාධිධාරීන් වන තෙක් අධ්‍යාපනය ලබා දෙන්නට සමත් වූ ලීලාවතී මාතාව, උපාධි සිහිනය ජය ගැනීම සඳහා දැන් එක් පියවරක් තබා ඇත. ඇයගේ ඊළඟ අපේක්ෂාව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය.
“මම උපන්නේ හොරණ මිල්ලෑවේ.අධ්‍යාපනය ලැබුවේ මිල්ලෑව බාලිකා විදුහලෙන්.විභාගය සමත් වෙලා ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වැඩ කළා. නංගිලා දෙන්නෙක් හිටියා. ඒ අය දැන් ජීවතුන් අතර නැහැ.ලංකාවට ජපන්නු බෝම්බ දාපු දවස් මට හොඳට මතකයි. කන්වලට පුළුන් ගහගෙන දත්වලින් කෝටු හපාගෙන තමයි අපි බෝම්බ පිපිරෙන සද්දේ දරා ගත්තේ. මට ලොකු ආශාවක් තිබුණා නීතිඥවරයෙක් වෙන්න. 1948 නිදහස ලබපු වෙලාවේ ඩී.එස් සේනානායක මහත්තයා කතා කරනවා අහගෙන හිටියම ඒ ආශාව තවත් වැඩි වුණා. පනස් ගණන්වල මම නොතාරිස් විභාගයට පෙනී ඉඳලා ලංකාවෙන්ම පළමුවැනියා විදිහට සමත් වුණා. 1961දී නොතාරිස්වරුන්ගේ සම්මේලනයට ගිය එකම කාන්තාව මමයි. ඒ සම්මේලනයේදී මට මගේ මහත්තයා මුණ ගැසුණා. අපි 1962 දී විවාහ වුණා.1966 වෙනකොට අපිට දූලම හතර දෙනෙක් ලැබුණා. විවාහයෙන් පස්සේ මම නීති විද්‍යාලයට ඇතුළු වෙලා නීතීඥයකු වෙන්න අවශ්‍ය විභාග කළා. 1970 මම අවසන් විභාගයට ලියන්න ඉන්නකොට මහත්තයා හදිසියේම මිය ගියා. ඒක මට දරා ගන්න අමාරු වුණා. අධ්‍යාපන වැඩ සියල්ල පැත්තක දාලා මම දරුවන්ගේ වැඩ කරට ගත්තා. නොතාරිස් කෙනෙක් විදිහට දිගටම වැඩ කරලා ළමයින්ට ඉගැන්නුවා.හැම වෙලාවෙම දුවලා හතර දෙනාට මම කිව්වේ ඉගෙන ගෙන කැම්පස් යන්න ඕන කියලා.අපේ ළඟ තියෙන මොනදේ කවුරු උදුර ගත්තත් ඉගෙන ගත් දේ උදුර ගන්න බැහැ කියන දේ මම හැම වෙලාවෙම ළමයින්ට කියලා දුන්නා“. ලීලාවතී මාතාව ඇගේ ජීවිතයේ යටගියාව ගෙනහැර පෑවේ අහිංසක ආඩම්බරයකිනි.
කුඩා කල සිටම පිය සෙනහස අහිමි දියණියන් සිවුදෙනාද මවට කීකරුව හැදී වැඩුණේ මවගේ සිහින සැබෑ කිරීමේ අපේක්ෂාවෙනි.ලීලාවතී මාතාවගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත්ය.ඇය වත්මන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි. දෙවැන්නා සමුද්‍රා ජයලත්ය.වෘත්තියෙන් ඉංජිනේරුවරියක් වන ඇය ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහචාර්යවරියක් ලෙස සේවය කරයි. පවුලේ තෙවැන්නා ඉන්දු නීලා ජයලත් ගුරුවරියකි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත්ව දැන් සේවය කරන්නේ නාවලපිටිය පත්තුණු පිටිය මහ විදුහලේය. නීතිඥවරියක මෙන්ම වැඩ බලන මහේස්ත්‍රාත්වරියකද වන මනෝහාරි ජයලත් පවුලේ සිවුවැන්නායි.
![]() |
ලීලාවති සිය දියණියන් සහ ඔවුන්ගේ දරුවන් සමඟින්
|
“සිංහල,ඉංග්‍රීසි,දෙමළ,පාලි හා සංස්කෘත භාෂා කතා කරන්න, ලියන්න මට පුළුවන්.අපිට ඉගෙන ගන්න වයසක් නැහැ. මැරෙනකල් ඉගෙන ගන්න පුළුවන්.දරුවෝ රස්සාවල් කරන්න ගත්තම දෙමවුපියෝ ඉගෙන ගන්න මැළිකමක් දක්වනවා.මම ත්‍රිපිටක පොත් කාණ්ඩ අදත් කියවනවා. ඉංග්‍රීසි පොත්පත් කියවනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් පාලි අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම තමයි මගේ අරමුණ.දෙවියන්ට කරන්න බැරි දේවල් මනුෂ්‍යයන්ට කරන්න පුළුවන්.මම හැමෝටම කියන්නේ මනුෂ්‍යත්වය පහළට දලා වැඩ කරන්න එපා කියලයි.මනුෂ්‍ය ආත්මයක් ලබන්න පින් කරන්න ඕන. එහෙම ලැබුණු ජීවිතය අර්ථවත් ලෙස ගෙවා දැමීම තමයි අපේ යුතුකම. බලාපොරොත්තු වෙන හැමදේම ඉටු වෙන්නේ නැහැ.ජීවිතය නොහිතන වෙලාවල්වල කඩාගෙන වැටෙනවා.මගේ මහත්තයා මියගිය වෙලාවේ මම කඩා වැටුණා නම් අද මගේ දරුවන්ට මොකද වෙන්නේ.හැම කරදරයක්ම ජීවිතයට පන්නරයක් කියලා හිතන්න ඕන.වළකට වැටෙන්න ඕන මොළේ පෑදෙන්න. හැම වැටීමක්ම ජීවිතයට පාඩමක් කරගන්න.ප්‍රශ්න ඉදිරියේ අධෛර්යමත් වෙනවා කියන්නේ පරාජයේ ආරම්භයයි. ප්‍රශ්නවලින් පැනලා ගියොත් ඒවා කවදා හරි ආයෙත් අපි ඉස්සරහට එනවා.” ඇය කියන්නේ ජීවිතය තුළින් උගත් අත්දැකීම් තුළින්මය.
ලීලාවතීගේ දියණියන්ට පමණක් නොව ඔවුන්ගේ දරුවන්ටද ඇය සැබෑම ආදර්ශයකි;මඟ සලකුණකි. නාවලපිටිය පල්ලේගම පත්තුණුපිටියේ පදංචි ලීලාවතී මාතාවගේ තෙවැනි දියණිය වන ඉන්දු නීලා මව ගැන හඬ අවදි කළේ දැඩි සෙනෙහසකිනි.
“තාත්තා නැතුව අම්මා අපිව හදා ගන්න ලොකු කැපවීමක් කළා .තරුණ වයසේදීම තාත්තා මිය ගියත් අම්මා වෙනත් කසාදයක් කර ගත්තේ නැහැ.අම්මගේ එකම හීනය වුණේ අපිට හොඳින් උගන්වන එක. නාවලපිටියේ අපි පදිංචි වෙලා හිටිය ගෙදර පැය 24 පුරාම කවුරුන් හෝ ඇහැරලා ඉන්නවා.ගෑනු අය විතරක්ම සිටි නිසා අම්මා මේක අපිට පුරුදු කළා. සහෝදරියෝ දෙන්නෙක් රෑ 8.00 ඉඳන් 11.00 වෙනකල් නැගිටලා පාඩම් කරනවා. එතකන් අනිත් දෙන්නා නිදා ගන්නවා.ඊට පස්සේ ඒ දෙන්නා නිදා ගත්තම අනිත් දෙන්නා පාන්දර 2.00 වෙනකල් පාඩම් කරනවා.අම්මා හැමදාම උදේ 2.30 ට නැගිටිනවා.අම්මට සංස්කෘත කියවන්න පුළුවන් නිසා ඉස්සර අපිව පෞරාණික ස්ථානවලට එක්කන් ගියාම සෙල් ලිපිවල තියෙන ඒවා කියලා දෙනවා.ගිය අවුරුද්දේ අම්මා වැටිලා උකුල් ඇටයක් බිදුණා.එයා ඒ නිසා ගොඩක් දුක් වින්දා.ශල්‍යකර්මයක් කරන්න ගියාම දොස්තර මහත්වරු කිව්වා වයස වැඩි නිසා කරන්න බෑ කියලා.සිහිය නැති කළොත් ආපහු ගන්න බෑ කිව්වා.වෛද්‍යවරියක් වන මගේ අක්කා කිව්වා අම්මට ඕන දෙයක් දරා ගන්න පුළුවන් ඔපරේෂන් එක කරන්න කියලා.අපි හැමෝම ඒකට කැමැති වුණා.අපි දන්නවා අපේ අම්මගේ හිත හයියයි කියලා. පහුගිය අවුරුද්දේ මැයි මාසේ 05 වෙනිදා සැත්කම කළා.දොස්තර මහත්වරුන්ටත් පුදුමයි අම්මා ටික දවසකින් නැගිට්ටා.ව්‍යායාම කරලා දැන් එයා ඇවිදිනවා.උදේ පාන්දර නැගිටලා අම්මා විභාගයට පාඩම් කරනවා.සාමාන්‍යයෙන් ප්‍රාචීන ලියලා වසරකින් තමයි මධ්‍යම ලියන්නේ.මධ්‍යම ලියලා අවුරුද්දකින් අවසාන ලියන්නේ.ප්‍රාචීන,මධ්‍යම හා අවසාන විභාග තුනටම අම්මා පෙනී හිටියේ දවස් දෙකකදී. අපේ අම්මා කුසෙන් නොවැදුවත් අපිට තවත් නංගී කෙනෙක් ඉන්නවා.එයා වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ රසායනාගාර පර්යේෂණ සහකාර ලෙස රැකියාව කරනවා.අම්මා ඉගෙන ගන්න හරිම ආසයි.එයා දරුවෝ හැමෝටම උපාධි ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දැම්මා. අම්මටත් ඒ ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දාන එක තමයි අපේ හීනය..”
ඇය පවසන්නේ තුටු කඳුළක්ද නෙත්වල රඳවාගෙනය. ලීලාවතී මාතාව විභාග සමත්වීමේ සතුට ගැන කීවේද ඒ සතුටිනි.
“මම දැනගෙන හිටියා විභාගේ හොඳින් පාස් වෙයි කියලා. තැපෑලෙන් ප්‍රතිඵල ආවම දුව ඇවිත් කිව්වා අම්මා විභාගේ හොඳට පාස් වෙලා කියලා. ප්‍රතිඵල එන්නත් කලින් මම ශාස්ත්‍රපති විභාගයට පාඩම් කරන්න පටන් ගත්තා.මම ඉගෙන ගන්නේ ආශාවට.මේ වෙලාවේ උපාධියක් අරන් රැකියාවකට යන්න බැහැනේ. අපි ඉගෙන ගන්න ඕන රස්සාවක් බලාපොරොත්තුවෙන්ම නොවෙයි.විභාගයක් කියන්නේ අප සතුව තිබෙන දැනුම අපටම තක්සේරු කර ගන්න ලැබෙන අවස්ථාවක්. මම ඒකට කැමතියි.”
ලීලාවතී මාතාව ඉගෙනුමට පමණක් නොව බොහෝ දෑට දක්ෂය. මැහුම් ගෙතුම් වැඩ හොඳින් දන්නා ඇය ඇය අදත් පොල් හා තල් කොළවලින් පැදුරු,වට්ටි,පෙට්ටි වියන්නීය.ඇගේ දියණියන් දෙදෙනකුගේ දරුවන් තිදෙනකු විවාහ වී සිටින අතර ඔවුන්ට දරුවන් පස් දෙනෙකි. ඒ සෑම දරුවෙකුටම ඇඳුම් අදටත් මහන්නේ ලීලාවතී මාතාවගේ දෙඅතිනි.ඒ සඳහා ඇයට උදව් වන්නේ 65 වසරක් ඇගේ තනි නොතනියට සිටි මහණ මැෂිමය.
“මගේ හිතේ වෛරය,ඊර්ෂයාව,ක්‍රෝධය නැහැ. ඒ නිසා තමයි මට තාමත් නිරෝගීව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනිත් අයට තියෙන තමන්ට නැති දේවල් ගැන හිත හිත කාලය නාස්ති කරන්න එපා.ඔබට යමක් ලබා ගන්න අවශ්‍යය නම් ඒකට දැන් මේ මොහොත් සිටම ක්‍රියාත්මක වෙන්න.ඒ සඳහා අවංකව කැපවෙන්න. ඒ ඉලක්කය ඔබට නිසැකවම ජයගත හැකියි.”ඒ ඇය අපට දෙන පණිවිඩයයි.
(ඡායාරූප - ගම්පොළ සමූහ, සුරංගල රාජනායක)