අකා­ලයේ විනාශ කළ නාව­ල­පි­ටියේ මල් කැකුළ | සිළුමිණ

අකා­ලයේ විනාශ කළ නාව­ල­පි­ටියේ මල් කැකුළ

අප­යෝ­ජ­න­යට ලක්වූ බව කියන දැරිය අදාළ ස්ථාන පොලී­සි­යට පෙන්වන අයුරු
අප­යෝ­ජ­න­යට ලක්වූ බව කියන දැරිය අදාළ ස්ථාන පොලී­සි­යට පෙන්වන අයුරු

රුවකුට අවශ්‍ය හොඳම රැකවරණය ඇත්තේ මාපිය තුරු‌ෙල්ය. දෙමව්පියන්ගේ ඇස් සීමාවෙන් එයාට ගිය අතරවාරයේ නාඳුනන පුද්ගලයන් අතින් කරදරේ වැටුණු දරුවන් පිළිබඳව අපි කොතෙකුත් කතා අසා ඇත්තෙමු. එසේ වුවත් මව හෝ පියා අතින් දරුවකුට කරදරේ වැටෙන්නට සිදුවන්නේ නම් එය කොතරම් අවාසනාවක්ද? පසුගිය මාසයක කාලය තුළ ඒ ආකාර සිදුවීම් දෙකක් අපට අසන්නට ලැබුණි. අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් සොයා 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා යොමු කළ අය පිළිබඳ සමාජය පුරා බරපතළ කතිකාවක් නිර්මාණය වෙමින් තිබියදී නාවලපිටි හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණේ වයස අවුරුදු 10 දී තමන්ගේ පියා අතින් අපයෝජනයට ලක්වූ දහතුන් හැවිරිදි දැරියක් පිළිබඳ කතාවකි. පියා ඇතුළු පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් අතින් මෙම දැරිය වයස අවුරුදු නවයේ පමණ සිට අපයෝජනයට ලක්ව තිබෙන මේවන විට පරික්ෂණ මගින් අනාවරණය වී තිබේ.

 

තේ වතු ආශ්‍රිත රැකියා කරන පවුල් බහුල නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය පියා අතින් අපයෝජනයට ලක්ව තිබුණේ මව සිය දෙවන දරු ප්‍රසූතිය සඳහා මෙයට

දැරි­ය සිය මවුපියන් සමඟ ජීවත් වූ නිවස

දෙවසරකට පෙර රෝහල්ගතව සිටියදීය. ඒ සම්බන්ධව ඇය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණත් මව එය ගණන් නොගැනීම තුළින් දැරිය හැදී වැඩුණු පරිසරය පිළිබඳ අවබෝධයක් අපහසුවකින් තොරවම ලබා ගැනීමට පුළුවන. පියා විසින් දිනපතා කරනු ලබන හිරිහැර හේතුවෙන් මෙම දැරිය මව විසින් වටද්දර ප්‍රදේශයේ පදිංචි ඇගේ නැන්දනියකගේ නිවසක නතර කර ඇත. එසේ සිටියදී ඇය පසුගිය 03 වැනි දින සිට අතුරුදන්ව ඇති බවට නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඇගේ මව විසිනි. පසුව මව විසින්ම පසුගිය 07 දින ඇයව රැගෙන විත් පොලීසියට බාරදී තිබේ. දැරිය නාවලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඊට අදාළ විමර්ශන සිදු කෙරෙන අවස්ථාවේ හෙළිව තිබෙන තොරතුරු වයස අවුරුදු 13 ක දැරියකට දරා ගැනීමට හැකි ඒවාද සිතෙන තරමට පුදුම සහගතය.

මෙම දැරියගේ පියා හතළිස් දෙහැවිරිදි වියේ පසුවන මත්පැනට දැඩිව ඇබ්බැහි වූ අයෙකි. ඔහු ස්ථිර රැකියාවක් කර නොමැති අතර මව පවුලේ වියදම් සොයාගෙන ඇත්තේ කුඩා තේ වතු හිමියන්ට අයත් තේ වතුවල දලු කැඩීමෙනි. දැඩි අනාරක්ෂිත පරිසරයක හැදී වැඩී තිබෙන මෙම දරුවා මුල්වරට අපයෝජනයට ලක්ව ඇත්තේ අසල්වැසියෙකු අතින් අවුරුදු 08 ක් තරම් කුඩා වයසේදීය; ඒ දලු කැඩීම සඳහා යනවිට මව ඇයව අසල නිවසක ආරක්ෂාවට තබා ගිය අවස්ථාවකදීය. ඉන් පසු මව වෙනත් නිවසක තමන් තබා ගිය අවස්ථාවකදීද එවැනිම අමිහිරි අත්දැකීමක් ලබන්නට සිදුවූ බව දැරිය පොලීසියට පවසා තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමකදී නාවලපිටිය ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකරී ඕ.පී අමරබන්දු මෙසේ ප්‍රකාශ කළේය.

‘නැන්දණියගේ නිවසේ සිටියදී තිස් දෙහැවිරිදි එක් දරු පියෙකු විසින් මෙම දැරිය රැගෙන ගොස් වටද්දර ප්‍රදේශයේ කෑලෑබදව පිහිටි ගල්ගුහාවකදී කිහිප වතාවක් ඇයව අපයෝජනය කර තිබෙනවා. අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදී තිබෙන වාර්තා හා දැරිය ලබාදී තිබෙන ප්‍රකාශ අනුව ඇය අවස්ථා ගණනාවකදී පුද්ගලයින් කිහිප දෙනෙකු අතින්ම අපයෝජනයට ලක්ව තිබෙනවා.අවාසනාවන්ත සිදුවීම වන්නේ මැය අැගේ පියා අතින් වයස අවුරුදු 10 ක් තරම් වූ කුඩා වයසේදී අපයෝජනයට ලක්වීමයි. මේවන විට දරුවා අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හරංගල, වටද්දර, ඉලුක්තැන්න, මවතුර නයාපාන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරුවාගේ නැන්දණිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලීසියට තොරතුරු වසන් කිරීම සහ ඇය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චොදනාව මතයි. සැකකරුවන් අතර දැරියගේ පියාට අමතරව සිටින කිහිප දෙනෙකුම මත් කුඩු වලට ඇබ්බැහි වූ අයයි. මෙම දැරිය තැපැල් හැඳුන්ම්පත ලබා ගැනීම සඳහා රුපියල් 600.00 ක මුදලක් නොමැතිව සිටියදී එම මුදල ඇයට ලබා දෙන බවට පොරොන්දු වී ඇයව අපයෝජනය කළ අයෙකු ද අත්අඩංගුවේ පසු වෙනවා‘

දැරිය විසින් ලබාදුන් ප්‍රකාශ පදනම් කරගනිමින් ඇයව රඳවා තබාගෙන අතවර කළ ස්ථාන 10 ක් පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ (SOCO) නිරීක්ෂණයට ලක්වූ අතර එම ස්ථාන වල තිබී වැදගත් සාක්ෂි රැසක් සොයාගත් බව එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න කීය. ඒ අතර විවාහක එක්දරු පියා ඇයව රැගෙන ගිය බව කියන ගල් ගුහාවේ තිබී ඇද ඇතිරිලි කිහිපයක්ද තවත් ගල් ගුහාවක තිබී බියර් කෑන් 50 කට ආසන්න සංඛ්‍යාවක්ද හමුවී ඇත. අත්අඩංගුවේ පසුවන එක් තරුණයෙකු මෙම දැරිය අවස්ථා ගණනාවකදී ගල් ගුහාවකට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇත්තේ බියර් පානය කිරීමෙන් පසුව බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

මෙතරම් පිරිසක් අතින් අතවරයට පත්ව ඇතත් දැරිය ගැබ් ගැනීමකට ලක්ව නොමැත්තේ ඇයිද සම්බන්ධවද පොලීසියේ අවධානය යොමුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඇය පරස්පර අදහස් පොලීසියට ප්‍රකාශකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස් පැවසුවේ මෙම දරුවා කුඩා කල සිටම ඉතා අනාරක්ෂිත පරිසරයක හැදී වැඩී තිබෙන බවයි.මව හා පියාගේ රැකවරණයද අහිමි වීම නිසා ඇය මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔහු පැවසීය.මෙම දැරිය අතුරුදන්ව ඇති බවට මව විසින් පැමිණිලි කිරීමට දින දෙකකට පමණ පෙර ළමා රක්ෂණ අධිකාරියට ප්‍රදේශවාසියකු විසින් කළ දැනුම්දීමක් මත නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකු දැරියගේ නිවසට ගොස් පරීක්ෂණයක් සිදුකර තිබේ. එම අවස්ථාව වන විටත් දැරිය අතුරුදන්ව සිට ඇති බවට තොරතුරු දැන් අනාවරණය වී ඇත.ප්‍රදේශවාසියකු ලබා දුන් තොරතුරක් අනුව ප්‍රදේශයේ නිවසකට දැරිය සොයා පොලීසිය ගොස් ඇතත් එම නිවසේ එම අවස්ථාවේ කිසිවෙකුත් සිට නැත. එම නිවස දැරිය අපයෝජනයට ලක්කළ බව කියන එක්දරු පියාට අයත් බව හෙළිව තිබෙන අතර පොලීසිය එහි යන අවස්ථාවේ සැකකරු දැරියද කැටුව නිවසේ සොල්දරයට ගොස් සැඟව සිට ඇති බව පසු පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

නාවලපිටිය පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ඛණී නිවන්ති පෙරේරා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප-ගම්පොළ සමූහ සුරංග රාජනායක

 

Comments