ඔන්ල­යින් නැතත් ඕෆ්ල­යින් නොවන ගු රු­ සිසු­ ළබැ­ඳි­යාව | සිළුමිණ

ඔන්ල­යින් නැතත් ඕෆ්ල­යින් නොවන ගු රු­ සිසු­ ළබැ­ඳි­යාව

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ දරුවන් පාසලට යනවා වෙනුවට පාසල දරුවන් කරා ගෙන ආ ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය මේ අවස්ථාවේදී දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ඇති එකම විකල්පය බවට පත්විය. විවිධාකාර දුෂ්කරතා රැසක් අතර වුවද හැකි අයුරින් මාර්ගගත අධ්‍යාපනයේ නියැළෙමින් සිටි දරුවන්ට ඉකුත් 12 වැනිදා සිට තවත් බාධාවක් පැන නැගිණි. ඒ, වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සංගම් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමත් සමඟ බොහෝ ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීම නිසාය.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් සහ ගුරු සංගම් අතර ඉකුත් 20 වැනිදා පැවති සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වූ බැවින් ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කෙසේ වුවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගුරුවරුන් විසින් මෙතෙක් ක්‍රියා කළ ආකාරය පැසසුමට ලක්කළ යුතුය. ඊට හේතුව වසංගතය නිසා දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීම වළක්වා ගන්නට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තුළින් විශාල පිටිවහලක් සැලසුණු බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන නිසාය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රගතිය අත්කරගත් පාසලකි. පළමු වරට මෙරටට ස්මාර්ට් පන්ති කාමර සංකල්පය හඳුන්වා දුන්නේද මෙම විද්‍යාලයයි. මාර්ගගත අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඒ පසුබිම කෙතරම් දුරට ඉවහල් වූයේ දැයි අප එහි විදුහල්පති එම්.ආර්.ඩී. කසුන් ගුණරත්නගෙන් විමසුවෙමු.

“අපේ පාසල් ස්මාර්ට් පන්ති කාමර, ඊ ලයිබ්‍රි, ඊ ජොබ් බෑන්කින් ආදිය තිබුණත් ඊ ලර්නින් කියන සංකල්පය අපටත් අලුත් අත්දැකීමක් වුණා. නමුත් අපි ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් මුල සිටම ක්‍රියාත්මක කළා. මේ වන විට සියයට 99කට වැඩි ප්‍රගතියක් පෙන්නුම් කරනවා. සරලව කියනවා නම් සාමාන්‍ය‍ෙයන් පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාවට වඩා ඉහළ සහභාගීත්වයක් ඇතිව ළමුන් ඔන්ලයින් පන්ති සඳහා සහභාගී වනවා. පන්තිභාර ගුරුවරු මාර්ගයෙන් අභ්‍යන්තර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන නිසා ඒ තුළින් ගිලිහෙන සිසු සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.”

එම ප්‍රගතිය අත්කර ගැනීමට ඉවහල් වූ සාධක ගැනද අප විදුහල්පතිවරයාගෙන් විමසුවෙමු.

“අපේ අධීක්ෂණය යටතේ ගුරුවරුන් විසින් සාර්ථකව ඔන්ලයින් ඉගැන්වීම් කරගෙන ගියා. අපේ ගුරුවරුන් ඉතා ධනාත්මකයි. ආකල්පමය වශයෙන් විශාල වෙනසක්, දියුණුවක් ඔවුන් තුළ තිබෙනවා. ඔන්ලයින් ඉගැන්වීම් සඳහා ගතවන අතිරේක කාලය සහ වියදම් ගැන නොතකා ඔවුන් පූර්ණකාලීනව තමන්ගේ කාර්යභාරය ඉටු කරනවා. ”

මහනුවර යහපත් එඬේරා කන්‍යාරාම විදුහලේ සිසුවියෝද ඔන්ලයින් අධ්‍යාපනයේ බොහෝ යහපත් ප්‍රතිඵල භුක්ති විඳිති. එහි විදුහල්පතිනි ගරු චන්ද්‍රිකා පෙරේරා කන්‍යා සොහොයුරිය පැවසුවේ ඉතා විධිමත්ම සහ ක්‍රමානුකූලව මාර්ගගත ඉගැන්වුම් ක්‍රියාවලිය පවත්වාගෙන යෑම ඊට හේතුව බවයි. වසර ආරම්භයේදීම සකසා ගත් ඉගැන්වුම් කළමනාකරණ ක්‍රමවේදය යටතේ විදුහල වෙනුවෙන් වෙබ් අඩවියක් සකස් කරගැනීම නිසා ඉගෙනුම් කාර්යයයේදී අවැසි වන පොත්පත්, වීඩියෝ සියල්ල ඒ තුළින් ලබාගැනීමට සිසුවියන්ට අවස්ථාව සලසා දී ඇත.

”ඒ ක්‍රමවේදය නිසා දරුවන්ට තමන්ට අවශ්‍ය තොරතුරු සොයමින් යූටියුබ් හෝ වෙනත් වෙඩ් අඩවි වෙත යෑමට අවශ්‍ය නැහැ. තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය සියලු දේ පාසලේ වෙබ් අඩිවියෙන්ම ලබාගත හැකියි. එය ආගන්තුක සහ බාහිර සමාජජාලා වෙත නැඹුරු වීමෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ එක් ක්‍රියාමාර්ගයක්. ඔන්ලයින් ඉගැන්වීම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා සකස් කළ විශේෂ කාලසටහනකට අනුව පැවැත්වෙන අතර එය පරිපාලනයේ නිරන්තර ඇගයීමට ලක්වනවා. එක් එක් ශ්‍රේණි සඳහා සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර ශ්‍රේණි සහ විෂයයන් අනුව ගූගල් ඩ්‍රයිව්හි ගබඩා කර තිබෙන නිසා කලාප අධ්‍යාපන කාර්යාලයට පවා අප පාසලේ ඉගැන්වීම් කටයුතු සහ ගුරුවරුන්ගේ කාර්යයන් අධීක්ෂණය කිරීම ඉතා පහසුයි. සෑම සති දෙකකට වරක් ගුරුවරුන් ඔවුන්ගේ ඉගැන්වුම් පිළිබඳ වාර්තා අප වෙත යොමු කරනවා. ඒ වගේම මේ වන විට අප දෙවැනි වාරයට අදාළ හැම විෂයකටම ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීමට දරුවන්ට අවස්ථාව ලබාදී ඒ පිළිබඳ ඇගයීම් ද සිදුකර අවසන්. සමස්තයක් ලෙස සෑම ශ්‍රේණියකම සෑම පන්තියකම දරුවන් සාර්ථකව විභාගයට මුහුණ දී ඇති බව කිව හැකියි. “

ඔන්ලයින් ඉගෙනුම නිසා දරුවන්ට ඕනෑවට වඩා බරක් පැටවෙන බව අතැමුන්ගේ මතයයි. එහෙත් යහපත් එඬේරා කන්‍යාරාම විදුහලේ සිසුවියන්ට ඔන්ලයින් ඉගැන්වීම් සිදු කරන්නේ දිනකට පැය 3ක පමණ කාලයක් පමණක් වන අතර සමස්තයක් ලෙස සෙනසුරාදා, ඉරිදා දෙදින දරුවන්ට නිවාඩු ලබා දේ. ඉහළ පන්තිවල සිසුවියන්ට අවශ්‍ය නම් අමතර ඉගැන්වීම් සිදුවේ. විෂය නිර්දේශය ආවරණය කිරීමට අමතරව සිසුවියන්ගේ කුසලතා මෙන්ම ගුණාංග, වටිනාකම් වර්ධනය කිරීමටත් මාර්ගගත ක්‍රමය තුළම පහසුකම් සලසා ඇත.

මහනුවර යහපත් එඬේරා කන්‍යාරාම විදුහලේ විදුහල්පතිනි චන්ද්‍රිකා පෙරේරා කන්‍යා සොහොයුරිය මාර්ගගත අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට දායක වන සිය ගුරු මණ්ඩලයට, දෙමවුපියන්ට සහ සිසුවියන්ටද ස්තුතිවන්ත වූවාය.

කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය නව ජාතික පාසල් දහසට ඇතුළත් වූ පාසලකි. එම පාසලටද ඔන්ලයින් පැමිණියේ කොවිඩ් 19 වසංගතය නිසා පාසල් වසා දමන්නට සිදුවීමත් සමඟය. එම විදුහලේ විදුහල්පති සුමේධ වනිගසේකර සිය පාසලේ මාර්ගගත ඉගැන්වුම් ක්‍රමවේදය පිළිබඳ පළ කළේ මෙවැනි අදහසකි.

“ඔන්ලයින් ඉගැන්වීම් තුළ අපේ පාසලේ ක්‍රියාත්මක වන්නේ 1 වසරේ සිට 13 වසර දක්වාම එක් ශ්‍රේණියකට එක් කාලසටහනක්. උදාහරණයක් විදිහට 5 ශ්‍රේණියේ සියලුම පන්තිවලට එක් විෂයයක් උගන්වන්නේ එක් ගුරුවරයෙක්. දළ වශයෙන් සියයට 90ක පමණ සිසු සහභාගීත්වයක් තිබෙනවා. සෙසු දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ගිලිහීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. දුරකථන, ටැබ් නොමැකි වීම, ඩේටා සඳහා විශාල මුදලක් දැරිය යුතු වීම වගේම බොහෝ පවුල්වල දරුවන් කිහිපදෙනකු සිටීමත් ඒ සෑම දරුවකුටම දුරකථනයක් නොමැති වීමත් මූලික හේතු ලෙස සැලකිය හැකිය.“

ගුරු සංගම්වල වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ දිනවල එම පාසලේද ඔන්ලයින් ඉගැන්වීම් සිදුනොවුණද විදුහලේ මාර්ගගත අධ්‍යාපනයට ගුරු මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය විදුහල්පතිවරයා සිහි කළේ කෘතවේදීවය.

කුරුණෑගල තිරගම මහා විද්‍යාලය මාර්ගගත අධ්‍යාපනය ආරම්භ කරන්නේ පළමු කොරෝනා රැල්ලේදී පාසල් වැසී යෑමත් සමඟය. පළමුව ප්‍රාථමික සහ උසස්පෙළ පන්ති සඳහා වට්ස්ඇප් මාර්ගයෙන් ඉගැන්වීම් සිදුකර ඇති අතර පසුව අනෙක් පන්ති සඳහාද ඉගැන්වීම් ආරම්භ කර ඇත. ඒ පිළිබඳ විදුහල්පති කේ.ප්‍රදීප් ශ්‍රී නිමල් කුමාරසිංහ මෙසේ පැවසීය.

“මෙම වැඩසටහන සඳහා බහුතර ගුරුවරුන්ගෙන් ඉතා ඉහළ සහයෝගයක් ලැබුණා. සාමාන්‍යයෙන් පන්තියක සිටින ළමුන් 40න් 30-32ක් වැනි සංඛ්‍යාවක් ඔන්ලයින් පන්ති සඳහා සහභාගි වෙනවා.1 1 ශ්‍රේණියේ ළමුන් 104න් 30-35කගේ පමණ සහභාගිත්වය අඩුයි. එසේ සහභාගි නොවීමට බලපාන හේතු අතර දුරකථන නොමැති වීම, දුරකථන සංඥා දෝෂ, ඩේටා පහසුකම් නොමැතිවීම වගේම ඇතැම් විට දරුවන් සහ දෙමවුපියන් තුළ මේ පිළිබඳ උනන්දුවක් නැතිවීම ආදියත් තිබෙනවා. ”

හිනිදුම නෙළුව ජාතික පාසලටද දැන් ඔන්ලයින් අධ්‍යාපනය ආගන්තුක නැත. ඒ පිළිබඳව එහි විදුහල්පති ධර්මදාස කුමාරගේ අදහස් දැක්වූයේ මෙසේය.

“මුල්ම කාලයේ ඔන්ලයින් ඉගැන්වීම් කරන්න අපිට එතරම් පහසුකම් තිබුණේ නැහැ. එහෙත් කොවිඩ් 3 වැනි රැල්ලත් සමඟ පාසල් වැසී යෑමත් සමඟ අපි අඛණ්ඩව මාස 3ක් ඔන්ලයින් ඉගැන්වීම් සාර්ථකව සිදු කළා. මේ වන විටත් ගුරුවරු අපේ අධීක්ෂණය යටතේ තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරගනිමින් තමයි ඉගැන්වීම්වල නිරත වන්නේ. අප විදුහලේ සිසුන්ගෙන් සියයට 60-70ක පමණ සහභාගීත්වයක් ඔන්ලයින් ඉගැන්වීම් සඳහා තිබෙනවා. වෘත්තීය ක්‍රියාමාර්ග මත මේ වන විට ඔන්ලයින් ඉගැන්වීම් සිදුවන්නේ නැහැ. එහෙත් අපි දරුවන්ගේ අඩුපාඩු සකස් කරගැනීමට නිරන්තරයෙන් කටයුතු කරනවා. උපාධිධාරී, ආදිශිෂ්‍යයන් 18 දෙනකුගේ දායකත්වය මත සුබ පතන්නන්ගෙන් අප විදුහලට ලැබුණු මුදල්වලින් දුරකථන නැති දරුවන් 5 දෙනෙක් සඳහා දුරකථන ලබාදීමට පසුගියදා අපට හැකිවුණා. ”යැයි ඔහු පැවසුවේ ගුරුවරයා සහ සිසුවා ඇති අව්‍යාජ සම්බන්ධය ගැන ද සිහිකරමිනි.

(ඡායාරූප: සුදත් මලවීර)

 

Comments