
ගෙන්දගම් පොළවෙහි රළු පරළු බව හැඳින, ඒ බිම මත පය ගසා ජීවත් වන්නට අපට ඇති එකම සවිය අධ්‍යාපනයයි. එබැවින් එය අතරමග සුනු විසුනු කර නොගෙන හිණිපෙත්තටම නඟින්නට ආශිර්වාදයක් වන මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මීට වසර 40 කට පෙර ඇරඹුණේ දැයේ සිසු දරුවන් වෙනුවෙනි. එසේ පුළුල් අරමුණු පෙරදැරිව ඇරඹුණු මහපොළ භාරකාර අරමුදලට මේ වන විට සිදුව ඇත්තේ ඉරුණු රෙද්දකට පැලැස්තර දමන්නාක් වැනි දෙයකට මුහුණ දෙන්නටය. පසුගිය රජය සමයේ මෙහි සිදුවු අක්‍රමිකතා සොයා යාමේදී සමහරු ඊට පිළියම් වශයෙන් පනත වෙනස් කිරීමටද සුදානම් වන බවට පසුගියදා විවිධ රාවයක් පැතිරී තිබුණි. මේ වන විට මහපොළ භාරකාර අරමුදලේ දෙපැත්තට දෝලනය වන ප්‍රධාන ප්‍රශ්නයක් වූ මෙම පනත වෙනස් කිරිම සිළුමිණ විමසීම් කළේ මේ ආකාරයෙනි.
දිවංගත ලලිත් ඇතුලත්මුදලිගේ උදාර සංකල්පයක් මත 1981 න් ඇරඹෙන මහපොළ ශිෂ්‍යධාර වැඩ සටහන හරහා පසුගිය වසර 40 ක කාලය පුරාවට විශ්වවිද්‍යාල සිසුන් ලක්ෂ 3 කටත්, අනිකුත් ආයතනවල සිසුන් 15,000 කටත් අති විශාල ධන සම්භාරයක් ලබා දෙමින් අදටත් නිහඬව යුග මෙහෙවරක යෙදෙන්නේ අන් කවරකුත් නිසා නොව දරු පරපුරේ අනාගතය
![]() |
මහපොළ නිර්මාතෘ සහ හිටපු වෙළඳ ඇමැති ලලිත් ඇතුලත්මුදලි
මහපොළ ශිෂ්‍යත්ව පිරිනැමු අවස්ථාවක් මෙහි දැක්වේ.
|
වෙනුවෙනි.
වසර 40 කදී සිසුන් ලක්ෂ 3 කට මහපොළ ලැබුණා
එදා 1981 අංක 66 දරන පනත හරහා නීතිමය පසුබිමක් සකසා දෙමින් මහපොළ භාරකාර අරමුදලේ ප්‍රාරම්භක භාරකරු හා නිර්මාතෘ වූ ලලිත් ඇතුලත්මුදලි මෙහි භාරකාර මණ්ඩලයේ සභාපතිකම තමන්ට පවරා ගැනීමේ හැකියාව පවතිද්දි එසේ නොකර එහි සභාපති විය යුත්තේ රටේ අගවිනිසුරුවරයා බව පනත හරහා ස්ථාවර කළේ මේ ආයතනයේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීම හා දේශපාලන අතකොළුබවින් මිදීම සඳහාය. ඒ අනුව වසර 40 ක කාලයක් මුළුල්ලේ මේ භාරකාර අරමුදලේ සභාපතිත්වය ඉසිලූයේ රටේ අගවිනිසුරුවරයාය. එසේම ලලිත් ඇතුලත්මුදලිගෙන් පසුව ප්‍රාරම්භක භාරකරු වන්නේ ඒ වන විට වෙළෙඳ අමාත්‍යාංශයේ විෂය භාර ඇමැතිවරයාය. ඊට අමතරව එම වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම ප්‍රාරම්භක භාරකරු විසින් පත්කරන නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළත්ව මෙහි භාරකාර මණ්ඩලය සැදුම්ලත් වෙයි.
එසේ වසර 40 ක් පුරාවට පැවැතී සම්ප්‍රදාය වෙනස් කරමින්, මහපොළ පනත වෙනස් කරමින් මෙම භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය වෙනස් කිරීමේ යෝජනාවක් දියත් වෙමින් පවතින අතර එය කෙතෙක් දුරට මහපොළ උදාර සංකල්පයේ අනාගතය වෙනස් කිරිමට බලපාවිද යන්න විමසිය යුතුය.
පසුගිය රජය සමයේ මහපොළ භාරකාර අරමුදලට අයත්ව තිබූ මාළඹේ අක්කර 25 කින් යුතු, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සම්බන්ධ පැවැති ගැටලුව මේ වන විට කෝප් කමිටුව දක්වා ගොස් ඇති අතර ඒ ගැටලුව විසඳීමේ එක් ක්‍රියාදාමයක් ලෙස මෙම පනත වෙනස් කිරීම අරමුණු වන බව මේ හා සම්බන්ධ විද්වතුන්ගේ අදහසයි. මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුතු වූ කෝප් කමිටුව විසින් 9 වැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිළිබඳ එම විශේෂ වාර්තාවෙන් පෙන්නුම් කළේ මහපොළ භාරකාරත්වය යටතේ පැවැති මෙම දේපළ පුද්ගලික හිමිකාරිත්වයක් යටතට අනියම් ලෙසින් පැවරීමේ දූෂිත ක්‍රියාවලියයි.
2015-2017 අතර කාලයේ සිදුවූ මෙම ගනුදෙනුවේදි එදා මහපොළ භාරකාර අරමුදල නියෝජනය කළ යම් පිරිසක් හවුල් වී ඇති බව කෝප් වාර්තාව පෙන්වා දෙයි. පසුගිය රජය සමයේ සිදුවූ මෙම ගනුදෙනුවේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ගොඩනැගිලි ඉදිකිරිම් සඳහා මහපොළ භාරකාර අරමුදලින් රුපියල් මිලියන 500 ක වියදමක් දරා ඇති අතර මෙය පුද්ගලික භාරකාරත්වයට පත් කිරීමෙන් අනතුරුව වියදම් වූ එම මුදලින් පියවා ඇත්තේ රු 408,500, 000 කි. ඒ මහපොළ නමින් ලබා දුන් ශිෂ්‍යත්ව වටිනාකම හා අනිකුත් ආනුෂංගික වියදම් ආවරණය කිරීම වෙනුවෙනි. එම ගෙවීමෙන් අනතුරුව මහපොළ අරමුදල හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ කිසිදු බැඳීමක් නොවන බවටත් මෙය පෞද්ගලික අයිතියක් යටතේ වූ ස්වාධීන ආයනතයක් වශයෙනුත් ක්‍රියා කර ඇත.
ඒ අනුව 2015 මැයි මස 15 වැනිදා සිට 2075 මැයි 14 වැනිදා තෙක් වු අවුරුදු 60 කාලයකට මෙම තාක්ෂණ ආයතනය පිහිටි ඉඩම අවුරුදු 5 කට වරක් වාර්ෂිකව බදු කුලිය වැඩිවන පදනමින් බදු ගෙවීමට පොරොන්දු වී ඇති අතර ඒ අනුව 2020 මැයි 14 වැනිදායින් අවසන් වන අවුරුදු 5 ක කාලය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 20 බැගින්ද වන පරිදි හා 2070 මාර්තු 15 සිට 2075 මාර්තු 17 වැනිදායින් අවසන් වන වර්ෂ 5 සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 40 බැගින්ද වන පරිදි බදු කුලි ගෙවීමට එකඟ වී ඇති ආකාරය මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුවේදීද අවධාරණය කර ඇත.
“මාළඹේ පිහිටි අක්කර 25 ක ඉඩමක පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මහපොළ භාරකාර අරමුදලේ භූමියක් හා ආයතනයක්. ගිවිසුමකට අනුව මේ ආයතනයේ ලාභය මහපොළ භාරකාර අරමුදලට ගෙවිය යුතු වෙනවා. මෙම අක්කර 25 ම මහපොළ ඉඩම්. තොරතුරු තාක්ෂණ ආයතන ගොඩනැගිලි සෑදුවේ මහපොළ භාරකාර අරමුදලින්. මේ නිසා මෙහි ලාභය හිමිවිය යුත්තේ එම අරමුදලට. සියලු ඉදිකිරීම් සඳහා කැබිනට් අනුමැතිය ගත්තා.
නමුත් 2015 යහපාලන රජය කාලයේ එවකට භාරකාර අරමුදලේ සාමාජිකයෙකු වූ ආචාර්ය වික්‍රම වීරසූරිය, ආචාර්ය සරත් අමුණුගම හා ජයවික්‍රම පෙරේරා යන එවකට ඇමැතිවරු විසින් අක්‍රමිකතා රාශියක් සහිත ගිවිසුමක් සකස් කරමින් මෙම මාළඹේ පිහිටි ආයතනය මහපොළින් අරමුදලින් ඉවත් කර ස්වාධීන ආයතනයක් බවට පත් කළා. මහපොළටම හිමි මෙම ආයතනය හා ඉඩම වෙනුවෙන් රුපියල් මිලියන 412 ක් ආපසු බැර කරමින් මහපොළේ අයිතිය මුදාහැරීමේ ගිවිසුම අත්සන් කළා. කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් අදාළ ලියවිලි ගැසට් කළා. මෙහිදි සිදුවු අක්‍රමිකතා හොයන්න ජනාධිපති කමිටුවක් පත් කළා.
ශිෂ්‍යත්ව සඳහා වර්ෂිකව රුපියල් බිලියන 2 ක මුදලක්
පසුව ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒ වගේම විශේෂ විගණනයක් හරහා මෙය හොර ගිවිසුමක් බවට සනාථ කර ගත්තා. වර්තමානයේ මෙය අධිකරණයේ විභාග වන නිසා මෙහි භාරකාර මණ්ඩලයේ සභාපති අගවිනිසුරු නිසාත්, නඩු කටයුත්ත වෙනුවෙන් ඉවත් වීමට අවසර ඉල්ලා සිටියා. ‘ලැබැදියාවේ ගැටුම් නිර්මාණය‘ වෙතැයි නිසා මුලින්ම අගවිනිසුරුවරයා තමන් ඉවත් විය යුතුය යන අදහසේ සිටියා. කෝප් කමිටුවටත් මේ අදහස ගියා. ඒ සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු සභාපතිත්වය දැරිය යුතුය යන අදහසේ සිටියා. මේ සඳහා වසර 40 ක පැරණි පනත වෙනස් කිරිමට ඔවුන් සුදානම් වුණා. හොරුන්ට දඬුවම් දෙනවා වෙනුවට වසර 40 ක පැරණි පනත වෙනස් විය යුතුද යන ප්‍රශ්නාර්ථයක් මෙහිදී පැන නැගෙනවා..............“ ඒ මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යකෂ ජනරාල් පරාක්‍රම බණ්ඩාරය.
මහපොළ භාරකාර අරමුදල මේ වන විට රුපියල් බිලියන 12 ක අරමුදලකි. වර්ෂයකට විශ්වවිද්‍යාල සිසුහු 60,000 ක් හා උසස් තාක්ෂණ ආයතන 7000 ක පමණ සිසුහු මෙයින් ප්‍රතිලාභ ලබති. විශ්වවිද්‍යාල 22 ක්, උසස් තාක්ෂණ ආයතන 19 ක් හා අනිකුත් ආයතන 5 ක සිසුහු මේ ප්‍රතිලාභ ලබන්නෝ වෙති. වාර්ෂිකව රුපියල් බිලියන 2 ක මුදලක්ද, මාසිකව රුපියල් මිලියන 100-150 ක මුදලක්ද මෙම මහපොළ ශිෂ්‍යත්ව ලබාදීම් සඳහා වැයවන අතර එක් ශිෂ්‍යත්වලාභියෙකු වෙනුවෙන් භාණ්ඩාගාර දායකත්වය රුපියල් 2450 කි.
මහපොළ නිර්මාතෘ ලලින් ඇතුලත්මුදලි විසින් 1980 මහපොළ ලොතරුයිය ආරම්භ කළේ මෙයට දායක අරමුදල් එකතු කිරිමටය.
එදා මාස තුනක් ටිකට් පත් විකුණා අරමුදලට රුපියල් මිලියන 7.5 කට ආසන්න මුදලක් එකතු කර ගැනීමට හැකිවිය. 1981 පෙබරවරි 23 වැනිදා පුද්ගලික භාරයක් ලෙස ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ස්ථාපිත වූයේ ස්වාධින ආයතනයක් ලෙස දේශපාලනයෙන් තොරව මෙය පවත්වා ගෙන යාමේ එකම අරමුණ ඇතිවය. මෙහි පළමු ශිෂ්‍යත්වලාභියා ලෙස යු. ඩී ජයරත්න 1981 නොවැම්බර් 14 ප්‍රථම මහපොළ ශිෂ්‍යත්වය වශයෙන් ලබා ගත්තේ රුපියල් 350 ක මුදලකි. අගවිනිසුරුවරයා මහපොළ අරමුදලේ සභාපතිතත්වය දැරීම හේතුවෙන් කිසිවෙකුත් මෙහි අභ්‍යන්තර කටයුතු වලට අත ගසන්නට ගියේ නැත. එය ස්වාධින වු අතර මෙම අරමුදලේ ස්ථාවල තැන්පතුවල ලාභාංශවලින් ලබාදෙන ශිෂ්‍යත්ව මුදල තීරණය කෙරුණි.
1983 වසරේ සිට මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙත මූල්‍ය දායකත්වය ලබාදෙන රජයේ එකම ආයතනය සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිහිටුවීම සඳහා ජනාධිපති අරමුදල හා මහපොළ අරමුදල ලබාදුන් මූල්‍ය අත්තිවාරම හේතුවෙන් එහි ලාභාංශයන් සෘජුවම ජනාධිපති අරමුදලට දායක කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ව්‍යවස්ථාපිත කාර්යයකි. එම මුදල් තුළින් 50% ක් මහපොළ භාරකාර අරමුදලට බැර කිරීම ජනාධිපති අරමුදල හරහා සිදුකරනු ලබයි. ඒ අනුව වාර්ෂිකව රුපියල් බිලියන 1.2 ක් සංවර්ධන ලොතරුයි මණ්ඩලය හරහා ලැබෙයි.
“මහපොළ භාරකාර අරමුදල කියන්නේ පිරිසුදුව පවත්වා ගෙන යන ආයතනයක්. 1981 අංක 66 දරන පනතට අනුව මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා පත්කිරීම සිදු කෙරෙනවා. අගවිනිසුරුවරයෙකු විශ්‍රාම යයි නම් අලුතින් පැමිණෙන අගවිනිසුරුවරයා සිය කැමැත්ත ඇතිව හෝ නැතිව මෙහි සභාපතිත්වය දරනවා.
නමුත් දැන් මේ පනත වෙනස් කිරීමේ සූදානමක් තියෙනවා. එසේ කිරිම මෙහි ස්වාධීන්ත්වයට හානියක්. එදා ඇතුලත්මුදලි මහතාවත් මෙහි සභාපතිත්වය ලබා ගත්තේ නැත්තේ මෙහි ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු නිසා.
ඇමැති බන්දුලගෙන් ඉදිරි සතියකදී පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
මෙම පනතේ යම් දෙයක් යාවත්කාලීන කිරීම මිස වෙනස් කිරීම නොකළ යුතුයි. එසේම දේශපාලඥයින් අතට මෙහි පාලනය නොයා යුතුයි. ආරම්භයේ සිට පැවැති ස්වාධිනත්වය වසර 40 කට පසු වෙනස් කිරීමට යාම පිටුපස ගැටලුවක් තිබිය යුතුයි. ....“ ඒ මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුළත්මුදලිගේ සම්බන්ධීරණ ලේකම් හා ජාතික ලොතරුයි මණ්ඩලයේ හිටපු සභාපතිනි නීතිඥ නීතිශ්‍යාමිලා ප්‍රනාන්දු ය.
කෙසේ වෙතත් මහපොළ පනත වෙනස් කිරීමේ සූදානම පිළිබඳ වෙෙළඳ ඇමැති වන බන්දුල ගුණවර්ධනගෙන් සිළුමිණ කළ විමසීමේදී ඇමැතිවරයා සඳහන් කළේ මෙහි ඇතුළාන්තයේ සවිස්තර වාර්තාවත් අමාත්‍යාංශ ප්‍රකාශයක් ලෙස එළඹෙන සතියකදී පාර්මේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එසේම මේ ප්‍රශ්නය මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු තත්ත්වයක් බවද ඇමැති ආචාර්ය ගුණවර්ධන අවධාරණය කළේය.