කොරෝනා කාලේ උපන් සිවු­නි­වුන් දරු­වන්ට අවු­රු­ද්දයි | සිළුමිණ

කොරෝනා කාලේ උපන් සිවු­නි­වුන් දරු­වන්ට අවු­රු­ද්දයි

සිවු නිවුන් දරුවන්මෙලොව එළිය දුටු දා
සිවු නිවුන් දරුවන්මෙලොව එළිය දුටු දා

කොරෝනා වසංගතය මැද්දේ මීරිගම තරුණ යුවළකට දාව කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවන් සිය ජීවන ගමනේ පළමු වසර සමරයි.

මීරිගම ලින්දර ආර්.එම්. පී. තිළිණි සුබසිංහ 28 හා මීරිගම කැප්පිටිවලානේ තරිදු කසුන් ලක්රුවන් 29 යුවළගේ සිව් නිවුන් දරුවන්වන යෙතුල මෙත්මුතු, මෙතුල ලක්මුතු, යෙනුල්යා දම්සුවි, තෙනුල්යා දම්සකි පසුගිය 22 වැනිදා කැප්පිටිවලාන නිවසේදී සිය පළමු උපන් දිනය සමරනු ලැබුයේ සංඝගත දක්ෂිණාවකට එක්වෙමිනි.

මහ සංඝරත්නය හමුවේ දන් පිළිගැන්වීමෙන් පසු සෙත් පිරිත් දේශනා කර පිරිත් නූල් බාද ආශීර්වාද කර සිඟිත්තන් සිවුදෙනාගේ ජීවන ගමන යහපත් එකක්ම වේවා යැයි මහ සගරුවන ප්‍රාර්ථනා කළහ.

දරුවන්ගේ මව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන අතර පියා පෞද්ගලික ආයතනයක තාවකාලික රැකියාවක නිරතව සිටී. ඔවුන් විවාහවී දෙවසරකින් දරු සුරතල් බලන වරම් ලැබීය. ඉකුත් වසරේ ජූලි මස විසිදෙවැනි දා කොළඹ ද සොයිසා රෝහලේ දී පුතුන් දෙදෙනෙකු හා දියණියන් දෙදෙනකු මෙලොවට බිහි කළේ පුරා මාසයක් තිස්සේ රෝහල්ගතව සිටීමෙන් අනතුරුවය. දරුවන් ලැබීමෙන් පසුව ද වෛද්‍ය උපදෙස් මත දරුවන්ගේ මූලික ප්‍රතිකාර සඳහා තවත් මාසයක් ඇයට රෝහලේ ගත කරන්නට සිදුව තිබිණි.

දරුවන් සිවුදෙනා දෙමවුපියන් සමග

අනාගත රටට වටිනා දරු පරපුරක් ලබා දෙන්නට තමන් ට ලැබුණු අවස්ථාව ඔවුන් අගය කරන අතරම දරුවන් සිවු දෙනකු බලා කියා ගැනීමේ බාරදූර කටයුත්තකට ද ඇය සහ සැමියා මුහුණ දී සිටී. කුමන දුක් කරදර ඇතත් දරුවන් ලොකු මහත් කිරීමේ වගකීම තමන් සහ සැමියා දෙමවුපියන්ගේ සහය ඇතිව ඉදිරියට ගෙන යන්නට ඔවුන් සූදානම්ය.

තමන්ගේ සැමියාට රජයේ ස්ථිර රැකියාවක අවස්ථාවක් ලැබෙන්නේ නම් ඒ තම දරුවන් වෙනුවෙන් කරනා මහඟු උපකාරයක් වනු ඇති බව වසරක් තිස්සේ ඇය කළ ඉල්ලීම මෙතෙක් බලධාරියකුගේ ඇස නොගැටීම මහත් කණගාටුවට කරුණක් වී ඇත. ඇය සඳහන් කරන්නේ කාගේ හෝ ආධාරයක් ලබා ගන්නවාට වඩා තමන් දෙපලගේ දහඩියෙන් මහන්සියෙන් දරුවන් ලොකු මහත් කරන්නට ඔවුන් දැඩිසේ අදහස් කරනා බවයි.

මොන අභියෝග පැමිණියත් දරුවන් ගේ අනාගතය සැපවත් කරනු සඳහා ඔවුන් ඔවුන්ගේ දිවිය කැප කරන්නට සැරසී සිටී. කුමන බාධක පැමිණියත් දරුවන් ලොකු මහත් කර රටේ අනාගතය බාර කරන්නට ඔවුන් ගේ ජීවිතය සුඛිතවත් කරන්නට තමන් සැමියා හා එක්ව කටයුතු කරන්නට ඇප කැපව සිටින බව ද තරුණ මව සඳහන් කළාය.

Comments