කෝප් ගැන හෝප් | Page 2 | සිළුමිණ

කෝප් ගැන හෝප්

 

1979 වර්ෂයේ ජූනි 21 වැනි දින ස්ථාපනය කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන කාරක සභා වර්ග ද්විත්වය අතුරින් විශේෂ කාර්යයන්

සඳහා වන කාරක සභාවකි. එසේ ආරම්භ වූ කෝප් කමිටුවේ පළමු සභාපතිවරයා වන්නේ ජෝර්ජ් අබේගුණසේකරය. ඉන් අනතුරුව එම්. එස්. අමරසිරි, ජේ.ඒ.ඊ. අමරතුංග, විමල් වික්‍රමසිංහ, රොහාන් අබේගුණසේකර, ඩී.පී. වික්‍රමසිංහ, විශ්වා වර්ණපාල, රෙජී රණතුංග, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, රෝහිත බෝගොල්ලාගම, විජේදාස රාජපක්ෂ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඩිව් ගුණසේකර, සුනිල් හඳුන්නෙත්ති මෙහි සභාපතිවරුන් ලෙස කටයුතු කර ඇති අතර වර්තමානයේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ය. ඔහුගේ සභාපතිත්වය යටතේ විවිධ අමාත්‍යාංශවල ආන්දෝලනාත්මක විමර්ශන ගණනාවක් විභාගයට ගැනුණි. එහිදි සොයාගත් විවිධ අක්‍රමිකතා මෙන් ඊට ලබා දුන් විසඳුම් සමහරක් මෙසේය.

 

මහපොළ භාරකාර අරමුදල

 

සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් වූ මුදල් අවභාවිත කරමින්, රුපියල් බිලියන 20 ක පමණ මුදලක් මහපොළ භාරකාර අරමුදලට අහිමි කරමින් සාවද්‍ය කරුණු මත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මාළඹේ අක්කර 25 කින් යුතු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යහපාලන රජය සමයේ පවරා ගැනීමේ විශාල අක්‍රමිකතාවක් හෙළිදරවු වූයේ කෝප් කමිටුව හරහාය.

මේ සම්බන්ධව අධ්‍යයනය කළ කොප් කමිටු වාර්තාව හා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම් වාර්තාවද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

 

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

 

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ විගණකාධිපති වාර්තා පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වූ කාරක සභා රැස්වීමේදි අනාවරණය වූයේ සිනමාහල් ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ප්‍රමිතියෙන් තොරවීම නිසා ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවකි.

2020 වසරේ දෙසැම්බර් 31 දිනට ජාතික චිත්‍රපට සංස්ථාව හා අරමුදල විසින් ලබා දී තිබූ, අයකර නොගත් චිත්‍රපට නිෂ්පාදන ණය ශේෂය රුපියල් 14,12,92,087 ක් බවද හෙළි විය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරය හා සිනමා පාසල නියමිත කාලය තුළ වැඩ අවසන් නොකිරීම, කැලණියේ පිහිටි සරසවි චිත්‍රාගාරයේ නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රු.මිලියන 25 ක් සහ චිත්‍රපට සං‍රක්ෂණාගාරය පිහිටුවීම හා චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනය සඳහා රු.මිලියන 50ක් වෙන්කර තිබුණද එම මුදල උපයෝජනය කර නොතිබූ අතර, ජාතික පුහුණු පාසලක් පිහිටුවීම සඳහා වෙන්කර තිබූ රු.මිලියන 50න් රු.500,000 ක් පමණක් වැය කර තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

2017 මාර්තු පැවැත් වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල සඳහා රු.44,394,717 ක් වියදම් කර තිබූ අතර, ඊට අදාළව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය නොකිරීම, මරදාන සිනේසිටි සිනමා ශාලාවෙන් 2003 වසරේ සිට 2016 මැයි 31 දින දක්වා අයවිය යුතු රු. 12,343,433 ක් චිත්‍රපට කුලිය , 2021 මාර්තු මාසය වන විටද අය කර නොගැනීම මෙහිදි අවධානයට නතු වූ අතර සභාපතිවරයා විසින් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග ගැනද දැනුම්වත් කළේය.

 

ලිට්‍රෝ ගෑස් සමාගම

 

කොප් කමිටුව විසින් සිදුකරන ලද තවත් විශේෂ හෙළිදරව්වක් වූයේ ලිට්‍රෝ ගෑස් සමාගමය.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කමිටුවෙන් උපදෙස් ලැබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධනයට අනුව මෙම සමාගම රජයේ විගණනයට ලක් කළ නොහැකි බව සඳහන් කළ නිසා මෙම ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් වැළකී සිටීම සුදුසු බව සභාපති මහාචාර්ය චරිත හේරත් පැවැසුවද, කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙම ආයතන දෙකේ කොටස් වලින් 99% ක අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු වන බැවින් මෙම ආයතන රජයේ විගණනයට ලක් විය යුතු බවයි.

 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

 

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2021 වසරේ මැයි මස 31 වැනි දිනට පුරප්පාඩු 688 ක් පවතින අතර, ඒවා කඩිනමින් පිරවීමටද කෝප් කමිටුව පසුගියදා එම අධිකාරියට දැනුම් දුන්නේය.

ආයතනයේ ඉහළ කළමනාකරණය මට්ටමේ තනතුරු පුරප්පාඩු 154 ක් පවතිත්දී, අතිරික්ත තනතුරු 46 පැවැතුණෙ ඇයිද යන්නත්, තෘතීය මට්ටමේ තනතුරු පුරප්පාඩු 116 ක් පවතින අතර, අතිරික්ත තනතුරු 218 ක් පවතින්නේ කෙසේද යන්නත් කෝප් කමිටුවේ ප්‍රශ්න කළේය. මේ අතර අධිකාරියට බඳවා ගත් පුහුණු නිලධාරින් 3700 ක් වෙනුවෙන් 2017 / 2019 කාල සීමාව තුළ රුපියල් මිලියන 583 ක වැටුප් ගෙවා ඇති බව මෙම කෝප් කාරක සභාවේදී අනාවරණය විය. මීට අමතරව කොළඹ ඩාර්ලි පාරේ ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම් ගත වුවද, 2016 වසරේදී කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු නොකර එම ඉඩම් අදාළ පෞද්ගලික ආයතනය වෙත 2006 වසරේදී ගිවිසුම් ගත මිල වූ රුපියල් මිලියන 812 ක විකුණා තිබූ බව කාරක සභාවේදී අනාවරණය විය. මෙම ඉඩමේ භුක්තිය නැවත පවරා ගැනීම වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කාරක සභාවට දැන්වීය. මෙම ආයතනයේ වසරක ණය අයවීමේ ප්‍රතිශතය සියයට 60 ක මට්ටමේ පවතින අතර, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැන්වීය.

 

පාපන්දු සම්මේලනය

 

පාපන්දු සම්මේලනයේ විධායක සභාවට ඡන්දයෙන් සාමාජිකයන් 10 දෙනෙකු පත් කළද සභාපතිවරයා විසින් තවත් සාමාජිකයන් 18 දෙනෙකු පත්කිරීම සම්බන්ධව විමසීමට එහි සාමාජිකයින් කෝප් කමිටුවට කැඳවූයේ පසුගිය දිනකය.

එසේම පාපන්දු සම්මේලනයේ එළඹෙන නිලවරණය සඳහා නිලවරණ කමිටු සභාපතිට රු 750,000 ක මුදලක් ද අනෙකුත් සාමාජිකයන් දෙදෙනාට සහ රු. 600,000 බැගින්ද ලබා දෙන බව මෙහිදී අනාවරණය වූ අතර මෙය කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

තවද කළුතර පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය මඟින් පරිත්‍යාග කළ යූරෝ 40,400ක් (රු.මිලියන 6කට ආසන්න මුදලක්) හිටපු සභාපතිවරයා විසින් සිය පෞද්ගලික ගිණුමකට බැරකර තිබීම පිළිබඳව ද ආසියානු පාපන්දු සම්මේලනය මඟින් තරග පැවැත්වීමට ලබා දුන් ඩොලර් 60,000ක් (රු.මිලියන 6කට ආසන්න මුදලක්) ද පෞද්ගලික සමාගමක් මඟින් සුනාමියෙන් විපතට පත් අයට නිවාස 20ක් ඉදිකිරීම සඳහා ලබා දුන් රු මිලියන 10ක මුදලක් හා ආසියානු පාපන්දු සම්මේලනය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක් පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු විසින් අවභාවිත කිරීම පිළිබඳ කමිටුවේ අවධානය යොමුවිය.

එබැවින් වහාම වත්මන් සභාපතිවරයා සහ හිටපු සභාපති කැඳවා මේ පිළිබඳ විමර්ශනය කළ යුතු බව කෝප් කමිටුව අවධාරණය කළේය.

 

රිදියාගම ගොවිපොළ

 

රිදියාගම ගොවිපොළ 2017 හා 2018 වසර වල රුපියල් මිලියන 173 ක් පාඩු ලබන මට්ටමට පත්ව ඇති බව කෝප් කාරක සභාවේදී හෙළිවිය.

ගවයින් සඳහා රුපියල් 508,793,160 ක වටිනාකමකින් යුත් ආහාර මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියට පටහැනිව ක්‍රියා කර තිබීම , ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2017 වසරේ සිට 2020 වසර දක්වා වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර එම වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද සභාපති මහාචාර්ය චරිත හේරත් දැනුම් දුන්නේය.

මෙහිදී අංශ කිහිපයකම පැවැති අඩුපාඩු විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකිවිය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවිම් ලැබුණු අතර එහි ප්‍රසම්පාදන කටයුතු අවධිමත් බවත්, එය විධිමත් කළ යුතු බවත්, ක්‍රීඩා පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් නිර්දේශ විය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව මහාචාර්ය චරිත හේරත් මෙහිදී පෙන්වා දුන් අතර 2018 වසරේදී දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29 ක මුදල මෙතෙක් අයකර නොගෙනීම, එම මුදල ඩයමන් චැනල් නම් ඇමෙරිකානු ජාතිකයෙකුගේ ගිණුමකට ඇතුළත් වූ ආකාරය කාරක සභාවේදී අනාවරණය විය. එවැනි අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරීන්ට කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

 

පේරාදෙණිය පශ්චාත් විද්‍යා උපාධි ආයතනය

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාව කෝප් කමිටුවේදී අනාවරණය වීම ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් විය.

පේරාදෙණිය විශ්වවිද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක් 2009 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ අවසන් කර, ලබා ගත් රුපියල් මිලියන 93 (රුපියල් 93,287,025) ක මුදලින්, රුපියල් මිලියන 37 ක් (රුපියල් 37,948,865) ක් පමණක් නව ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර රුපියල් මිලියන 50 (රුපියල් 50,338,160) ක මුදලක් ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරීවරයා විසින් වංචා සහගත ලෙස පෞද්ගලිකව මුදලින් ලබාගෙන මූල්‍ය වංචාවක් සිදු කොට ඇති බවත් වාර්තා විය.

 

අලි මිනිස් ගැටුම්

 

අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා වසර 2019 දී සහ වසර 2020 දී රුපියල් 49 කෝටියක් වැය කර තිබුණද අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුවී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා 2019දී විදුලි වැට ඉදිකිරීමට වැය කරන ලද වියදම රුපියල් 275,447,639 කි. එමෙන්ම වසර 2020 දී ඒ සඳහා වැය කළ මුදල රුපියල් 221,505,818 කි. මෙම මුදල වැය කොට ඉදි කරන ලද විදුලි වැටේ සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 4,756ක් වේ.

 

නැඟෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතිය හා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය

 

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JAICA) ආයතනයේ අධාර මත 2013 දී සිදු කළ නැඟෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා DI පයිප්ප සහ උපාංග ‍ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් 62,499,656 ක මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදුවී ඇති බව පසුගියදා කාරක සභාවේදී අනාවරණය විය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සඳහා අවශ්‍ය වන ගල් අඟුරු සැපයීමට රාජ්‍ය ආයතන 04ක කොටස් අයිතියෙන් යුත් Lanka Coal Company (Pvt) Ltd ආයතනය පිහිටුවා තිබිණි. එම ආයතනය විසින් 2016 දී ගල් අඟුරු ආනයනය කළ අවස්ථා 66කදී එකී ගල් අඟුරුවල CIF වටිනාකම පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අඩුවෙන් අය කර ගෙන තිබූ රුපියල් මිලියන 187කට ආසන්න වැට් බද්ද සම්බන්ධයෙන් කෝපා කමිටුවේදී සාකච්ඡාවට ලක්විය.

 

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

 

‘’මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව’’ ක් නොපිහිටුවීම මෙන්ම මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 6-8 අතර ප්‍රමාණයක් මිය යන බවත් 2007 සිට 2016 දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25,607ක් මියගොස් ඇති බවත් කමිටුව අවධාරණය කරන ලදී.

 

Comments