ගව ඝාත­නය තහ­නම් කැබි­නට් අනු­මැ­තියත් හිමිවේ | සිළුමිණ

ගව ඝාත­නය තහ­නම් කැබි­නට් අනු­මැ­තියත් හිමිවේ

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ යෝජනාවකට අනුව ගව ඝාතනය තහනම් කිරීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය වසරේ ය.

 

ගව ඝාතනයට අදාළ 1893 අංක 09 දරන ගව ඝාතන ආඥා පනත, 1958 අංක 29 දරන සත්ත්ව පනත සහ දැනට රට තුළ බලාත්මකව පවතින ගව ඝාතනය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන විසින් සම්මත කරනු ලැබූ වෙනත් නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමට මේ වන විට කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර තිබේ. නව රෙගුලාසි යටතේ ගවමස් පරිභෝජනය කරන ජනතාවට අවශ්‍ය ගවමස් ආනයනය කිරීමටත් වයස්ගත ගවයන් සඳහා වෙනම වැඩපිළිවෙළක් සකස් කිරීමටත් තීරණය කර ඇත.

හින්දූන් විසින් ගවයා දේවත්වයෙන් සලකද්දි සිංහල බෞද්ධ ජනතාව විසින් ගවයාව සලකනු ලබන්නේ “දෙවැනි කිරි අම්මා“ යනුවෙනි. “එපා එපා මස් කන්නට කිරි අම්මාගේ“ යනුවෙන් නිහාල් නෙල්සන් ගායකයා ගී ගැයුවේ ද ඒ නිසා වන්නට ඇතිය. ගවයාගේ කිරි, ගොම පමණක් නොව හම පවා ප්‍රයෝජනයට ගැනීමත් කුඹුරුවැඩට සහ කරත්ත ඇදීමට ගවයා යොදා ගැනීමත් නිසා ඊට කෘතඥතාව දක්වනු පිණිස වැඩිදෙනකු ගවමස් පරිභෝජනය කරන්නේ නැත. එහෙත් වැඩගෙන අවසානයේදී මහලු වූ ගවයන්ව මස් කඩයට දක්කන අය ද නැතුවා නොවේ.

2013 මැයි 24 දිනට යෙදුණු වෙසක් පොහෝ දින මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී බෝවත්තේ ඉන්ද්‍රසාර හිමි ගිනි තබාගෙන සිය දිවි හානි කර ගත්තේ ගව ඝාතනයට විරෝධය දක්වමිනි.

“ගවයා කියන්නේ අපේ දෙවැනි කිරිඅම්මා. ඉන්දියාවේ ගවයා කියන්නේ දේවත්වයෙන් සලකන සතෙක්. අපි දේවත්වයෙන් නොසැලකුවත් කළගුණ සලකන්න පුරුදු වෙන්න ඕනෑ. අපි කිරි ටික ගොම ටික අරගෙන සේරම වැඩත් අරගෙන අන්තිමට මරාගෙන කනවා. ඒක මොන තරම් තිරිසන් ක්‍රියාවක් ද? අපි බොහෝ කාලයක ඉඳලා ගව ඝාතනයට එරෙහිව හඬ නැඟුවා. ඒත් කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. අගමැතිතුමා ගව ඝාතනය තහනම් කිරීමට පියවර ගැනීම ඉතාමත් හොඳ දෙයක්. අපේ ගව සම්පත රැක ගත යුතුයි. ගව ඝාතනය තහනම් කිරීම වෙනුවෙන් අගමැතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි. සමස්ත ජනතාවගේ ගෞරවය හිමි විය යුතුයි.“ යනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. උන්වහන්සේ ගව ඝාතනයට විරුද්ධව කාලයක් පුරා කටයුතු කරන අයෙකි.

කවදත් අපේ රටේ ගව ඝාතනයට එරෙහිව නැඟී සිටියේ සිංහල බෞද්ධ ජනතාව ය. අනාදිමත් කාලයක පටන් ගොවිතැනින් දිවි සරි කර ගත් සිංහල බෞද්ධ ජනතාව සමඟ ගවයා ද නිරන්තරයෙන් බැඳී සිටීම ඊට හේතු වූවා විය හැකිය. අපේ රටේ අතීතයේ විසූ අය ගවමස් පරිභෝජනය කළේ නැත. එය අපට පුරුදු වූයේ යටත්විජිතකරණයත් සමඟිනි. අනගාරික ධර්මපාලතුමා ද “ගවමස් නොකනු“ යනුවෙන් හඬක් නැඟුවේ පරගැති සිරිතට විරිතට විරුද්ධ වූ නිසාය. හින්දු භක්තිකයන් ගවමස් පරිභෝජනයට නොගන්නේ ඔවුන්ගේ දෙවියන්ගේ වාහනය ගවයා වන බැවිනි. මේ අනුව ගව ඝාතනය තහනම් කිරීම නීතිගත කිරීමෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ මෙරට ජීවත් වන මුස්ලිම් ප්‍රජාවටය. මේ පිළිබඳව මුස්ලිම් පූජකවරයකුගෙන් විමසුවේ එබැවිනි.

“අපේ නායකතුමා තමයි මොහොමඩ් නබිතුමා. මොහොමඩ් නබිතුමා ඉතාමත් පැහැදිලිව සඳහන් කර තිබෙනවා අපි කුමන රටක ජීවත් වුණත් රටේ නීතිය පිළිපදින්න කියලා. ඒනිසා රට තුළ යම් නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් ඊට අපි අවනත වෙනවා. අපි එය ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ.“ යනුවෙන් අදහස් දැක්වූයේ ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, අල්හාජ් ආචාර්ය හසන් මවුලානා පූජකතුමා ය.

ගව ඝාතනය නීතිගත කර ඇති 1893 අංක 09 දරන ආඥා පනතට අනුව සතුන් මැරීමට සහ මස් වෙළඳාමට බලපත්‍රයක් තිබිය යුතුය. බලපත්‍රයක් සහිතව සතුන් ඝාතනය කළ යුත්තේ පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පමණි. එමෙන්ම සතුන්ට වේදනා දෙන ආකාරයට, පීඩාවට පත්වන ආකාරයට වාහනවලින් රැගෙන යෑම 1907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

1958 අංක 29 දරන සත්ව පනතට අනුව ගවයන් මැරීමට අවසර තිබෙන්නේ වයස අවු:1ට වැඩි පිරිමි ගවයන් සහ වයස අවු:12ට වැඩි ගැහැනු සතුන් පමණි. ගැබ්ගෙන සිටින එළදෙනුන් හෝ අභිජනන කටයුතුවලට යෝග්‍ය එළදෙනුන් මැරීම නීතියෙන් තහනම් කර ඇත. එහෙත් අන්ධ, අංගවිකල වූ හෝ කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගත නොහැකි වයස්ගත ගවයන් මරණයට පත් කිරීමට අවසර ඇත. මස් පිණිස ඝාතනය වන ගවයන් පශු වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කිරීම නීතිගත කර තිබෙන්නේ බෝවන රෝග හෝ ආසාදිත රෝගවලින් පෙළෙන ගවයන් මරා දැමීම වැළැක්වීමට ය. කෙසේ හෝ මෙම සත්ව පනත මඟින් මී ගවයන් මැරීම තහනම් කර ඇත.

සත්ව නිෂ්පාදන  හා ‍සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  මූලාශ්‍ර  ඇසුරිනි

ගව ඝාතනය තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙන්නේ කරුණු කීපයක් මූලික කර ගනිමිනි. සාම්ප්‍රදායික ගොවිතැන ආරක්ෂා කිරීම, දේශීය කිරි කර්මාන්තය නංවාලීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීම සහ ආනයනික කිරිපිටි සඳහා යන විදේශ විනියම අවම කර ගැනීම යන කරුණු එකී අරමුණු වේ. එහෙත් වර්තමානයේ කුඹුරු වැඩවලට මීගවයන් යොදා ගැනෙන්නේ නැත. කරත්ත භාවිතය ද නැති බැවින් එළගවයන් ඒ සඳහා යොදා ගැනෙන්නේ නැත.

එළදෙනුන්ගෙන් සහ මී දෙනුන්ගෙන් කිරි කර්මාන්තය වැඩිදියුණු කළ හැකි වුවත් කිරි සඳහා ඇති කරන එළදෙනුන් පිරිමි පැටවුන් ප්‍රසූත කළ විට එම පැටවුන්ට සිදු වන්නේ කුමක් ද? අනෙක, බොහෝ ගව හිමියන් එළදෙනුන් නඩත්තු කරනු ලබන්නේ ප්‍රසූත කරන පිරිමි පැටවුන් විකුණා උපයා ගන්නා මුදලිනි. නමුදු පිරිමි පැටවුන් විකුණා ගත නොහැකි වීමෙන් ගව හිමියා අසීරුතාවට පත් විය හැකිය.

ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු විරෝධතාවක් නොමැත. 70%ක් බෞද්ධ ජනතාව සිටින රටේ ගව ඝාතනය තහනම් කිරීම සතුටු විය හැකි කරුණකි. සතුන්ට අභයදානය දීම යහපත් ක්‍රියාවකි. එය ආගමික වශයෙන් සතුටුදායක වුවද ආර්ථික වශයෙන් ගැටලු මතු විය හැකිය. පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය එච්.එම්.ඩී.බී. හේරත්ගෙන් මේ පිළිබඳව අදහස් විමසුවේ එබැවිනි.

“අවුරුද්දට ලංකාවේ අලුතින් පැටවු ලක්ෂයක් විතර උපදිනවා. එයින් 50,000ක් වසු පැටවු. ඒ වසු පැටවුන් සහ වයසට ගිය කිරි දෙනුන් නඩත්තු කිරීමේ ප්‍රශ්නයක් මතු වෙනවා. මේ සතුන්ගේ ආහාර ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒත් අස්වැන්න නෙළා ගත් ගොවිබිම් පිරිසුදු කර ගැනීමට ගවයන් යොදා ගන්න පුළුවන්. ගව මුත්‍රා, ගොම පොළොවට එකතු කිරීමට ඉඩ හැරීමෙන් පොළව සාරවත් කරගන්න පුළුවන්. දැන් කාබනික පොහොරවලට යොමු වෙන මේ කාලයේ වස්සෝ අපිට සම්පතක්. ඒනිසා ගව ඝාතනය තහනම් කළාට ප්‍රශ්නයක් නැහැ.“ යනුවෙන් රාජ්‍ය අමාත්‍ය එච්.එම්.ඩී.බී. හේරත් පැවසුවේය.

කාබනික පොහොර සඳහා ගව මුත්‍රා සහ ගොම යොදා ගැනීමෙන් සශ්‍රීකත්වයක් ළඟා කර ගත හැකි බව සත්‍යයකි. එහෙත් ගවමස් පරිභෝජනය කරන්නන් වෙනුවෙන් ගවමස් ආනයනය කිරීමේදී අමතර පිරිවැයක් දැරීමට සිදුවේ. ආනයන සීමා පනවා ඇති මෙවන් කාලයක ගවමස් ආනයනය කිරීම රටට කොතරම් ගෝචර විය හැකිද යනුවෙන් අප සිතා බැලිය යුතුය. මස් පිණිස දිනකට ඝාතනය වන ගවයන්ගේ සාමාන්‍ය අගය 500කි. එයින් 300ක් මරණයට පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේය.

2019 වසරේ පමණක් නිෂ්පාදනය වූ ගවමස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29.87කි.

අනෙක අඹේවෙල කිරිදෙනුන්ගේ ආහාර සඳහා සරු තණබිම් හිඟයක් පවතිද්දී වයස්ගත ගවයන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථාන නඩත්තු කිරීම ප්‍රායෝගිකව කොතෙක් දුරට සාර්ථක වේදැයි සිතා බැලිය යුතුය. අවසානයේදී අයාලේ යන ගව ගහනය ඉහළ යා හැකි අතර උන්ගෙන් වගාබිම් පාළු විය හැකිය. එවිට ගොවියන්ට සිදු වන්නේ “අලි මදිවට හරක්“ යනුවෙන් පැවසීමට ය.

“අපේ රටේ නීතියට අනුව වයස අවු:12 ඉක්මවූ එළදෙනුන් මරන්න අවසර දීලා තියෙනවා. ඒත් ඊට වඩා අඩු වයසෙ එළදෙනුන් මරන බව අපිට වාර්තා වී තියෙනවා. එහෙම වුණාම කිරි නිෂ්පාදනය පහත වැටෙනවා. ඒනිසා ගවයන් මැරීම සම්පූර්ණයෙන් නවතා දැමීම තුළින් කිරි නිෂ්පාදනය වැඩිදියුණු කර ගැනීමට හැකිවෙනවා. එතනදි ගවයන්ගේ පිරිමි සතුන් ගැන ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ සඳහා අපි රජයට යෝජනා කර තිබෙනවා ගවයන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථාන ඇති කිරීමට. අනෙක දැන් කුඩා ගොවිපොළවල්වල අභිජනන කටයුතු බොහෝදුරට සිද්ධ වෙන්නේ කෘත්‍රිම සිංචනය මඟින්.

දැන් ලෝකයේ තිබෙනවා ගෑනු සත්තු විතරක් බිහි කළ හැකි ආකාරයේ තාක්ෂණයෙන් දියුණු කෘත්‍රිම සිංචන ක්‍රම. ඒනිසා අපි රජයට යෝජනා කරනවා ඒ විදිහේ තාක්ෂණයෙන් දියුණු කෘත්‍රිම සිංචන ක්‍රම මෙරටට හඳුන්වා දෙන්න කියලා. එවිට ගවයන්ගේ පිරිමි ගහනය අඩු කරගන්න පුළුවන්.“ යනුවෙන් සඳහන් කළේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල ය.

ගව ඝාතනය තහනම් කිරීම හොඳ දෙයකි. එහෙත් හොර රහසේ හරක් මැරීම ඉහළ ගියහොත් ඉන් සිදුවන්නේ අවැඩකි. අප එසේ කියන්නේ නීතියෙන් කොතරම් තහනම් කර තිබුණත් හොර මත්පැන් පෙරීම, ගණිකා වෘත්තියේ යෙදීම අදටත් හොර රහසේ සිදු වන නිසාය.

 

Comments