ජන­ග­හ­න­යෙන් ඉහළ ප්‍රති­ශ­ත­ය­කට එන්නත | සිළුමිණ

ජන­ග­හ­න­යෙන් ඉහළ ප්‍රති­ශ­ත­ය­කට එන්නත

 

කොව්ඩ් ආසාදිත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 196 ඉක්මවා ඇති අතර කොවිඩ් ආසාදිත ‍ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 41කට අධිකය. ඉකුත් 28 වැනිදා මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගියේය. පසුගිය සති කිහිපය තුළ මෙරට වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දෙදහසට අඩු මට්ටමක පැවතියත් ඉකුත් 29 වැනිදා වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දෙදහසේ සීමාව පසු කළේ ආසාදිතයන් 2,370ක් වාර්තා කරමිනි.

 

එය සුළුකොට තැකිය හැකි තත්ත්වයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසූ අතර දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 2500 දක්වා වැඩිවුවහොත් ඉකුත් මැයි මාසයේදී ඇති වූ බරපතළ තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි. එබැවින් සියලු දෙනා සෞඛ්‍ය නීතිරීති දැඩිව පිළිපැදිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර පවතින කොවිඩ් අවදානම නොසළකා හරිමින් ඇතැම් පාර්ශ්ව කටයුතු කිරීම හේතුවෙන් උද්ඝෝෂණ හා පුද්ගල එක්රැස්වීම් අවම කිරීම සඳහා ඉදිරියේදී කොන්දේසි පැනවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.

පවතින තත්ත්වය තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අධි අවදානමකට ලක්ව සිටින බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මේ දක්වා මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වන අතර එය 75.3 % ප්‍රතිශතයකි.

 

ශ්‍රී ලංකාව  එන්නත්කරණයෙන් ඉදිරියට

 

 

ඉකුත් සතිය තුළ මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් 85%ක්ම එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන් බව අනාවරණය වී ඇත. එම සතියේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 95%ක පිරිසක් කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයන් වන අතර එම ආසාදිතයන්ගෙන් 22%ක් ලබාගෙන ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක් පමණි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස අතුරින් ද පසුගිය සතියේ ආසාදිතයන් වාර්තා වූ නමුත් එය 3%ක් තරම් අඩු ප්‍රතිශතයකි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ රජය එන්නත් ලබාගැනීමට කොපමණ පහසුකම් සැපයුවත් 1% පමණ ප්‍රතිශතයක් එය ප්‍රතික්ෂේප කරන බවයි.

ලබන සැප්තැම්බර් 15 වැනිදා වන විට වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාට එන්නත්කරණය සිදු කර අවසන් කරන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පැවසීය. වයස අවුරුදු 18-30 අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය.

Comments