
කොස්ගොඩ දූවේ මෝදර ගඟේ දිය නෑමට ගිය නිවුන් දරුවන් දෙදෙනකුත් දරුවන්ගේ සීයාත් දියේ ගිලී මරණයට පත්වීමේ අනුවේදනීය සිදුවීම වාර්තා වූයේ පසුගිය 11 වැනිදාය. දියේ ගිලීමෙන් මරණයට පත්වන මෙවැනි ශෝකජනක පුවත් අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. සෑම වසරකම මෙරට දියේ ගිලීමෙන් මරණයට පත්වන පිරිස 800 ක් පමණ වන බව හඳුනාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව 2019 වසරේ පමණක් දියේ ගිලීමෙන් මුළු ලොව මිය ගිය සංඛ්‍යාව 2,36,000 කි. එහෙත් බෝවන රෝගවලින් මරණයට පත්වීම, බෝ නොවන රෝගවලින් මරණයට පත්වීම, රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වීම ගැන කොතෙකුත් කතා කළ ද දියේ ගිලීමෙන් මරණයට පත්වීම කෙරෙහි කිසිවකු කතා කරන්නේ නැත. ඒ කෙරෙහි එතරම් අවධානයක් යොමු කෙරෙන්නේ ද නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම ජූලි 25 වැනි දිනය ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ලෙස මෙම වසරේ අප්‍රේල් 28 වැනි දින ප්‍රකාශයට පත් කළේ එම නිසාය. පසුගිය ජූලි 25 වැනිදා සමරනු ලැබුවේ ප්‍රථම ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනයයි.
ගෝලීය වශයෙන් දියේ ගිලීමෙන් වැඩිපුරම මරණයට පත් වෙන්නේ වයස අවු: 1 - 4 අතර ළමුන් වන අතර, අවු: 1 - 9 ත් අතර ළමුන් අතර මරණ සඳහා ප්‍රධානතම හේතුව ලෙස දියේ ගිලීම බව හඳුනාගෙන ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ දියේ ගිලී මිය යන බහුතරය වයස අවු: 21 - අවු: 60 ත් අතර අය වෙති. ඔවුන් රටේ ආර්ථික වශයෙන් ඵලදායි වයස් කාණ්ඩයට අයත්වීම විශේෂයකි.
“අපේ රටේ දියේ ගිලී මිය යෑමට හේතු ගොඩාක් බලපා ඇති බව අපි හඳුනාගෙන තියෙනවා. නොසැලකිලිමත්කම, මත්පැන් පානය, ආරක්ෂිත කබා ඇතුළු උපකරණ භාවිත නොකිරීම, අනාරක්ෂිත ක්‍රියාකාරකම් යනාදී කරුණු රැසක් මෙම මරණවලට හේතුවී තිබෙනවා. සමහරු සෙල්ෆි ගහන්න ගිහින් වතුරට වැටිලා මැරෙනවා. වෙඩින් එකේ Pre - Shoot එකකට ගිහින් තරුණයෙකු මරණයට පත්වීම කාටත් මතක ඇති. ඒවා අනාරක්ෂිත ක්‍රියාකාරකම් නිසා සිදුවූ මරණ වශයෙන් සලකන්න පුළුවන්. අද ගොඩාක් තරුණයින් මත්පැන් පානය කරලා ගඟේ මුහුදේ නාන්න යනවා. මත්වීම එක්ක ඒ අයට පිහිනන්න බැරිව යනවා. ක්‍රියාකාරිත්වය හීන වෙනවා. සමහරුන් නොගැඹුරු දියේ වැටුණාම මත් ගතිය නිසා නැගිට ගන්න බැරිව මිය යනවා. තවත් අය මිය යන්නේ පිහිනීමේ හැකියාවට වඩා චිත්ත හැකියාව රැවටීම නිසයි. පිහිනීමට එන ආධුනිකයන් අනෙකා පරදවා ජය ගැනීමේ අදහසින්, වීරත්වය පෙන්වීමේ අදහසින් තම ශක්තියට වඩා පිහිනාගෙන යනවා. ඒත් ආපසු එන්න බැරිව ගිලෙනවා. තවත් අය කෙණ්ඩා පෙරළුණාම බිය වෙනවා. පිහිනන්න පුළුවන් වුණත් අතින් පිහිනාගෙන ගොඩට එන විදිහ ගැන හිතන්නේ නැහැ” යනුවෙන් දියේ ගිලී මරණයට පත්වීමට බලපාන සාධක ගැන විස්තර කළේ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති, අසංක නානායක්කාර ය.
1947 දී ආරම්භ වූ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය ලංකාවේ ජීවිතාරක්ෂක භටයින් පුහුණු කරන ප්‍රධාන මධ්‍යස්ථානය වේ. මේ වනවිට ලංකාවේ සිටින ජීවිතාරක්ෂක භටයින් ගණන 2300 ක් පමණය. සෑම දිනකම හික්කඩුව, ගල්කිස්ස, වැල්ලවත්ත, ගාල්ල, පාසිකුඩා, ත්‍රි:මලය, මීගමුව වැනි ස්ථාන ගණනාවක ජීවිතාරක්ෂක භටයෝ සේවයේ නිරත වී සිටිති. සති අන්තයේදී සේවයේ නිරතවන පිරිස වැඩි වන අතර විශේෂ අවස්ථාවලදී ජීවිතාරක්ෂක භටයින්ගේ සේවය වැඩි කෙරේ. නිදසුනක් ලෙස පොසොන් කාලයේදී අනුරාධපුර ප්‍රදේශයේ වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක භටයින් වැඩි වශයෙන් ස්ථානගත කිරීම දැක්විය හැකි ය. ජීවිතාරක්ෂක භටයින් විසින් ජීවිත බේරා ගන්නා ප්‍රමාණය 300 ක් පමණ වේ.
“දියේ ගිලෙන්නට යන කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම උතුම් දෙයක්. ඒත් ඒ තැනැත්තා මරණයෙන් ගැලවුණත් පසුකාලීනව විවිධ ආබාධවලට ගොදුරු වෙන්න පුළුවන්. දියේ ගිලී සිටි කාලය තුළ මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හෝ නොලැබී යෑම නිසා ඔවුන්ගේ මතකය සම්බන්ධ ගැටලු මතු වෙන්න පුළුවන්. ඉගෙනීමේ දුර්වලතා සිට මූලික ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් නැතිවීම දක්වා දිගුකාලීන ආබාධවලට හේතුවෙන්න පුළුවන්. දියේ ගිලීම මහජන සෞඛ්‍ය ගැටලුවක් විතරක් නොවෙයි. එය සමාජ හා ආර්ථික ගැටලුවක් බවටත් පත් වෙනවා. එය සංවර්ධනයට අභියෝගයක් වෙනවා.” යනුවෙන් බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පැහැදිලි කළේය.
දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගත යුත්තේ එබැවිනි. මේ සඳහා පහත සඳහන් උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් ය.
* ආහාර ගත් විට දියට නොබසින්න.
* කුසගින්නේ සිට දියට නොබසින්න.
* ශාරීරික ආබාධයක් හෝ රෝග තත්ත්වයක් හෝ දියෙහි යම් අවිශ්වාසයක් තිබේ නම් දියට නොබසින්න.
* තද ශීතල හෝ උණුසුම ඇති දියට නොබසින්න.
* අධික වෙහෙසට පත්වී හෝ තද අව්වේ සිට හෝ දියට නොබසින්න.
* කිසිවකුගේ අවධානයට පත් නොවන ස්ථානයකින් දියට නොබසින්න.
* බීමත්ව දියට නොබසින්න.
* පිහිනීමට පෙර සුළු ව්‍යායාමයක් කරන්න.
* මුහුදේ හෝ විශාල ජලාශයකට බැසීමට පෙර ගොඩබිමේ නිශ්චිත සලකුණක් යොදා දියට බසින්න.
* දැන්වීම් පුවරු ගැන සැලකිලිමත් වන්න.
* කිසිවිටෙකත් එකවර දියට නොබසින්න.
* කොට කලිසම් හැඳ දියට බසින්න.
* කණ්ඩායම් වශයෙන් දියට බැසීමට පෙර පිරිස ගණන් කරන්න.
* හොඳින් පිහිනීමට නොදත් අය ඔරු පාරු මඟින් ගැඹුරු දියට නොයන්න.
* පිහිනීමට නොදත් අය ටියුබ් ආධාරයෙන් වුව ද ඈතට නොයන්න.
“දියේ ගිලීමෙන් කෙනෙක් මිය යන්නේ ඔක්සිජන් නැති නිසා. ජලයේ තිබෙන ඔක්සිජන් මාළුන්ට කරමල් හරහා ලබා ගන්න පුළුවන් වුණාට අපිට ගන්න බැහැ. ඒ නිසයි ජලයේ දී මිනිසුන් ඔක්සිජන් නැතිව වතුර පෙවිලා මරණයට පත් වෙන්නේ. පෙණහලුවලට වතුර ගියාම පෙණහලු විස්තාරණය වෙනවා. එතකොට පෙණහලු මැද පිහිටා තිබෙන හෘදය තද වෙනවා. දියේ ගිලුණු අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණවලදී අපි දකිනවා සමහරුන්ගේ හෘදය වස්තුව නොපෙනෙන තරමට පෙණහලුවලින් වැහිලා තිබෙනවා. ඒ වගේම තමයි පෙණහලු විස්තාරණය වීම නිසා පිටුපස ඉලඇටවල සලකුණු පෙණහලුවල දකින්න පුළුවන්. හැබැයි දියේ ගිලුණු සියලු දෙනාම මරණයට පත්වෙන්නේ පෙණහලුවලට වතුර ගිහින් නොවෙයි. සමහරුන් මිය යන්නේ ජලයේ ඇති අධික ශීතල නිසා හෘදය වස්තුව අකර්මණ්‍යවීමෙන්. තවත් අයගේ උගුරට වතුර ගියාම ශ්වාස නාලයේ ඉදිරි කොටස වැහෙනවා. පියන වගේ දෙයකින් වැහුණාම ශ්වාස නාලය අවහිර වෙනවා. පොදුවේ දියේ ගිලී මරණයට පත් වුණත් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තමයි මරණයට හේතුව අපිට නිශ්චිතව හඳුනාගත හැකි වෙන්නේ.”
යනුවෙන් පැවසුවේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක්ය.
කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ උපාය මාර්ගයක කොටසක් ලෙසින් ක්‍රියාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් මෙම කාලය තුළ දියේ ගිලීම් නිසා රෝහල්වලට වාර්තා වී ඇති සංඛ්‍යාව අඩුවී තිබේ. විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වා දෙන්නේ කොවිඩ් 19 ආශ්‍රිත රෙගුලාසි ලිහිල් කිරීමත් සමඟ මානව ක්‍රියාකාරකම් පාලනයෙන් තොරව වැඩිවීම නිසා දියේ ගිලීම්වලින් සිදුවිය හැකි අනතුරු ද ඉහළ යා හැකි බවය. එය කොවිඩ් 19 වැළැක්වීමේ උපාය මාර්ගයන් අභියෝගයට ලක්විය හැකි බව ඔහු අවධාරණය කරයි.
“දියේ ගිලීමකදී ඔවුන්ව බේරාගත යුතුයි. ඔවුන්ට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදිය යුතුයි. ඔවුන්ව රෝහලක් කරා පිටත් කළ යුතුයි. ඒත් මේ කොවිඩ් වසංගත කාලයේ අනතුර සිදුවූ ස්ථානයට ජනතාව ඒකරාශී වීමෙන්, කොවිඩ් 19 නිරාවරණය වීමේ අවදානම වැඩිවෙනවා. ඒ වගේම තමයි වයිරසයට ගොදුරුවේ යැයි යන බිය නිසා අනතුරට ලක්වූ අයට උදව් කිරීමට හෝ කෘත්‍රිම ශ්වසනය වැනි ප්‍රථමාධාර ලබාදීමට කවුරුත් ඉදිරිපත් නොවෙන්න පුළුවන්. අනතුරට පත් අය රෝහලකට රැගෙන යෑමට ඉදිරිපත් නොවෙන්න පුළුවන්. එතකොට අනතුරට ලක්වූ තැනැත්තාගේ තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් පුද්ගලයෙක් කොවිඩ් ගැන නොසලකා අනතුරට පත්වූ තැනැත්තාට ප්‍රථමාධාර දුන්නොත් ඒ කෙනා කොවිඩ් අවදානමට ලක් වෙනවා. ඒ වගේ ම තමයි කොවිඩ් රෝගීන් වෙනුවෙන් රෝහල් ධාරිතාව සහ සෞඛ්‍ය සම්පත් වෙන් වුණොත් දියේ ගිලී අනතුරට පත්වූවන් සඳහා අවශ්‍ය නිසි ප්‍රතිකාර කිරීම සීමාසහිත වෙන්න පුළුවන්. ඒ නිසා ගෝලීය වසංගත කාලය තුළ දියේ ගිලීම් වැනි අනතුරුවලින් ආරක්ෂාවීමට පියවර ගැනීම අත්‍යවශ්‍යයි.” යනුවෙන් පැවසුවේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංගය.
දියේ ගිලීමෙන් සිදුවන අනතුරු පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමත් අනාරක්ෂිත ජල මූලාශ්‍ර ආරක්ෂා සහිත කිරීමට පියවර ගැනීමත් පිහිනුම් කුසලතා වැඩි දියුණු කිරීමත් සිදු කළ යුත්තේ එම නිසාය. එමෙන් ම දියේ ගිලෙන අය ගලවා ගැනීමට පුහුණුව ලබා දීමත් ඉතා වැදගත් වේ. කොටින්ම කිවහොත් රට තුළ ජල සුරක්ෂිතතා සංස්කෘතියක් ඇති කිරීම කාලෝචිතය.
![]() |
විවාහ මංගල්‍යයට පෙර මාතලේ සේර ඇල්ලේ ඡායාරූප ගැනීමට යාමේදී දියේ ගිලි මියගිය සංජය |
![]() |
ජීවිතාරක්ෂක පුහුණුවකදී |