
දූපත් වැඩිම සංඛ්‍යාවක් පිහිටා ඇති කඩොලාන ඇතුළු විවිධ ජලජ පැළෑටි හා ආවේණික මසුන් මෙන්ම පක්ෂීන් ගෙන් පිරි දෙස් විදෙස් කාගෙත් නෙත් සොරා ගැනීමට සමත් වූ තවත් අති සුන්දරත්වයක් උරුම කර දුන් ගංගාවක් ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබීම ලක් වැසි අප කාගෙත් වාසනාවකි. ඒ නම් බළපිටිය මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටි මාදු ගඟය. එය දකුණේ වැසියන් හැටියටත්, බළපිටි වැසියන් හැටියටත් අපට මහත් ආඩම්බරයක් ගෙන දෙන්නකි.
අද වන විට දූපත් එතරම් ප්‍රමාණයක් දැක ගන්නට නැත. හඳුනාගෙන ඇත්තේ දූපත් තිස් හතක් තිබෙන බවටය. ඇතැම් දූපත් ගොඩ බිමට එකතු විමෙන් ද, නොයෙකුත් දේශගුණික විපර්යාස හේතුවෙන් ගඟ ට බිලිවීමෙන් ද දූපත් අඩු වෙන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. දැනට තිබෙන සත පහේ දූපත ද සේදී යමින් පවතී. එහි දේවාලයක් තනා තිබීමෙන් ආරක්ෂා වී තිබෙන බව දැකගන්නට ඇත. ගඟ මැද වතුරෙන් මතුපිටට නෙරා ආ විශාල ප්‍රමාණයේ කළු ගල් තිබේ. ඒ පැරණි දූපත්වල නටබුන් යැයි කියති.
මාදූව, කොත් දූව, දික් දූව, නයි දූව, මුවන්ගෙ දූව, වඳදූව, ගොඩදූව, ගල්මන්දූව, මඩ දූව, තල් දූව, ගෝන දූව, සතපහේ දූව, මීරල දූව, කිඹුල් දූව, පැමිණිකඩ දූව, කටු දූව අඹගහ දූව, කොටු දූව, මියන දූව, වවලු දූව, පෙරියමරක්කල දූව, නාන දූව, කුඩා දූව, විම්ම දූව, අප්පලදූව, මූනමල් දූව, එරවානෙ දූව, හොන් දූව, තිනියා දූව, මැද දූව, කඩපාලන දූව, මියම් දූව, පාතමුල්ල දූව, වල දූව, පාවුනව දූව, දිමි දූව, කාවක්කා දූව ආදියෙන් සමන්විතය.
මාදු ගඟේ මුළු බිමි ප්‍රමාණය හෙක්ටයාර 915 කි. මෙහි විශාලතම දූපත වනුයේ මාදූව ය. එහි බිම් ප්‍රමාණය හෙක්ටයාර 38.8 න් සමන්විතය. පවුල් තුන්සියයකට ආසන්න පිරිසක් වෙසෙන මෙම දූපත ග්‍රාමසේවා වසමකි. පාසලක්, විහාරස්ථාන දෙකක්, උප තැපැල් කාර්යාලයක් ආදියෙන් සමන්විතය. පුණ්‍යවන්ත දූපත වනුයේ කොත් දූවය. හෙක්ටයාර 6.5 ක ප්‍රමාණයෙන් යුත් මෙහි පිහිටා තිබෙණුයේ විහාරස්ථානය පමණි. හේමමාලා කුමරිය හා දන්ත කුමරු දළදා වහන්සේ ලංකාවට වැඩම කරද්දී කොත් දූවට වැඩමවා වැලි කොතක් තනා ආරක්ෂා කරගෙන සිටි බවද කියති. කොත් දූව යන නාමය මෙම දූපත ට පටබැඳීමට ද හේතු වූයේ එය බවද කියති.
දූපත් කිහිපයක් හැරෙන්නට අනෙක් සියලුම දූපත් ජනාවාසය. අවෘත බීජක, විවෘත බීජක, සනාල, ඒක බීජ පත්‍රි, ද්විබීජ පත්‍රි, ජලජ, පර්ණාංග, පෙඳ පාසි ආදී වූ ශාක විවිධත්වයකින් සමන්විතය. ලෝක සංරක්ෂණ සංගමය මාදු ගඟ ආශ්‍රිතව සිදු කළ දීර්ගකාලීන පර්යේෂණ වලින් අනතුරුව සොයාගත් විශේෂ ශාක ප්‍රමාණය 302 කි. මින් 19 ක් ආවේණික වන අතර සත්‍ය කඩොලාන විශේෂ 14 ක් වශයෙන් හඳුනා ගෙන ඇති බව කියති.
කඩොල්, මල් කඩොල් පුංකණ්ඩ රතුගස්, පුංකණ්ඩ, කිරල, මන්ඩ, හීන් කඩොල්, කටු ඉකිලි, තෙල, මට්ටි කඩොල්, රතමිල්ල, ගිංපොල්, කැරැන්කොකු, ඇටුන. බැරිය ආදී කඩොල්වලින් සමන්විත වි රතු පැහැති මල් පිපෙන රතමිල්ල නම් වූ අති දුර්ලභ ගණයේ කඩොලාන ශාකා සුළු ප්‍රමාණය දකුණු ආසියාවෙන් ම පිහිටා තිබෙනුයේ ද මාදු ගඟේ දූපතක වීම විශේෂත්වයකි. ඒ ‘පාතමුල්ල’ නම් වූ දූපතේ ඕවිලාන නම් කොටසේය. මුහුදු බඩ දුම්රිය මාර්ගය පිහිටා තිබෙනුයේ දූපත් දෙකක් මැදිනි. එම දූපත් දෙකම බළපිටියේ පිහිටා තිබීම බළපිටිය ට ගෞරවයකි. කොස්ගොඩ දූවෙමෝදර ගඟේ පිහිටි දූපත හැරුණු විට අනෙක් දූපත මෙම පාතමුල්ල ය. මෙම කරුණු හේතුකොට ගෙන අති සුන්දර මාදු ගඟ දෙස් විදෙස් සැමගේ නෙත් පැහැර ගැනීමට සමත් වූයේ යැයි කීවොත් වැරදි නැත.
![]() |
විනාශයට පත්වූ රතමිල්ල කඩොලාන ශාක කිහිපයක් |
මෙහි සඳහන් වූ හා නොවූ සුන්දරත්වය හා පාරිසරික පද්ධතිය ඉදිරියටත් රැකගැනීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් තෙත් බිමි සුරැකීමේ ජාත්‍යන්තර සම්මුතිය වූ රැම්සා සම්මුතිය ප්‍රකාර රැම්සා තෙත් බිම් ලැයිස්තුවට මාදු ගඟ ඇතුළත් වූයේ 2003 වසරේ පෙබරවාරි මස 11 වෙනි දිනය. මෙහි වටිනාකම වටහාගත් හෙයින් පරිසර අමාත්‍යාංශය මගින් 2006 ජුනි මස 30 වෙනි දින නිකුත් කර ලද අංක 1454/7 අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මාදු ගඟ අවට හෙක්ටයාර 2300 භූමි වපසරියක් මාදු ගඟ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ඊට අමතරව වනජීවී දෙපාර්තමේන්තුව මඟින් වසර 2006 ජූලි මස 17 වෙනි සඳු දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ද අභය භූමියක් ලෙස නම් කෙරිණි.
ඒ අනුව වන සතකු මැරීම, ඇල්ලීම, දඩයම් කිරීම, උගුල් ඇටවීම, වන සතෙකුට හිරිහැරයක් විය හැකි යම් ක්‍රියාවක් කිරීම, වන සතෙකුගේ මස් හෝ යම් කොටසක් ළඟ තබා ගැනීම, යම් රජයේ ඉඩමක ශාකයක් කැපීම, විනාශ කිරීම, එකතු කිරීම, රැගෙන යාම, ඉඩමක් ගිනි තැබීම, කැලෑව ශුද්ධ කිරීම, වගා කිරීම, පතල් හෑරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම, අඩි පාරක් තැනීම හෝ පාවිච්චි කිරීම, ඛණිජ වටිනාකමක් හෝ පුරාවිද්‍යා වටිනාකමක් හෝ භූ විද්‍යාත්මක වටිනාකමක් ඇති ද්‍රව්‍යයක් ඉවත් කිරීම සහ ජලාශයක මසුන් ඇල්ලීම සම්පූර්යෙන්ම තහනම් ක්‍රියා හැටියට පෙන්වා දී තිබේ.
මෙතරම් නීති රීති අණ පනත් දැම්මත් මාදුගඟේ දිනපතා සිදුවන පරිසර විනාශයේ වැඩිවීමක් මිස අඩුවක් දකින්නට නම් නැත. ඇතැම් දූපත්වල වන සතුන් ඇල්ලීම, මැරීම, දඩයම් කිරීම උගුල් ඇටවීම, හිරිහැර කිරීම කොතෙකුත් රිසිසේ සිදුවේ. ඒවා නතර කිරීමට කිසිවෙකු පියවරක් ගත් බවනම් පෙනෙන්ට නැත. රජයේ ඉඩමක ශාකයක් කැපීම, විනාශ කිරීම, රැගෙන යාම, ඉඩමක් ගිනි තැබීම, කැලෑව ශුද්ධ කිරීම, වගා කිරීම තහනම් කටයුත්තකි.
මේ තහනම් සියල්ලම මුළු මාදු ගඟ පුරාම සිදුවන ක්‍රියාවකි. කඩොලාන ශාකවලට මහත් තර්ජනයක් වී ඇති බව පෙනෙන්නට තිබෙන දෙයකි. වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති ‘රතමිල්ල’ කඩොලාන ශාක දැනුවත්කමින් හෝ නොදැනුවත්කමින් විනාශ කෙරෙන බව පෙනේ. මෙයට අමතරව අනෙක් කඩොලාන ගස් දරට, ඔරු බෝට්ටුවලට, ඉදිකිරීම්වල දී මුක්කුවලට කැපීම සිදු කෙරේ. අංක 21 ඊ, ඇළතොට ග්‍රාම සේවා වසමේ පාතමුල්ල ප්‍රදේශයේ ජයටම මෙම ක්‍රියාව සිදු කෙරෙන බව අහුන්ගල්ල ගොවි ජන සේවා මධ්‍යස්ථානය ට පරිසර හිතකාමී ප්‍රදේශවාසීන් දැනුම් දුන් බවද දැන ගන්නට ඇත. එක ඉඩමක කඩොලාන ගස් තිහක් පමණ කපා තිබෙන බවද පෙන්වා දෙන ප්‍රදේශවාසීහු මේ පිළිබඳව නිසිපියවරක් ගෙන නැති බවද කියති.
ඇතැම් අය මෙය කපා විනාශ කරනු ලබනුයේ ඉතා සූක්ෂම අන්දමිනි. මැටි පස් ටිපර් දෙක තුනක් එකවර ගෙන්වා ගන්නා ඔවුන් කඩොලාන ගස් අතරට මැටි දමා ගොඩ කරති. මැටි දමා අවසන් වූ මැටි පස් දැමූ ප්‍රමාණයේ තිබෙන කඩොල් ගස් පොළොව මට්ටමට කපා දමා ඒ ස්ථානයේ අඩි දෙක තුනක් උසැති කුරුඳු පඳුරක් සිටුවති. යම් නිලධාරියෙක් පරීක්ෂණයකට පැමිණියත් මෙම ක්‍රියාවලිය අල්ලා ගැනීමට බැරිය. ඒ මන්ද යත් අඩි දෙක තුනක් උසැති කුරුඳු පඳුරු සිටුවා තිබීමෙන් ගොඩ නොකරන ලද බිමක් සේ පෙනෙන නිසාවෙනි. පසුව රජයේ නිලධාරින් ට කොළේ වහල කුරුඳු වගාවට ආධාර ගැනීමද සිදු කෙරේ. මෙසේ කපන කඩෝල ගස් ඉදිකිරීම් වලට අවශ්‍ය මුක්කු සඳහා විකුණති. එම කඩොල් ගස් ගඟෙන් ම ප්‍රවාහනය කෙරේ. උගත් කමෙන් අඩු අයෙකු මේ ක්‍රියාවලිය සිදුකරනවා නම් නූගත් කමට සිදු කරන දෙයක් ලෙස සිතිය හැකිය. නමුත් මාදු ගඟ මහා සම්පතක් බව උජාරුවෙන් යුතුව ප්‍රසිද්ධියේ පවසන උගත් අය මෙම විනාශය කරනවිට කවර කතා ද?
මේ පිළිබඳව අදහස් දැක්වූ බළපිටිය පාතමුල්ලේ පදිංචි දෙදරු පියකු වන ඩී. අසෝක ද සොයිසා (54) මෙසේ කීය.
කඩොලාන වර්ග කිහිපයක්ම මේ දූපතේ තිබෙනවා. තෙල් කීරියා නැමැති කඩොලාන ගස මැරෙන්නේ නැහැ. ඒ නිසා ගහ මුලෙන් වටේටම පොත්ත ඉවත් කරනවා. මැරුණට පසු ඉඩමට මැටි පස් දමා ගොඩ කර ගන්නවා. තෙල් කීරියා කඩොලාන ගහ දර ට පාවිච්චි කරන්න බැහැ. ඒ ගසේ කිරි බින්දුවක් ඇස ට වැටුණොත් ඇස නොපෙනී යනවා. මාදු ගඟේ දැන් කිඹුලන්ගෙන් ගහන වෙලා. ඇතැම් වෙලාවට අල්ලා වනජීවි එකට බාර දෙන කිඹුල්ලු ඒ අය නැවත ගඟට දමා යනවා. පොඩි වැස්සටත් මේ දූපත වතුරෙන් යට වෙනවා. මේ පාර වුණත් කොන්ක්‍රීට් දමල සකස් කරදීම ලොකු දෙයක්. අද වාහනයක් වුණත් ගමට එන්න පුළුවන්.
බළපිටිය පාමුල්ලේ පදිංචිකරුවකු වන කේ. ඩබ්ලිව්. සනත් කුමාර (39) පැවසුවේ මේ අයුරින්ය.
උපන්දා ඉඳල ජීවත් වෙන්නේ. පාතමුල්ල ගම්මානයේ. ඕවිලාන කොටසේ පවුල් පනස් පහක් පමණ ජීවත් වෙනවා. මේ අයට යන්න වෙන තැනක් නැහැ. රතමිල්ල ශාකය තිබෙන්නේ මේ දූපතේ විතරයි. මීට අවුරුදු දෙකකට පමණ ඉහත දී ලොකු ගංවතුරක් ආවා. මෝයකට බැඳිල දවස් දෙක තුනක් වතුර බසින්නේ නැතුව තිබුණා. එයින් මදුරු පණුවෝ ඇති වුණා. ඒ මදුරු පණුවන් මැරෙන්න රජයේ නිලධාරි කණ්ඩායමක් ඇවිත් බෙහෙත් වර්ගයක් දැම්මා. ඒකෙන් කීරි කඩොල් ගස් ටික සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. රතමිල්ල ගස් ටික බලාගත්ත ආච්චි කෙනෙක් හිටියා. ඇය ඉන්න විට කිසිවකුටවත් කඩොල් ගස් විනාශ කරන්න දුන්නේ නැහැ. ගහකට අත තිබ්බත් පොලීසියට ගිහින් පැමිණිලි කරනවා. ආච්චි නැති වුණාට පසුවයි මේවා විනාශ වෙන්න පටන් ගත්තේ.
තරුණ පිරිස මත්පැන් බොන්න එන්නේ මේ ස්ථානයට. ඒවා බීල බෝතල් හා කෑන් දමා යන්නේ පරිසරයත් විනාශ කරමින්. මේ ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද කීය.