
වගාවක් සිදුකරන්නට පොහොර අවශ්‍ය බව කවුරුත් දන්නා කරුණකි. පොහොර පිළිබඳ කතා කරද්දි වෙනදාටත් වඩා ඒ සම්බන්ධයෙන් වඩාත් කතා බහට ලක්වී ඇත්තේ වර්තමාන සමය යැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවනු ඇත.
රට පුරාම ඇසෙන්නේ පොහොර සම්බන්ධයෙන් විරෝධතාය . ‘පොහොර දියව්‘ ඒ අතර ඇසෙන කතාවකි.
තවත් තැනක ‘කබානික වගාවට අපි විරුද්ධ නෑ ඒක හරියට කරපල්ලා ‘ යැයි ද අසන්නට ලැබේ.
ඇත්තටම රසායනික පොහොර නොමැතිව වගා කරන්නට බැරිද ? කාබනික පොහොර වලින් වගා කටයුතු කරන්නට බැරිද? මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සොයා යන්නට අපට පසුගියදා අවස්ථාවක් හිමි විය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාධ්‍ය ප්‍රධානී වසන්ත දුක්ගන්නාරාලගේ වැඩ පිළිවෙළක් යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පිරිසකට ඒ අවස්ථාව හිමි විය.
‘කාබනික පොහොර වලින් ගොවිතැන් කරන ලොකු පිරිසක් මොරගහකන්දේ ඉන්නවා‘ යැයි කිවද එකපාරටම එය විශ්වාස කිරිමට තරම් අපහසු කාරණාවක් වූයේ බැලු බැලු තැන අසන්නට ලැබෙන ගොවි ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දීය.
වසර ගණනාවකට පෙර දේශිය කෘෂිර්මයට තිත තැබූ පාලකයෝ පිට රටින් වී ප්‍රභේද ඇතුළු එළවළු බීජ ගෙන්වීමත් සමඟ කෘෂි රසායන සහ රසායනික පොහොර ඒවාට අත්‍යාවශ්‍ය අංගයක්ම විය.
කාලයේ ඇවෑමෙන් රසායනික පොහොර හා කෘෂි රසායන වැඩි වැඩියෙන් පසට එක්කළ ගොවීන් පසුව විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව ද සත්‍ය කරුණකි.
මොරගහකන්ද හා කළු ගඟ ජලාශ ඉදිවීමත් සමඟ අවතැන්වූවන් පදිංචි කළ නව ගුරුවෙල ගම්මානයට අප මාධ්‍ය කණ්ඩායම කැඳවාගෙන ගිය මහවැලි නිලධාරින් අපට පළමුව පෙන්නුවේ ගුරුවල ගොවියෙකු වන කපිලරත්නය.
කුඹුර අසල රැඳී සිටි කපිලරත්ත කියා සිටියේ තමන් දෙවැනි කන්නටත් කාබනික වගා කටයුතු සාර්ථකව සිදුකර ඇති බවයි. කිසිදු අවස්ථාවක සිය කුඹුරට කෘෂි රසායන හෝ රසායනික පොහොර යොදා නැති බව කියා සිටි කපිලරත්න අවධාරණය කර සිටියේ අද වන විට තමන් වස විසෙන් තොර වගාවන් සම්බන්ධයෙන් ඉතාමත් සතුටට පත්වන බවයි.
කළුගගේ දිය කොමලිය විවිධ හැඩ තල නන්වමින් ඇළ වේලි ඔස්සේ ගලා බසිමින් මේ කෙත් වතු මැදින් ගලා බසියි. යාබදින් පිහිටි මුං, මෑ කරල් වගා වලට කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා වගා කිරීමට කපිලරත්න වග බලාගෙන තිබේ.
අනතුරුව නව ගුරුවෙල මාර්ගය ආසන්නයේ සරුවට වැවී ඇති අන්නාසි වගාවක් ද මාධ්‍ය කණ්ඩායමේ නෙතු මානයට ලක්වූ අතර, මේ වනවිටත් එල හටගෙන ඇති මෙම වගාවට ද කිසිදු කෘෂි රසායනයක් එකතු කර නොමැති බව එහි දි අදහස් දැක්වූ ගොවීහු කියා සිටියහ.
ගුරුවෙල මහවැලි කලාපයේ කුඹුරු අක්කර 700 කට වැඩි ප්‍රමාණයක භුමිය කාබනික ගම්මාන බවට පත්කිරිම සඳහා රජය මගින් යෝජනා ඉදිරිපත් කිරිමත් සමඟ මහවැලි අධිකාරියේ නිලධාරින් ඒ සඳහා යුහුසුලුව කටයුතු කර තිබේ.
එහි ප්‍රතිඑලයක් ලෙස කන්නයකට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණ ගොවින්ට නොමිලේ ලබාදීම ආරම්භ කර තිබේ.
වී වගාවට මෙන්ම සෙසු එළවළු වගාවන් වලට ද මහවැලි කලාපයේම නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර යොදා ගැනිමට ගොවීන්ට අවස්ථාව සලසා දීම මෙහි ඇති විශේෂත්වයකි.
මාධ්‍යවේදීන් සඳහා මහවැලි ගොවි ගම්මාන නිරික්ෂණ අවස්ථාවන් සලසා දුන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාධ්‍ය ප්‍රධානී වසන්ත දුක්ගන්නාරාල මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙවැන්නකි.
‘මේ මහවැලියේ ගොවි ගම්මානවල කාබනික වැඩ සටහන ක්‍රියාවට නංවන කාරණාව ඇත්තටම කරන්න පුළුවන් කටයුත්තක්. මහවැලියේ සංකල්පයම වෙලා තියෙන්නේ මුළු මහවැලි කලාපයම කාබනික කලාපයක් බවට පත්කිරිම. ඒ නිසා මහවැලි නිලධාරි මහත්වරු කඩිමුඩියේ වැඩ කරන්නේ කාබනික පොහොර නිෂ්පාදනයට. ගොවීන්ට හුදකලාව තමන්ගේ ගෙවත්තේ පොහොර ටික හදන්න දෙන අතර මහවැලි නිලධාරි මහත්වරුත් යාන්ත්‍රික මෙවලම් ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදන කාර්යයයේ තමයි මේ නියැළිලා ඉන්නේ.
මේ පොහොර ලබා දෙන්නේ මහවැලිය නොමිලේ. පසුව ගොවියෝ මේ කාරණේට හුරු වෙයි.
![]() |
මහවැලි ගොවින්ට නොමිලේ ලබාදීමට කාබනික පොහොර නිෂ්පාදනය කරමින්. |
මහවැලිය කියන්නේ ගෞරවනීය තැනක් ඒ නිසාම තමයි අපි මහවැලිය ‘මහවැලි අම්මා‘ කියලා නම් කළේ ඒ නිසයි. රටෙන් 1/3 ඉඩම් තියෙන්නේ මහවැලියට. ඉතින් මේ කාබනික ක්‍රියාවලියෙන් මේ කලාපය දිනුවොත් තව තියෙන්නේ 2/3 යි.
මේ කාරණාව කරන්නේ ඉතාමත් කඩිසර නිලධාරි මහත්වරු. ඇත්තටම අනාගතයේ දි මේ අය නිපදවන කාබනික පොහොර පිටට විකුණන්න පවා අවස්ථාව උදා වෙයි මේ කණ්ඩායම් වලට. මහවැලියට බිජ ගොවිපළවල් දා හතක් තියෙනවා. පහුගිය සමයේ මේ ගොවිපළවල් වල අඩුලුහුඬුකම් ඇති වෙන්න ඇති; මොකද පිටරටින් බීජ ගෙන්වීම හින්දා. දැන් අපිට ඔන්න ඒකාධිකාරියක් ඇවිත් තියෙනවා.
එහි ප්‍රතිඑලයක් විදිහට මහවැලි ගොවි පළවල් 17 ම දැන් සම්පූර්ණයෙන් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා.
මහවැලියේ ඉලක්කය තමයි ලබන කන්න වන විට කාබනික පොහොර වලින් ස්වයංපෝෂිත විමටයි බලාපොරොත්තුව. මේ නකලස් වනාන්තරය සමීපයේ තියෙන මේ කලාපය තමයි පළමුවන කාබනික කලාපය. මේ කලාප වල නිෂ්පාදන පවා කාබනික එලවළු පලතුරු දක්වා වැඩි දියුණු වුවත් සමඟ ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක සිහිනය සැබෑකරගන්න බැරිවෙන එකක් නෑ.“ ඒ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාධ්‍ය ප්‍රධානී වසන්ත දුක්ගන්නාරාල කියන කතාවයි.
වසර ගණනාවක් පුරා සිහිනයක්ව පැවැති කඩිනම් මහවැලි මහ සැලැස්සේ අවසන් වාරි වික්‍රමය වන මොරගහකන්ද - කළුගග වාරි ව්‍යාපෘතින් හේතුවෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පමණක් අවනැත් ජනයා පවුල් දස දහසකි.
ඔවුන් පදිංචි කළ ලග්ගල - ගුරුවෙල ගම්මානයේ අක්කර 700 ට අවශ්‍ය කාබනීක පොහොර මහවැලි අධිකාරිය විසින්ම නිදපවා ගොවින්ට නොමිලේ ලබා දෙමෙින් කාලන්තරයක් තිස්සේ ගොවින් හුරුවී සිටි රසායනික පොහොර භාවිතයෙන් ඈත් කිරිම සඳහා මහවැලි අධකාරිය අරඹා ඇති දැවැන්ත පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය තව තවත් පුළුල් කරමින් දීප ව්‍යාප්තව වැඩ පිළිවෙළක් බවට පත්කිරිම මහවැලි අධිකාරියේ නව සැලැස්ම වී තිබේ.
ගෙවතු වගා සංකල්පය ගොවීන්ට හඳුන්වා දීම සඳහා සිවු වසරකට පෙර ඇරඹි ගුරුවෙල ගොවි බිම නිරීක්ෂණය සඳහා ද මාධ්‍යවේදින්ට අවස්ථාව උදා වු අතර එහි වගාවන් තුළින් අග්‍ර එල නෙළන ලද ආකාරය පිළිබඳව ද මෙහිදි මාධ්‍ය වේදීන්ට කරුණු සහිතව තොරතුරු ලබාදීමට මහවැලි නිලධාරිහු කටයුතු කළහ.
ටොම් ඇන් ඊ ජේසි හෙවත් වාණිජ අඹ වගාවේ සිට කෙසෙල්, කොස්, බෙලි, ඩ්‍රැගන් ෆුට්, පැෂන් ෆුට්, කිරි ගව පාලනය, දොඩම් වගාව සහ පොල් වගාව ගුරුවෙල ගොවි බිමේ දක්නට ලැබෙන සුලබ ක්‍රියාවන්ය.
අක්කර පනහක වගා වපසරියකින් හෙබි ගුරුවෙල ගොවි බිමේ සිදුවන ආදර්ශ වගාවන් සඳහා ගොවීන් යොමු කිරිම, බීජ පැළ සහ තාක්ෂණික උපදෙස් ලබාදීම වැනි කාරණා මහවැලි අධිකාරිය විසින් තවදුරටත් අඛණ්ඩව සිදුකරනු ලබන්නේ රටේ ජිවනාලිය බදු වූ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමේ අරමුණිනි.
ලොව වැසි වලාකුළු සහිත වනාන්නතර අතර ඉහළ ස්ථානයක වැජඹෙන ලෝක උරුම නකලස් වන පෙතේ නොයිඳුල් දිය දහරින් පෝෂණ ය වන මොරගහ කන්ද කළු ගංගා කොමලින් මොරගහකන්ද අවට ප්‍රදේශ පමණක් නොව යාබද පොලොන්නරුව දිස්ත්‍රික්කය ද ඉන් නොනැවති අනුරාධපුර දිස්ත්‍රික්කය ද පෝෂණය කිරිමේ කාර්යයයේ මේ වන විට නියැළි සිටියි.
‘මහවැලි අම්මා‘ යන උදාර තේමා පාඨය යටතේ එය යථාර්ථයක් බවට පත්කිරිමට මහවැලිය මේ වන විට නවමු අත්පොත් තැබීමක් සිදුකර ඇතැයි මේ මහැවැලි ගම්මාන වල සැරිසැරු අපට දක්නට ලැබිණි.
රුපියල් කෝටි ගණනික් පිට රටවල් වලට ඇදි යන මහා ධනස්කන්දයක් තරම් වූ අපේ රටේ ධනය මෙරට තුළම රඳවාලමින් එය ජාතියේ බත සපයන ගොවියාට යළි ලබාදීමට හා එහි අග්‍ර එල ඔවුනට ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මේ වනවිට සිය ගොවිපළවල් 17 ක දේශිය බීජ නිෂ්පාදනය අරඹා තිබේ.
නොදුරේම දීම එහි ප්‍රතිඑලයක් ලෙස වස විසෙන් තොර අහර වේලක් මුළුතැන් ගෙයි ඉදෙන දවස වැඩි ඈතක නොවන බව මෙම සංචාරයේ දී මාධ්‍යවේදින් වන අපට පසක් වූ කාරණාවකි.
කාබනික වගා ව්‍යාපෘතින් සඳහා මඟ පෙන්වමින් ගොවින්ට අවශ්‍ය සහාය සපයන පිරිස් අතරේ මෙම චාරිකාවේ දී නොමද සහාය සැපයු මොරගහකන්ද - කළුගල වාරි ව්‍යාපෘතින් හි නේවාසික ව්‍යාපාරික කළමනාකරු හේමන්ත ජයසිංහ, ගුරුවෙල කොට්ඨාස කළමණාකාර සමන් ප්‍රිය, ගුරුවෙල ආදාර්ශ ගොවිපළේ කළමණාකරු සරත් චන්ද්‍රරත්ත, කෘෂිකර්ම නිලධාරි අමිල ඉන්ද්‍රජිත් සෙනවිරත්න, වැල්ලෙවෙල කොට්ඨාස කළමනාකරු සනත් වෙදගෙදර, කබනික ගොවිපළ භාර නන්දන අබේරත්න,පී.ඩි.ආටිගල,සුරේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකරු (කෘෂිකර්ම)විමලසේකර ඇතුළු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරින් රැසකට අපගේ විශේෂ ස්තුතිය හිමිවේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාධ්‍ය ප්‍රධානි වසන්ත දුක්ගන්නාරාලගේ සංකල්පයකට අනුව මහවැලි මාධ්‍ය වේදීන් පිරිසක් බිහිකිරිමේ වැඩසටහන වෙනුවෙන් මාධ්‍ය වේදීන් වන නිමල් ආනන්ද කනහැර ආරච්චි,මහේෂ් කීර්තිරත්න,ගැමුණු ධර්ම ශ්‍රි හේරත්,විරාජ් අභයසිරි,කුමාර හෙට්ටි ආරච්චි,ලක්මාල් දයාවංශ ඇතුළු පිරිසක් සහභාගී විය.