රජයේ ගැසට් නිවේ­දන ගැන | සිළුමිණ

රජයේ ගැසට් නිවේ­දන ගැන

ලකට ඉහත රජයේ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ අති විශේෂ කරුණක් මුල් කර ගෙනය.එසේම එදා එම ගැසට් පත්‍රයේ සඳහන් වූ නිවේදනය ගලේ කෙටු මෙන් තිරසාර විය. එවැනි ගැසට් පත්‍ර ආවාට ගියාට නිකුත් නොකෙරිණි. එකල රජයේ ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කෙරුණේ ඉතා වැදගත් කරුණු කාරණා ගැන පමණි.

විශේෂයෙන්ම එදා එම ගැසට් පත්‍රවල වැඩිපුරම සඳහන් වූයේ රජය මගින් අලුතින්ම ගන්නා ලද වැදගත් තීන්දු ගැනය. වයස 18 ට වැඩි සියලුම දෙනාට සර්ව ජන ඡන්ද බලය ප්‍රධානය කිරීම, එතෙක් සමූපකාර සමිති මගින් සහන මුදලකට ලබා දුන් හාල් සේරු දෙකෙන් එක් හාල් සේරුවක් කපා හැර ඉතිරි සේරුව සියලු දෙනාටම නොමිලේ ලබා දීම, බස් ජනසතු කිරීම සහ කඩ්ඩතිවු දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා ගැනීම පමණක් නොව පෞද්ගලික සමාගම් සතුව තිබූ අක්කර 50 ට වැඩි සියලුම වතු රජයට පවරා ගැනීම වැනි මුළු රටේම ජනතාවට වැදගත් වූ රජයේ තීන්දු තීරණ එකල ප්‍රසිද්ධ කෙරුණේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරුණු ගැසට් නිවේදන පමණි.

ඒ අනුව එකල රජයේ ගැසට් පත්‍රයක් මගින් යම් නිකුත් වූ පසු එදා සිටි ජනතාව එය හිස් මුදුනෙන් පිළිගන්නා ලද්දේ දේව භාෂිතයක් වශයෙන් සලකමිනි. රජයේ ගැසට් නිවේදනයකට එකල ජනතාවගෙන් ලැබුණේ එබඳු සුවිශේෂ සැලකිල්ලකි.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජවාදී පාලකයන් විසින් ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වාදීමෙන් පසු මෙරට පොදු ජනතාව අතරින් මෑතක් වනතුරුම රජයේ ගැසට් පත්‍රය කෙරෙහි දැක්වුණු නොමඳ සැලකිල්ල පසු කාලයකදී ශීඝ්‍රයෙන් අඩුවී තිබු‍ණේය. ඊට හේතු වූයේ එකල පැවැති ආණ්ඩුවල දුර්වල ක්‍රියාකාරිත්වයයි.

උදාහරණයක් වශයෙන් 1970- 1977අතර කාලයේ විසූ මෙරට බොහෝමයක් මුදල් ඇමතිවරුන් ජනතාවට ඉතාම සහනශිලී අයවැයක් ඉදිරිපත් කර සතියක් හෝ සති දෙකක් වැනි කාලයක් ඇතුළත ඔවුන් විසින්ම එහි වටිනාකම බාල්දු කෙරුණේය.

ඔවුන් එසේ කළේ මධ්‍යම රාත්‍රී නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන මගින් හාල්,පිටි,සීනී සහ පරිප්පු වැනි පාරිභෝගික ද්‍රව්‍ය වල මිල යළිත් වරක් වැඩි කිරීමෙනි. ඒ අනුව මුදල් ඇමතිවරයාගේ සහනශීලී අය වැය කතාව අසා අත්පුඩි ගසමින් හුරේ දමන සහ විසිල් ගසමින් සතුට පළ කරන පාක්ෂිකයන්ට දවල් තරු පෙනෙන්නට පටන් ගන්නේ එම ඇමතිවරයාම නොයෙකුත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල උස්සා ගැසට් මගින් කොකා ගස්සන විටය.

එකල පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් පවා තම දේශපාලන විරුද්ධවාදීන්ගේ ඉඩකඩම්, ව්‍යාපාර පමණක් නොව යානවාහන පවා රජයට පවරා ගෙන තිබුණේ මැදියම් රැයේ නිකුත් කෙරෙන ගැසට් නිවේදන මගිනි.

මේ අතර 1970 දී නිකුත් කෙරුණු ගැසට් පත්‍ර මගින් සිදු වූ තවත් කර්තව්‍යයක් වූයේ ගම් මට්ටමේ තරුණ නායකයන් සෑම ග්‍රාම නිලධාරී වසමක් පාසා පිහිටුවන ලද ජනතා කොමිටිවල සාමාජිකයන් ලෙස පත් කිරීමය. එසේත් නැත්නම් එකල ගම්වල විසූ තරුණ පිරිස අතරින් එක් අයකුට හෝ දෙන්නකුට සාම විනිසුරු පදවි ලබාදීමය.

ඒ අනුව එකල පදුරක් සොලවා බැලූවිට සාම විනිසුරුවරුන් සහ ජනතා කොමිටිකාරයන් රංචු පිටින් පැන දුවන තත්ත්වයක් උදාවී තිබුණේය.

මේ අතර 1977 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සෑම ගමක් පාසා වගා නිලධාරීන් පත්කර තිබුණේ අදාළ පුද්ගලයන් විසින් සපුරාලිය යුතු අධ්‍යාපන සුදුසුකම් පවා ගැසට් පත්‍රයේ පළ නොකරමිනි.

කෙසේ වෙතත් රජයේ ගැසට් පත්‍රයක වටිනාකම ඊටත් වඩා බාල්දු කරන ලද්දේ මෑත කාලයක පත්වූ ඇතැම් මැති ඇමතිවරුන් විසිනි.

මේ අතර පාරිභෝගික ද්‍රව්‍ය සඳහා වරින්වර විවිධ මිල ගණන් නියම කරමින් ගැසට් නිවේදන නිකුත් කිරිම ද අඛණඩව සිදු කෙරුණේය. අඩුම වශයෙන් ස.තො.ස වැනි රාජ්‍ය ආයතනය වලට පවා එම මිල ගණන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීම විමතියට ලකුණකි. ඔයින් මෙයින් සිදු වුවේ රජයේ ගැසට් නිවේදන කෙරෙහි ජනතාව අතර පැවති සැලකිල්ල බින්දුව දක්වා පහළ වැටීමය. එය එතරම් හොද තත්වයක්නොවන බව අමුතුවෙන්කිව යුතු නොවේ.

Comments