
මොහොමඩ් රසාක් (72) දෙමටගොඩ
බදුර්දීන් වුණත් කවුරු වුණත් වැරැද්ද වැරැද්දමයි. දේශපාලන බලපුළුවන්කාරකම් වලට නතු නොවී මේ අයට නීතියෙන් උපරිම දඬුවම් ලබා දිය යුතුයි. වෙනත් රටවල වගේ පොදු නීතියක් ක්‍රියාත්මක කර ජීවිතයටම අමතක නොවන පාඩමක් ඉගැන්නුවොත් ආයේ මේ වගේ දේවල් කරන එකක් නෑ. ඉස්සර මේ වගේ දේවල් ප්‍රසිද්ධ වුණේ නැද්ද සිදුවුණේ නැද්ද දන්නේ නෑ.
දැන් නම් සමාජය අන්තිම නරක් වෙලා. ගෑනු ළමයෙක් විතරක් නෙමෙයි පිරිමි ළමයෙක්වත් ආරක්ෂා කර ගන්න බැරි යුගයක් උදාවෙලා තියෙන්නේ.
කොහොම වුණත් අද සමාජය යහගුණ වලට වඩා මුදල් මුල් කරගෙන සම්පත් හඹා යාම තමයි මේ හැම දේකටම මුල් වෙන්නේ. නැවත එවැනි දේවල් සමාජයේ සිදු නොවීමට වැට කඩුළු බැඳීමයි කළ යුත්තේ.
දිලිනි කුමාරි තිලකරත්න (32) රත්නපුර
රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර දැරිය දූෂණය කර පිලිස්සී මියයාම අන්තිම නරක අහස පොළොව නුහුලන අපරාධයක්. සමාජයේ ඉහළ තනතුරු දරන මේ අයගේ පවුල්වල අය මේ වගේ දේවල් කරද්දි අන් අය ගැන කවර කතා ද? ඒත් මේ මිනිස්සුන්වත් ආරක්ෂා කරන්න කට්ටිය ඉන්නවනේ. නීතියෙන් උපරිම දඬුවම දෙන්නම වෙනවා. ඒ වගේම අනිත් අතින් මේ වගේ සිද්ධි මාධ්‍යය මඟින් ප්‍රසිද්ධ කළාම ඒ වගේ දේවල් තවත් වැඩි වෙනවදෝ කියා හිතෙනවා. වක්‍රව ඊට අනුබලදීමක් වෙනවද මන්දා. අද ගෑනු දරුවෙක් තාත්තා ළඟවත් තනියම දාලා යන්න බැරි යුගයක්නේ තියෙන්නේ. ඒ තරමට සමාජය විකෘති වෙලා. සාරධර්ම පිරිහිලා. වෛද්‍යවරු, නීතිඥයන්, පොලිස් නිලධාරින් පවා මේ අපචාරවලට සම්බන්ධයි. රටේ නීතිය ක්‍රියාත්මක කරන අයත් මේ වගේ දේවල් කරද්දි අනිත් අයව හදන්නෙ කොහොමද? වැරදි කරන අයට තරාතිරම නොබලා ප්‍රසිද්ධියේ දඬුවම් දිය යුතුයි.
එච්.ආර්. ජයරත්න (81) කුලියාපිටිය
දැන් පුදුම විදිහට ළමා අපචාර වැඩිවෙලා. ඒ කාලේ මේ වගේ දේවල් අහන්න ලැබුණේ නෑ. හරිම ශෝචනීයයි. අනික මෙහෙකාරකමට මෙහෙම ළමයි දුන්නෙ නෑ. නැතිබැරිකම හින්දා වුණත් දරුවෝ වැඩකාරකම්වලට දෙන්න හොඳ නැහැ. ඒ වගේම face book, සමාජජාලා හා සමහර රූපවාහිනී වැඩසටහන් නිසාත් දරුවන් නොමඟට යොමුවන්නේ දරුවන්ටත් නොදැනීම. මේ ගැන දෙමාපිය වැඩිහිටියන් නිරන්තරයෙන් විමසිලිමත්ව සිටිය යුතුයි. මේ වගේ වැරදි කරන අයට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. අපිට දැන් සමාජයෙන් අහන්න දකින්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ කොසොල් රජ්ජුරුවන් දැකපු හීන ගැන බුදුන් වහන්සේ දේශනා කරපු දේවල්. ඒ තරමට එන්න එන්නම දිනෙන් දින සමාජය පිරිහෙනවා.
මාරිමුත්තු මුත්තුමාලි (44) මාලිගාකන්ද
සමාජයේ සමහර ළමයි දෙමාපියන් දැනුවත්ව අපචාරයට ලක්වෙනවා. තවත් දරුවෝ නැතිබැරිකම හින්දා වැඩකාරකම්වලට ගිහින් විනාශ වෙනවා. රිෂාඩ් වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලත් මේ වගේ දේවල් වෙනවා නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අමාරුව. අනිත් අයට ආදර්ශවත් විය යුතු මේ වගේ අයත් මෙහෙම වැඩ කරනවා නම් ඒ අයට අරාබියේ වගේ ගල් ගහලා මරන්න ඕනෑ. රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ. එහෙම කළොත් තමයි සමාජයේ අනිත් අයත් හැදෙන්නේ. නමුත් බොහෝවිට එයාලා නිල බලයෙන්, මුදල් බලයෙන් නීතියේ සිදුරුවලින් පවා පැනලා යනවා. මේ වගේ අයවනේ මිනිස්සු පාර්ලිමේන්තු යවලා තියෙන්නේ.
පව් අසරණ දරුවෝ, මොනවා දන්නවටද? ජාතිය, ආගම කුමක් හෝ වේවා කාටත් අසාධාරණයක් නොවෙන විදිහට මේවට මැදිහත් වෙලා සාධාරණය ඉටුකිරීම රජයේ වගකීමක්. අපිත් බලන් ඉන්නේ සාධාරණය ඉටුවෙනතුරුයි.
අශෝක කරුණාරත්න (36) මාකඳුර
මේ වගේ බාලාපරාධ ඉස්සර කාලෙත් තියෙන්න ඇති. සන්නිවේදනය දියුණුවෙලා නිසා දැන් තවත් වැඩියි. සමාජ මාධ්‍ය මඟින් හොඳ දේ වගේම නරක දේත් අසන්නට දකින්නට ලැබෙනවා. මිනිස් මනස විකෘති වෙලා මේ විදිහට ගියොත් ළමා අපචාර, ස්ත්‍රී දූෂණ සාමාන්‍යකරණය වෙයි.
මෙය අවාසනාවන්ත තත්ත්වයක්. දෙමාපියන්, වැඩිහිටියන් තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මොන ප්‍රශ්න බාධක මැද්දෙ වුණත් දරුවන් රැක ගැනීම දෙමාපියන්ගේ යුතුකමක්.
ලංකාව වගේ බෞද්ධ රටක මේ වගේ බාලඅපරාධ දිගින් දිගටම සිදුවීම කනගාටුදායක තත්ත්වයක්. නීතිය බලධාරීන් විසින් තදින් ක්‍රියාත්මක කළ යුතුයි. ඉහළම දඬුවම් ලබාදිය යුතුයි. මේ වගේ තව කොතරම් නම් සිද්ධි සැඟවිලා ඇත්ද?
සුසිලා අබේසිංහ (68) මරදාන
අපේ අම්මා මුත්තා කාලෙවත් අහලා නැති දේවල්නේ දැන් අහන්න දකින්න ලැබෙන්නේ. අර රිෂාඩ්ගේ ගෙදර ගෑනු දරුවගේ සිද්ධිය වගේම මාධ්‍යවලින් දකින දේවල් දැක්කාම පපුවත් රිදෙනවා. මොන අපරාධද කියලා. දරුවෝ කොහොම පරිස්සම් කරන්නද? තාත්තා, බාප්පා, මාමා, සීයා ළඟවත් දරුවෝ තියලා යන්න බැරි කාලයක්. අබුද්දස්ස කාලේ සිද්ධ වෙන දේවල්. ගෑනු ළමයෙකුට තියා වයසක ගෑනු කෙනෙකුටවත් සැනසීමේ ජීවත් වෙන්න බෑනේ. ඒ තරමට සාහසික අපරාධ. රිෂාඩ් වගේ අය නිලය, ධනය අවියක් කරගෙන කරන අකටයුතුකම් වහා නැවැත්විය යුතුයි. වැරදි කරන කාටත් ජාති, ආගම්, පක්ෂ පාට, කුලමල භේදයෙන් තොරව දැඩි දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම් දිහාවත් බලලා අඩුගානේ අනිත් අයවත් වැරදි නොකර ඉඳීනේ.