
වසර ගණනාවක්ම රසායනික පොහොර පාවිච්චි කළාම වැඩි අස්වැන්නක් ලැබෙන බව සඳහන් කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව සියලු දෙනා දන්නා රහසකි. රසායනික පොහොර පොළාවට ලබා දීම නිසා පසේ සිටි ක්ෂුද්‍ර ජීවීන් අඩි ගාණනක් පහළට ගොස් ඇත. පොළොව එන්න එන්නම තද වී ඇත. නිලධාරීන් මෙන්ම රසායනික පොහොර සහ රසායනික කෘමි නාශක වෙෙළඳාම් කළ වෙළෙඳුන් ජනතාවට කීවේ, රසායනික පොහොර වැඩිපුර පසට එක්කරන ලෙසට ය. අප රට තුළ මහ පොළොව දැන් රසායනික පොහොර සහ රසායනික තෙල් වර්ග හේතුවෙන් දුර්වල වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් කිසිදු රාජ්‍ය නායකයකු ගන්නා නැති තද තීරණයක් ගත්තේ අසරණ ජනතාව මෙන්ම ලංකාවේ පස සුව පත් කිරීමේ අදිටනිනි. අප සියලු දෙනාම අද එකාමෙන් එකට එකතුවී කාබනික පොහොර සහ කාබනික කෘමි නාශක නිෂ්පාදනය කර පස සුවපත් කිරීමට කටයුතු කළ යුතුයි.
රසායනික පොහොර පසට යෙදීම නිසා පානීය ජලය අපවිත්‍ර වී ජනතාවට වකුගඩු රෝගය පැතිරෙන්නට විය. ඒ රෝගී අසරණ රෝගීහු අද මරණය සමඟ සටන් වදිමින් සිටිති.
රසායනික ද්‍රව්‍ය මහ පොළොවට එක්වීම නිසා මහ පොළොව වාගේම අපගේ පානීය ජලය ද විනාශ වී ඇත. මේ හේතුව නිසාම වකුගඩු රෝගය, පිළිකා රෝගය, අඩු වයස දරුවන්ගේ ඇස් අන්ධ වීම, අඩු වයස දරුවන්ට දියවැඩියා වැනි බෝනොවන රෝග ඇති වීම රට පුරාම සිදු වී ඇත. සමහර පවුල්වල දෙන්නා තුන්දෙනා මේ රෝග වලට බිලි වී අසරණ වී මරණයත් අතර සටනක යෙදී සිටිනු අපට දක්නට පුළුවන.
ඒ . ලක්සිරි (47) මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස මෙසේය.
‘මට වකුගඩු රෝගය හැදිලා අවුරුදු හතරයි. මම හරිම අපහසුතාවෙන් තමයි ජීවත් වෙන්නේ. දින හතරක් වැනි කාලයක් තුළ ලේ මාරු කරන්න ඕන.මගේ දියණිය දැනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබනවා. මගේ බිරිඳට රැකියාවක් නැහැ. ඇය වෙෙළඳපොළට ගිහිල්ලා මිරිස් කරල් සහ තුන පහ ගෙනල්ලා හොඳට සෝදා වියළා මිරිස් කොටන මෝලකට ගෙනිහිල්ලා ඒවා කුඩු කරගෙන ඇවිත් පැකට් කර වෙෙළඳපොළට නිකුත් කරනවා. ඉතින් අපට පුළුවන් විදියට මේ කරන රැකියාවෙන් දරුවාගේ ඉගෙනුමට අවශ්‍ය මුදල් සොයා ගන්නවා. දරුවා කියන්නේ මම කවදාහරි වෛද්‍යවරයෙක් වෙනවා කියා.
ජනාධිපතිතුමා හරි උදව් කිරීමට කැමති යම් අයෙක් සිටිනවා නම් මිරිස් සහ තුන පහ ටික අඹරා ගැනීමට මැෂිමක් අරගෙන දෙන්න. ඒ වාගේම ඒ මිරිස් සහ තුනපහ ටික තොග වශයෙන් ලබාදීමට හැකි වෙෙළඳ ආයතනයක් සොයා දෙන්න. මේ උදව්ව කරන්නට පුළුවන් නම් අපට දියුණු වෙන්න පුළුවන්. මට වකුගඩු ආධාර මුදල ලැබෙනවා. නමුත් එම මුදල බෙහෙත් වලටත් මදි. ලේ මාරු කරන්න යන්න එන්න ඕන. බොහොම කරදර මැද්දේ ජීවත් වනවා. මගේ වකුගඩුවලින් 20% ක් පමණයි දැන් තියෙන්නේ කියලා වෛද්‍යතුමන්ලා කියනවා. මගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනිමට මිරිස් තුනපහ අඹරන මැෂිමක් අරන් දෙනවා නම් මහා පින්කමක්.
වකුගඩු ගැටලුව ගැන නාලනී දමයන්ති (46) පැවසුවේ මෙවැන්නකි.
‘මට වකුගඩු රෝගය හැදිලා අවුරුදු හතරයි. මගේ බඩේ වතුර. පැය හතරෙන් හතරට බඩේ වතුර මාරු කරන්න ඕන. මගේ බඩට බට දාලා තියෙන්නේ. මට කැමති දේ කන්න බැහැ. මට අවශ්‍ය තරමට වතුර බොන්න බැහැ. දිනකට මට දියර ලීටර් 750 යි බොන්න පුළුවන්. මට දුවලා හතරදෙනයි.මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. මගේ මහත්මයා කුලී වැඩ කරන්නේ. මගේ පොඩි දුව පහ වසරේ ඉගෙනුම ලබනවා. අපේ තාත්තා කුඹුරු වැඩ හරි හරියට කළා. රසායනික පොහොරම තමයි ගැහැව්වේ. දැන් මම ඇද උඩට වෙලා ඉන්නවා. මගේම දුවලා තමයි මේ බඩේ තියෙන වතුර මාරු කරන්නේ. පුදුම කරුමයක් තමයි ගෙවන්නේ. අද ගෙදර හැමෝටම දුක තමයි. කරදර තමයි. මොනවා කරන්නද?
බී.ජී.එම්. සරත් තිලකසිරි( 47) සිය ගැටලුව සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.
‘මගේ වකුගඩුව දැන් 7% ක් පමණයි තිබෙන්නේ කියලා වෛද්‍යතුමන්ලා කියනවා. මගේ ජීවිතයේ හැමදාම රසායනික පොහොර දාලා තමයි එළවළු සහ කුඹුරු වැඩ කළේ. 2019 වසරෙදි මට වකුගඩු රෝගය හැදුණේ. එදා සිට මේ දක්වාම මැරි මැරී ජීවත් වෙනවා. දැන් කිසිම වැඩක් කර ගන්න බැහැ. මගේ අම්මා විමලා මැණිකේ. එතුමියටත් වකුගඩු රෝගය හැදිලා. මම ලේ මාරු කරන්න ඕන. ඉතින් ඉස්පිරිතාලෙට ගියාම ලේ මාරු කළාම එන්න ඕන තනිවම. බොහෝ වේලාවට කලන්තෙ හැදෙනවා. අම්මා අසනීප නිසා මම රෝහලට යන්නේ තනිවම. ඇත්තටම අපි දැන හෝ නොදැන කළ වරද තමයි පිටරටින් ගෙනල්ලා අපිට දිපු රසායනික තෙල් පොහොර. ජනාධිපතිතුමා මේ වකුගඩු ලෙඩේ වැඩිවන බව දැනගෙන තමයි කාබනික වගාවට යන්න කියන්නේ. මේ වාගේ දුකක් ඉදිරි පරම්පරාවට නම් දෙන්න එපා. මම ලේ මාරු කළාම කිලෝමීටර් 24 ක් පමණ පයින්ම තමයි එන්නේ. අපිට යන්න අපි එක්කර ගෙන යන්න කවුරුත් නැහැ. සමහර දිනවල මම රෑ දොළහට තමයි රෝහලෙන් එන්නේ. ඉතින් මොනවා කරන්නද? අඩුම තරමින් අපි දෙදෙනාටම වකුගඩු රෝගය හැඳුනා කියලා සමෘද්ධිය වත් දෙන්නේ නැහැ.
විමලා මැණිකේ (71) සිය රෝගී තත්ත්වය ගැන පළ කළේ මෙවන් අදහසකි.
මම සහ පුතා සමඟ දුවගේ පුතා අප ගෙදර ඉන්නේ. ඒ පුතා දැන් හත වසරේ ඉගෙන ගන්නේ. මගේ පුතා සරත් වකුගඩු රෝගය නිසා ලේ මාරු කර කර ජීවත් වෙනවා. රසායනික තෙල් පොහොර අපට නතර කරන්න කියලා කවුරුහරි උපදෙසක් දුන්නේ 2020 අවුරුද්දෙදි. දැන් නම් එදා සිට කාබනික පොහොර දමලා තමයි එළවළු හදාගෙන තිබෙන්නේ. ඒ එළවළු ටිකක් මිල වැඩිය මම විකුණනවා. දිනපතාම ඒ එළවළු ටික අරගෙන ගෙවල් වලට ගොස් අලෙවි කර ගෙදරට අවශ්‍ය අනෙකුත් දේ ගෙන එනවා. මට ඉතින් දුක තියෙන්නේ අම්මා තාත්තා නැති මා ළඟ සිටින මගේ මුනුපුරා ගැන.
බී. එම්. එස්. කරුණාතිලක (58) මේ රෝගයෙන් පීඩා විඳින තවත් කෙනෙකි.
‘මම පදවිය රෝහලෙන් වකුගඩු රෝගයට ප්‍රතිකාර ගන්නවා. අනුරාධපුර රෝහලටත් යනවා. 2012 ඉදලා තමයි මේ කරුම ලෙඩේ අහුවුණේ. අපි යකඩයෝ වාගේ හිටපු මිනිස්සු. හොඳට මහන්සි වෙලා වැඩ කළා; කුඹුරු කෙටුවා; හේන් කෙටුවා; හොඳට වගා කළා. හැබැයි අපි නොතේරුම්කම නිසා රසායනික පොහොර වගේම රසායනික කෘමි නාශක රසායනික වල් නාශක තමයි ගැහැව්වේ. එදා හිටපු කෘෂිකර්ම නිලධාරීන් අපේ ගමට ආවාම අපට කීවේ මේ අස්වැන්න වැඩි කර ගැනීමට මේ මේ පෝර ජාති දාන්න කියලා. සමහරවිට අපට පෝර වර්ග ගෙනල්ලා දුන්නා. අද තමයි අපට තේරෙන්නේ ඒකෙ ඇති නරක. දැන් බලන්න මේ වකුගඩු රෝගය හැදිලා මොන තරම් දුකක් විඳිනවද? මම දුක්විඳිනවා. ගෙදර හැමෝම දුක් විඳිනවා. ගේ දොර ඉඩකඩම් වගා කරන්න ශක්තියක් නැහැ. මේ කරුම රෝගය හැඳුණාම කිසිම වැඩක් කරන්න බැහැ‘
වී. පියදාස ගේ තත්ත්වය මෙවැන්නකි.
‘අනේ මහත්තයො මේ කරුම ලෙඩේ ගැන නම් හරිම දුකයි. වකුගඩු රෝගය හැදුන ගෙදරක කෙල්ලක් හිටියාම ඒ කෙල්ල දීගෙක දෙන්න බැහැ. හැමදාම බෙහෙත් වර්ග බොන්න ඕන. ඇඟට කිසිම පණක් නැහැ. ගෙදර අයටත් හරිම කරදරේ. මරණයත් එක්ක ජීවත් වනවා. දරුවන්ටත් හරිම දුකයි. ඇයි ඉතිං කොයි වෙලාවේ මැරී වැටෙයිද කියලා කියන්න බැහැ‘
අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්. එම්. වන්නිනායක වකුගඩු රෝගයෙන් විඳින මේ රෝගීන් පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
‘අද සෞඛ්‍ය අංශ පවසන විෂ සහිත ආහාර, රසායනික බැරලෝහ වර්ග නිසා හේතුව නොදන්නා වකුගඩු රෝගී තත්ත්වය ඇතිවන බවට ප්‍රබල මතයක් පවතිනවා. සමහර අය මේ පිළිබඳ ව එකඟ වෙන්නේ නැහැ. කෙසේ නමුත් දිවයිනේ වැඩිම වකුගඩු ආසාදන රෝගීන් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ඒ ප්‍රමාණය 175222 ක් වෙනවා. රුධිර කාන්දු කරණය කරන මට්ටමේ රෝගීන් 302 ක් පමණ සිටිනවා. රජයෙන් මාසිකව වකුගඩු රෝග ආධාර ලබන රෝගීන් 9225 ක් සිටිනවා.
විද්‍යාත්මකව කුමන මත තිබුණත් එක්කෝ වකුගඩු රෝගය අනුරාධපුරයට,රජරටට ආවේණික ජානමය තත්ත්වයක් විය හැකියි. එය වර්ධනය කරමින් රෝගී තත්ත්වය මතුකරන ප්‍රබල සාධකයක් ලෙස රසායනික ගොවිතැන හේතුවන බවට ප්‍රබල පිළිගැනීමක් තිබෙනවා.
අනුරාධපුර ශික්ෂණ මහ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ බෝ නොවන රෝග ඒකකයේ වෛද්‍ය හේමා වීරකෝන් මෙසේ පැවසුවාය.
‘උතුරු මැද පළාතේ 90 දශකයේ සිට වකුගඩු රෝගය පැතිර යනවා. වකුගඩු රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල මුදලක් වැය කරනවා. ඒ මුදල වසරින් වසර වැඩි වනවා. දිනෙන් දිනම රජරට වකුගඩු රෝගීන් ලොවෙන් සමුගන්නවා. 2019-2020 වසර වල යම් ප්‍රමාණයක වකුගඩු රෝගීන් ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබෙනවා. වකුගඩු රෝගය නිසා අංශභාගය හා හෘදයාබාධ වැනි රෝග ආසාධනය වී මිය යෑම සිදු වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මැදවච්චිය, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මැදිරිගිරිය වැඩිම රෝගීන් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ගත් විට වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ පදවිය ප්‍රදේශයෙන්. අවුරුදු 30 ට වැඩි බහුතරය පිරිමි පක්ෂයට මෙම රෝගය සෑදී ඇති බව වාර්තා වෙනවා. ගොවිතැන් කරන අය අතර ප්‍රතිශතයක් ලෙස 70% කට වකුගඩු රෝගය ඇති බව වාර්ථා පෙන්වා දෙනවා. ගොවිතැනට උදව් කරන ගෘහණියන් වකුගඩු රෝගයට ගොදුරු වී ඇත. කෘත්‍රිම රසායනික පොහොර පාවිච්චි කරන ප්‍රදේශ වලින් වැඩිපුර රෝගීන් වාර්තා වී තිබෙනවා. රසායනික පොහොර වැඩි පුර පොළොවට එක්කිරීම නිසා ජලය ලවන බහුල කිවුල් වෙනවා. හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳව අදටත් පරීක්ෂණ පවත්වනවා. වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය අංශ වල ප්‍රධානතම අරමුණ වී තිබෙනවා.
චිත්‍රාරත්න කළුආරච්චි, හිදෝගම සමූහ