
රට වටා තිබෙන මහ මුහුද සම්පතක් ආකරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වටහාගෙන තිබේ. මෙරට කර්මාන්ත පුරයක් කරමින් ශ්‍රී ලංකාව ලෝකය තුළ ඔසවා තැබීම තම අපේක්ෂාව බව හෙතෙම පුන පුනා පවසන්නේ එනිසාය. ඒ සඳහා රටට ආදරය කරන දක්ෂ නායකයකයන් අදාළ ආයතනවලට පත් කිරීමට පියවරගෙන ඇත්තේද එනිසාය. ඒ බව පසුගියදා හම්බන්තොට ලංකා ලුණු සමාගමට ගිය අපට සක්සුදක් සේ පැහැදිලි විය.
වර්ෂ 1938 දී දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කළ ලුණු ලේවාය 1958 දී ජාතික ලුණු සංස්ථාව බවට පත්ව විය. 1977දී මෙම ලුණු සංස්ථාව සමාගමක් බවට පත් වූ අතර, එදා සිට මේ දක්වා විවිධ හැල හැප්පීම් මධ්‍යයේ විවිධ වෙනස්කම්වලට මුහුණදෙමින් අද තිබෙන තත්වයට පැමිණ තිබේ. පසුගිය යහපාලන සමයේ ලංකා ලුණු සමාගම අයථා ගනුදෙනු නිසා රුපියල් කෝටි 24ක පමණ දැවැන්ත ණය උගුලක සිරවී තිබූ බවත්, සේවකයන්ගේ සහය ඇතිව නිසි ලෙස කළමනාකරණය කළ නිසා මෙම ණය මුදල පියවමින් රුපියල් මිලියන හතළිස් හතරක ලාභයක් උපයා ගැනීමට සමාගමට හැකි වූ බවත් ලංකා ලුණු සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සඳබරණ අප සමඟ පැවසීය.
![]() |
ලංකා ලුණු සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාන්ත සඳබරණ |
ආවර්තිතා වගුවේ දැක්වෙන සියලු සංඝටක මහ මුහුදේ තිබෙන නමුත් අප එයින් ප්‍රයෝජනයට ගන්නේ ඉතාම ස්වල්පයක් පමණි. තාක්ෂණය යොදාගෙන ලේවාය ආශ්‍රිතව කර්මාන්ත පුරවරයක් බිහිකර නව රැකියා උත්පාදනය කිරීමට හැකියාව තිබියදී අප එසේ නොකරන්නේ ඇයි ද යන්න බරපතළ ප්‍රශ්නයකි. මෙරටට ආනයනය කරන අමුද්‍රව්‍ය රැසක් මුහුදු ජලයෙන් නිපදවීමට හැකියාව ඇති බැවින් ඒවා නිපදවීම කෙරෙහි තම අවදානය යොමු වී ඇති බව සභාපතිවරයා පවසයි.
ලුණු මුදවා ගැනීමේදී මුහුදෙන් ලබාගන්නා ජලය ක්‍රමයෙන් ඝනත්වය නැතිනම් සාන්ද්‍රණය වැඩි කරමින් පාත්තියෙන් පාත්තියට ගමන් කරන ක්‍රියාවලියක් පවතී. සාමාන්‍යයෙන් මෙලෙස ලබාගන්නා ජලයේ ඝනත්වය 3.5 කි. මෙම ඝනත්වයේ අගය 14ට පමණ පැමිණි පසු ජිප්සම් (කැල්සියම් සල්ෆේට් ඩයිහයිඩ්‍රේට්) වැටෙන්නට පටන් ගනී. එලෙස ද්‍රාවණයේ ඝනත්වය 14 සිට 24 පමණ වනතෙක් ජිප්සම් තැම්පත්වීම සිදු වේ. ඒ අනුව ලුණු නිර්මාණය වීමට ප්‍රථම ජිප්සම් ලැබේ. මෙලෙස වසරකට ජිප්සන් ටොන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් ලැබේ. නමුත් කාලගුණික තත්ත්වයන් හමුවේ මෙය වෙනස් වේ. සාමාන්‍යයෙන් අඛණ්ඩව ඒක දිගට ඒකම පාත්තියෙන් ජිප්සම් ලබාගත නොහැකි වුවද වසර දෙකකට සැරයක් පාත්තියකින් ජිප්සම් ලබා ගැනීම අසීරු නොවේ. මෙම ජිප්සම් අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් ලොව පුරා විවිධ රටවල කර්මාන්ත බිහිව තිබේ.
ජිප්සම් යනු ශාක පෝෂණය සහ බෝග අස්වැන්න වැඩි දියුණු කිරීම සඳහා යොදා ගන්නා විශිෂ්ට සල්ෆර් ප්‍රභවයකි. බොහෝ පෝෂ්‍ය පදාර්ථ ශාක මූල විසින් අවශෝෂණය කර ගැනීම සඳහා කැල්සියම් අත්‍යවශ්‍ය වේ. අම්ල පස් වැඩි දියුණු කිරීම සහ ඇලුමිනියම් විෂ වීම සඳහා ප්‍රතිකාර කිරීමට මෙය උපයෝගී වේ.
නවීන නිවාසවල ජිප්සම් මඟින් නිපද වූ සිවිලිම් මෝස්තර යොදා ගැනීමට නිවාස හිමියන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් බොහෝ කැමැත්තක් දක්වති. ලොවපුරා ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතී. නමුත් අප තවම ජිප්සම් යොදාගන්නේ 'සිමෙන්ති' නිපදවීම සඳහාය. 'ෆ්ලාස්‌ටර් ඔෆ් පැරිස් ' නිපදවා යට කී නිෂ්පාදන සඳහා යා හැකි නම් අපට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකිය. මේ වනවිට තායිලන්තය, වියට්‌නාමය, ඉන්දුනීසියාව වැනි රටවල්වලින් වසරකට 'ෆ්ලාස්‌ටර් ඔෆ් පැරිස් ' ටොන් 6000 ක් පමණ මෙරටට ආනයනය කරන අතර ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 150කට අධිකය. අප මේ අවශ්‍යතාව සපුරා ගතහොත් විදේශ රටවලට ඇදී යන විශාල මුදලක් නවතා ගැනීමට අපට හැකි වේ. එළඹෙන වසරේ හම්බන්තොට ලුණු ලේවායේ 'ෆ්ලාස්‌ටර් ඔෆ් පැරිස් ' කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම වත්මන් සභාපතිවරයාගේ අරමුණය.
ලුණු නිෂ්පාදනයේ බිහිවන ආර්ටීමියා පාර්ටනජෙනෙටිකා (Artemia parthenogenetica) යනු ලුණු නිෂ්පාදනයේදී හමුවන තවත් ඵලයකි. මොවුන් ඉස්සන් අයිති වන මෙටැනෙෆ්රොප්ස් ජැපෝනිකස් (Metanephrops japonicus) කුලයට අයත් සත්ත්ව විශේෂයකි. මෙම සතුන් ඇති වන්නේ ලවන සාන්ද්‍රණය වැඩි කරදිය ආශ්‍රිත ප්‍රදේශවලය. අර්ටීමියාවන් ස්වභාවිකව ඇති වන සත්ත්ව විශේෂයකි (Natural Ocat). ලෝකයේ ඇති ප්‍රෝටීන් බහුලම ජීවී සත්ත්ව ආහාරය ලෙස ආර්ටීමියා පිළිගැනීමට ලක්ව තිබේ. ලොව පුරා ආර්ටීමියා වර්ග අටක් පමණ ඇති අතර ඉන් මෙරටදී හමුවන කාණ්ඩය සුවිශේෂී වේ. ඒ ලොව අනෙකුත් ආර්ටීමියා නිෂ්පාදන හා සසඳා බලන කළ වැඩිම මේද අම්ල ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදනයද මෙය වන නිසාය. වසරකට මෙරටට ආර්ටීමියා කිලෝ 1500-2000ක් පමණ අවශ්‍ය වේ. ඒ වෙනුවෙන් වාර්ෂිකව වැය වන මුදල රුපියල් මිලියන 1000ක් පමණ වේ. සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මෙම වගාව තුළින් මෙරට තුළ ඉතිරි කර ගැනීමට හැකිය. මේ වනවිට වසරකට ග්‍රෑම් 150ක ඇසුරුම් 1500ට ආසන්න ප්‍රමාණයක්
![]() |
පලටුපාන ලේවායේ නිෂ්පාදන කළමනාකරු නුවන් උබයසිංහ |
පලටුපාන ලේවායේ නිෂ්පාදනය කරයි. දැනට ඇති අක්කර දහයට අමතරව තවත් අක්කර හතළිහක මෙම වගාව ව්‍යාප්ත කර රටට අවශ්‍ය ආර්ටීමියා සම්පුර්ණයෙන්ම රට තුළ නිපදවීම තම අපේක්ෂාව බව ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාන්ත සඳබරණ පැවසයි.
1980 දශකයේ සිට ලංකා ලුණු සමාගම ආර්ටීමියා සම්බන්ධයෙන් විශාල උනන්දුවක් යොමු කර තිබුණි. ලංකා ලුණු සමාගම තුළට මේ සත්තවයා පැමිණ ඇත්තේ වෛද්‍ය කුරුප්පු තම ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙනි. ලංකා ලුණු සමාගමට අයත් පලටුපාන ලේවාය ආටිමියා වගාව සඳහා යොමු වන්නේ ඒ අනුවය. ඒ මැක්ඩා ආයතනය, නාරා ආයතනය සහ ජලජ ජීවි සංවර්ධන අධිකාරියේ මඟපෙන් වීමෙනි. පලටුපාන ලේවායේ නිෂ්පාදන කළමනාකරු ලෙස සේවය කරන නුවන් උබයසිංහට නාරා අයතනය මඟින් වියට්නාමයේ කැන්තෝ විශ්වවිද්‍යාලයට සම්බන්ධ කර ආටිමියා වගාව සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදෙන අතර, අනතුරුව එම විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව 2007 සිට මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ඒමට කටයුතු කර තිබේ.
ආර්ටීමියා බිත්තර මඟින් ජීවින් ලබාගෙන ඔවුන් මත්ස්‍යයින්ට හා ඉස්සන්ට ජීව ආහාර ලෙස ලබාදීම සිදු කරයි. මෙම නිෂ්පාදනයට අසීමාන්තක ඉල්ලුමක් පවතින අතර එහෙත් එකී ඉල්ලුමට අනුව සැපයිය නොහැකිය. මෙයට හේතුව වී ඇත්තේ ලුණු නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදයක් ලෙස මෙතෙක් කලක් මෙය පවත්වාගෙන ඒමය. එනිසා සභාපති නිශාන්ත සඳබරණ මෙම නිෂ්පාදනය වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට සිය අවධානය යොමුකර තිබේ.
මෙරටට ආනයනය කරන ආර්ටීමියා ආහාර ග්‍රෑම් 400ක මිල රුපියල් 18000ක් පමණ වේ. නමුත් මෙරට තුළ නිෂ්පාදනය කරන ආර්ටීමියා ග්‍රෑම් 150ක ටින් එකක මිල රුපියල් 1500 කි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි අසුරා තිබෙන බිත්තර ආර්ටිමියාවන් බිහි කරගත හැකි ප්‍රතිශතය (රැක්ක වීමේ අනුපාතය ) සියයට අසූපහක් පමණ වීමය. මෙම නිෂ්පාදනයේ කල් ඉකුත්වීමක් නොදක්වෙන අතර, මෙය වසර 3000ක් වුව ඇසුරුම් කර තබා ගත හැකිය. ඊට හේතුව වන්නේ මෙම බිත්තර ඝන ප්‍රෝටීන් අවරණයකින් ආරක්ෂාවී පැවතීමය. මෙනිසා ආර්ටීමියා බිත්තර කාලතරණ ජීව මාධ්‍යයක් ලෙස පිළිගෙන තිබේ.
සාමාන්‍යයෙන් වැඩුණු ආර්ටීමියා සතකුගේ දිග සෙන්ට් මීටර් 2.5 කි. ලවන සහිත මඩ ජලයකට ආර්ටීමියාවන් දැමූ විට එය පිරිසිදු කර ආහාරයට ගැනීම උගේ ස්වභාවය වේ. එනිසා පෙරා බුදින්නකු ලෙස ආර්ටීමියාවන් හඳුන්වයි.
ආර්ටීමියාවන් ගේ බිත්තර කිලෝවකින් බොල් බිත්තර, මඩ, වැලි ආදිය ඉවත් වූ පසු ඇසුරුම් මට්ටමේ බිත්තර සාදා ගත හැක්කේ ග්‍රෑම් 333ක් පමණය. සාමාන්‍යය හෙක්ටයාර් එකක වගාබිමකින් බිත්තර කිලෝ ග්‍රෑම් 80-120 අතර ප්‍රමාණයක් ලබාගත හැකි බව සඳහන්වේ. එවැනි තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන පාත්තියේ ජලයේ ඝනත්වය, ගැඹුර, පරිසර සාධක සහ ලබා දෙන ආහර බෙහෙවින් වැදගත්වේ.
ආටිමීයා බිත්තර ක්‍රමාණුකූලව වියළා ගෙන පළමුව ලුණු ස්ථරයක් දමා ඊළඟට බිත්තර ස්ථරයක් යොදන අතර එලෙස මාරුවෙන් මාරුවට බිත්තර තැන්පත් කරයි. එලෙස සකස් කරගත් මාධ්‍ය (බිත්තර මේරීම සඳහා) මාස තුනක කාලයක් තිබෙන්නට හරියි. ඉන් අනතුරුව පිරිසිදු ජලයෙන් බිත්තර සෝදා වියළි පනලයට දමා පැය පහක් හෝ හයක් වියළා ගනී (මෙම කාලය බිත්තර යොදන ප්‍රමාණය කිලෝ ගණන අනුව තීරණය වේ.). අනතුරුව බිත්තර තයිසියක් ආදාරයෙන් හලා ගන්නී. එලෙස වියළා හලාගත් බිත්තර ග්‍රෑම් 150 වන්නට කිරා නයිට්‍රජන් පිරවූ ටින් ඇසුරුමට දමා යන්ත්‍රයක් ආධාරයෙන් සීල් කරයි. ඇසුරුම තුළට නයිට්‍රජන් යොදන්නේ වෙනත් කිසිදු සංඝටකයක් හා ප්‍රතිකියාවක් ඇති නොවීමටය. එමඟින් එහි කල්පැවැත්ම සහතික වේ. අනතුරු ලේබල් කර වෙළෙඳපොළට නිකුත් කිරීම සිදු කරන බව පලටුපාන ලේවායේ නිෂ්පාදන කළමනාකරු නුවන් උබයසිංහ පැවසීය.
ලංකා ලුණු සමාගම ලංකාවේ ප්‍රථම සහ එකම ආර්ටීමියා නිෂ්පාදන ආයතනය වේ. මෙවැනි ආර්ටීමියා නිෂ්පාදනාගරයක් ඇත්තේ ලංකා ලුණු සමාගම සතුව පමණි.