‘ජාතියේ මහා පහන් ටැඹ’ ලංකා බැංකුව සිය 82 වැනි සංව­ත්ස­රය අභි­මා­න­යෙන් සම­රයි | සිළුමිණ

‘ජාතියේ මහා පහන් ටැඹ’ ලංකා බැංකුව සිය 82 වැනි සංව­ත්ස­රය අභි­මා­න­යෙන් සම­රයි

ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලංකා බැංකුව විසින් මේ වසරේදී සිය 82 වැනි සංවත්සරය සමරනු ලබයි. ‘ජාතියේ මහා පහන් ටැඹ’ ලෙසින් විරුදාවලි ලත් ලංකා බැංකුව පසුගිය කාල වකවානුවේ දී අසමසම කාර්යභාරයක් ඉටුකරමින්, විදේශීය වෙළෙපොළ දක්වා තම සේවා පුළුල් කිරීම මඟින් මෙරට ආර්ථිකය නගා සිටුවීමට මෙන්ම උසස් මූල්‍ය සේවාවන් රැසක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට දායාද කිරීමට ද සමත්වී තිබේ.‍

ලංකා බැංකුව, ශ්‍රීමත් ඇන්ඩෲ කැලිඩිකොට් ආණ්ඩුකාරවරයා විසින් 1938 ‘ලංකා බැංකු ආඥා පනත’ යටතේ, 1939 අගෝස්තු 1 වැනි දින බ්‍රිස්ටල් වීදියේ (වත්මන් ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත) අංක 41 දරන ලිපිනයෙහි ස්ථාපිත කෙරුණි.

ලංකා බැංකුවේ දශක ගණනාවක කීර්තිමත් ඉතිහාසය සිහිපත් කරමින්, එහි සභාපති කාංචන රත්වත්තේ පැවසුවේ, වගකිවයුතු ආයතනික පුරවැසියකු වශයෙන් සිය යුතුකම් හා වගකීම් පිළිබඳව පූර්ණ අවබෝධයෙන් කටයුතු කරන ලංකා බැංකුව මෙරට ආර්ථික ප්‍රගමනය සඳහා නිරන්තරයෙන් තම පූර්ණ සහයෝගය ලබාදී ඇති බවයි. පසුගිය වසර 82 තුළ ලංකා බැංකුව අත්කරදුන් මෙරට සමාජ ආර්ථික සංවර්ධනය, ජනතාවගේ හදවත් දිනා ගැනීම සහ ඔවුන්ගේ සමීපතම සාමාජිකයකු බවට පත්වීම ආදී ජයග්‍රහණ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමෙන් පමණක් අත් කරගත නොහැකි බව ද ඔහු පැවසුවේය.

“නිවැරදි දැක්මක් සහ ඒ ඔස්සේ සාර්ථක මෙහෙවරක් ඉටුකිරීම මඟින් ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ සිත්සතන් දිනා ගැනීමට ලංකා බැංකුව සමත් වී ඇති බව කිසිදු සැකයකින් තොරව පැවසිය හැකියි. ඒ වගේම අපගේ දීර්ඝ ඉතිහාසය තුළ සෑම වසරක් පාසාම දිවයිනේ අංක ‍එකේ බැංකු සන්නාමය බවට පත්වීමෙන් ම ලංකා බැංකුව කෙරෙහි ඇති ජනතා ආකර්ෂණය පිළිබිඹු වෙනවා. ඒ ‍වගේ ම ඔවුන් අප කෙරෙහි ඇති ආදරය සහ විශ්වාසය අපි නිරන්තරයෙන් රැක ගන්නවා. ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා අපගේ කැපවීම විශේෂයෙන් දුෂ්කර කාලවලදී අප පෙන්වා තිබෙනවා. මෙසේ ජනතාව සමඟ ඇති අන්‍යොන්‍ය සබඳතාව වසරින් වසර අපව ශක්තිමත් කරනවා.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රත්වත්තේ ප්‍රකාශ ක‍ළේ ය.

ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ. ගුණසේකර මේ අයුරින් අදහස් දැක්වූවේය.

“ශ්‍රී ලංකාවේ බැංකු වංශ කතාව තුළ ස්වර්ණමය වසර 82 ක් සාර්ථකව අවසන් කරමින් ලංකා බැංකුව තැබූ වාර්තාව කිසි දා බිඳලිය නොහැකියි. විවිධාකාරයේ අනපේක්ෂිත බාධක හමුවේ සමබරතාව පවත්වා ගනිමින් ජනතාවට සේවය කිරීමෙන් ලංකා බැංකුව පිහිටුවීමේ අරමුණ සාක්ෂාත් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අපගේ පු‍රෝගාමීන්ට කෘතඥතාව පළ කිරීමට ඇති හොඳම මාර්ගය එය බව මම විශ්වාස කරනවා. ඉදිරියේදීත් මේ රටේ අංක එකේ බැංකුව ලෙස රජය විසින් දියත් කරන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට ලංකා බැංකුව අඛණ්ඩව සහයෝගය ලබා දෙනවා.”

පසුගිය වසර 82 ක කාලය තුළ ගනුදෙනුකරුවන්ගේ විවිධ වූ මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක විසඳුම් ලබාදීමෙන් ජාතියේ සංවර්ධන අභිලාෂයන් ඉටු කරන බලවේගයක් බවට ලංකා බැංකුව පත්වී ඇත. මේ නිසා ම මෙම කාල සීමාව තුළ දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද ලංකා බැංකුව පිළිගැනීමට ලක්වී ඇත. ලංකා බැංකුව ශ්‍රී ලංකාව පුරා සේවා මධ්‍යස්ථාන 2000 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර, චෙන්නායි, මාලේ, හුල්හුමාලේ සහ සීෂෙල්ස් හි සිය විදේශීය ශාඛා පිහිටුවා ඇත. ඊට අමතරව ලන්ඩනයේ තම පූර්ණ අනුබද්ධිත ආයතනයක් පවත්වාගෙන යන ලංකා බැංකුව ශ්‍රී ලංකාව තුළ මෙන් ම කලාපීය බැංකු කර්මාන්තය තුළ ද කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කරයි.

එක්සත් රාජධානිය තුළ ප්‍රකාශයට පත් කරන, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති The Banker සඟරාව ඔවුන්ගේ 2020 වසරට අදාළ ශ්‍රේණිගත කිරීම් තුළදීත් ඉහළම ගෝලීය බැංකු සන්නාම 1000 අතරට මෙන්ම ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ලංකා බැංකුව නම් කර ඇත. එමෙන් ම Brand Finance Lanka සහ Media Services Publications යන ආයතන එක්ව ‘BOC’ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙස අඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රේණිගත කර ඇත. එමෙන් ම මෙම වස‍රේදී ලංකා බැංකුවේ සන්නාම වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව 12% කින් වර්ධනය වී ඇති බව ද සිහිපත් කළ යුතුමය.

2020 වර්ෂය සඳහා මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළම ලාභය වාර්තා කළ ලංකා බැංකුව බදු පෙර ලාභය රුපියල් බිලියන 23.6 ක් සහ වත්කම් රුපියල් ට්‍රිලියන 3 ක් වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව 2020 දී ලංකා බැංකුවේ ආමුඛ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ඉක්මවා වර්ධනය වූ අතර එය තවත් කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකි ය. කොවිඩ් - 19 වසංගතයෙන් අඩපණ වූ ව්‍යාපාර නංවාලීමට මෙන් ම දැනට ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම වෙනුවෙන් එන්නත් ආනයනය කිරීම පහසු කිරීම සඳහා ද ලංකා බැංකුව තම සුවිශේෂී දායකත්වය ලබා දී ඇත. එමෙන් ම මෙම කාල වකවානුවේදී ගනුදෙනුකරුවන්ට ලබාදී ඇති ණය සහනවල මුළු වටිනාකම රුපියල් බිලියන 800 ඉක්මවයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම මඟින් ජාතික ආර්ථික සංවර්ධනය උදෙසා ද දායකත්වය ලබාදෙන ලංකා බැංකුව, ‘BOC දිවි උදාන ණය යෝජනා ක්‍රමය’ මඟින් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යවසායක අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගය ලබාදෙයි. එම සංකල්පය තවදුරටත් ශක්තිමත් කරමින් ‘සෞභාග්‍යා’ ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීමට ද ලංකා බැංකුව කටයුතු කළ අතර, එමඟින් ලබාදී ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 39.1 ඉක්මවයි.

දිවයිනේ ආර්ථික සංවර්ධනයට ඍජු දායකත්වයක් සපයමින්, මනා දැක්මක් සහ පරිචයක් සහිතව, දශක අටක් පුරා සාර්ථකත්වය සමඟින් යන ගමනේදී, තවත් සැතපුම් කණුවක් පසු කළ ලංකා බැංකුව ඉදිරි‍යේදීත් තම සේවා රටේත්, ජනතාවගේත් සුබසිද්ධිය උදෙසා සැලසීමට ඇප කැප වී සිටී.

Comments