
රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් මහජනයාට නිදහස්, නිවහල් දිවිපෙවෙතක් ගතකිරීමට අවැසි වටපිටාව සකසා දීම 85,000කට ආසන්න නිලධාරි පිරිසකගෙන් සමන්විත පොලිස් දෙපාර්තමේන්තුවේ පරම වගකීම වේ. බහුතරයක් නිලධාරිහු එකී වගකීම උදෙසා රාජකාරිය අකුරටම ඉටුකරන්නෙ දිව රෑ වෙහෙසෙමිනි. මේ දිනවල කොරෝනා මාරයාද රටම වසාගෙන පැතිර යද්දී මාර්ග අවහිර කරමින් රාජ්‍ය දේපළවලට හානි කරමින් සිදුකරන උද්ඝෝෂණ නිසාවෙන් මහජනයාගේ ජනජීවිතවලට එල්ල වන බලපෑම් අතිමහත්ය. එම නිසා එම උද්ඝෝෂණ මැඬලීමට පොලිස් නිලධාරිහු අපමණ වෙහෙසක් දරති.
උගත්, බුද්ධිමත් පිරිස් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියත් එවැනි අවස්ථාවලදී කලහකාරි දාමරිකයන් ලෙස හැසිරෙන උද්ඝෝෂකයන්ගෙන් පොලිස් නිලධාරින්ට එල්ල වන්නේ දැඩි පීඩනයකි. නැතිනම් තර්ජනාත්මක ස්වරූපයේ වදන්වලින් යුත් නොහොබිනා හැසිරීම් රටාවකි. එහෙත් පොලිස් නිලධාරීන් රාජකාරිය නිසි පරිදි ඉටුකරන්නෙ ඒ සියලු බාධක මැද්දේය.
![]() |
මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත |
පසුගිය 03 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගය අසල ජනතා විමුක්ති පෙරමුණට සබැඳි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්ව කොතලාවල පනතට විරෝධය පාමින් උද්ඝෝෂණයක් සිදු කළේ මිනී පෙට්ටියක්ද රැගෙනවිත් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළුවීමට තැත් කරමිනි. එම උද්ඝෝෂණයෙන්ද ජනජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරනවාට අමතරව රාජ්‍ය දේපළවලටද හානි සිදුවූ බව පොලිසිය සඳහන් කළේය.
උද්ඝෝෂකයන් කලහකාරි ලෙස හැසිරෙමින් පොලිසිය යොදවා තිබූ මාර්ග බාධක ඉවත්කොට දාමරිකයන් පිරිසක් ලෙස හැසිරුණු එම උද්ඝෝෂණය මැඬලීමට ගිය එක් පොලිස් කණ්ඩායමක් බාරව සිටි පොලිස් නිලධාරියෙකුට මේ වන විට තම වම් අතෙහි ඇඟිලි දෙකක් අහිමි වී අවසානය.
එලෙස ඇඟිලි දෙකක් අහිමි වූයේ මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්තගේයි. මේ වන විට තලවතුගොඩ පිහිටි පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට ලක්කොට වැඩිදුර ප්‍රතිකාර ලබන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත තමන් මුහුණදුන් එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඔහු සාළුමිණට පැවැසුවේ මෙවැන්නකි.
"ඒ වෙලාවේ උද්ඝෝෂකයන් ඉතාම කලහකාරි ලෙස දාමරික පිරිසක් වගේ හැසිරුණේ; අපි උද්ඝෝෂණ මැඬ පැවැත්වීමේ රාජකාරිවලට මීට පෙරත් එක්වෙලා තියෙනවා... ඒත් මේ උගත්... බුද්ධිමත් පිරිස් ඉතාම අශෝභන ආකාරයෙන් හැසිරුණේ... ඒ අය රාජ්‍ය දේපළවලට හානි කරමින් 'බැරි ගේට්' ඉවත් කරමින් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළුවීමටයි සැරසුණේ... ඒ වෙලාවේ උද්ඝෝෂකයන් බැරි ගේට් දෙකක් උස්සලා ඉවත් කරන්නයි හැදුවේ... එම බැරි ගේට් දෙකකට මගේ ඇඟිලි හිරවුණා... උද්ඝෝෂකයන්ගෙන් රටේ සාමාන්‍ය මහජනතාවට වන පීඩනය වළක්වාලීමටයි මමත් මහරගම පොලිසියේ නිලධාරි කණ්ඩායමක් රැගෙන විශේෂ රාජකාරියක් ලෙස ඊට සම්බන්ධ වුණා.
ඇත්තටම මේ දිනවල අපේ පොලිස් නිලධාරින් පැය 24 පුරාම කැපවෙලා ඉන්නෙ කොවිඩ් රෝගයෙන් ජනතාව බේරා ගැනීම වෙනුවෙන්. එහෙම තත්ත්වයක් රටේම තිබෙද්දි මේ පිරිස් උද්ඝෝෂණය කළාම පොලිසිවල නිලධාරින් බහුතරයකට වැඩිය යොදවන්න වෙනවා; එම උද්ඝෝෂකයන්ගේ කලහකාරි හැසිරීම් මැඬලීමට..."
උද්ඝෝෂකයන් උන්මත්තකයන් ලෙස හැසිරීම නිසා මාර්ග බාධක දෙකක් අතර සිය ඇඟිලි හිරවීමෙන් වූ බරපතළ තුවාල නිසාවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මුලින්ම ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයටයි. අනතුරුව ඔහු ඇතුළත් කෙරුණේ ජයවර්ධනපුර රෝහලටයි.
එහෙත් හදිසි සැත්කමක් සිදු කිරීමට තිබූ හෙයින් ප්‍රධාන පොලිස් පරික්ෂක ජනකාන්ත පසුව ඇතුළත් කෙරුණේ තලවතුගොඩ පිහිටි පෞද්ගලික රෝහලක් වෙතයි. එහිදී ශල්‍ය වෛද්‍ය හිරාන් විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්තගේ වම් අතෙහි අහිමි වූ ඇඟිලි දෙකෙහි පැය තුනක පමණ ප්ලාස්ටික් සැත්කමක් සිදු කෙරිණි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසුවේ, පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ උද්ඝෝෂකයන් විසින් පොලිස් අවවාද කිරීම් නොතකා ඉදිරියට පැමිණෙන අවස්ථාවේදී මාර්ග බාධක යොදා තිබු බවත් පොලිස් අණ නොතකා මාර්ග බාධක පෙරළමින් ඉදිරියට පැමිණීම නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්තගේ අතෙහි ඇඟිලි දෙකක් අහිමි වූ බවයි. ඒ පිළිබඳව විමර්ශනයක්ද සිදුකරන බව හෙතෙම සඳහන් කළේය.
වයස අවුරුදු නවයේ පසුවන කුඩා පුතකුගේ පියෙක් වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ වැඩිමහල් සහෝදරයකුගෙන් යුත් පවුලේ බඩපිස්සාය. පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1997 පෙබරවාරි 15 වැනිදා ආධුනික උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව අවසන්කොට ඔහු උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරි අැරඹිණි.
එල්ටීටීඊ ත්‍රස්තවාදි යුද සමයේ කොළඹ නගරයේ විනාශකාරී ක්‍රියාවන්ට පැමිණි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් රැසක්ම නීතියේ රැහැනට හසුකර ගැනීමට ඉමහත් සේවාවක් ඉටු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත මේ වන විට සිය සේවා කාලයෙන් වැඩිම කාලයක් සේවය කොට ඇත්තෙ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැනි ත්‍රස්තවාදීන්, පාතාල සාමාජිකයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කොටුකර ගැනීමටම ස්ථාපිත විශේෂ පොලිස් ඒකකයන්හිය. ඊට අමතරව පොලිස් නාවික කොට්ඨාසය, ඇල්පිටිය සහ වරකාපොළ පොලිස් ස්ථානයන්හිද රාජකාරි කළ හෙතෙම 2019 සැප්තැම්බර් 04 වැනිදා සිට මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි ඇරැඹීය. මහරගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඬලීම වෙනුවෙන් පසුගිය කාලයේ මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ඔහු ඉමහත් කාර්යභාරයක් ඉටුකළ නිලධාරියෙකි.
පසුගිය 04 වැනිදා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාද ශල්‍යකර්මයකට ලක්කර සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ සුවදුක් විමසීමට පෞද්ගලික රෝහලට ගියහ. එහිදී අමාත්‍යවරයා විසින් රාජකාරිය නිසි පරිදි ඉටුකිරීමට යාමෙන් වූ අනතුර පිළිබඳව කනගාටුව පළ කළ අතර සිදුවූ අනතුර පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර වැරැදිකරුවන්ට දඬුවම් පමුණුවන බවටද පැවැසීය.එදින උද්ඝෝෂණයේදී කලහකාරි ලෙස හැසිරෙමින් රාජ්‍ය දේපළවලට මෙන්ම රජයේ නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු කිරීම නිසාවෙන් උද්ඝෝෂණයේ යෙදුණු පෙරටුගාමි පක්ෂයේ පාලන ලේකම් චමිර කොස්වත්ත සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරියේ සාමාජිකාවක වන කෝෂිලා හංසමාලි යන දෙදෙනා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.
![]() |
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ආචාර්ය සරත් වීරසේකර ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්තගේ සුවදුක් විමසීමට රෝහලට පැමිණි අවස්ථාව |
ඊට අමතරව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප පසුගියදා පොලිසිය අත්අඩංගුවට ගත්තෙ මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටි පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. තවද එදින උද්ඝෝෂණයට සංචරණ සීමා උල්ලඝනය කරමින් මැදිරිගිරිය, පේරාදෙණිය සහ තිස්සමහාරාම ප්‍රදේශවලින් පිරිස් රැගෙන ඒම සම්බන්ධයෙන් වෑන්රථ රියැදුරන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විණි.
1864 මාර්තු 21 වැනිදා සරදියෙල් අත්අඩංගුවට ගැනීමට යාමේදී සරදියෙල්ගේ ගෝලයා වූ මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරින් මාවනැල්ලේදී දිවිපිදු කොස්තාපල් සභාන් රාජකාරියේදී දිවිපිදු පළමු නිලධාරියා වේ. සභාන්ගේ සිට මේ දක්වා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරින් 3119 දෙනෙකු දිවිපුදා ඇත.
මෑත කාලයේදී වැලි ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට යාමේදී පොලිස් නිලධාරින්ට බොහෝ තර්ජනවලට ලක්වීමට සිදු විණි. එහිදී ගිය වසරේ නොවැම්බර් මාසයේදී කොබෙයිගනේ පොලිසියේ කොස්තාපල් නදිප් ආකාෂ් මරණයට පත් වූයේ ජාවාරම්කරුවන්ගෙන් පහර කෑමට ලක්වීමෙනි. 2006 මාර්තු 30 වැනිදා එවකට රස්නායකපුර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ප්‍රදීප් කරුණාධීරද වැලි ජාවාරම්කරුවන් 20 දෙනෙකුගෙන් පමණ පහර කෑමෙන් දකුණු ඇස අහිමිව බරපතළ තුවාල ලද්දේය. වසර 14ක් පුරා ඇදුණු එම නඩු විභාගයෙන් සැකකරුවන්හට පොලිස් පරීක්ෂක ප්‍රදීප්ට එක්කෝටි විසිපන්ලක්ෂයක වන්දියක් ගෙවීමට නියම විණි. එය අනතුරක් නිසාවෙන් වරදකරුවන්ට පොලිස් නිලධාරියකු වෙත ගෙවන්නට නියම වූ ඉහළම වන්දි මුදල ලෙසද සැලැකේ.
ඊට අමතරව 2017 මැයි 09 වැනිදා පිළියන්දල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ චමින්ද අබේවික්‍රම නිලධාරියා මෙන්ම 2018 ජුනි 22 වැනිදා මාතර නිලේඛා කොල්ලයේදී කොස්තාපල් ප්‍රදීප්ද දිවි පිදුවේ අපරාධකාරයන්ගේ වෙඩි පහරවලිනි.
අතළොස්සක් නිලධාරින් නිසා ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරින් ගැරහුමට ලක්වුවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත, ප්‍රදීප් කරුණාධීර වැනි නිලධාරින් ඇස්, ඉස්, මස්, දන් දෙමින් රාජකාරියට කැපව සිටින්නෙ ජනතාව වෙනුවෙනි. බැරි වෙලාවත් උද්ඝෝෂණයේදී කලහකාරි ලෙස හැසිරුණු අයකුට යම් අනතුරක් වූයේනම් එකී උද්ඝෝෂකයන් මේ වන විට නටන නාඩගම් ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.
ඡායාරූප - සමීර අබේසිංහ
(නුගේගොඩ සමූහ)