
මෙම අසීරු අවස්ථාවෙන් ගොඩ එන්නට, රජය විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, ව්‍යාපාරික ප්‍රජාව නඟා සිටුවීමට පියවර රැසක් ගෙන ඇති පසුබිමක, කොවීඩ් වසංගතය හමුවේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳ, මෙරට දේශීය කර්මාන්තයන්හි නියැළි, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිය මත පළ කළහ.වසර 70කට ආසන්න කාලයක් මෙරට ලෝහ කර්මාන්තය හා බැඳුණු 'ඕදිරිස්' ඉංජිනියරින් සමාගමේ,අධ්‍යක්ෂ/නිෂ්පාදන, ජයසිරි පෙරේරා මේ සම්බන්ධව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"කොවිඩ් පළමු රැල්ලේදී ම අපි මේ අභියෝගයට සූදානම් වුණා. සේවකයන් ගේ රස්සා ටිකත් බේරා ගෙන, ඔවුන්ගේ පඩිනඩිත් අඩුවක් නැතුව ගෙවා ගෙන අපි ඉදිරියට ආවේ, ඒ අවස්ථාවේදී ම ඔන්ලයින් බිස්නස් එකට මාරු වෙච්ච නිසා. අපිට අලෙවියේ ප්‍රශ්නයක් නැහැ. අපිට තිබෙන්නේ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ ප්‍රශ්නය.
අපි, ලෝහ ආශ්‍රිත කර්මාන්තයක්. අපේ රටේ ලෝහ නිෂ්පාදනයක් නැති නිසා, අවශ්‍ය ලෝහමය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න සිද්ධ වෙනවා. ඒවායේ ජාත්‍යන්තර මිල මේ වන විට 40% කින් වැඩි වෙලා. රටට මේ අමුද්‍රව්‍ය ගෙන්වද්දිත් අපි බදු ගෙවනවා.
දැන් අපට තිබෙන්නේ, කොවිඩ් එක්ක ඉදිරියට යා යුතු ගමනක්. රටට අවශ්‍ය, විදේශ විනිමය. අපේ හිරමන සඳහා ඕස්ට්‍රේලියාවේ හොඳ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. ඔවුන් ස්වාභාවික පොල් ආහාරයට ගැනීමේ ප්‍රවණතාවක් අද වන විට තිබෙනවා. ඒ වගේම, බොහෝ රටවල camping කරන ජනතාව අතර අපේ භූමිතෙල් උඳුනට හොඳ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. මේ ඉල්ලුම අපිට සපුරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නෙ, පිටරට සැපයුම්කරුවන්ට ඩොලර් ගෙවන්න විදියක් නැති එක. රජය මේ තත්ත්වය ඉවත් කර දෙනවා නම්, දේශීය කර්මාන්තයක් විදියට විදේශ විනිමය උපයන්න අපට අවස්ථා තිබෙනවා.
මෙරට සංචාරක හෝටල් ක්ෂේත්‍රයට සහ ගුවන් යානා කේටරින් සේවයට අවශ්‍ය ආහාරපාන අමුද්‍රව්‍ය සැපයූ, ශ්‍රී ලාංකාවේ දැවැන්තම සමාගම වන 'එඩින්බරෝ', සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමත් සමඟ යම් පසුබෑමකට ලක්වුවද, වසංගතයේ බලපෑම ඉතාමත් සාධනීය තත්ත්වයකට හරවා ගත් බව එහි සභාපති රවූෆ් පාෂා මොහොමඩ් සල්මි පවසයි. මෙතෙක් ටොන් ගණනින් ශ්‍රී ලංකාවට ආනයනය කළ, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වූ 'කෝන්' වර්ග හෙවත් බඩ ඉරිඟු ගෙන්වීම සහමුලින්ම නතර කොට, ඒවා මෙරට වවන දැවැන්තම සමාගම බවට අද වන විට පත්ව සිටියි.
" එඩින්බරෝ' කියන්නේ,100%ක් දේශීය සමාගමක්. අපේ වෙළෙඳපොළ කොටසින් 60%ක්ම තිබුණේ, තරු හෝටල් සහ ගුවන් යානා කේටරින් සේවාව ආශ්‍රිතව. සංචාරක ව්‍යාපාරය කඩා වැටීමත් සමඟ අපේ ප්‍රමුඛතම ආහාරපාන වෙළෙඳපොළ ජාලයත් කඩා වැටුණා. අපි කළේ, දේශීය වෙළෙඳපොළ කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීම.
ජනාධිපතිතුමා ආනයනය තහනම් කළ විටයි, අපිත් වගාව කෙරෙහි යොමු වුණේ. ඒ අනුව, මසකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කොට, වියළි මිරිස් ඉන්දියාවෙනුත්, කෝන් වර්ග තායිලන්තයෙන් සහ චීනයෙනුත් ගෙන්වපු අපි දැන් මහා පරිමාණයෙන් වගා කරනවා.
ඒ විතරක් නෙවෙයි, ඩොලර් ප්‍රශ්නය නිසා සෝයා බෝංචි ගෙන්වීමත් නතර කළා. දැන් අප ගොවීන් උනන්දු කරලා අක්කර 200ක සෝයා බෝංචි වවනවා. මාසෙකට සෝයා බෝංචි කිලෝ ලක්ෂයක් අපට අවශ්‍යයි. රටක් දියුණු වෙන්න නම්, තමන්ගේ රටේ නිෂ්පාදනය කරලා, පිට රටටත් යවන්න ඕනේ. සමාගමක් ලෙස අප කොවීඩ් සමඟ ඉදිරියට යන්නේ, මෙන්න මේ වෙනසත් එක්ක..."
ශ්‍රී ලාංකේය කුඩ කර්මාන්තය එංගලන්තයට ගෙන ගිය, කඳුරට කුඩ සමාගමේ සභාපති, එම්.ටී. එම්. නෞෂාඩ් තම ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"අප වැඩිපුරම විදේශ විනිමය ඉපැයුවේ, එංගලන්තය මාලදිවයින සහ ජපානයට අපේ කුඩ අපනයනය කරලා. දැන් ඒ තත්ත්වය නැති නිසා, අප දේශීය වෙළෙඳපොළ එක්ක හෙමි හෙමින් හිස ඔසවමින් සිටිනවා. කොවීඩ් ආරම්භයේදී ම ආයතනයක් ලෙස, අප නිෂ්පාදන වියදම් අවම කිරීමට කටයුතු කළා. ඉන්දියාවේ තිබූ අපේ කර්මාන්තශාලාව ලංකාවට ගෙනාවා. ඒකෙන් විශාල ලෙස නිෂ්පාදන මිල අඩු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තවත් පියවරක් ලෙස කුඩ නිෂ්පාදනයට අවශ්‍ය සාමාන්‍ය ප්‍රමාණයේ මැෂින් සේවකයන්ගේ ගෙවල්වල සවි කළා. කූරු සවි කිරීම, කුඩ රෙදි මැසීම... වැනි දේ ඔවුන් ගෙවල්වල සිට කළ නිසා, අපිට නිෂ්පාදනයේ අඩුවක් නැහැ. හැමදේම ලංකාවෙ නිෂ්පාදනය කරන්න කියලා, ජනාධිපතිතුමා කියූ කතාවට අපි කැමැතියි. ඇත්තටම, අපි ඉන්දියාවේ තිබූ ෆැක්ටරිය මෙහෙට ගෙනාවෙත් ඒ සඳහා ගත් එක් පියවරක් ලෙස.
ලංකාවේ දවසක කුඩ අවශතාව 1,500ක්. අපේ ඉන්දියානු ෆැක්ටරියේ මැෂින් මෙහෙ සවි කළාට පසු දවසකට කුඩ දුසින් 15,000ක් හදන්න පුළුවන් ධාරිතාවක් තිබෙනවා. මේ තරම් ප්‍රමාණයක් දැන් ලංකාවේ ම නිෂ්පාදනය කරන නිසා, පිටරටින් ගෙන්වීම සීමා කළ යුතුයි. නැත්නම් අපි මේ හදන ධාරිතාව විකුණන්නේ කාටද...ඒ වගේම, ඉන්දු ලංකා ගිවිසුමට පිටින් ගෙනෙන නිෂ්පාදනවලට බදු අය කිරීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ සඳහාත් රජය ක්‍රියාත්මක විය යුතුයි.
අපිට සෘජුවම කුඩා අපනයනය කරන්න හැකියාවක් තිබෙන නිසා, පිටරටින් ගෙනෙන කුඩ හැකි ඉක්මනින් සීමා කරන්නට ඕනේ. නැත්නම් අපි වගේ කර්මාන්තකරුවන්ට මේ කොවීඩ් තත්ත්වයත් එක්ක ඉදිරියට යන්න අමාරුයි. රජය දී තිබෙන සහන ගැන ස්තුතියි. නමුත් මේ ප්‍රශ්නයේ දී රජයේ මැදිහත්වීම අවශ්‍ය බවත් කියන්න ඕනේ..."
බ්‍රැන්ඩික්ස් සමූහයේ, සමූහ මූල්‍ය අධ්‍යක්ෂ, හසිත ප්‍රේමරත්න පැවසූයේ මෙවැනි අදහසකි. “කොවිඩ්-19 තත්ත්වය උග්‍ර වීමත් සමඟ ව්‍යාපාර මුහුණ දුන් ප්‍රධාන අභියෝගය තමයි, නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යෑම. ඇඟලුම් සේවක පිරිසට එන්නත් ලබාදීමට රජය ගත් තීරණයත් සමඟ මේ වන විට ඒ ගැටලුව බොහෝ දුරට විසඳිලා.
ඒ අනුව, බ්‍රැන්ඩික්ස් සේවක පිරිසෙන් 90%කට ම ප්‍රථම මාත්‍රාව ලබා දීමට අපට හැකි වුණා. ඒ ඔස්සේ අපගේ සේවක පිරිස ගේ ආරක්ෂාව බොහෝ දුරට තහවුරු කිරීමට හැකි වී තිබෙන අතරම, වසංගතය ආරම්භයේදී ම අප දියත් කළ සියලුම දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක විධිවිධාන නොනවත්වා පවත්වාගෙන යනවා. අපේ සීදුව ෆැක්ටරිය, ඇඳන් 1200 ක් දැමිය හැකි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස අපි රජයට බාර දුන්නා.
ආර්ථිකයේ පැවැත්මට ඩොලර් ආදායම අත්‍යාවශ්‍ය මොහොතක, ඇඟලුම් ක්ෂේත්‍රයත් බ්‍රැන්ඩික්ස් ආයතනයත් මෙම කර්තව්‍යයට උපරිමයෙන් දායක වීමට කටයුතු කරමින් සිටිනවා..."
සීමා කිරීම් සහ නොයෙකුත් බාධක මැද ඉදිරියට ඇදෙන මෙරට කුළුබඩු ව්‍යාපාරික ලෝකය නියෝජනය කරමින්, රුහුණු ෆුඩ්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රුෂාන් මුතුමාල පැවසූයේ, මෙවැනි අදහසකි.
"මේ අමාරු කාලයෙන් ගොඩ එන්න, බැංකු ණය සඳහා ලබා දුන් සහන කාලය සහ අප වැනි අපනයන ආශ්‍රිත කර්මාන්ත සඳහා ලබා දුන් සහන සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත වෙනවා. නමුත්, මේ වසංගත තත්ත්වයත් එක්ක දේශීය කර්මාන්ත ඉදිරියට යන්න නම්, රටක් ලෙස අප විසඳා ගත යුතු ප්‍රශ්න ටිකක් තිබෙනවා.
විශේෂයෙන්, අපේ කර්මාන්තය රැඳී පවතින්නේ, මේ රටේ කුළුබඩු භාවිතය සමඟ. මේ වෙලාවේ බැංකුවලින් ඩොලර් නිකුත් කිරීම සීමා කර ඇති නිසා, අපේ කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය කොත්තමල්ලි සහ මිරිස් වැනි අමුද්‍රව්‍ය ටික පවා බහාලුම්වලින් නිදහස් කර ගත නොහැකිව, වරායේ සිර වී තිබෙනවා.
එක් පැත්තකින් මේ රටට විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතක, අපනයන කර්මාන්තයේ නිරත දේශීය නිෂ්පාදකයින් ගේ අමුද්‍රව්‍ය බහලුම්වල හිර වෙලා. අනෙක් පැත්තෙන් ආනයනය සීමා කර ඇති නිසා රටට එන වාණිජ නැව් ප්‍රමාණය අඩු වෙලා. මේ නිසා, නැව්ගත කිරීමට තිබෙන අපේ නිෂ්පාදන, යවා ගන්නට නොහැකි තත්ත්වයක් උදා වෙලා. ඒ වගේම නැව් සමාගම්, නැව් ප්‍රවාහන ගාස්තුත් අධික ලෙස ඉහළ දමලා.
කෘෂිකාර්මික රටක් ලෙස, අපේ රටේ කුළුබඩුවලින් ම අපිට නිෂ්පාදන කරන්න තියෙනවා නම් හුඟක් හොඳයි. අපිත් ඒකට කැමැතියි. නමුත් ඒ සඳහා නිසි සැලසුමක් අවශ්‍යයි.
ඇත්තටම ඒ තීරණය, රටක් හැටියට බොහොම සාධනීයයි. නමුත් ගත්තු වේගය තමයි, වැඩි. මෙවැනි තීරණ ගනිද්දී පුද්ගලික අංශය සමග මීට වඩා යහපත් සන්නිවේදනයක් ඇතිව කටයුතු කරනවා නම් හොඳයි.
කොහොම වුණත්, අපි හැමෝම කොවීඩ් සමග ඉදිරියට යා යුතුයි. එකම දෙයක නොසිට ආයතනයක් ලෙස විවිධාංගීකරණය වීමත් මේ වෙලාවේ විකල්පයක්. ඒ නිසාම කුළු බඩුවලින් නොනැවතී, තැඹිලි වතුර බෝතල් කර, ජාත්‍යන්තරයට යැවීමේ නව ව්‍යාපාරයකුත් අප ආරම්භ කළා.
විදේශ විනිමය ඉපැයීම සඳහා, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගත් මෙවැනි නව නිෂ්පාදන හඳුන්වා දෙද්දී, ව්‍යවසායකයින්ට උදව් කිරීම සඳහා අපේ තානාපති කාර්යාලවල සිටින වාණිජ කටයුතු පිළිබඳ නිලධාරීන්ගෙන් (commercial officers,) මීට වඩා සහයෝගයක් අවශ්‍යයයි.
මේ හැම කෙනෙක්ම එක වගේ හිතුවොත් සහ වැඩ කළොත් පමණයි, මේ වසංගතය හමුවේ රජය අපේක්ෂා කරන ආකාරයට රටේ ආර්ථිකය නොනැසී පවත්වා ගෙන යන්නට සහ විදේශ විනිමය නැවත රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ..."