
ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් සම්පත් ගෙව්ෂණ හා සංවර්ධන බලපත්‍ර ප්‍රදානය කිරීම සහ ඒකාබද්ධ අධ්‍යයනය සඳහා වන ඛනිජතෙල් සම්පත් ගවේෂණ බිම් කොටස් හී දළ සටහනක් දැක්වෙන සිතියම පසුගිය ජූලි 22 වැනි දින ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහජනතාවගේ දැනගැනීම පිණිස ය.
දැනට ශ්‍රී ලංකාව සතු මුහුදු සීමාවේ තෙල් සහ ගෑස් නිධි ඇති බවට හඳුනාගෙන ඇති ස්ථාන හා ගවේෂණය කළ යුතු ස්ථාන ආවරණය වන පරිදි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් මෙම සිතියම නිර්මාණය කර ඇත. කිලෝමීටර් 15 x 15 කුඩා බිම් කොටස් ඇතුළු බිම් කොටස් 873කින් මෙම සිතියම සමන්විත වේ. ඒ අනුව ආයෝජකයන්ට තමුන්ට අවශ්‍ය බිම් කොටස් වඩාත් පහසුවෙන් තෝරාගෙන සිය ගවේෂණ කටයුතු කිරීමට අවස්ථාව හිමි වනු ඇත. ආයෝජකයන්ට වඩාත් පහසු හා ආකර්ෂණීය වන අයුරින් නිර්මාණය කර තිබෙන මෙම නව සිතියම් නිසා ඛනිජ තෙල් ගවේෂණ කටයුතු වඩාත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සහ දිරිමත් කිරීමේ අරමුණ ඇතිව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පසුගිය ජූලි 27 වැනි දින ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම, ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, නවීන ගවේෂණ කටයුතු, සංවර්ධන, නිෂ්පාදන හා කළමනාකරණ පරිචයන් තුළින් දේශීය ඛනිජ තෙල් සම්පත්වලින් උපරිම ආර්ථික වටිනාකමක් ලබා ගැනීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
“2020 සැප්තැම්බර් මාසේ මම කිව්වා මගේ ධුරකාලය ඇතුළත ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව ගෑස් හෝ තෙල් නිපදවන රටවල් අතරට එකතු කරනවා කියලා. අපි මේ හදාගත්තු පනත ලෝකයේ ප්‍රබල සමාගම්වලට යැව්වා. ඒ අයගේ අදහස් බලන්න. ඒ අයගෙන් අදහස් අරගෙන වැඩිදියුණු කරලා තමයි මේ පනත හදා ගත්තේ. මෙතෙක් කල් දැවැන්ත ආයෝජකයින් නොපැමිණීමට හේතු ටික නැති කරන පනතක් තමයි අපි ඉදිරිපත් කරන්නේ.” යනුවෙන් මාධ්‍යයට අදහස් දැක්වූයේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ය.
විදෙස් ආයෝජකයන් මගින් තෙල් ගවේෂණ කටයුතු සිදු කරනු ලැබූවත් සෑම ගෑස් සහ තෙල් බින්දුවකම අයිතිය රජය සතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
ලංකාව සිදු කරන තෙල් ගවේෂණ කටයුත්තේ ප්‍රථම අවස්ථාව මෙය නම් නොවේ. 1963 වසරේදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව තෙල් ගවේෂණ ඒකකය නමින් වෙනම ඒකකයක් පිහිටුවනු ලැබුවේ තෙල් ගවේෂණය කෙරෙහි ඇති උනන්දුව නිසාමය. 60 දශකයේ අගභාගයේදී ලංකාවේ තෙල් කැණීමේ කටයුතු කෙරෙහි විවිධ රටවල් අත ගැසූ නමුදු 1970 පැවැති රජය ඒ සඳහා දැඩි උනන්දුවක් දැක්වීය. එදා පැවැති රජය සෝවියට් දේශයත් සමඟ තිබූ සමීප සබඳතා නිසාම “ටෙක්නෝ එක්ස්පෝට්” නමැති සමාගමට තෙල් කැණීම් කටයුතු භාර විය. විද්‍යාඥයින් විසින් රැස් කළ භූ දත්තවලට අනුව ඛනිජ තෙල් ඇතැයි හඳුනාගත් ද්‍රෝණි 3කි. ඒවා නම් මන්නාරම් ද්‍රෝණිය,
කාවේරි ද්‍රෝණිය සහ ලංකා ද්‍රෝණිය වේ. මන්නාරම් ද්‍රෝණිය MO1 - M10 දක්වාත් කාවේරි ද්‍රෝණිය C01 - C05 දක්වාත් ලංකා ද්‍රෝණිය JSo1 - JS06 දක්වාත් නැවත කලාප ලෙස නම් කෙරිණි.
1970 රජය තිබූ කාලයේදි සෝවියට් දේශයේ සමාගම තෙල් කැණීමේ කටයුතු ආරම්භ කළේ මන්නාරම් ද්‍රෝණියේය. අඩි 250ක් පමණ ගැඹුරට කැණීම් කළ විද්‍යාඥයා මඳක් විවේක ගැනීමට මහනුවර බලා පිටත් වී ගියේ සියලු කටයුතු ලංකාවේ නිලධාරින්ට පවරමිනි. මේ අතරේදි නොකඩවා වතුර පොම්ප කරමින් සිටින විට තෙල් ගතියකින් යුතු අමුතු වතුර මතු වන්නට විය. වහාම එම වතුර, කුප්පියකට ගත් නිලධාරියා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිට ඒ බව දුරකතනයෙන් දන්වා කොළඹ බලා පිටත් විය. ඔහු අතරමඟදි තේ කෝප්පයක් පානය කිරීමට වාහනය කඩයක් අසල නවත්වන විට ගුවන්විදුලියේ රාත්‍රි 9.00 ප්‍රවෘත්ති සවන් දීමට පිරිස එක්රොක් වී සිටියහ. හරියටම දවස 1974 ජූලි 30 වැනිදා ය. රාත්‍රි 9.00 ප්‍රවෘත්ති ප්‍රචාරය වූයේ නිලධාරියා තේ පානය කරමින් සිටියදීය. පේසාලෙන් තෙල් සොයාගෙන ඇති බවත් අවු:75කට ප්‍රමාණවත් තෙල් සොයාගෙන තිබෙන බැවින් තෙල් අපනයනය කළ හැකි බවත් එයින් විදේශ විනිමය ඉතිරි වන බවත් ප්‍රවෘත්තිවලින් කියවිණි. නිලධාරියා වික්ෂිප්ත වූයේ තෙල් සහිත වතුර කුප්පිය ඒවන විටත් ඔහුගේ අතේ තිබෙන බැවිනි.
එකී පුවතින් ලංකාවම කැලඹිණි. පේසාලේ බලා විශේෂ දුම්රියක් ද යොදවනු ලැබීය. ඇමතිවරුන් හා මාධ්‍යවේදින්ට අමතරව එහි වැඩි වශයෙන් ම ගමන් කළේ වෘත්තීය සමිතිවල සාමජිකයන් ය.
“තව මොනවද අඩු - මෙන්න බොලේ බඩු...”
යනුවෙන් පාඨ කියමින් කෑකෝ ගසමින් එදා ඔවූහු ගමන් කළහ.
මේ අතරේදී කොළඹට රැගෙන ආ සාම්පලය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ එහි තෙල් අඩංගු වී තිබෙන්නේ 2%ක් බවය. “පේසාලේ තෙල් නැහැ” යනුවෙන් දවස පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන කර්තෘ ගුණදාස ලියනගේට පුවත්පත් මණ්ඩලයෙන් සිතාසි එවූ අතර එම නඩුව දිගින් දිගට නොගියේ දවස පුවත්පත් ආයතනයට සීල් තැබූ නිසාය.
1974 - 1976 දක්වා ළිං තුනක කැණීම් කළ අතර ළිං දෙකක ස්වාභාවික වායු ඇති බවට සොයා ගැනිණි. ඉන් අනතුරුව නැවතත් කැණීම් සඳහා රජයේ අවධානය යොමු වන්නේ 2008 දීය. ඉන්දියාවේ කෙයන් සමාගම විසින් ජපානයේ වික්යූ නම් අති දියුණු නෞකාවේ තාක්ෂණය යොදා ගෙන සිදු කළ කැණීමකදී බොරතෙල් ගෑස් නිධියක් මතු වූ බවට 2011 ඔක්තෝබර් මස 02 වැනිදා දළදා මාළිගාවේ පැවැති උත්සවයකදී ප්‍රකාශ විය. එහෙත් එම සමාගම 2015 දී කැණීම් කටයුතුවලින් ඉවත් විය. ලංකාව මෙතෙක් තෙල් ගවේෂණය කළ ළිං 11ක් තිබේ. ඉන් 8ක්ම 70 - 80 වසරවල සිදු කළ කැණීම් ය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ මැදිහත් වීමෙන් නැවතත් තෙල් සොයා සිදු කෙරෙන ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය පදනමට මේ වන විට පිඹුරුපත් සකස් කර තිබේ.
“මෙම ක්ෂේත්‍රයේ දැවැන්තයින් අපේ රටට නොපැමිණීමට හේතු තිබුණා. ඒ ආයෝජකයන්ගේ ආයෝජන සුරක්ෂිත කෙරෙන පැහැදිලි නීති රාමුවක් නොතිබීම. ආණ්ඩුව හෝ ඇමතිවරයා මාරු වුණ ගමන් ගහපු ගිවිසුම්, සාකච්ඡා කඩා වැටෙන්න පුළුවන්. නමුත් නව පනතින් ඒ අඩුපාඩු සකස් කර තිබෙනවා. ආයෝජකයන්ට විශ්වාසය ඇති කරලා විනිවිදභාවයක් ඇති කිරීමට තමයි අපි මේ පනත් කෙටුම්පත් හදන්නේ” යනුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සාකච්ඡාවකදී පැවසීය.
“අද කාලේ රටේ තිබෙන ආර්ථික ගැටලු එක්ක තෙල් නිධි සොයා ගන්නවා නම් ගොඩාක් වටිනවා. තෙල් ආනයනය අඩු කර ගැනීමට හැකි වීමෙන් විදේශීය විනිමය ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. මට මතකයි 2011 දීත් තෙල් නිධියක් ගැන කතා කළා. එදා හිටපු බලශක්ති අමාත්‍යවරයා කිව්වෙ ඒ තෙල් නිධියේ තෙල් ලොකු ප්‍රමාණයක් නැහැ කියලා. පොඩි තෙල් ප්‍රමාණයක් නම් තියෙන්නේ මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කටයුතුවලට මහන්සි වීම ගැන දෙපාරක් හිතන්න ඕනෑ. මොකද අපේ රටේ මත්ස්‍ය අස්වැන්නෙන් 35%ක් ලැබෙන්නේ මන්නාරම් මුහුදින්. මන්නාරම් ද්‍රෝණියේ ඇති ආදම්ගේ පාලමෙන් තමයි බෙංගාල බොක්ක සහ මන්නාරම් බොක්ක වෙන් වෙන්නේ. මන්නාරම් බොක්කට ආවේණික ජෛව විවිධත්වය පොඩිතෙල් ප්‍රමාණයක් නිසා විනාශ කර ගත යුතුද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඒහැර ගැටලුවක් නැහැ.” යනුවෙන් සඳහන් කළේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ය. තෙල් ගවේෂණය කටයුතු සිදු කෙරෙන්නේ මහ මුහුදේ ය. සමුද්‍ර දූෂණය පිළිබඳව අප විමසිලිමත් විය යුත්තේ එමනිසාය. එක්ස් - පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය තවමත් අපට අමතක නැත. තෙල් සහ ගෑස් නිධි ගවේෂණය කිරීමෙන් මහ සයුරට බලපෑමක් සිදු වන්නේ ද යන්න සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ටර්නි ප්‍රදීප් කුමාරගෙන් විමසුවේ එබැවිනි.
“තෙල් සහ ගෑස් ගැන ගොඩාක් කල් ඉඳලා කතා කරනවා. මෙය ඉතා ඉක්මනින් කළ යුතු දෙයක්. මොකද දේෂගුණික විපර්යාස සමග මෙම සම්පත් ප්‍රයෝජනයට ගත නොහැකි, වටිනාකමක් නැති තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒවගේම තමයි දැන් සුනිත්‍ය බලශක්තිය ප්‍රවර්ධනය කරන යුගයකට අපි පැමිණ සිටින්නේ.
2050 වන විට 50%ක් සුනිත්‍ය බලශක්තියට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒනිසා කතා කර කර ඉන්නේ නැතිව ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. තවත් ප්‍රමාද වුණොත් විශාල ආයෝජනයක් කරලා ලබා ගන්නා සම්පත්වල වටිනාකමක් නැතිව යන්න පුළුවන්. මේ වගේ දෙයක් කරන විට පරිසර හානියක් වෙනවා. පරිසර හානිය, සමුද්‍ර හානිය අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් යොදන්න ඕනෑ. හානිය අවම කර ගැනීමට කටයුතු කරමිනුයි මෙවැනි ව්‍යාපෘති ආරම්භ කළ යුත්තේ.” යනුවෙන් ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේය. ජූලි 27 වැනිදා ප්‍රකාශයට පත් කළ ඛනිජ තෙල් පනත් කෙටුම්පත මේ වන විට මහජනතාවට ද අධ්‍යයනය කළ හැකිය. මෙය අගෝස්තු 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතර අගෝස්තු 18 වැනි දින බලශක්ති අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත ය. සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අපේක්ෂා කෙරේ. එය සම්මත කර ගැනීමෙන් පසුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය අධිකාරියක් බවට පත්වේ. ඛනිජතෙල් සම්පත් උපදේශක සහ ජාතික තෙල් සහ ගෑස් සමාගම බිහිවේ.