
ශ්‍රී ලංකීය වාරි ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂ්‍යක් නිර්මාණය වන්නේ රාජ්‍ය නාමාලියේ වසභ රජු (ක්‍රි.ව.67–111) විසින් ඇලහැර අමුණ ඉදිකරිමත් සමඟ යැයි සඳහන් කළහොත් එය අතිශෝක්තියක් නොවනු ඇත. කර්කෂ වූ මහ පොළොව මතට හෙළු සිසිල් දිය දහරක් බවට පත්වූ ඇලහැර අමුණ හරස් වන්නේ අඹන් ගඟ හරහාය. පසුකාලිනව කඩිනම් මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක වීමත් සමඟ එහි අවසන් වාරි වික්‍රමය වන්නේ ද මොරගහ කන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියයි. කලකට ඉහත දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආරම්භ කරන ලද මොරගහ කන්ද වාරි ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය කෙසේ ද ? එහි සඳහන් කළ ක්‍රියාදාමයන් සියල්ල මේ වන විට ඉටු වී තිබේද ? ඒසා දැවැන්ත ව්‍යාපෘතියකට කුමක් සිදුවූයේ ද යන්න ගැන ජනතාව විමසුම් සහගත වී තිිබේ.
![]() |
තැන තැන ගොඩ ගැසුණු යකඩ |
ඉතිහාසය පිරික්සීමේ දී 1950 වසරේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහවැලි ගංගා ජලය ප්‍රයෝජනයට ගැනිමේ මුලික අධ්‍යයන කටයු සිදුකරනු ලබයි.පසුව 1954 දි කැනේඩියානු ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යයන ආයතනයේ (Colombo plan) ආධාර ඇතිව ප්‍රථම වරට මොරගහකන්ද හැරවුම් වේල්ල සැලසුම් කරන ලදි.ඒ අනුව සක්‍යතා අධ්‍යයන රැසකින් අනතුරුව 2007 වසරේ ජනවාරි 25 වැනි දින එවකට ජනාධීපති මහින්ද රාජපක්ෂ විසින් මොරගහක්ද ව්‍යාපෘතියේ වැඩ අරඹන්නේය.
පසුකාලීනව බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2017 ජනවාරි 11 දින අඹන් ගඟ හරහා ඉදිකරන ලද වේල්ලේ ජල රැඳවුම් ක්‍රියාවලිය අරඹන්නේය.
ඉන් අනතුරුව සැලසුම් කළ පරිදි සැදැලි වේලි තුනකින් සමන්විත මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු ක්‍රමයෙන් ඉදිරියට ගිය අතර එහි ප්‍රධාන අරමුණ වූයේ රජරටට ජලය ගෙන යෑමය. ඒ සඳහා ව්‍යාපෘතියේ සමගාමී කටයුත්තක් වු ඉහළ ඇලහැර වාරි ඇල ඉදිකිරිම ඇරඹෙන්නේ පෞද්ගලික සමාගමක කොන්ත්‍රාත්තුවකට අනුවය. මොරගහකන්ද ජලාශයේ සිට මහ කනදරාව වැව දක්වා කිලෝමීටර් 94 ක දුරකින් යුතු ඇළ මාර්ගයක් ඉදිකර ජලය ගෙන යෑම ව්‍යාපෘතියේ අරමුණ වී තිබිණි. එය කිලෝමීටර් 27 ක උමං පද්ධතියකින් ද සමන්විතය.
රැපියල් මිලියන 65000 ක් වැනි දැවැන්න මුදලක් වැය කර ගොවි පවුල් අසූ දහසකට සෙත සැලසෙන පරිදි ඉදිකිරීමට යෝජිත මේ ඇළ මාර්ගයට අද වන විට සිදුව ඇත්තේ කුමක්ද ?
ග්‍රාමීය යටිතල පහසුකම් නැන්වීමේ සිට ගොවි ජනතාවගේ ජල අවශ්‍යතා ඇතුළු පානිය ජල අවශ්‍යතා සපුරාලීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. කෙසේ වෙතත් ඉහළ ඇලහැර වාරි ඇළේ වැඩ කටයුතු ආරම්භයේ පැවති උද්යෝගය පසුකාලිනව පහව යද්දි එම ව්‍යාපෘතියේම බොහෝ සේවකයන්ට මාසික වැටුප් පවා අහිමි වී යන තත්ත්වයක් උදා විණි.
![]() |
ඉහළ ඇලහැර වාරි ඇළේ සමාරම්භය සිදුකරන එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන |
අවස්ථා ගණනාවකම මාධ්‍ය විසින් ද ඒ සිද්ධි වාර්තා කළ අතර ඉදිකිරිම් සිදුකරන කොන්ත්‍රාත් සමාගම වැටුප් ගෙවීම් පැහැර හරින්නට වී යැයි එහි සේවකයෝ දිගින් දිගටම කියා සිටියහ. කෙසේ වෙතත් පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගිය දිනෙක මාතලේ දිස්ත්‍රික් මාධ්‍යවේදීහු පිරිසක් එහි ගියෝය. තැනින් තැන කපා දමන ලද විශාල ඇළවල් මෙන්ම තැන තැන ගොඩ ගැසු ගල් කුට්ටි අවට පරිසරයේ දක්නට ලැබිණි. වසර ගණනාවකට පෙර මින්නේරිය - ගිරිතලේ සොබා රක්ෂිතය බවට පත්ව තිබූ මේ භූමියේ වන සතුන් නිදහසේ ගමන් කළ අතර අද වන විට කැපුම් ඇළවල් සහ ගල් ගොඩවල් වලට වැටුණු වන අලින් ඇතුළු විවිධ සතුන් තුවාල ලැබිම් රැසක් වාර්තා වූ බැව් බොහෝ පිරිස් කියා සිටියහ.
ඇලහැර දෙසෙට දිවෙන පැරණි මාර්ගය ඔස්සේ වනාන්තරයට ඇතුළු වූ පසු කපන ලද ඇළ මාර්ගයේම කොටසක යකඩ කපා දමන පිරිසක් සිටි හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට අපට සිදුවිය.
ඉදිකිරිම් සිදුවන ඇළ මඟේ ඇති යකඩ කොටස් කපා විකුණා සිය සේවකයින්ට වැටුප් ගෙවන බව එහි දි එම පිරිස කියා සිටියේය. හම්බන්තොට ප්‍රදේශයේ යැයි සඳහන් කළ මෙම පිරිස විසින් කපන ලද යකඩ කොටස් රැගෙන යෑමට පැමිණි ලොරි රථයක් හිටි හැටියේ ආපසු ගිය අතර පසුව එම ස්ථානයට වන ජිවි දෙපාර්ථමේන්තුවේ ඇලහැර කලාප බාර අඩවි ආරක්ෂක ආර්.එම්.සි. බණ්ඩාරනායකද මාධ්‍යවේදීන්ගේ දැනුම් දීම මත පැමිණියේය. සොබා රක්ෂිතයකට පිටතින් පැමිණි පිරිස් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එහිදි ඇලහැර කලාප බාර අඩවි ආරක්ෂකවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
පසුව මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී.විජේරත්නගෙන් කළ විමසීමේ දී ඔහු කියා සිටියේ කපනු ලබන යකඩ මහවැලි අධිකාරියට අයත් නොවන බවයි.
එමෙන්ම ඉහළ ඇලහැර ඇළේ ඉදිකිරිම් සිදුකරනු ලැබු කොන්ත්‍රාත් සමාගම නියමිත කාලයට වැඩ අවසන් නොකළ හෙයින් ඔවුන්ට ඉවත් වීමට දැන්වූ බව ද මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය භාර ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරුවරයා කියා සිටියේය.
![]() |
ව්‍යාපෘති භූමියේ යකඩ කපන පිරිස් |
වසර දෙකකින් වැඩ නිමවීමට පැවති ඉහළ ඇලහැර වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු අද වන විට නැවති තිබේ. ඒ සඳහා යොදා ගනු ලැබු බොහෝ යන්ත්‍ර සූත්‍ර අද වන විට අවුවට සහ වැස්සට තෙමෙමින් එළිමහනේ ගාල් කර තිබේ. ව්‍යාපෘතියක් අතර මැද නවතින්නට හේතු භූත වන කරුණු කාරණා රැසක් තිබේ. තාක්ෂණික ගැටලු මෙන්ම වෙනත් කාරණා ඒ සඳහා බල පා හැකිය.
භූගත උමං මාර්ග ඔස්සේ රක්ෂිත වනාන්තර මැදින් ඉදිකිරිමට යෝජිතව තිබු ඉහළ ඇලහැර වාරි ඇළේ අදවන විට ඉතිරිව ඇත්තේ විශාල කැපුම් කුහරය. තැනින් තැන සැකසු ජලය ගෙන යන නළ මාර්ග දක්නට ලැබෙන අතර නළ මාර්ග අවසානයේ කම්බි කූරූ විශාල ප්‍රාමාණයක් ද අද වන විට ඉතිරිව තිබේ.
ගැඹුරින් අදි 30- 40 ක් වන මෙම කැණීම් තුළට වැටි තුවාල ලැබු බොහෝ සතුන් පිරිසක් වන ජිවි දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මුදා ගෙන තිබේ. වැඩ නිසි පරිදි අවසන් නොවුවේ යැයි සඳහන් කරමින් ඉදිකිරිම් සමාගම ඉවත් කිරිමට මහවැලි බලධාරින් පියවර ගැනීම පිළිබඳ ගැටලුවක් නැත. එහෙත් ප්‍රදේශවාසින් පවසන ආකාරයට ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් විනාශ වී ඇති පරිසර පද්ධතියෙන් වන සතුන්ට එල්ල වන බලපෑම සුළු පටු නොවේ.
අමෙරිකානු ඩොලර් මිලියන 1207.5 ක් (රුපියල් කෝට් 18100) පමණ මෙම සමස්ථ මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘතින්ට වැය කිරිමට යෝජිතය. ඒ අතරින් මොරගහකන්ද - කළු ගඟ වාරි ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 557.5 වශයෙන් ද මොරගහ කන්දේ සිට මහකනදරාව දක්වා ජලය ගෙන යෑමට ඉදි වන ඇළ සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වැය කිරිමට නියමිතය.
මීට අමතරව වයඹ ඇළ සංවර්ධනය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් සහ මිනිපේ වම් ඉවුර සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක් වැය කිරිමට යෝජිතය. කෙසේ වෙතත් මොරගහකන්ද ජලාශය බැඳ ඇත්තේ අඹන් ගඟ හරස් කරය. පුරාණයේ සිට අඹන් ගඟ ගමන් ගත් පැරණි මාර්ගය ඔස්සේ ජලය ගලා බැස්සේය.
නව ජලාශය ඉදිවීමත් සමඟ දැන් සිදුවන්නේ ද පැරණි අඹන් ගග ඔස්සේ ජලය බැස යාමය. වසර ගණනාවක් තිස්සේ මහ ජනතාව දුක් වීදීම අවසන් කිරිම සඳහා ඇරඹි ඉහළ ඇලහැර ව්‍යාපෘතිය අද වන විට සම්පූර්ණයෙන්ම නැවති තිබේ. කවුරු කුමක් කිවත් ඉහත කී කතාව මොරගහකන්දේ ජලය ලැබෙන පිරිස් වලට බලපාන කරුණකි.
මොරගහ කන්ද ජලාශය ඉදිකිරීම සඳහා සිය වතු පිටි පූජා කළ පවුල් දස දහසක් නැවත පදිංචි කර තිබේ. ඒ කළු ගඟ ජලාශය ආශ්‍රිත ප්‍රදේශ සහ මැදිරිගිරිය ප්‍රදේශ තුළය.
ඔවුන් ද කියා සිටියේ වාරි ඇළ ඉදි නොවීම හේතුවෙන් වන ජිවින්ට බොහෝ හානි සිදුවන බවයි. කැපුම් ඇළවල්වලින් දිය බීමට පැමිණෙන වන සතුන් දඩයම් කිරිමටත්, ව්‍යාපෘතියේ ඉතිරිව ඇති යකඩ කොටසේ සිට විකුණා මුදල් කළ හැකි සැමදේම අවට පිරිස් විසින් සොරාඬගන්නා බැව් අපට කියා සිටියේ දැනට ව්‍යාපෘති භුමියේ රැඳී සිටින අදාළ කොන්ත්‍රාත් සමාගමේ පිරිස් මය. ණය මුදලකින් හෝ රජයේ මුදලකින් හෝ ඉදිවන ව්‍යාපෘතියකට අද වන විට සිදුව ඇති තත්ත්වය පිළිබඳව බොහෝ වගකිවයුතු පිරිස් දරන්නේ විවිධ මති මතාන්තරයන්ය.
![]() |
අතරමඟ නැවති ඇති ඉහළ ඇලහැර ඇළේ කොන්ක්‍රීට් නල |
නිසි කලට අරඹා නිසි කලට වැඩ නිමවා මහජනතාවට සෙතත් ඇති කිරිම බලයට පැමිණෙන වග කිවයුත්තන්ගේ වග කීමක් බැව් අමුතුවෙන් කිව යුතු නැත. මිල කළ නොහැකි වු යන්ත්‍ර සූත්‍ර රැසක් තවමත් මේ ව්‍යාපෘති භුමියේ නවතා තිබේ. මේ වාද ව්‍යාපෘතියේ පිරිස් විසින්ම පවසන ආකාරයට කිසියම් පිරිසකට හෝ පුද්ගලයකුට පහසුවෙන් රැගෙන යා හැකිය.
එසේනම් මෙහි ඇති අනාරක්ෂිත බව සුළු පටු නොවේ.
මහැලි අධිකාරිය පවසන ආකාරයට කොන්ත්‍රාත් සමාගමේ ගිවිසුම් ප්‍රකාරව රැඳවුම් ලෙස ව්‍යාපෘති භූමියේ ඇති යන්ත්‍ර සූත්‍ර සිය භාරයට ගෙන ඇති බවත් ඒ තුළින් රජයට පාඩුවත් සිදු නොවන බවත් ඔවුහු කියා සිටිති. සිදුවන යකඩ කැපීම් පිළිබඳව අධ්‍යයනය සඳහා හෝ රජය භාරයට ගනු ලැබු යන්ත්‍ර සූත්‍ර පිළිබඳව රජයේ පාර්ශ්වයෙන් කිසිදු නිලධාරියකු මේ ව්‍යාපෘති භූමියේ සිටිනු අපට නම් දක්නට නොලැබුණී.
ඒ සම්බන්ධයෙන් ද අප යකඩ කපන පිරිස් වෙතින් කළ විමසීමේ දී ඔවුන් මුණිවත රැකීම පමණක් සිදු කළේය. මහා වාරි වික්‍රමයක් ලෙස සඳහන් කළ මොරගහකන්දේ ඉහළ ඇලහැර වාරි ඇලේ වත්මන් තත්ත්වය එසේය.
![]() |
ව්‍යාපෘති භූමියේ ඇති භාවිතයට නොගන්නා යන්ත්‍ර සූත්‍ර |
ඉවත් කෙරෙන කෝනත්‍රාත් සමාගම වෙනුවට වෙනත් සමාගමක් සම්බන්ධ කර ගැනීම සඳහා මේ වන විට ටෙන්ඩර් ක්‍රියාවලි අරඹා ඇති බව සඳහන් කළ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී .බී. විජේරත්ත කියා සිටියේ වන ජිවීන්ට සිදුවන අපහසුතා ඇතුළු පැන නැඟී ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි. කෙසේ වෙතත් ඇලහැර වනජිවි කාර්යාලය භාර අඩවි ආරක්ෂක ආර්.එම්.සී. බණ්ඩාරනායකට අනුව අවස්ථා ගණනාවක දී ඉදිකිරිම් සමාගමට සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට වන සම්පත සහ වන සතුන් සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි. එහෙත් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ද හෙතෙම කියා සිටියේය.
වන සතුන් පිරි වන මැද ජලය රැගෙන යාම සඳහා උමං භාවිතයට තීරණය වී ඇත්තේ ද වනය සහ වන සතුන් පිළිබඳව සිතාය.
කෙසේ වෙතත් ඉහත කී සියලු කාරණා මුඳුන් පමුණුවා ගැනීම සඳහා අතරමැද නැවතී ඇති ඉහළ ඇලහැර වාරි ව්‍යාපෘතිය බාධාවක් වී ඇති බැව් එහි ගමන් කළ අපට වැටහිණි. කෙසේ වෙතත් මේ වන විට ඉහළ ඇලහැර වාරි ව්‍යපෘතිය නැවති හමාරය. එය කවදා යළි ඇරඹෙන්නේද යන්න දන්නේ ඉහළ බලධාරින්ම පමණි. එතෙක් විවිධ පාර්ශ්ව විසින් මහ වනයේ ඇති යන්ත්‍ර සූත්‍ර වල කොටස් කපාෙගන යෑමත් වන සතුන්ට හානි සිදු කිරිමත් තව දුරටත් සිදුවනු ඇත.
ඉන්දික අරුණ කුමාර, නාඋල සමූහ