රාජ්‍ය දේපල අවභාවිත කළ විදු­හ­ල්ප­ති­නියට අත් වූ ඉරණම | සිළුමිණ

රාජ්‍ය දේපල අවභාවිත කළ විදු­හ­ල්ප­ති­නියට අත් වූ ඉරණම

 

නුරාධපුර නගරයේ සිට කිලෝමීටර් හැටක පමණ ඈතින් පිහිටා ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ අයත් ඉළුක්වැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියට පසුගියදා එල්ල වූයේ කාන්තාවක වන රාජ්‍ය සේවිකාවකට කලාතුරකින් එල්ල වන රාජ්‍ය දේපළකට අනර්ථයක් සිදුකිරිමේ චෝදනාවයි. දරුවන්ගේ නැණස පාදන ආයතනයක් වන රජයේ විද්‍යාලයක් හරි මඟට ගනිමින් ගුරුන් දෙගුරුන් හා දරු දැරියන් නිසි මාවතට යොමු කළ යුතු ඇය පරිසරය වනසනා කැලෑ පාළුවන්ගේ තත්ත්වයට පත්වන චෝදනාවකට සැකකාරියක් වී සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුවන්නේ පසුගියදා ය.

ඇය කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති විද්‍යාලයට පැමිණ විද්‍යාල භූමියට අයත් වන බව කියන රජයේ ඉඩමක පිහිටි රුපියල් ලක්ෂ ගණනක් වටිනා වෘක්ෂයන් දහයක ප්‍රමාණයක් සිය අභිමතය පරිදි කපා බිම හෙළිමට පෙලඹී ඇත්තේ කිසියම් පෞද්ගලික අවශ්‍යතාවක් සපුරා ගැනීමේ අදහසින් බව සිදුකළ පරික්ෂණවලදී පොලිසියට අනාවරණය වී තිබුණි.

ඉළුක්වැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් විද්‍යාල භූමියේ තිබෙන ගස් කපනා බවට අසල්වැසියන් පිරිසක් විසින් මීට දින කිහිපයකට ඉහතදි රාජ්‍ය ආයතන කිහිපයක් දැනුම්වත් කිරිමෙන් පසුව ගලෙන්බිදුණුවැව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් අදාළ ස්ථානය පරික්ෂා කර තිබේ. පසුව විදුහල්පතිනිය ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන තිබේ

ඒ වනවිට විදුහල්පතිවරිය විසින් සිය විද්‍යාල භූමියේ වසර ගණනාවක් විරාජමානව වැජඹුණු විශාල ප්‍රමාණයේ ගස් දහයක් ඉවක් බවක් නොමැතිව කපා බිම හෙළා තිබුණාය.

ගස් කැපීමේ නිරත පිරිසකට එම ගස් කපා බිම හෙළනා ලෙස දන්වමින් ඇය කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබූ අතර මුදල් පදනම මත සේවය කරන එම පිරිස් ගස් කිහිපය කපා දමා තිබුණි.

‘විදුහල්පති නෝනා කිවුවා අපි කැපුවා. එතුමිය මේ විද්‍යාලයේ විදුහල්පතිනිය නිසා අපිට දෙවතාවක් හිතන්න දෙයක් තිබුණේ නෑ.අපි කපලා දැම්මා‘ යනුවෙන් ගස් කැපූ පිරිස් පොලිසියට ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබුණි.

ඇය විසින් විදුහල් භූමියේ තිබි කපා බිම හෙළු රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය වටිනාකමක් සහිත සියඹලා ගස් දෙකක් හුරිමාර ගස් හතරක් හා කොහොඹ ගස් හතරක් නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර විශාල වටප්‍රමාණයක් සහිත ගස් කිහිපය තවමන් ඉළුක්වැව විද්‍යාලයට අයත් භූමියේ ගොඩ ගසා තිබේ.

රාජ්‍ය නිලධාරිනියක් වන ඇය විසින් තමන් ගස් කැපූ භූමිය පාසල් භූමියට අයිති නොවන බව හා කැපූ ගස් පාසල් සංවර්ධන කටයුත්තක් සඳහා කැපු බව පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණාය.නමුත් ඇය පවසන ප්‍රකාශ පරස්පර විරෝධි බවක් ඇති බව පරික්ෂණ සිදුකරන ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.

තමන් සේවය කරන විදුහල් භූමියට එම භූමි ප්‍රමාණය අයත් නොවන්නේ නම් එය අනිවාර්යෙන්ම රජයේ බිම් කොටසක් නිසා ඇය දැව ජාවාරම්කාරිනියක් ලෙස පෙනී සිටිමින් අදාළ ගස් දහය කපා බිම හෙළා ඇති බවක් නිගමනය වන බව පොලිසියේ පරික්ෂණ වලට අනුව නිගමනයවී තිබේ.

රජයේ සේවකයකුට රජයට අයත් ශත පහක වටිනාකමක් ඇති කිසිවක් සොරකම් කිරීම ඊට අලාභ හානී සිදුකිරීම හා සොරා ගැනීමට උත්සහ කිරීමට සේවකයකුට කිසිදු අවසරයක් නැත.රාජ්‍ය ආයතනයකට අයත් දේපළක් රාජ්‍ය ආයතනයේ අවශ්‍යතාවක් සඳහා යෙදවීමට වුවත් ආයතන ප්‍රධානීන්ට නිසි අන්දමින් අවශ්‍යතාව පිළිබඳව විධිමත් අයුරින් කරුණු දක්වා එය ලබා ගත යුතුව තිබේ.

එ පමණක්ද නොව අදාළ වෘක්ෂයන්ගේ දැව ආයතන ප්‍රධානියාගේ කිසිදු පෞද්ගලික කටයුත්තක් සඳහා අවභාවිතා කළ නොහැකි අතර එම දැව සංවර්ධන කටයුත්තක් සඳහා භාවිත කිරීමක් පමණක් සිදුකළ හැකිය.

ඇය විසින් සංවර්ධන කටයුත්තකට බව කියමින් පාසල් භූමියේ ගස් කපා බිම හෙළා ඇතත් ඒ සඳහා ඇයට ඉහළින් සිටින කිසිදු බලධාරියකුට එම ක්‍රියාව සිදුකිරීමට පෙර දන්වා අවසර ලබාගෙන නොමැති බව ගලෙන්බිදුණුවැව කලාප අධ්‍යපන අධ්‍යක්ෂ කාර්යාලය තහවුරු කරයි.

ඒ හේතුවෙන් ආයතනික මට්ටමෙන් සිදුකෙරෙන පරික්ෂණ වලදි ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පවා පළාතේ අධ්‍යාපන බලධාරින්ට බලය පැවරී තිබේ. අදාළ සිද්ධියට ඇය පොලිස් අත්අඩංගුවට පත්වන බව දැනගැනීමත් සමඟම උපක්‍රමිකව පෙර දිනයක් යොදා ලිපියක් මගින් ගලෙන්බිදුණුවැව කලාප කාර්යාලයෙ කලාප අධ්‍යක්ෂවරියගෙන් ලිඛිත අවසර ඉල්ලා ඇතත්; ඇය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ විදුහල්පතිනිය සිය බලය අබිබවා යමින් ගස් කපා ඇති බව තහවුරු වීම නිසා ය.

රාජ්‍ය දේපළක් වන විදුහල් භූමියේ තිබූ පැරණි ගස් දහයක් කැපීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාපයේ පිහිටි ඉලුක්වැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය පසුගිය (5දා) නැවත කහටගස්දිගිලිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසූරිය මහතා ඇයව මේ මස (19දා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස නියෝග කළේය.

අධිකරණයට කරුණු දැක්වු ගලෙන්බිදුණුවැව පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ පාසල් සංවර්ධන කටයුත්තක් සඳහා ගස් කැපූ බවට සැකකාර විදුහල්පතිනිය පොලිසියට ප්‍රකාශ ලබාදී ඇතත් එවැනි කිසිදු සංවර්ධන කටයුත්තක් විදුහලේ සිදුනොවන බවයි.

ඇය පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා ගස් කපා බිම හෙළන්නට ඇති බවත් එම ගස් රජයට අයත් රාජ්‍ය දේපළ බව පොලිසිය අධිකරණයට දැන්වුවේය. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ තවම අවසන්වි නැති බවත් විදුහල්පතිනිය විසින් රජයට කර ඇති අලාභය සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවෙන් තක්සේරු වාර්තාවක් කැඳවිය යුතු බවත් පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළ විනිසුරුවරයා එතෙක් සැකකාර විදුහල්පතිනිය තවදුරටත් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අදාළ විද්‍යාලයේ විදුහල්පතිනියට විද්‍යාලයේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සුදුසුකම් නොමැති බවත්; ඊටත් වඩා සුදුසුකම් ඇති අය විද්‍යාලයේ සිටිනා බවත් කියමින් මීට මාස කිහිපයකට ඉහතදී දෙමාපියන් විසින් පාසල ඉදිරිපිට විරෝධතාවක් ද දියත් කළහ.

ඇය නිසි අන්දමින් විදුහල කළමනාකරණය කරමින් පවත්වාගෙන නොයනා බවට ඇයට එදින චෝදනා එල්ල විය. දැන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විදුහල්පතිනියගේ සැමියා ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන අතර දියණිය දැනට එම සභාවේම මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන්නීය.

 ඩබ්.පී.එම්.බී.එම් විජේසූරිය, අනුරාධපුර මධ්‍යම විශේෂ

Comments