හෙද සේවා පුරප්පාඩු සඳහා විකල්පයක් | සිළුමිණ

හෙද සේවා පුරප්පාඩු සඳහා විකල්පයක්

 කොවිඩ් 19 හෙවත් කොරෝනා තුන්වැනි රැල්ල මේ වන විට රට පුරා දෝරේ ගලා යන බවක් අසන්නට ලැබේ. එය කොතරම් බරපතළ තත්වයකට පත්වී ඇත්දැයි කිවහොත් මේ වන විට කොරෝනා ආසාදියන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්දහසක් ඉක්මවා යමින් තිබේ. එය එතරම් හොඳ තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එහි ඇත බරපතළකම වන්නේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින වේගයට මෙරට පිහිටි රෝහල් සංඛ්‍යාව මෙන් ම වෛද්‍ය සහ හෙද බළ ඇණිය ද වර්ධනය නොවීමයි. මේ වන විටත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්ව සිටින කොරෝනා ආසාදිත බිලිඳුන්ගේ සංඛ්‍යාව එහි ඇඳන් සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා ඉකුත් දා මාධ්‍යට හෙළිකර තිබුණේය. රෝහල් අධ්‍යක්ෂවරයාගේ එම ප්‍රකාශය කිසිසේත්ම අසත්‍යයක් විය නොහැක.

ඒ අනුව එම අසරණ ළමා රෝගීන්ට සිදුවී ඇත්තේ එක ඇඳ තවත් රෝගී බිලිදෙකු සමඟ බෙදා ගැනීමටය. විශේෂයෙන්ම කොරෝනා වැනි මාරාන්තික රෝගයකින් පෙළෙන හසරක් නොදත් කිරි සප්පයෙකුට එය කොතරම් අපහසු තත්ත්වයක් දැයි සිතාගත හැකිය.

මේ අතර කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඇඳන් ප්‍රමාණය ඉක්මවා යාමට ආසන්න වීම ඇතුළු රෝගීන් රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහලට ඇතුළත් කර ඇති බවක් ද අසන්නට ලැබේ. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහලේ වාට්ටුවල ඇඳන් ප්‍රමාණවත් පරිදි තිබුණද එම රෝගීන්ට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාරවල ඌණතාවයක් පැවතීමයි. අසන්නට ලැබෙන අන්දමට ආයුර්වේද ඖෂධ වර්ගවත් ඔවුන්ට ප්‍රමාණවත් පරිදි නොලැබේ. එපමණක් නොව එම රෝහලට අනුයුක්ත කර ඇති වෛද්‍යවරුන්ගේ මෙන්ම හෙද හෙදියන්ගේ සංඛ්‍යාව ද එහි ඇතුළත් කර සිටින රෝගීන් පිරිස සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

ඊට හේතුවී ඇත්තේ මෙරට රජයේ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලට අනුයුක්ත කර තිබෙන හෙද බළ ඇණියේ සේවා පුරප්පාඩු අතිවිශාල සංඛ්‍යාවක් පැවතීමයි.

තවත් හෙද හෙදියන් පිරිසක් කොරෝනා රෝගීන්ට සාත්තු සේවා කටයුතු කිරීමේදී කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ වන විටත් ඔත්පලව සිටිති. කොරෝනා ආසාදිත වෛද්‍යවරුන්ද මේ අතර වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මේ වන විට මෙරට හෙද බළ ඇණියේ පුරප්පාඩු දස දහසකට ආසන්න සංඛ්‍යාවක් පවතී. ප්‍රධාන වශයෙන්ම ඊට හේතුවී ඇත්තේ වසර මුළුල්ලේම විශ්‍රාමික වයස එළඹීම නිසා සේවයෙන් විශ්‍රාම ගැන්වෙන හෙද හෙදියන් වෙනුවට නවක හෙද හෙදියන් බඳවා ගැනීම දිගින් දිගටම ප්‍රමාද වීමයි.

අනෙක් අතට සේවා අවශ්‍යතාවය සලකා හෙද පුරප්පාඩු සඳහා නවක හෙද හෙදියන් බඳවා ගනු ලැබුවද ඔවුන් කඩිනමින් රෝහල් සේවය සඳහා මුදා හැරීමට ද නුපුළුවන. එසේ වන්නේ එම නවක හෙද හෙදියන් පිරිසට නියමිත පරිදි හෙද සේවා පුහුණුවක් ලබා දිය යුතුව ඇති බැවිනි. ඒ අනුව එම ආධුනික හෙද පිරිසට නියමිත පරිදි හෙද සේවා පුහුණුවක් ලබා දිය යුතුව ඇති බැවින් ඔවුන් රෝහල් සේවයට මුදා හැරීම සඳහා සුදුසු තත්ත්වයකට පුහුණු වන්නේ ඉන් අනතුරුවය.

එමඟින් පෙනී යන්නේ මෙරට රජයේ රෝහල් වල හෙද හිඟය සපුරාලීම සඳහා නවකයන් බඳවා ගනු ලැබූවද මේ දිනවල මෙරට රෝහල්වල පවතින රෝගීන්ගේ තදබදය පිළිබඳ ප්‍රශ්නයට එමඟින් කිසිදු විසඳුමක් නොලැබෙන බවය. එසේ වන්නේ සාත්තු සේවය පිළිබඳ න්‍යායික සහ ප්‍රායෝගික දැනුමක් සහ පුහුණුවක් නොමැතිව නවක හෙද හෙදියන් කොරෝනා රෝගීන්ගේ සේවය සඳහා යෙදවීමට නොහැකි බැවිනි. එසේම ප්‍රමාණවත් හෙද සේවා පුහුණුවක් නොලැබූ ආධුනික හෙද හෙදියන්ගෙන් සේවය ලබා ගැනිමට ද කිසිවකු හෝ කැමැත්තක් දක්වතැයි සිතීමට පවා අපහසුය. එය අනතුරුදායක ක්‍රියාවකි. කෙසේ වෙතත් අපට පෙනෙන අන්දමට නම් ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් යොදවා ගත හැකිය. ඒ සඳහා යොදා ගත හැකි සාර්ථකම විකල්ප ක්‍රමවේදය වන්නේ මේවන විට සේවයෙන් විශ්‍රාම ලබා සිටින සහ ප්‍රමාණවත් ශරීර සුවතාවයකින් යුතු විශ්‍රාමික හෙද පිරිස යළි සේවයට කැඳවීමය. වසර විසිපහක තිහක හෝ ඊටත් වැඩි සේවා කාලයක් සපුරා ඇති එම ජ්‍යෙෂ්ඨ හෙද හෙදියන් පිරිසට යළි පුහුණුවක් ලබාදීමට ද අවශ්‍ය නොවේ . එවැනි පිරිස් අද සේවයට බඳවා ගෙන ඊට පසුවදා සිටම සේවා කටයුතු සඳහා රෝහල් වලට මුදවා හැරීමට පුළුවන. ඒ සඳහා නීති රෙගුලාසි ද මෙරට ආයතන සංග්‍රහයේ සඳහන්ව තිබේ. එහෙයින් එය ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි පහසු ක්‍රියාදාමයකි.

වර්තමානයේ මෙරට රෝහල් ක්ෂේත්‍රයේ පවතින හෙද හිඟයට එය සුදුසුම ක්‍රියාදාමය බව මෙත් සිතින් අවධාරණය කළ යුතු වේ. හෙද සේවය සඳහා පමණක් නොව දැනට පවතින වෛද්‍ය පුරප්පාඩු පූර්ණය කරවීම සඳහා ද එම ක්‍රමවේදයම උපයෝගී කර ගත හැකිය. අපගේ අදහසට අනුව නම් වර්තමානයේ පවතින කොරෝනා වසංගතයේ පැතිරීමත් සමඟ උද්ගතවී ඇති රෝහල් පුරප්පාඩු කඩිනමින් පියවා ගැනීම සඳහා ඇති උචිතම ක්‍රියාමාර්ගය වන්නේ මෙලෙස විශ්‍රාමිකයන් සේවයට කැඳවීමයි.

 

Comments