මරණයෙන් ගැලවෙන්න එකම විකල්පය එන්නතයි | සිළුමිණ

මරණයෙන් ගැලවෙන්න එකම විකල්පය එන්නතයි

ඉදිරි සති කිහිපය රටේ තීරණාත්මක සති කිහිපයක් බවට පත් කරමින් මෙරට පැතිරෙමින් පවතින ඩෙල්ටා වයිරස ප්‍රභේදය පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් කලෝචිතය. ඩෙල්ටා යනු කුමක්ද යන්න හඳුනා ගැනීම මෙහිදි වැදගත් වෙයි. ඊට ප්‍රථමයෙන් මේ වයිසරය ඇතිවීමට බලපෑ මූලික සිද්ධාන්තයන් පිළිබඳව හැදෑරීම වැදගත් වෙයි. එය හඳුනා ගැනීමට ප්‍රථම වයිරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය පිළිබඳව යම් සඳහනක් කළ යුතුය. මෙහි ආරම්භය නිර්මාණය වූයේ SARS COV – 2 virus යෙනි. එනම් චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ වයිරසය (SARS COV–2 virus)මේ ඩෙල්ටා වයිරසයේ මූල නිර්මාණ විය. මූලික වශයෙන් මේ මූලනිර්මාණ වයිරසය අපි wild type නමින් හඳුන්වනු ලබයි.

චීනයෙන් ආරම්භ වි මෙය ඉතාලිය ඇමරිකාව බ්‍රිතාන්‍ය බ්‍රසීලය වැනි ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් කිහිපයකම දරුණු ලෙස ව්‍යප්ත විය. අනතුරුව ඉන්දියාව සහ මේ වනවිට ඉන්දුනිසියාව වැනි රටවල්ද ආක්‍රමණය කරන්නට විය. එම සියලු රටවල ආර්ථිකය සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල කරමින් ජන ජීවිත අඩාල කරමින් ව්‍යාප්ත විය. මේ වනවිටත් මේ රෝගය ලොව පුරා විවිධ රටවල් වල පැතිරෙමින් පවතී, ඒ ඒ රටවල් ඔවුන්ට ආවේණික ක්‍රමවේද අනුව මේ වසංගතය පාලනය කිරීමේ දැඩි ප්‍රයත්නයක නිරත වෙමින් සිටියි. ලෝකයේ බලගතු රාජ්‍යවලට පවා බලපෑම් කරමින් එම රටවල් උඩුයටිකුරු කරමින් පැතිර යන මේ වයිරසය ලෝක වසංගතයක් නිර්මාණය කිරිමට සමත් විය.

මේ ලෝක වසංගතයක් බවට පත්ව ඇති SARS COV – 2 virus වයිරසය යනු කුමක්ද යන්න පිළිබඳව හඳුනාගත යුතු වීම වැදගත් වන්නේ ඒ හෙයිනි. මේ වයිරසය RNA ගනයට අයත් වෙයි. අනෙක් සියලුම වයිරස මෙන්ම මේ වයිරසයද විකෘති වයිරස නිර්මාණය කර ගනී. මේ ඇතැම් විකෘති වයිරස එම වයිරසයේ පැවැත්ම සඳහා ඉවහල් වෙයි. ඒ හෙයින් ඒවාට දිර්ඝකාලීන පැවැත්මක් ඇත. මේ විකෘති ප්‍රභේද විශේෂයෙන් පර්යේෂණ සිදු කළ හැකි වනුයේ ජාන විශ්ලේෂණ පරික්ෂණ මඟින් පමණි. මෙරට තුළ අප විසින් සිදු කරන ලද ජාන විශ්ලේෂණ වාර්තාව ඉතා වැදගත් වෙයි. පවතින භයානක තත්ත්වය මත ජාන විශ්ලේෂණ වාර්තා වැඩි වශයෙන් සිදු කළ යුතුය. මෙම ජාන විශ්ලේෂණය කර එය ලෝක දත්තවලට අනුව ඉදිරිපත් කිරීම මේ අවස්ථාවේදි සිදු කළ යුතුම කාර්යයකි. එයට හේතුව ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශය අනුව පොසිටිව් වාර්තාවලින් සියයට එකක් හෝ ජාන විශ්ලේෂණ පරික්ෂණයකට භාජනය කළ යුතු වීමයි.

විශේෂයෙන් මේ වයිරසයන්ගේ ව්‍යාප්තිය පිළිබඳව සලකා බැලීමේදී මේ sars cov-2 virus අනෙක් වයිරස් වලට සාපේක්ෂව විකෘතිතා අඩුවෙන් පෙන්නුම් කරයි. එයට හේතු සාධක ලෙස දැක්විය හැක්කේ මෙහි වැරදි නිවැරැදි කිරීමෙ ජානයක් එනම් ( proof reader) ජානයක් මේ වයිරසය තුළ තිබීමයි. ඒනිසා වැරදි නිවැරදි කර ගැනීමේ හැකියාව මේ වයිරසය සතු වෙයි.

කෙසේ වෙතත් පසුගිය 2019 දෙසැම්බර් මස සිට මේ දක්වා මේ sars cov-2 virus වයිරසය මඟින් ගැටලු සහගත විකෘතිතා සහිත ප්‍රභේද හතරක් ලෝකය තුළ නිර්මාණය කර ඇත. මේ ගැටලු සහගත ප්‍රභේදයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පසුගිය 09 වැනිදා අවසන් වරට පැවැත්වූ ඔවුන්ගේ සමුළුවේදී මේ (variant of concern) (VOC) ගනයට වයිරස ප්‍රභේදයන් හතරක් ඇතුළත් කර ඇත. මේ වයිරස ප්‍රභේදයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම නාමකරණයට අනුව alpha, beta, gamma සහ delta යනුවෙන් මේ ප්‍රභේදයන් හතර නම් කරනු ලැබ ඇත. ඒ අනුව alpha යනු එංගලන්ත ප්‍රභේදයයි. එය B117 නම් වේ. බීටා දකුණු ඇමරිකානු ප්‍රභේදයයි. එය B1 -351 නම්වෙයි. ඉන්පසුව බ්‍රසීල p1 යනු gamma ප්‍රෙභ්දයයි. delta යනු ඉන්දියානු ප්‍රභේදයයි. එය B 1- 617-2 ලෙසින් හැඳින්වෙයි.

මේවා (variant of concern)(VOC) ඇතුළත් කිරීමට ප්‍රධාන හේතු ගණනාවක් වෙයි. එනම් මූලික වශයෙන් ව්‍යප්ති වේගය වැඩිවිය යුතුයි, රෝගයේ දරුණු භාවය වැඩි විය යුතුයි, රෝග හඳුනා ගැනීමේ ක්‍රමවේදයන්ට බාධා ඇතිවිය යුතුයි. අපේ ප්‍රතිශක්තිය මඟ හැරීමේ ප්‍රවණතාවක් ඇති විය යුතුයි, එන්නත් වලින් හෝ ස්වභාවික ප්‍රතිශක්තිය තිබිය යුතුයි. එසේ නැති නම් භාවිත කරන ප්‍රතිකාර ක්‍රමවේදයන්ට සංවේදි නොවිය යුතුයි වැනි කරුණු සම්පූර්ණ කළහොත් එය voc (variant of concern) නමින් හඳුන්වනු ලබයි.

විශේෂයෙන් අපි මෙහිදී සාකච්ඡාවට බදුන් කළ යුතු ප්‍රධාන මාතෘකාව මේ වන විට මෙරටේ පැතිර යන (variant of concern) (VOC) ගනයට ඇතුළත් වන නවතම delta ප්‍රභේදය පිළිබඳවයි. මේ ප්‍රභේදය අනෙක් ප්‍රභේදවලට වඩා වෙනස් ආකාරයකින් හැසිරිමට පටන් ගත් බව මේ පිළිබඳව පර්යේෂණය කරන ලද විද්‍ය­ාඥයන් නිරීක්ෂණය කර ඇත. මෙම අගෝස්තු මස 10 වැනිදා වනවිට රටවල් 119ක මේ වයිරසය ව්‍යාප්ත වී ඇත. මේ වයිරසය ව්‍යප්ත වූ සෑම රටකම වාර්තා වූ ආකාරයට සති හයක පමණ කාලයක් ගත වන විට අනෙක් සියලු ප්‍රභේද අබිබවමින් කොවිඩ් 19 ඇති කරණ ප්‍රමුඛ වයිරස ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රමුඛතාව ගනු ලබන වයිරසය බවට පත් වෙයි.

විශේෂයෙන් මේ පිළිබඳ සඳහන් කළහොත් ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතරින් ප්‍රථමවරට ඩෙල්ටා රෝගියකු හඳුනාගනු ලැබූයේ ජූනි මාසයේ පළමු වැනි සතියේදීය. එතැන් සිට මේ වනවිට රෝගය ආසාදනය වන ප්‍රධානතම වයිරසය බවට මේ ඩෙල්ටා ප්‍රභේදය පත්වී ඇත. මේ ඩෙල්ටා ප්‍රභේදය (VOC) ගනයට ඇතුළත් කිරීමේ ඇති ප්‍රධානතම විශේෂිත කරුණක් නම් මෙහි ඇති පැතිරීමේ වේගවත් භාවයයි. දැනට ඇති වාර්තාවලට අනුව ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 40-60 අතර වේගයෙන් පැතිරීම සිදුවෙයි. එනම් මූල නිර්මාණිත වයිරසය වන wild type වයිරසයට සාපේක්ෂව දෙඟුණයකින් මෙහි ව්‍යාප්තිය සිදු වෙයි. මෑතකදි චීන විද්‍යාඥයෙකු හෙළිදරව් කළ කරුණක් නම් අනෙක් වයිරස වලට වඩා දහස් ගුණයකින් ඩෙල්ටා වයිරසයේ ස්වසන තරලවල වයිරසය රදා පවතින බවයි. ලෝක සෞඛ්‍යය සංවිධානය මෙය හඳුන්වනු ලබන්නේ "fastest and the fittest variant"යනුවෙනි.

මේ වයිරසයේ රෝග ලක්ෂණ සලකා බැලීමේදී මේ ප්‍රභේදයක් කොවිඩ් 19 ඇති කරන රෝග ප්‍රභේදයක් නිසා මේ ආශ්‍රිත රෝග ලක්ෂණ සාමාන්‍ය කොවිඩ් 19 ඇති කරන රෝග ලක්ෂණවලට සමාන වෙයි. ඒ අනුව මේ වයිරසය ආසාදනය වීමෙන් උණ හිසරදය, උගුරේ වේදනාව සොටු දියර ගැලීම, ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස වාර්තා වෙයි. ඊට අමතරව කැස්ස ඇති වීම ගඳ සුවඳ නොදැනීම වැනි රෝග ලක්ෂණ මේ රෝගය ආශ්‍රිතව වාර්තා වෙයි.

මෙහි දීර්ඝකාලීන ආබාධ ලෙස ශ්‍රවණාබාධ, රුධිර කැටි ගැසීම් වැනි තත්ත්වයේ සංකූලතාවන් ඇතැම් රටවලින් වාර්තා වෙයි. මේ රෝගය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාව නිසා එන්නත් නොකළ පිරිස් වලට ඉක්මනින් ආසාදනය වීමේ හැකියාව වැඩි වෙයි. ඇත්ත වශයෙන් එන්තත් නොකරපු කෙනෙකුට එන්නත් කළ පුද්ගලයකුට සාපේක්ෂව මේ වයිරසය ආසාදනය වීම දෙඟුණයක ප්‍රවණතාවක් වෙයි.

මේ සම්බන්ධයෙන් මගේ පුද්ගලික අදහස නම් කොවිඩ් 19 වයිරසය ක්‍රමයෙන් එන්නත් නොකරපු අයගේ රෝගයක් බවට පත්වන බවයි. එනම් මේ රෝගය අසාදනය ඉදිරියේදී ගැටලුකාරි තත්ත්ව මතු කරන්නේ එන්නත් නොකළ පුද්ගලයන්ට වන බව ඉතා පැහැදිලි කරුණකි. මේ වයිරස පිළිබඳ ලෝකයේ කරනු ලබන සෑම පරික්ෂණයකින්ම වැදගත්ම පණිවුඩය වන්නේ එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන සති දෙකක් ගත වූ තැන නියම ආරක්ෂාව ප්‍රතිශක්තිකරණය ඇති වන බවයි. විශේෂයෙන්ම ඇස්ට්‍රසෙනිකා, ෆයිසර් සහ මොඩනා වැනි කොරෝනා එන්නත් සඳහා සියයට 88 ආරක්ෂාවක් ඇත.

මේ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් මියයාම සහ අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව අඩුය. මේ කිසිම වැක්සිනයකින් රෝගය වැළඳීම නවතාලිය නොහැකිය. රෝගීන් මිය යාම වැළැක්වීම එන්නත්කරණය මඟින් විශාල වශයෙන් සිදු වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ අප ආයතනය විසින් සිදු කරනු ලබයි. ඒ අනුව පසුගිය ජුනි මාසයේ සාම්පල් 94ක් විශ්ලේෂණය කළ අතර ඒ විශ්ලේෂණ කරන ලද සාම්පල්වලින් 56 ක් ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත ආශ්‍රිතයන් බවට හඳුනාගනු ලැබිණි. දිස්ත්‍රික්ක කිහිපයක් ආශ්‍රිතව මේ වයිරසය ආසාදනය වූවන් සිටි බවට එහිදි තහවුරු විය. ඊට අමතරව ඇල්ෆා 36 දෙනෙකුද වාර්තා විය. මෙයද දිස්ත්‍රික්ක කිහිපයක් ආශ්‍රිතව විය. බි 1 -351 යන ප්‍රභේදය ආශ්‍රිතව එක් රෝගියෙක් මන්නාරම ප්‍රදේශයෙන් වාර්තා විය. මාර්තු මස සිට මේ දක්වා ජාන විශ්ලේෂණ 818 සිදුකර ඇති අතර එයින් 417 ඇල්ෆා 117 ඩෙල්ටා , සහ බී 1- 351 ප්‍රභේද ලෙස හඳුනාගනු ලැබිණි. බීටා ප්‍රභේදය පිටරටවලින් පැමිණ නිරෝධායනය වන්නන් අතුරින් හමුවිය. ඒ නිසා එය සමාජය තුළින් වාර්තා වූ අය නොවෙයි. මෙහිදි අප නැවතත් අවධාරණය කරනු ලබනුයේ මේ පර්යේෂණ අනුව ඩෙල්ටා ප්‍රභේදය අනෙක් ප්‍රභේදයන්ට වඩා ඉතාමත් වේගයෙන් පැතිරිමේ වේගය වැඩි බවයි.

සංචරණ සීමා කරමින් සියලුම සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් අවධානයෙන් කටයුතු කළයුතු කාලයක් උදා වී ඇත. මේ ඩෙල්ටා ප්‍රභේදය විශේෂයෙන් සංවෘත ස්ථානවලදී ශිඝ්‍ර පැතිරීමේ හැකියාව ඇත. ශ්වසන පටල තරලවල වයිරස ප්‍රමාණය බොහෝ වැඩි නිසා පිරිස් රැස් වන තැන්වල මෙය පැතිරීමේ වේගය වැඩිවෙයි. වයිරසය අසාදිතයකු ආයතනයකට පැමිණියොත් සියලු දෙනාට ම පැතිරීමට අවකාශ ඇත.

එවැනි ස්ථානවලදී මුව ආවරණය හදිසියකදී තත්පර පහක කාලයකදී හෝ ඉවත් කිරීම සිදුවුවත් වයිරසය ආසාදනය වීමේ හැකියාව වැඩි වෙයි. ඒ නිසා එවැනි තැන්වලට නොයා සිටීම ඉතා වැදගත් වෙයි. කිසිදු හේතුවක් මත සෙනඟ ගැවසෙන තැන්වලට යායුතු නොවෙයි. මූලිකවම කළයුතු වන්නේද ජිවිතය ආරක්ෂා කරගැනීමයි. ප්‍රථමයෙන්ම අපි ජීවත් වී සිටිය යුතුයි. අපි විද්‍යාඥයන් ලෙස තවමත් ඩෙල්ටා පිළිබඳව හදාරමින් සිටිමු. මේ ප්‍රභේදය පිළිබඳව සියයට සියයක් අධ්‍යයනය කර අවසන් නැත. අපි ඔබ වෙනුවෙන් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටිමු. විවිධ පර්යේෂණ වාර්තා අනුව මේ සම්බන්ධයෙන් අවබෝධය ඉදිරියට ලැබෙතැයි බලාපොරොත්තු වෙමු. කිනම් වයිරසය ප්‍රභේදය ඇතිවුවත් මේ සඳහා සුදුසුම පියවර ලෙස එන්නත්කරණයයි. එමෙන්ම දැනට ඇති හොඳම විකල්පය සහ දැඩි ආරක්ෂාවද එන්නතයි.

මෙහිදි අවධාරණය කළ යුතු කරුණක් නම් මේ වයිරසය පැතිරීමේදි එය පැතිරෙන වේගය අනුව මේ වයිරසයේ විකෘතිතා ඇතිවීම හැකියාවයි. ඕනෑම වයිරසයක විකෘතිතා ඇතිවන්නේ පැතිරීම් වැඩි වන ස්ථානවලදීය. එංගලන්ත කොරොනා වයිරසය ඉතා වේගයෙන් පැතිරීමේදී ඇල්ෆා ප්‍රභේදය නිර්මාණය විය.. ඉන් අනතුරුව ඉන්දියාවේදීත් ඩෙල්ටා නව ප්‍රභේදයක් නිර්මාණය විය. එසේ නම් මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් නව ප්‍රභේදයක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් ඇත. ඒ නිසා හැකි තරම් වගකීමෙන් කටයුතු කළයුතු බව අවධාරණය කළ යුතුය.

අප ආයතනය මඟින් සිදු කරනු ලබන මේ ජාන විශ්ලේෂණ පරික්ෂාවේ ඉතා වැදගත් වන සුවිශේෂි තවත් කරුණක් නම් මෙරටේ රෝග පැතිරෙන ආකාරය අනුව ලෝකයේ කිසිදු රටක නිර්මාණය නොවුණ නව ප්‍රභේදයක් අපේ රට තුළ ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබේ. එවැනි අවස්ථාවලදී ජාන විශ්ලේෂණ පරික්ෂාව කර ඒ තුළින් එවැනි නව ප්‍රභේද සොයා ගැනීම ඉතා වැදගත් කාර්යයකි.

මෙහි බරපතළ කාරණාවක් ලෙස සඳහන් කළ යුත්තේ ලෝකයේ දැනටමත් නිර්මාණය වෙමින් පවතින එන්නත්කරණයට ඔරොත්තු නොදෙන ප්‍රභේදයක් මෙරටේ නිර්මාණය වුවහොත් මෙතෙක් අප ගත් සියලුම පරිශ්‍රමවලින් කිසිදු ඵලක් නොවෙනු ඇත. ජාන විශ්ලේෂකයන් ලෙස අපි විශ්වාස කරන කරුණක් නම් රෝගය පාලනය කර ගැනීම සඳහා හැකි තරම් ජාන විශ්ලේෂණ පරික්ෂා වැඩි කරමින් දිර්ඝ කාලීනව මේ සම්බන්ධයෙන් පර්යේෂණයන් සිදු කළ යුතු වීමයි.

එයට හේතුව මේ ඩෙල්ටා ප්‍රභේදය මඟින් නව ප්‍රභේදයක් ඇති විය හැකි වීම සම්බන්ධයෙන් අපිට විද්‍යාඥයන් ලෙස යම් සැකයක් මතු වී ඇත. ඒ හෙයින් මේ රටේ ඉදිරි සති දෙක තුනක කාලය තීරණාත්මක කාලයක් බවට පත්වනු ඇත. මේ වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වගකීම සියලු පුරවැසියන් සතුය. ස්යං පාලනයක් විනයක් ඇති කරගත යුතුය. මේ වයිරසයෙන් රට කුමන දිශානතියක් කරා ගමන් කරන්නේ ද යන බරපතළ කාරණාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍ර මෙන්ම ජනතාව ලෙස ඔබට ද විශාල යුතු කමක් මෙන්ම ජාතික වගකීමක් පැවැරී තිබේ.

Comments