කහ නිල් කරන හැටි බන්දුල, විමල්ට කියයි | Page 2 | සිළුමිණ

කහ නිල් කරන හැටි බන්දුල, විමල්ට කියයි

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය ඩෙල්ටා ප්‍රභේදය සමඟ පැතිර යෑම පසුගිය සතියේ වර්ධනය වී ඇති අතර දේශපාලන ක්ෂේත්‍රය ද ඩෙල්ටා සමඟ උණුසුම් විය. ඩෙල්ටා වැඩි වූයේ ආණ්ඩුවේ නොහැකියාව නිසා බවට විපක්ෂය චෝදනා කරන අතර ආණ්ඩුව චෝදනා කරන්නේ විපක්ෂයේ උද්ඝෝෂණ ඩෙල්ටා වැඩි වීමට හේතු වූ බවයි.

•එක් දිනකට ලක්ෂ 05 කට එන්නත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකායේත් කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේත් සහයෝගය ඇතිව එන්නත්කරණය ආරම්භ කළේ විශේෂ ක්‍රමවේදයක් ද අනුගමනය කරමිනි.

විශේෂඥවරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ එක් පැත්තකින් සෞඛ්‍ය අංශ මැදිහත් කරවමින් රටපුරා එන්නත්කරණය වේගවත් කළ රජය අනිත් පැත්තෙන් යුද හමුදාව ගුවන් හමුදාව හා අනෙකුත් ආරක්ෂක අංශවල සහයෝගය ද එන්නත්කරණය වෙත ලබා ගත්තේය. දිනක් ඇතුළත එන්නත් ලක්ෂ පහකටත් වඩා වැඩි ගණනක් ජනතාව වෙත ලබාදෙමින් එන්නත්කරණය පිළිබඳ ලොව වේගවත්ම රට ලෙස ඉස්මතු වන්නට ද මෙහිදී ශ්‍රී ලංකාවට හැකි වූයේ සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් එක්ව දියත් කරන ලද එම එන්නත්කරණ ක්‍රියාන්විතය නිසාය.

සිංහල අලුත් අවුරුදු සමයෙන් පසුව ඉතා නරක තත්ත්වයකින් වර්ධනය වෙමින් පැවති කොරෝනා තුන්වෙනි රැල්ල ඉතා වේගයෙන් පාලනය කරගන්නට ද රජයේ සෞඛ්‍ය අංශ සමත් වූහ. දිනකට හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව දහසකට වඩා අඩු වන්නට පටන් ගත් අතර, දිනකට සියයක පමණ අගයකින් තිබූ මරණ සංඛ්‍යාව ද 40 ගණන් දක්වා අඩුවන සංඛ්‍යාවක් පෙන්නුම් කරනු ලැබීය.

සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ජනාධිපතිවරයාත් එක්ව අත්පත් කර ගනිමින් තිබූ මෙම සතුටුදායක තත්ත්වය දින කීපයක් ඇතුළත යළිත් වරක් ආපස්සට හරවන්නට සමත් වූ අරගලයක් ද මේ අතරතුර හට ගත්තේය.

රටේ බුද්ධි අංශ පෙන්වා දෙන ආකාරයට මෙය අරගලයක් යැයි කියනවාට වඩා එක්තරා අන්දමක කුමන්ත්‍රණයක් යැයි කීම කාලෝචිත බව පෙනේ.

•අරගලයක්ද? කුමන්ත්‍රණයක්ද?

බුද්ධි අංශවල තොරතුරු අනුව මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ රටේ පොදු ජනතාව වෙතින් නැගෙන අරගල රැල්ලක් ලෙසය. විපක්ෂයේ පක්ෂ කීපයක සංවිධානාත්මක එකමුතුවකින් ක්‍රියාත්මක වූ මේ අරගල රැල්ලේ පළමු ගොදුර වූයේ මේ රටේ අසරණ ''ගොවි ජනතාව'' ය. ඒ වන විට රට තුළ රසායනික පොහොර භාවිතය ටිකෙන් ටික අඩුකරමින් කාබනික පොහොර භාවිතය ජනතාවට හුරු පුරුදු කරන්නට රජය ආරම්භ කර තිබූ කාබනික කෘෂිකර්ම වැඩපිළිවෙල මෙහි දී කුමන්ත්‍රණකරුවන්ට හොඳ තෝතැන්නක් විය.

කාබනික පොහොර භාවිතය හා එහි රටාවන් පිළිබඳ අවබෝධයක් නොතිබූ අහිංසක ගොවි ජනතාව මේ කුමන්ත්‍රණකරුවන්ට හොඳ ගොදුරු බිමක් විය.

ගොවියන් දඹුල්ලෙන් නුවරඑළියෙන් වැලිමඩින් බදුල්ලෙන් අම්පාරෙන් අනුරාධපුරයෙන් පාරට බැස ආණ්ඩුවෙන් පොහොර ඉල්ලා කෑ ගසන්නට වූහ. එහෙත් දිගින් දිගටම ගොවියන් පාරට බස්සවමින් ගොවි අරගල රට පුරා දියත් කරන්නට විපක්ෂයට අසීරු වූයේ ගොවියාගේ ප්‍රශ්න ඒ තරම් කල් පවතින, විසඳුම් නොමැති ප්‍රශ්න ලෙස නඩත්තු කරන්නට ඔවුනට නොහැකි වූ නිසාය. ඊට හේතුව ඔවුන්ගේ ප්‍රශ්න වලට නිරතුරුව රජය උත්තර දෙන්නට පිළිතුරු සූදානම් කරගෙන තිබීමයි. රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර ඔවුන්ට ලැබෙන්නට විය. රසායනික පොහොර පිළිබඳව පමණක් දැනුවත් වී සිටි ඔවුහු අනතුරුව කාබනික පොහොර පිළිබඳවද දැනුවත් වන්නට ද වූහ.

ගොවියන්ගේ අරගලය මත දිගින් දිගටම යැපෙන්නට නොහැකි වූ විපක්ෂයේ ඒකාබද්ධ බලවේග ඉන්පසුව අවධානය යොමු කළේ ''හොඳම විකල්පය'' වෙතය.

ඒ වූ කලී වසර 24 ක් තුළ දිගින් දිගටම හරිහැටි සම්පූර්ණ විසඳුමක් හා උත්තරයක් නොමැතිව වර්ධනය වුණු අහිංසක වෘත්තිකයන් පිරිසකගේ සාධාරණ අරගලයකි. එනම් ගුරුවරුන්ගේ හා ගුරු විදුහල්පති වරුන්ගේ මෙතෙක් නොවිසඳුණු වැටුප් විෂමතා ගැටලුවයි.

රජයේ කොවිඩ් මර්දනයට හා එන්නත්කරණයට පූර්ණ අවධානය යොමු කර සිටින අවස්ථාවේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය මුල් කරගනිමින් අරගලයක් කළේ නම් එය නිසැකයෙන්ම ජයග්‍රහණයෙන් අවසන් කරගත හැකි වනවා ඇතැයි ගුරුවරුන්ට බලාපොරොත්තු දුන් මේ ඒකාබද්ධ බලවේගවලට, ගුරුවරුන් පාරට ගෙන්වීම සඳහා ක්‍රියාත්මක කරන්නට සිදු වූයේ ප්‍රාථමික මට්ටමේ උපක්‍රම කිහිපයක් පමණි.

මුලින්ම ගුරු සටනක් කියා යමක් කරළියට පැමිණියේ නැත. විපක්ෂයෙහි සංවිධානාත්මක බලවේගයෙ නියමුවෝ මුලින්ම කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීමයි.

එම උද්ඝෝෂණකරුවන් අත්අඩංගුවට ගන්නට රජයට සිදු වූයේ ඒ වන විට රටේ ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන නීති රෙගුලාවලින් පොලිසිය වෙත පැවරී තිබූ රාජකාරිමය ස්වාභාවය නිසාය.

රට තුළ වසංගතයක් පවතින අවස්ථාවක ක්‍රියාත්මක වන නීති රෙගුලාසි යටතේ නිරෝධායනය සඳහා රැගෙන ගිය වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රශ්නය ඔවුන් උපක්‍රමශීලීව සමාජගත කළේ වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමක් ලෙස ය.

ඒ අනුව කිසිලෙසකත් සටන්කාමී නොවූ සාමකාමී වෘත්තිකයන් පිරිසක් අනාරක්ෂිත පරිසරයක් තුළ මහමඟට බස්සවන්නට විපක්ෂයේ ඒකාබද්ධ කුමන්ත්‍රණකාරීන්ට හැකි වූහ.

කුමන්ත්‍රණකරුවන්ගේ උපක්‍රමික සැලැස්ම සාර්ථක විණි. එය කෙතරම් සාර්ථක වීද යත් තමන් මේ පාරට බැස සටන් වදින්නට පටන් ගෙන ඇත්තේ තම තමන්ගෙන්ම අධ්‍යාපන හදාරන දුවා දරුවන්ගේ අනාගතය සමඟ බව ගුරුවරුන්ට වැටහී ගියේ නැත.

•ගුරු පොකුර

ගුරුවරුන් දඩමීමා කරගෙන විපක්ෂයේ පක්ෂ කීපයක ඒකාබද්ධ කුමන්ත්‍රණය අවසානයේ ජයග්‍රහණය කළේය. රට පුරාම කොවිඩ් පොකුරු බිහිවන්නට විය. සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල පාලනයෙන් මිදී සමාජය තුළ පාලනයකින් තොරව සිදු වුණු උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් සමාජ දුරස්ථභාවය පොදු ජනතාවට ද අමතක වූහ.

මේ සියලු සැලසුම් සහගත කුමන්ත්‍රණවල ප්‍රතිඵලය කිසිලෙසකත් ගුරුවෘත්තිකයන්ද බලාපොරොත්තු වූවක් නොවීය. අගෝස්තු මාසය ආරම්භ වන විට මේ බැව් තේරුම් ගත් ගුරුවරුන් සටන අතහැර හුදෙකලා වන්නට තීරණය කළත් ඔවුන්ගේ ක්‍රියා කලාපය තුළ සමාජය මත රෝපණය වූ සමාජ නොසන්සුන් භාවය මත කොවිඩ් පැතිරීම වේගවත් විය.

එය කොතෙක් වේගවත් වී ද යත් පසුගිය සතිය වන විට දිනකට හමුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3,000 ටද ආසන්න වන මට්ටමකට පැමිණි අතර දිනක දී සිදුවන මරණ සංඛ්‍යාව 124 ද ඉක්මවා යන අගයකට පැමිණියේය.

මෙහිදී රජය ගුරුවරුන්ගේ සටනෙහි ස්වභාවය නිවැරදිව තක්සේරු කර තේරුම්ගෙන තිබිණි.

ගුරු සටන නිසා සමාජය මත කොවිඩ් බෝ වීමට සිදු වූ දායකත්වය නොසලකා ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා දී සැබෑ ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසඳිය යුතු බව රජයේ ඇමතිවරු වැඩි වැඩි දෙනෙකුගේ අදහස විය.

ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීමක් වූ වැටුප් විෂමතාව ඉවත් කොට හිඟ වැටුප් ලබාදීම මේ මොහොතේ ක්‍රියාත්මක කළ නොහැකි වුවත් රජය ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් කර තීන්දුවක් ගැනීමට කමිටුවක් පත් කළේය. ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර හා ප්‍රසන්න ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් 04 දෙනාගෙන් යුතු කමිටුවට ජනාධිපතිවරයා දැනුම් දුන්නේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව හා ප්‍රශ්නයට සැබෑ කල්පවතින විසඳුමක් සොයා බලා නොපමාව රජයට යෝජනා කරන ලෙසයි.

ඒ අතරතුර ඔවුන්ගේ කුමන්ත්‍රණකරුවන් විසින් ඔවුන් වෙත පටවා තිබූ අනෙක් ඉල්ලීම ගැන ද රජය අවධානය යොමු කළේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනත මේ වෙලාවේ ගෙන ඒම ගැටලුවක් නම් එය කල් දමන්නට රජය තීන්දුවක් ගත්තේය.

•සුමංගල හිමියන් චෝදනා කළේ කාටද?

ඒ අතර ගුරු සටන තුළ ඉතා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන්නට යෙදුණු කුමන්ත්‍රණය හොඳාකාරවම හෙළිදරව් කරගන්නට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව සිටියහ. ජනතාව පාරට බස්සවා අවිධිමත්ව සිදු කරන ලද මහා පරිමාණ ජනතා පෙළගැසීම් තුළින් කෝවිඩ් පතුරුවා හරින්නට විපක්ෂයේ කරන ලද සියලු සැලසුම් හෙළිදරව් විය.

පසුගිය සතිය ආරම්භ වෙන්නට පෙර මේ පිළිබඳ මැනවින් තේරුම් ගත් ගුරු අරගලයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මේ පිළිබඳ දරුණු විවේචනයක් කළේ දේශපාලන පක්ෂයක නමක් පවා හෙළිදරව් කරමිනි. එම පක්ෂය ඉතාමත්ම සැලසුම් සහගතව ගුරු සටන තමන්ට අවශ්‍ය අන්තයක් වෙත රැගෙන ගියේ යැයි උන්වහන්සේ චෝදනා කළහ.

අවසානයේ මුළු මහත් රටේම ජනතාවට අප්‍රසන්න, අප්‍රිය, අමනාප වෘත්තිකයන් පිරිසක් බවට ගෞරවනීය ගුරුවෘත්තිය පත් කළේ යැයි කියා උන්වහන්සේ ඒ දේශපාලන පක්ෂයටම චෝදනා කරන්නට වූහ.

ආණ්ඩුවේ ඇමතිවරුන්ට කොරෝනා හැඳුණ හැටි සජිත් විමසයි.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සති අන්තයේ සිටියේ තිස්සමහාරාමයේය. තිස්සමහාරාමයට ගිය සජිත්ට පාක්ෂිකයන් කීවේ ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ අය නිසා කොරෝනා ව්‍යාප්තවී ඇති බවට ආණ්ඩුව කියන කතාවක්ය.

"එහෙනම් දැන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් කොරෝනා හැදිලා තියෙන්නේ. ඒ අයත් විරෝධතා කරන්න ගිය නිසාද කොරෝනා හැදුනෙ. සජිත් විමසුවේ උපහාසාත්මක සිනහවක් මුවට නංවාගනිමිනි.

හම්බන්තොට සිට නැවත කොළඹ එන අතරවාරයේදී සජිත් රටේම කොරෝනා තත්වය ගැන විමසා බැලුවේය.

"දැන් මේ තියෙන තත්වයෙන් රට බේරා ගන්න නම් රට වහන්න වෙනවා. ඒත් ආණ්ඩුව රට වහන්නේ නෑ. රට වැහුවට පස්සේ ජනතාවට සහන දෙන්න වෙන නිසා තමයි ආණ්ඩුවට ලොක්ඩවුන් එකකට යන්නේ නැත්තේ" සජිත්ගේ විග්‍රහය විය.

මේ සියලුම තත්වයන් සොයා බැලූ සජිත් තමන්ගේ ලේකම්වරුන්ට දැනුම් දුන්නේ සියලුම මහජන හමුවීම් නතර කරන ලෙසය.

"ඇත්තටම නායකතුමා, මුල ඉදලා කියපු සියල්ල අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවා. ඔබතුමා පේන කියනවා වගේ මේ දේවල් දවසින් දවස කීවා. හැබැයි කිසි දෙයක් ආණ්ඩුවේ කිසි කෙනෙක් තඹ සතේකට මායිම් කළේ නෑ."

එහෙම කිව්වේ හරින් ය.

"ඒ විතරක් නෙවෙයි ඒ කියපු සේරටම අපහාස කළා. කොරෝනා එන්නත ගෙන්නන්න කියලා නායකතුමා කියනකොට ඒකට හිනා වෙච්ච ඇමතිවරු හිටියා. හැබැයි ඒ අයටත් කොරෝනා හැදුනා"

එහෙම කිව්වේ මනුෂය.

"මට හිනා වුණාට කමක් නෑ එකෙන් ජනතාවට හරි සෙතක් වුණා නම්. හැබැයි අද මුළු රටම මරණ බියෙන් ජීවත් වෙන්නේ. පහුගිය දවස්වල අපි ඉන්දියාවට කිව්වා විශාලාව කියලා. මේ වෙනකොට අපේ රටත් විශාලාවක් වෙලා තියෙන්නෙ. දවසින් දවස මරණ ගාන වැඩි වෙලා. මේවා මරණ නෙමෙයි මේවා ඝාතන"

සජිත් කීවේය. "අද වෙනකොට මේ වයිරසය බොහොම දරුණු තැනකට ඇවිත් ඉවරයි. හැබැයි මොන තරම් මේක උග්‍ර වෙලා තිබුණත් ආණ්ඩුවට කිසිම ගානක් නෑ"

රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

"හෙට අනිද්දා ප්‍රවෘත්ති සාකච්ඡාවලට ඇවිල්ලා ඉන්දියාවේ වගේ දවසකට දෙතුන් දාහක් මැරෙන්නෙ නෑ කියලා කියන්නත් බැරි නෑ. ඉන්දියාව කියන්නේ ලංකාවට වඩා 60 ගුණයකටත් වඩා විශාල රටක් කියන එක ඒ අයට අදාළ නෑ."

නලින් බණ්ඩාර එහෙම කීවේ ය.

"ලෝකෙ ගොඩක් රටවල් තමන්ගේ පුරවැසියන්ට එන්නත් මාත්‍රා කීපයක් ස්ටොක් කරල තියෙනවා. ඒ රටවල්වල එන්නත් අතිරික්තයක් පවා තියෙනවා. අපේ රටෙ මැරුණ අයගෙන් සීයට අසූවක් අවුරුදු 60 ඉක්මවපු අය. ඒ කියන්නේ ආණ්ඩුව ඉන්නේ ඒ අය මැරුණත් කමක් නෑ කියන ගානට. ආණ්ඩුව කඩිනමින් තුන්වෙනි මාත්‍රාව ගෙනාවේ නැත්නම් මේ ව්‍යසනය දෙගුණ තෙගුණ වෙන එක නවත්තන්න බෑ"

සජිත් කීවේය.

"එක පැත්තකින් කොරෝනා. අනෙක් පැත්තෙන් ගෑස් නෑ. බඩු මිල අහස උසට ගිහින්" අශෝක් අබේසිංහ එහෙම කියද්දී" කිරිපිටි ගන්නත් පෝලිමේ ඉන්න වෙලා"යැයි කීවේ හෙක්ටර් අප්පුහාමි ය.

"බඩු මිල පාලනය කරන්න නිකුත් කරපු ලැබූ ඊනියා ගැසට් නිවේදනයි චක්‍රලේඛයි අමු අමුවේ උල්ලංඝනය වෙලා. ගමන වරද්ද ගන්නවා කියන එක, මුලින්ම පෙනුනේ ආණ්ඩුව ආව ගමන්ම ගජ මිතුරන්ට බදු සහන දුන්න එකෙන්." සජිත් පැහැදිලි කළේය.

"මේ තියෙන තත්වෙත් එක්ක කරන්න තියෙන එකම විකල්පය රට වහන එක. සියලුම විශේෂඥයෝ කියන්නේ ඒක."

රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

•ගම්පහට ප්‍රසන්න, ලාන්සා මැදිහත් වූ හැටි

පෙර නොවූ තරම් ශීඝ්‍රයෙන් කෝවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමක් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් ඉකුත් සතියේ දැක ගත හැකි විය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහකට ලක්විය. ඒ වන විට රුසියානු සංචාරයක නිරතව සිටි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග රුසියාවේ සිට මෙරට තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍ර ලෙස ඉහළ යාම පිළිබඳව අමාත්‍යවරයා සිටියේ දැඩි කනස්සල්ලෙනි. පසුගිය සෙනසුරාදා රෝහල් අධ්‍යක්ෂකවරුන් zoom තාක්ෂණය හරහා සම්බන්ධ කරගනිමින් හදිසි රැස්වීමක් සංවිධානය කෙරිණි. සංචාරක අමාත්‍යවරයාද රුසියාවේ සිට මෙම රැස්වීමට සම්බන්ධ විය.

"මළ සිරුරු ගොඩ ගැහිලා කියලා සමාජ මාධ්‍යයේ පළ වෙනවා. මේකෙ ඇත්තම තත්ත්වෙ මොකක්ද" අමාත්‍යවරයා විමසීය. ඊට පිළිතුරු දෙමින් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා " පවතින නීති රීති එක්ක පුද්ගලයෙක් මරණයට පත්වුණාම ඒ පුද්ගලයාගේ ඥාතියෙක් ඇවිත් හඳුනාගැනීමක් කරන්න ඕනේ. කොවිඩ් මළ සිරුරක් වුණත් ආදාහනය කරන්න කලින් හඳුනා ගන්න ඕනේ.

කෝවිඩ්වලින් කෙනෙක් මැරෙන කොට මැරුණු කෙනාගේ මුළු පවුලම ඉන්නේ නිරෝධායනයේ. නිරෝධන ඉන්න කෙනෙක් මැරුණ කෙනෙක් හඳුනාගන්න ගේන්න බැහැ. පී. එච්. අයි කෙනෙක් ඉන්නත් ඕන. මේ දවස්වල පී. එච්. අයි ලා සෑහෙන වැඩ කොටසකට හිර වෙලා. මේ ප්‍රශ්නය නිසා තමයි ආදාහන කටයුතු ප්‍රමාද වෙන්නේ. මීට අමතරව අපිට තවත් ගැටලුවක් තියෙනවා. සෑහෙන කාලයක සිට යම් යම් හේතු නිසා ආදාහනය නොකළ සහ හඳුනා නොගැනීම නිසා ආදාහනය නොකළ මළ සිරුරු මෘත ශරීරාගාරවල තියෙනවා. ඒවා සම්බන්ධයෙන් කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්න ඕනේ" කීවේය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරයා සහ පොලිස් ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා පෙරවරුවේ රාගම ශික්ෂණ රෝහලේ දී රැස්වීමක් පැවැත්විණි.

එහිදී මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර භාවිතා කිරීමට තීරණය විය. කොවිඩ් මෘතදේහ හඳුනාගැනීම හා හඳුනා නොගත් ප්‍රදේශවල අවසන් කටයුතු කිරීම සඳහා අධිකරණ නියෝග ගැනීම ආදියට පොලිස් විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට ද තීරණය විය.

රුසියානු විදේශ සංචාරය අවසන් කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත් ඉරිදා පෙරවරුවේ නැවත මෙරටට පැමිණියේය. ගුවන් තොටුපලෙන් නික්ම යාමට පෙර පී. සී. ආර් පරීක්ෂණයකට භාජනය කිරීම මේ දිනවල සාමාන්‍ය තත්ත්වයයි. අමාත්‍යවරයාට ද එම සාමාන්‍ය තත්ත්වයට මුහුණ දීමට සිදුවිය. පරීක්ෂණ වාර්තාව පැමිණෙන තෙක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ රැඳී සිටි අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරයා, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආදි සෞඛ්‍ය බලධාරීන් සමඟ මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ ද දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසිලිමත් විය. "දිස්ත්‍රික් ලේකම්තුමා, මම ලංකාවට ඇවිත් ඉන්නේ. පී. සී. ආර් පරීක්ෂණ ප්‍රතිඵල එනකල් මට කිසි වැඩකට සහභාගි වෙන්න එන්න විදිහක් නැහැ. ඒ නිසා හෙට දවස අතහරින්න. අඟහරුවාදා දවසේ පුළුවන් වෙලාවක ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව රැස් කරන්න" අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දුන්නේ ය.

මේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සමඟ ද ගම්පහ දිස්ත්‍රික්කයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

•මස් රාත්තලම කැබිනට් එකට

අමාත්‍ය මණ්ඩල හමුව මෙවර ද පැවැත් වුණේ zoom ඔස්සේයි. රටේ මහත් ආන්දෝලනයකට පත්ව ඇති විදුහල්පති ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නයට මෙවර අමාත්‍ය හෝ විසඳුමක් ලැබේ යැයි බොහෝ දෙනෙක් දෙනා අපේක්ෂා කළහ. අමාත්‍ය මණ්ඩල හමුවේදී මණ්ඩල හමුවේදී මේ පිළිබඳව කතා කළ අධ්‍යාපන අමාත්‍ය පීරිස් " ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ගුරු සංගම් සමඟ සාකච්ඡා කළාත් එකඟතාවකට එන්න පුළුවන් වුණේ නෑ. ඒ අය සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරන්න සහ අමතර දීමනාවක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරනවා. සුබා ඔතන වාර්තාව ක්‍රියාත්මක කරන්න නම් අපිට ඒ සඳහා රුපියල් මිලියන 68ක් වැය කරන්න වෙනවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි මේ වෙලාවේ රට තියෙන්නේ" කීවේය.

"ජනතා විමුක්ති පෙරමුණයි ස්ටාලින්ලයි තමයි මේ මස් රාත්තලම ඉල්ලන්නේ. වැටුප් වැඩි කරන විදිය පැහැදිලි කළොත් අතරමැදි තැනකට මේ සාකච්ඡාව ගේන්න පුළුවන් වෙයි කියල හිතෙනව" මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.

"වෘත්තීය සමිති සමඟ පැවත්වූ සාකච්ඡාවේ අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අයගේ ඉල්ලීම මේ වෙලාවේ දෙන්න බැරි බව අපි පැහැදිලිවම කිව්වා. එ් අයට අවශ්‍ය කරලා තියෙන්නේ ඒ අයගේ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක්" බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ද පැහැදිලි කළේය.

"මේ වෙනකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නතර වෙලා. online වෙනුවට රූපවාහිනී චැනල් එකක් පටන් ගන්න බව කිව්වත් ඒ ගැන කැබිනට් හමු කීපයකදීම කතා උනත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. කතා කරනවා විතරයි" විමල් වීරවංශ ඇමතිවරයා ඊට මැදිහත් වෙමින් කීවේය.

"චැනල් එකක් පටන් ගන්න සංඛ්‍යාත තියෙනවා. අපි එකට වැඩ පිළිවෙලක් සූදානම් කරලයි තිබුණේ." ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යධූරය දරන කාලයේ මේ සම්බන්ධයෙන් ගෙන ගිය වැඩපිළිවෙළ පැහැදිලි කළේය.

"මේ වෙනකොට ආයතන හිමිකරුවෝ දරුව වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න එකඟතාව පළ කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ටයිම් ටේබල් එක දුන්න නම් අපිට මේ වැඩේ පටන් ගන්න පුළුවන්" ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට පිළිතුරු දුන්නේ ය.

මේ සියල්ල සාවදානව අසා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් " පුළුවන් ඉක්මනට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා චැනල් එක පටන් ගන්න. ඒ අතරේ ගුරුවරු සමඟ සාකච්ඡා කරලා එකඟතවයකට එන්න. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම කරන්න ඕනේ දෙයක්. ඒ ඉල්ලීම අසාධාරණ ඉල්ලීමකුත් නෙමෙයි.

මේ වෙලාවේ ඒ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමේ අපහාසුතාවක් තියෙන්නේ. අපි මේක ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩල අනු කමිටුවක් පත් කරමු" කීවේය. අනතුරුව ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම හා මහින්ද අමරවීර අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කිරීම ද ජනාධිපතිවරයා විසින් ඒ අවස්ථාවේදී සිදු කළේය.

"පුළුවන් ඉක්මනට ගුරුවරු එක්ක මේ ගැන සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවකට එන්න" මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ද එහිදී කීවේය. 

•කහ - නිල් කිරීම

වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන්ද අමාත්‍ය මණ්ඩල හමුවේ විශේෂ අවධානයක් යොමු විය.

"ලිට්රෝ ගෑස් සිලින්ඩරයට ලාෆ් ගෑස් පුරවන්න බැහැ. මේ නිසා කහ පාට සිලින්ඩර තියෙන අයට ගෑස් නැහැ. ඒ විදියට ගෑස් පුරවන්න බැහැ කියලා අධිකරණ තීන්දුවක් තියෙනවා. මේ වෙනකොට වෙ‍ෙළඳපොළේ ගෑස් සිලින්ඩරයක් රුපියල් පන්දහක් පමණ වෙනවා" වෙ‌ෙළඳපොළේ ගෑස් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කීවේය.

" ගෑස් සපයන එක සමාගමේ වගකීමක්" විමල් වීරවංශ අමාත්‍යවරයා කීවේය.

"සමාගමට ගෑස් ගේන්න බැහැ" බන්දුල ගුණවර්ධන පිළිතුරු දුන්නේ ය. "ඔව් සමාගමේ ක්‍රියාකාරීත්වය නතර වෙලා" වාසුදේව නානායක්කාර මහතා ද අදහස් දැක්වීය.

"මම මේ ගැන රාජ්‍ය ඇමති තුමා සහ අදාළ සමාගම් සමඟ සාකච්ඡා කළා.

නඩු තීන්දුවෙන් කියලා තියෙන්නේ ගෑස් පුරවන්න බැහැ කියලයි. ලාෆ්ස් ගෑස් එකක් වෙනුවට ලිට්රෝ ගෑස් එකක් දෙන්න බැහැ කියලා නැහැ.

කහපාට සිලින්ඩරය අරගෙන නිල් පාට සිලින්ඩරයක් දෙන්න පුළුවන්." මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් පිළිතුරු දුන්නේය. "ඕන නම් පස්සේ කහනිල් කරගන්න පුළුවන්නේ" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සිනාමුසුව පැවසීය.

"ඒක ඇත්ත. කහ එක නිල් කරාට ප්‍රශ්නයක් නැහැ නේද බන්දුල ඇමතිතුමා" විමල් වීරවංශ සිනහමුසුව විමසීය." ඒක ප්‍රශ්නයක් නෙමෙයි" බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ද සිනහමුසුව ම පිළිතුරු දුන්නේය.

Comments