
මරණ වැඩිවුණේ හැමෝගෙම වැරදි නිසයි
- එම්.ආර්.එම්. නාසික් (30) කුරුණෑගල
කොරෝනා ලංකාවට ආපු මුල් දිනවල මාස දෙක තුනකට මැරුණේ එක්කෙනයි. දෙන්නයි. මේ වන විට දවසකට 120 විතර. මේ තරම් මරණ ලංකාවෙ ඉහළ ගියේ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හා එන්නත් ලබා නොගැනීමයි. හුඟාක් මැරිලා තියෙන්නේ කිසිම එන්නතක්වත් නොගත් අය. ලංකාවෙ එන්නත් ලබාදීම ප්‍රමාද වුණත් එන්නත් පැමිණි පසු දිවා රාත්‍රී නැතුව ජනතාවට එන්නත් දුන්නා.
සමහරු විද ගත්තා. එන්නත් ප්‍රතික්ෂේප කරපු පිරිසක් තාමත් ඉන්නවා. අනික රජය කියන දේවල් සමහරු අහන්නෙ නෑ. මීටරේ දුර නෑ. මුව ආවරණ පලඳින්නෙ නෑ. සමහරු මුව ආවරණ පලඳින්නේ තමන්ගේ ආරක්ෂාවට නෙමෙයි පොලිසියෙන් ඇපෙන් බේරෙන්න. පහුගිය කාලේ ඇතැම් පිරිස් නොනවතින අරගල රැල්ලක් ගෙන ගියා. ඉල්ලීම්වල සාධාරණය අසාධාරණය මොනා වුණත් මේ අවස්ථාවේ හැමෝටම තියන ජීවිත අවදානම ඒ අරගල කරන අය සත පහකට මායිම් කළේ නෑ.
වර්ජන රැල්ලත් මරණ වැඩිවීමට හේතු වුණා
- කේ. රංජනී ප්‍රනාන්දු (65) මෝදර
මෙච්චර ගානක් දවසකට මිනිස්සු මැරෙන්නේ එයාලගෙම වරදින් තමයි. රජයෙන් කොපමණ උපදෙස් දුන්නත් බොහෝ අය ඒවා පිළිපදින්නෙ නෑ. මීටරේ තියා සමහර වෙලාවට සෙන්ටිමීටරේවත් නෑ. පහුගිය කාලෙ ගුරු-විදුහල්පති, සෞඛ්‍ය සේවකයින් හා තවත් අය දිගින් දිගටම උද්ඝෝෂණ කළේ කිසිම සෞඛ්‍ය පුරුද්දක්වත් නොසලකමිනුයි. දවසට සීය පැනලා මැරෙන්න අරන්. හුඟාක් බෙහෙත් විදලා නැති අය තමයි මැරුණේ. මමත් බෙහෙත් විදලා නෑ.
පොලිසියෙන් විදින්න කීවත් වෛද්‍යවරු කියන්නේ වෙනත් රෝග තියනව නම් වගකීමක් දරන්න අමාරුයි කියලා. මේ ගැනත් ස්ථිර ක්‍රමවේදයක් වුවමනායි. දැන් නම් සංචරණ සීමා ආයෙත් දාලා. ඒ නිසා මිනිස්සුන්ට හිතුමතේ වැඩකරන්න බෑ. සුළුතරයක් මිනිස්සු තමයි මේ විදිහට නොසැලකිලිමත්ව හැසිරෙන්නේ. එයින් බහුතරයක්ම අවදානමට ලක්වෙලා. අපේ ළඟම රට ඉන්දියාවට සිදුවූ දේ බලලවත් මිනිස්සු හැදුණේ නෑ. ගෙවල්වල ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න දහසක් තියෙන්න පුළුවන්. ඒත් මුලින් සිතිය යුත්තේ ජීවිතය බේරා ගැනීම පිළිබඳවයි.
හැමදේටම රජයට බැණලා වැඩක් නෑ
- කරුපයියා රවි, වත්තල (51)
සාමාන්‍ය ජනතාවගේ හැසිරීම, සෞඛ්‍ය පුරුදු හොඳ මට්ටමක නැහැ. ෂොප් එකකට ගිහාමත් මුව ආවරණ ගලවනවා. දුරස්ථභාවය නැහැ. අනික සැනිටයිසර් භාවිතා කරන අය ඉන්නේ අඩුවෙන්. ඒත් අන්තිමට බණින්නෙ ආණ්ඩුවට. හැමදේටම රජයට බැණලා වැඩක් නෑ. හැමදාම රට ලොක්ඩුන් කරලා තියන්නෙ කොහොමද? පාඩුව මහජනතාවටමයි. ගෘහ මූලිකයාට රැකියාවක් නැතිවුණාම පවුල නඩත්තු කරන්න අමාරුයි. රූපවාහිනී, පුවත්පත් මාධ්‍යවලින් නිතරම කියනවා ජීවත්විය යුතු අයුරු. ඒත් සෞඛ්‍ය පුරුදු පිළිපැදීම ඉතා අවම මට්ටමක තියෙන්නේ. බස්වල සීට් ගානට ගෙනියන්න කීවාම මගට ගිහින් ෆුල් ලෝඩ් කරනවා. මිනිස්සු කෝටි ගණන් හිටි රටවල් කොවිඩ් පාලනය කළා නම් ඇයි අපට බැරි? මේ සඳහා පිළියම් ගෙදරින් පටන්ගත යුතුයි.
මෙහෙම ගියොත් ලංකාව තවත් ඉන්දියාවක් වෙයි
- රූපා මුණවීර (67) මරදාන
විවධ හේතු නිසා මේ වනවිට රටපුරාම කොවිඩ් පුදුම විදිහට වැඩිවෙලා. දවසකට සීය පැනලා මැරෙනවා කියන්නේ කොච්චර භයානකද? ලංකාව වගේ රටකට. ඒ වගේම රෝහල්වල ඇඳන් ඉඩ නැති තරමට රෝගීන් වැඩිවෙලා. ඒකනේ හැම රෝහලකම ඇඳන් වලින් බාගයක් කොවිඩ්වලට වෙන්කරලා තියෙන්නේ. ඔක්සිජනුත් ගෙන්වන්න වෙලා. පහුගිය කාලේ ඉවරයක් නැති ස්ට්‍රයික් නිසාත් රෝගය තව තවත් පැතිරුණා. අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද? පහුගිය වකවානුවෙත් වරින් වර රට වහන්න සිදුවුණා. දැන් ආයෙත් සංචරණ සීමා පනවන්න සිදුවුණේ මරණ වැඩිවීම නිසයි. අපි කොච්චර පරිස්සම් විය යුතුද? දැන් ලංකාවෙත් කොරෝනා සාමාන්‍යකරණය වෙලා. හැබැයි රජය පැත්තෙන් එන්නත් දෙන්න හුඟාක් පරක්කු වුණා. කලින් දෙන්න ගත්ත නම් මීට වඩා මරණ සංඛ්‍යාව අඩු කරගන්නත් තිබුණා.
ජනතා නොසැලකිල්ල නිසා මරණ වැඩිවුණා
- සිසිර ප්‍රේමකුමාර (45) කුලියාපිටිය
රජය කොවිඩ් පාලනය කරන්න එක දිගටම එන්නත් දෙනවා. දවසේ පැය 24 තිස්සෙම. ඒත් කොරෝනා මරණ වැඩිවෙලා. මෙය වළක්වන්න එකම ක්‍රමය වන එන්නත්කරණයට යොමුවෙන්න තිබුණේ මීට කලිනුයි. එහෙම වුණා නම් මීට වඩා මේ වකවානුවෙ සිදුවන මරණ අවම කරගන්න තිබුණා. එන්නත් විදීමේ වගකීම රජය සතු නමුත් අරපරිස්සම ගැන හැමදෙනාම සැලකිලිමත් විය යුතුයි. මුල් යුගයේ පළමු කොරෝනා මරණය ගැන ආරංචි වූ වෙලාවෙ මිනිස්සු හරියට බය වුණා. පරිස්සම ගැන හිතුවා; ආරක්ෂා වුණා. වෛද්‍ය උපදෙස් පිළිපැද්දා. රජයෙන් ආධාරත් දුන්නා. ඒත් දැන් දැන් කොවිඩ් උග්‍ර අතට හැරිලා. දවසකට සීයට වැඩිය මැරෙනවා කියන්නෙ කොයිතරම් බරපතළ තත්ත්වයක්ද? පහුගිය කාලේ විවිධ පටු අරමුණුවලට මිනිස්සු පාරවල් පවා අවහිර කරගෙන උද්ඝෝෂණ කළා. මීටරේ දුර නැතිව එකගොඩේ දවස් ගණන් සති ගණන් රැස්කකා හිටියා. මේවාගේ අනිටු ප්‍රතිඵල තව ඉස්සරහට තමයි එන්නේ
ජනතාව සැලකිලිමත් වුණා නම් මරණ අඩුකරගන්න තිබුණා
- බී.එස්. ඥානවතී (63) මහනුවර
දැන් සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවීමට බොහොමයක්ම වැරැද්ද පැටවෙන්නේ ජනතාවටයි. තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උද්ඝෝෂණය කිරීම සාධාරණ වුණත් මේක ඊට සුදුසුම අවස්ථාව නොවන බව හිතන්න තිබුණා. බලන්නකෝ ඊළඟට එළඹන 4 වන රැල්ල උද්ඝෝෂණ රැල්ල නොවේවිද කියලා. රජය දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය නොකරන නිසා ජනතාව එයින් අයුතු ප්‍රයෝජන ගත්තා. එයින් සිදුවුණේ තමනුත් සමාජයේ බහුතර පිරිසකුත් අවදානමකට ලක්වීමයි. මේ වෙලාවෙ සිතිය යුතුව තිබුණේ පෞද්ගලික සුඛ විහරණයට වඩා කොවිඩ් වලින් මිදී ජීවත් වෙන්නෙ කොහොමද කියන කරුණයි. අනිත් පැත්තෙන් ගතහොත් මේ අරගල රැල්ල පසුපස දේශපාලන හස්තයක් තියන බව දෘශ්‍යමාන කරුණක්. මේ වෙලාවෙ ජනතාව රජයට සහය දිය යුතුවා සේම රජයත් මීට වඩා කල්පනාකාරී විය යුතුයි. තමන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් දේශපාලන ගැතීවීම් වලට නතු නොවී රටවැසියන් සැමටම පක්ෂ පාට භේදයකින් තොරව සමව සාධාරණව සැලකිය යුතුයි. කොවිඩ් අවම කිරීමට මුල්තැන දිය යුතුයි.