
- එදා මුඩු බිමක් අද මහ වැඩ බිමක් මාස 10 කින් සබරගමුවේ මහා පුදබිමක්
- වසර 800 කට පසු පන්සලක තිබිය යුතු සියලු පූජනීය ස්ථාන එකවරම ඉදිවන විරල අවස්ථාවක්
- යුද හමුදාව, සිවිල් ආරක්ෂකයෝ තම ශ්‍රමයෙන් සෑය බඳිති; පරිත්‍යාගශීලීන් ප්‍රදේශවාසීන් කූරගල මහ කන්දේ හරි හරියට වැඩ
- අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ගැන ජනපතිට තුති
- අඩි 75 ක් උස නෙල්ලිගල චෛත්‍ය දින 96 කින් හැදූ නෙල්ලිගල හාමුදුරුවෝ කූරගල ප්‍රතිනිර්මාණය කරති
අතීතයේ දුටුගැමුණු රජ එළාරගේ ග්‍රහණයට ලක්ව තිබූ අපේ පූජනීය ස්ථාන බේරාගත් අයුරින් අද අන්‍ය ආගමික බලපෑම්වලට වසර 50 ක් ලක්ව තිබූ බළංගොඩ කල්තොට කූරගල රජ මහා විහාරස්ථානය අන්‍ය ආගමිකයන්ගෙන් බේරාගෙන එහි සියලු බෞද්ධ පූජනීය ස්ථාන විහාරාරාම ඉදිකෙරෙමින් පවතින බෞද්ධ මධ්‍යස්ථානයක් හෙවත් සැබැවින්ම මහ පන්සලක් බවට පත්වෙමින් තිබේ.
ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට යෝජිත මේ පුණ්‍ය භූමියේ අක්කර 85 භූමි භාගයක විහාරාරාම පද්ධතියට අන්තර්ගත විය යුතු සියලු පූජනීය ස්ථාන සියල්ල දැන් එකවර ඉදිවෙමින් පවතී.
මේ සියලු වැඩකටයුතු සිදු කෙරෙන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අස්ගිරි පාර්ශ්වයේ විංසද්වර්ගික කර්මාචාර්ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසකත්වය හා මෙහෙයවීම මතය.
ධම්මරතන හිමියන් 2021 පෙබරවාරි මාසයේදී කූරගල කන්දේ ඉපැරැණි ස්තූපයට වැඩම කරන අතරතුර දඹ ගසක් යට ගිමන් හරිමින් කල්පනාවක නිමග්නව සිටින අවස්ථාවේ කූරගල ප්‍රතිනිර්මාණය කළ යුතුය යන අදහස උන්වහන්සේගේ සිතේ පහළවී ඇත. ඒ අනුව පසුගිය මැදින් පුර පසළොස්වක (මාර්තු 28) දා මේ පුද බිමේ යළි පිබිදීමේ කටයුතු ආරම්භ විය. මෙහිදී විශේෂයෙන් කූරගල කන්ද මුඳුනේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම ආරම්භ කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසන පරිදි පලයිස්ටොසීන් අවධියේ ඒනම් නියැන්ඩතාල් මානවයා සිටි අවදියේ පටන් මෙහි ස්තූප තිබී ඇත. ඒ අනුව වසර 5000 කට පෙර මෙහි ස්ථිර මිනිස් වාසයක් තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි සනාථ කරන බව මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අධ්‍යයන මඟින් හෙළිවී ඇත. මේ ප්‍රදේශය කිස්තු පූර්ව දෙවන සියවසේදී ආරාම සංකීර්ණයක්ව තිබී ඇත. බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා තලයක් සහ ශිලා ලේඛන 3 ක් මෙහි තිබීම හා මහ රහතන් වහන්සේ වැඩ සිටින භික්ෂූන් වහන්සේ වැඩ සිටි ගල්ගුහා මෙහි තිබීම නිසා මෙහි බෞද්ධ ආගමික පුදබිමක පුරාවිද්‍යාත්මක සාක්ෂි තහවුරු කරන බවත් රාජ් සෝමදේවයන් පවසා තිබේ.
බළංගොඩ කල්තොට පාරේ කිලෝ මීටර් 23 ක් දුරින් පිහිටා ඇති කූරගල කන්ද ඉහළ ඇති පෞරාණික චෛත්‍යය හා කටාරම් කෙටූ ගල්ලෙන් නිසා මෙහි පුරාවිද්‍යාත්මක වටිනාකම වැඩිවී තිබේ. අලුත්ම පර්යේෂණ අනුව මෙහි පෞරාණික බව වසර 16000 ක් පමණ අතීතයට දිව යයි.
වටද්දර ඥානිස්සර හිමිපාණෝ හා දෙල්තොට චන්ද්‍රජෝති හිමිපාණෝ තම ජීවිතය පිළිබඳ පවා නොතකා අන්‍ය ආගමික බලපෑම් තිබියදී මුල් අවදියේ මේ පුණ්‍ය භූමියේ බෞද්ධ උරුමය සුරැකීමට කටයුතු කළහ. 2019 - 2020 දෙවසරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව මෙහි ගල් ගුහාවක වස් විසීමට ද දෙල්තොට චන්ද්‍රජෝති හිමිපාණෝ කටයුතු කළහ. ජයශ්‍රී මහා බෝධි අංකුරයක් ද මෙහි රෝපණය කළේ ය. පසුව 2019 - 2020 වසරවල කඨින පිංකම ද මෙම ස්ථානයේ පැවැත්වීම ද සිදුවිය. එකල පහත මලුවේ සිට දාගැබ දක්වා පිය ගැටපෙළක් නිර්මාණය කර තිබේ.
කෙසේ වුවත් මේ සුවිශේෂ පුද බිමේ මෑතකාලීන බෞද්ධ පුනර්ජීවය නිසි ලෙස ලැබෙන්නේ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් මහනුවර නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ සිට කූරගල යළි ප්‍රතිනිර්මාණය කිරීමට කූරගලට වැඩමවා වදාළ බැවිනි.
අද ‘කන්ටේනරයක්’ තම කාමරය කරගෙන කලක් අන්‍ය ආගමික මධ්‍යස්ථානයක් මුඩු බිමක් බවට පත්වී තිබූ කූරගල මීට ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ තිබූ අයුරින් යළි ලොවම ප්‍රසිද්ධ පූජනීය කේන්ද්‍රස්ථානයක් කිරීමට උන් වහන්සේ දරන කැපවීම් නිසාම අද කූරගල මහ කන්ද එකම වැඩ බිමකි. නමුත් එහි ඉදිවන්නේ බෞද්ධ විහාරාරාම පමණි. බොදුනුවන්ට උරුමකම් ඇති මහනුවර නෙල්ලිගල කන්දේ අන්‍ය ආගමික පූජනීය ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කරද්දී තරුණ පිරිසක් සමඟ එහි වැඩමවා වදාළ වැරදි කරන අයට හිස නොනමන අපේ නෙල්ලිගල හාමුදුරුවන් ඒ කන්දේ දින 96 කින් අඩි 75 ක් උස මහා චෛත්‍යයක් ඉදි කළේ බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහාමය.
“මේක ඉස්සර සත්තු මරපු මුඩු බිමක් අද අපි මේක තනිකරම බෞද්ධ පූජනීය ස්ථාන ඉදිකරන වැඩබිමක් කර තිබෙනවා. තව මාස 10 කට පසු මෙතන මේ රටේ සුවිශේෂී පුද බිමක් බවට පත් කරනවා විතරක් නොවේ. 2022 රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්නේත් මෙතනයි” ඒ වතුරකුඹුරේ ධම්මරතන නෙල්ලිගල ලොකු හාමුදුරුවන්ගේ වදන්ය.
රටේ ම බෞද්ධ ව්‍යාපාරිකයන් පරිත්‍යාගශීලීන් හා රටේ සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ බොදු එකමුතුවෙන් අද මේ පුණ්‍ය භූමිය රුපියල් කෝටි 50 ක් පමණ වටිනා බෞද්ධ විහාරාරාම ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතී. ඒවා බලන්නට මෙහි පැමිණීමටත් ඒවාට මූල්‍යමය ශ්‍රම දායකත්ව ලබාදීමටත් එතෙර මෙතෙර බොදු ජනතාවට අවස්ථාව තිබේ.
2021 පෙබරවාරි හතර වැනිදා මේ ස්ථානය මට බාර දුන්නා. ඒ අනුව 2021 මාර්තු මාසේ දෙවැනිදා මමත් කොටපොළ දමිත හිමි ස්ථානය තුළ ස්ථානගත වෙලා ‘යළි පිබිදෙන කූරගල’ නමින් මේ පූජා භූමිය නැවත ප්‍රතිනිර්මාණය කිරීම පටන් ගත්තා.
එහි මංගල ශිලා ප්‍රතිස්ථාපනය අපි මාර්තු 28 මැදින් පුර පසළොස්වක දිනයේ යළි පිබිදෙන කූරගල වැඩසටහන පටන් ගත්තා.” උන්වහන්සේ පැවසූහ.
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනුව දැනට කූරගල පුද බිමේ අලුත් පූජනීය ස්ථාන රැසක් ඉදිවෙමින් පවතී.
පුරාවිද්‍යා සාධක නැති කළුගල් මත පමණක් මේ ඉදිකිරීම් සිදුකෙරේ. යළි පුරා විද්‍යාත්මක කැණීම් කිරීමට හැකි පස් පමණක් තිබෙන ස්ථානවල අලුත් ඉදිකිරීම් සිදුවන්නේ නැත.
“යළි පිබිදෙන කූරගල වැඩසටහන යටතේ පරණ දේවල් රැකගෙන අලුත් දේවල් සමඟ ඉදිරියට යා යුතුයි. මෙහි කරන ඉදිකිරීම් නිසා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කිසිම ස්ථානයකට හානියක් වෙන්නේ නෑ.
“යළි පිබිදෙන කූරගල පුදබිම අක්කර 85 කි. එහි පුරාවිද්‍යාවට අයිති අක්කර 53 ක් ද රජයෙන් ලබාදුන් ඉඩම් අක්කර 28 ක් හා මිලට ගත් ඉඩම් ප්‍රමාණයක් ද මෙයට අන්තර්ගත වේ. මෙරට පසුගිය වසර 700 - 800 ඇතුළත සියලු විහාරාරාම සහිතව එකවර ගොඩනැඟෙන ලංකාවේ දැවැන්ත එකම පුද බිම කූරගල පුදබිම පෙන්වා දිය හැකියි.
විශේෂයෙන්ම ඓතිහාසික කූරගල පුදබිම යනු එක් අංශයකින් පමණක් නිර්මාණය වූ පුණ්‍ය භූමියක් නොවේ. පසුගියදා කරන ලද කැණීම්වලට අනුව හමුවූ මානවයාගේ ඇටසැකිල්ලෙහි කාලවකවානුව වසර 16000 (වසර දහසය දහසක්) බවට කාලනිර්ණය කර ඇත. ඒ අනුව බුද්ධ පූර්ව යුගය තෙක් දිවෙන ඉතිහාසයක් සහ බුදුරදුන් ලොව පහළවීමෙන් පසු බිහි වූ වසර 2600 ක ශාසනික ඉතිහාසයක් මෙම ස්ථානය සතුවීම සුවිශේෂී කරුණකි.
අතීතයේ සිට ‘හිටුවන්ගල’ පර්වතය නමින් මේ මහා පර්වතය හැඳින්විණි.
සබරගමුව පළාතේ පිහිටා ඇති බොහෝ ඓතිහාසික ස්ථාන අතර කූරගල මහා පුද බිමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසර දහස් ගණනක ඉතිහාසයකට නෑකම් කියන මෙම පූජා භූමිය බුද්ධ පූර්ව යුගයක් දක්වා දිවෙන මාහැඟි සාධක තුළින් වත්මන් අප හට අතීත හෙළයාගේ ප්‍රෞඩත්වය මොනවට විදහා දක්වන බව පෙනේ.
කූරගල ග්‍රාම නිලධාරි වසම තුළ මෙම ශුද්ධ භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 02 (දෙවන) සියවසට අයත් ශිලා ලේඛන තුළින් මෙම ස්ථානයේ ඓතිහාසිකත්වය සහ ශාසනික සම්බන්ධතාවය ඉතා පැහැදිලිව අවබෝධ කරගත හැකි ය. කටාරම් කොටන ලද ගල්ලෙන් සමූහයෙන් සහ සෙල්ලිපි සහිත ලෙන්වලින් එදා මහරහතුන් වැඩසිටි මහා පුණ්‍ය භූමියක් බව අවබෝධකර ගැනීම අපහසු නොවේ.
ජනප්‍රවාද අනුව කූරගල යනු බුදුරජාණන් වහන්සේ තෙවැනි ගමනේදී දිවා විහරණය ලද ‘දිවා ගුහාව’ වීමට ද ඉඩ තිබේ. එහි ඇති කුහර ගුහාව දිවා ගුහාව වීමට හැකි බව එගම පැරැන්නෝ විශ්වාසය පළ කරති. ඊට අමතරව කූරගල යන රාවණා රජුගේ ‘ඉන්ද්‍රාගිරි රාජ්‍යය’ නම් එක් රාජධානියක් බව ද ජනප්‍රවාද පවතී. රාවණා රජුට ගිරි රාජධානි 7 ක් තිබූ බව පැවසේ.
මෙම ස්ථානයේ එකවර ගොඩනැගෙන පූජනීය සිද්ධස්ථාන රැසක් තිබේ. ඉන් මෙහි ඉදිවන අසදිසි ශාක්‍ය සුගත මහා සෑය සුවිශේෂී වේ. අඩි 130 ක් උස එය වලවේ මිටියාවතේ සිට එන විට මුලින්ම අහසට ඉදිවෙනු දක්නට ලැබේ.
සබරගමු පළාතේ විශාලම මහා සෑය වන මෙහි විශේෂත්වය වනුයේ හම්බන්තොට සිට මුහුදු මට්ටමේ සිට බැලූවිට උසම ස්ථානය මෙම ස්ථානය වීමයි. හම්බන්තොට වරායට නැවක් අපේ රටට එද්දී මුලින්ම පෙනෙන්නේ මේ මහා සෑයයි.
ඊට අමතරව මෙහි අසදිසි ශාක්‍ය සුගත දම් සභා මණ්ඩපය ඉදිවෙමින් පවතී.
අඩි 200 ක් දිග අඩි 75 ක් පළල එකවර 1500 - 2000 කට සිල් සමාදන් විය හැකි මේ දම්සභා මණ්ඩපය ඉදිවෙමින් පවතී. සංඝාවාසයක් ද මෙහි ඉදිකරන අතර ඒ සමඟම මෙම ස්ථානයේ රටේම අය එකතුවී ඇසදිසි ශාක්‍ය සුගත සුගන්ධ කුටිය හෙවත් ධාතු මන්දිරය හා විහාර සංකීර්ණය මනරම් කඳු ගැටයක දැන් ඉදිවෙමින් පවතී.
ඒ සමඟම මේ ප්‍රදේශයේ ඉදිවන විශාලතම ඇසදිසි බුද්ධ ප්‍රතිමාව අඩි 135 ක් උසට ඉදිවෙමින් තිබෙනු අපට දක්නට ලැබීය.
බෝධි මණ්ඩපය රටේම සිටින ජනතාවගේ දායකත්වය ඇතිව ඉදිවෙන බවත් අඩි 25 පළල අඩි 100 ක් උස දැවැන්ත පියගැට පෙළක් ද මෙහි ඉදිවන බවත් එම පියගැට පෙළ ආරම්භයේ ලංකාවේ දැවැන්තම සිංහයකුගේ රූපයක් ඉදිවෙමින් පවතින බවත් නෙල්ලිගල හාමුදුරුවෝ අප සමඟ පැවසූහ.
ඒ සිංහයා ඉදිවන්නේ 1971 සිට 2021 දක්වා කූරගල පුණ්‍ය භූමිය සුරැකීමට කටයුතු කළ මහා සංඝ පීතෲ වහන්සේලා සිහිවීම පිණිසයි. කූරගල වැවක් හැදීමත් බොදු උද්‍යානයක් ඉදිකිරීමටත් තන්ජන්තැන්න විද්‍යාලයට පුස්තකාලය නවීකරණය කිරීමට මේ සංවර්ධන කටයුතුවලට සමාන්තරව සිදු වේ.
ඊට අමතරව අවට පිහිටි දුෂ්කර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කෙරේ. මේ ප්‍රදේශයේ ඇති අෂ්ටඵල බෝධින් වහන්සේගෙන් එකක් වන සඳගිරි බෝධිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ද කටයුතු යොදා ඇත.
මෙම කූරගල පුද බිම නැවත ප්‍රතිනිර්මාණය කිරීමේදී රටේ තරුණ පරපුර ඉතා උනන්දුවෙන් කටයුතු කරති.
“අන්තවාදීන්ගේ දැඩි ග්‍රහණයේ තිබෙන සමයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ මෙහි තිබූ අනවසර ඉදිකිරීම්වලින් 80% ක් ඉවත් කරලා ශුද්ධ කරලා පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස අපේ බෞද්ධ ජනතාවට නිදහසේ කටයුතු කරන්නට අවස්ථාව ලබා දුන්නා. ඒ පිළිබඳව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා.
ඒ සමඟම මෙම අසදිසි මහසෑය, සංඝාවාසය ඇතුළු නව ඉදිකිරීම් කරන්නට දායක වුණු සියලු දෙනාටමත් මේ ස්ථානයේ කටයුතු සඳහා රුපියලක හෝ මුදලක් එක දවසක හෝ ශ්‍රම දායකත්වයක් දුන් සැමට අපි ස්තුතිවන්ත වෙනවා” නෙල්ලිගල හාමුදුරුවෝ පවසති.
කූරගල තාම ගොඩනඟන්නේ අපේ රටේ පරිත්‍යාගශීලීන්ගේ මුදල්වලින්. යුද හමුදාපතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ කටයුතු සඳහා අපිට ශ්‍රම දායකත්වයෙන් උදව් කරනවා. ඒ සමඟම රටේ විවිධ ප්‍රදේශවලින් දවසකට 350 ක් විතර මෙහි ඇවිත් ශ්‍රමදායකත්වය ලබාදෙනවා. ඒ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා” නෙල්ලිගල හාමුදුරුවෝ පවසන්නේ 21 වැනි සියවසේ දෙවැනි දශකයේ ජීවත්වෙන අප නිර්මාණය කරන යුගයේ අසදිසි දැවැන්ත විහාර කර්මාන්තය ලෙස කූරගල ප්‍රතිනිර්මාණය බව අවධාරණය කරමිනි. අපි මේ පූජනීය මධ්‍යස්ථානය ස්ථිරවම ස්ථිර ලෙස ගොඩ නඟනවා. ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මේ භූමිය තුළ අධිජනන විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් ස්ථානගත කරලා. අපට විදුලිය ලබා දුන්නා.
ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ හා දිලුම් අමුණුගම ඇමැතිවරු දැන් බළංගොඩ සිට කූරගලට මේ පුදබිමට යන්න එන්න මේ පුදබිම වදින්න මෙයට උදව් කරන්න එන අයට එන්න අලුත් බස් රථ දෙකක් දාලා තියෙනවා.
“ඒ උදව් ඇතිව අපි බාරගත් මේ පුද බිම ඉදිරි මාස 10 ඇතුළත ඉදිකර මේ රටේ බිහිවන සංඝ පරම්පරාවට, බෞද්ධ ජනතාවට යළි මේ කූරගල වෙනුවෙන් අරගල කරන්න ඉඩ තියන්නේ නෑ. මෙතන බෞද්ධ පුද බිමක් ලෙස සුපිරිසුදු ලෙස ගොඩනඟනවා. සුරක්ෂිත කරනවා. “නෙල්ලිගල හාමුදුරුවෝ හෙවත් වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණෝ දැඩිව අවධාරණය කළේ සිය ආත්ම ශක්තිය හා එඩිතර බව පිළිබඳ උපරිම විශ්වාසයෙන් යුතුවය.
කෙසේ වුවත් පාරම්පරික සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ විශ්වාසයන් එක්ක මෙම ස්ථානයට පැමිණ වන්දනා කිරීමට ද අවස්ථාව තිබේ.
කූරගල හිටුවන්ගල, ලැගුම්ගල යන කඳු එක්වී මෙම පූජා භූමිය ඉදිවෙමින් පවතී. ලංකාවේ සුන්දර පරිසරය ඉහළ මට්ටමේ සිට හොඳින් නැරඹීමට ද මෙම ස්ථානයේ සිට සැමට අවස්ථාව ලැබේ. ඒ අනුව කූරගල යනු ශ්‍රී ලාංකික බෞද්ධයන් සැම අයකුම එක්වරක් හෝ පැමිණ මේ ඉදිවෙමින් පවතින කූරගල බෞද්ධ විහාරාරාම පද්ධතිය නරඹා වන්දනා කර යා යුතු ඉතා වැදගත් ස්ථානයකි.
ඒ සමඟම කූරගලට මූල්‍යමය ලෙස හෝ ශ්‍රම දායකත්වයෙන් හෝ උදව් උපකාර කිරීමට ද සැමට අවස්ථාව තිබේ. මේ පිළිබඳව වැඩි විස්තර 0117373731 යන දුරකථන අංකය මඟින් දැනගත හැකි ය.
ඡායාරූප - සුලෝචන ගමගේ