
කොවිඩ් නිසා වසර එකහමාරක් පමණ සාමාන්‍ය ජන ජීවිතය කඩා වැටුණා මදිවට මේ වන විට ගෑස් ද පාර්භෝගිකයන්ට ගෑස් පෙන්වන්නට පටන් ගෙන තිබේ. මෙරට ජනතාවගේ ගෘහස්ත පරිභෝජනය සඳහා අවශ්‍ය ගෑස් අලෙවිය සිදු කරනු ලබන්නේ ලිට්රෝ හා ලාෆ් සමාගම් විසිනි.
ඒ අතරින් ලිට්රෝ ගෑස් සමාගම පූර්ණ වශයෙන් රජය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම අනුබද්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන අතර ලාෆ් ගෑස් සමාගම ප්‍රකට දේශීය ව්‍යාපාරිකයකු වන ඩබ්. කේ. එච්. වෑගපිටිය සභාපති ධූරය හොබවන ලාෆ් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහයේ සාමාජිකයකු ලෙස ක්‍රියාත්මක වේ. එහෙත් මේ වන විට වෙළෙඳ පොළේ පාරිභෝගිකයන්ට මිලදි ගන්නට ලාෆ් ගෑස් නැත. ඇත්තේ ලිටිරෝ ගෑස් පමණි. එයටද දැන් දිගු පොළිමය. ලාෆ්ස් ගෑස් සිලින්ඩරයට ලිට්රෝ ගෑස් පුරවා දෙන්නේ නැත. තැන්පතු තබා සිලින්ඩර ගත් පාරිභෝගිකයෝ අද අසරණව ඇත්තේ ලාෆ් ගෑස් සමාගම විසින් ගත් මේ තීරණය නිසාය. ලෝක වෙළෙඳ පොළ මිල ගණන් හමුවේ මෙරට භාවිතයට ගැනෙන ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දමන්නැයි අවස්ථා ගණනාවකදී ම රජයට යෝජනා කර තිබුණ ද රජය ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වී ම ඔවුන් දක්වන හේතුවය.
2003 අංක 9 දරන පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එසේ හෙයින් කිලෝ ග්රෑම් 12.5 හා 5 බර යටතේ වූ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට නම් අනිවාර්යෙන්ම පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් අවසර ලබා ගත යුතුව ඇත. ලංකාවේ ගෑස් නිෂ්පාදනයෙන් 99% ක් සිදු කරන්නේ විදේශයෙනි. ලංකාවේ සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය වුව ද, එයට අවශ්‍ය බොර තෙල් ගෙනෙන්නේද විදේශයෙනි. මෙසේ හෙයින් ගෑස් මිලේ උච්චාවචනයට බලපාන ප්‍රධානතම කරුණක් වන්නේ ලෝක වෙළෙඳ පොළේ මිල උච්චාවචනයය. එසේම නැව් ගාස්තු මෙන්ම අපනයන පිරිවැයද ඊට බෙහෙවින්ම බලපාන්නකි. එසේම රුපියලේ අවප්‍රමාණය ද මීට දැඩි සේ බලපා ඇත්තේ ණයකර ලිපි විවෘත කිරීමේදී ය. එහිදි ලංකාව තුළ පවතින විදෙස් සංචිත ප්‍රමාණය ද ඉවහල් වෙයි. 2020 වසරේ අප්‍රේල් මාසය වන විට ලෝක වෙළෙඳ පොළේ එල්. පී ගෑස් ටොන් 1 ක මිල වී තිබුණේ ඇමරිකන් ඩොලර් 350 කටය. කොවිඩ් හේතුවෙන් 2021 වන විට ලෝක වෙළෙඳ පොළේ මිල ඇමරිකන් ඩොලර් 757 ක් දක්වා වැඩි වන්නට විය. ලාෆ්ස් ගෑස් ප්‍රධානීන් දක්වන පරිදි එම මිල වැඩිවීම සිදුව ඇත්තේ 100% කිනි. නමුත් ලෝක වෙළෙඳ පොළේ මෙම මිල වැඩිවීම නිසා මෙතෙක් පාඩු පිට පවත්වා ගෙන ගියද ඊට රජයේ නිසි අවධානය නොදැක්වීම නිසා ලාෆ් ගෑස් අත්හිටුවීමට සිදුවූ බව එම බලධාරින්ගේ අදහසයි.
“සෞදි ඇරමිකෝ ආයතනය තමයි සෑම මාසයකම ගෑස් මිල තීරණය කරන්නේ. කොවිඩ් නිසා ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් ඇමරිකන් ඩොලර් 350 ට තිබුණු ගෑස් ටොන් එකක් 2021 අප්‍රේල් වන විට ඩොලර් 620 දක්වා වැඩි වුණා. ලංකාවට ගෑස් ගෙන්වීමේ පිරිවැය ඉහළ ගියා. නමුත් ඊට සමානුපාතිකව විකිණුම් මිල වැඩි වූණේ නැහැ. අවස්ථා කිහිපයකදිම ඉල්ලීම් කළත් පාරිභෝගික අධිකාරිය ඊට අවසරය දුන්නේ නැහැ. ඔවුන් මිල සූත්‍ර ගිවිසුම නොසලකා අත්තනෝමතික ලෙස ක්‍රියා කළා. අද වන විට රුපියල් 1493 කට ලාෆ් ගැස් සිලින්ඩරයක් විකුණන්නේ රුපියල් 757 ක පාඩු පිටයි. අවම වශයෙන් ගැස් සිලින්ඩරයකට රුපියල් 650 - 700 ක මිල වැඩි කිරිමක් සිදු කළ යුතුයි. මොකද මේ වෙන විට ගැස් සිලින්ඩරයක වියදම රුපියල් 2320 ක් වෙනවා. ලොකු මුදලකින් ණයවර ලිපි විවෘත කරලා අඩු මුදලකට විකිණිමට බැංකු කැමැති නැහැ. අපි ණයවර ලිපි විවෘත කළේ බැංකු දෙකක් සමඟ. බැංකුවලට ණයවර ලිපි විවෘත කරන්න ඩොලර් නැහැ. ඒ වගේම රජය යටතේ පාලනය වන ලිට්රෝ සමාගමේ අලාභය අපි වගේ 4 ගුණයකින් වැඩියි. ............“ ඒ ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්. කේ. එච්. වෑගපිටියයි.
ලාෆ් ගැස් සමාගමේ සභාපතිවරයා පවසන පරිදි මාසයකට ඔවුන්ගේ අලාභය රුපියල් මිලියන 400 කි. ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1600 කි. ඒයින් මෙට්‍රික් ටොන් 350 ක් බෙදාහරින්නේ ලාෆ් සමාගමයි. සපුගස්කන්ද රජයේ තෙල් පිරිපහදුවෙන් ලැබෙන ගෑස් මෙට්‍රික් ටොන් 25 පමණක් දැනට එම සමාගම නිකුත් කරයි. එසේම ලංකාවේ වසරකට ලිට්රෝ හා ලාෆ් ගෑස් පරිභෝජනය මෙට්රික් ටොන් ලක්ෂ 6 කි. එයින් 70% අවශ්‍යතාව සපුරන්නේ ලිට්රෝ ගෑස්ය. 30% ක අවශ්‍යතාව සපුරන්නේ ලාෆ් ගෑස්ය. 2015 – 2019 වකවානුවේ ලිට්රෝ සමාගම නව මෙටල් ගෑස් සිලින්ඩර ලක්ෂ 32 ක් ද, ලාෆ් සමාගම නව මෙටල් සිලින්ඩර ලක්ෂ 8 ක් ද ලෙස ලක්ෂ 40 ක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත. 2020 – 2021 සමයේ තවත් නව සිලින්ඩර මිලියන 1.2 ක් අලෙවි කර ඇත. ලාෆ් ගෑස් සමාගමට සම්බන්ධ ප්‍රධාන බෙදාහැරිම් 31 ක් සිටින අතර අලෙවි නියෝජිතවරු 15,000 ක් පමණ සිටිති. එසේම ලාෆ් පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 2. 9 කි.
ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසා සිටියේ එම සිලින්ඩරවලට තමන්ගේ ලිට්රෝ ගෑස් ලබා ගැනීමේ හැකියාවක් පවතින බවකි. නමුත් එය එසේ සිදු කරන්නට නොහැකි බව ලාෆ් සභාපතිවරයාගේ මතයයි.
“ඒක නීතිමය කාරණයක්. ඕනෑම රටක යහපත් වෙළෙඳපොළ තත්ත්වයක් තියෙන කොට තවත් කෙනෙක්ගේ වෙළෙඳ නාමය තව කෙනෙක් භාවිත කිරීම නීතියෙන් තහනම්. මොකද එම සිලින්ඩරය අපි නඩත්තු කරනවා. ඒකට පුරවලා අනතුරක් හරි යම් දෙයක් වුණොත් වගකීමක් බාර ගන්න බෑ. ප්‍රමාණාත්මක, ගුණාත්මක වගකිම් වගේම ආරක්ෂාව පිළිබඳ වගකිමකුත් තියෙනවා. අපිට මිලියන 1 ක පාරිභෝගිකයන් ඉන්නවා නම් අපි මිලියන 2 ක සිලින්ඩර පවත්වා ගෙන යන්නේ මේ වගකිම් නිසා. “ ඒ සභාපති වෑගපිටියයි.
ලාෆ් සිලින්ඩර් වලට ලිට්රෝ සිලින්ඩර් නිකුත් කිරිම වගකීම පිළිබඳ ප්‍රශ්නයකි. ආරියශීල වික්‍රමනායක මුන්ඩෝ නමින් ගෑස් සමාගමක් සෑදූ අතර ඕනෑම ගැස් සිලින්ඩරයකට මුන්ඩෝ ගෑස් නිකුත් කරන්නටද කටයුතු කෙරීය. නමුත් නඩුවක් වැටුණි. ආරියශීල පැරදුණු අතර සමාගමද වැහුණි. කහ සිලින්ඩරයට නිල් සිලින්ඩරේ දීම හිතුමතේ කරන්නට බැරි බව බොහෝ දෙනාගේ අදහසයි.
කෙසේ වෙතත් පසුගිය දිනවල ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසා තිබුණේ කෙසේ වෙතත් රට තුළ ගෑස් හිඟයක් ඇති විමට ඉඩ නොදෙන බවකි.
“බොහෝ දෙනා හිතනවා ලාෆ් පාරිභෝගිකයින්ට ලබා නොදීම මත ගැස් හිඟයක් රට තුළ ඇති වේවි කියා. රටට අවශ්‍ය සියලුම ගෑස් ප්‍රමාණ ලබා දිමට ලිට්රෝ සතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ආනයන කටයුතුත් සිදු කර අවසන්. දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ බෙදා දීමේ හැකියාව පවතිනවා. මේ දිනවල ගෑස් පෝලිම් පවතින්නේ මිලදි ගැනීමේ වේගය වැඩි නිසා. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ එලෙස ගෑස් සංචිත තබා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ඇති වෙන්න ගැස් ලබා දිය හැකියි...“
“මෙරට ගෑස් පාරිභෝගිකයන් ලාෆ් ගෑස් සිලින්ඩර ලබා ගත්තේ මුදලක් තැන්පත් කරමින්. අදාළ සමාගම නිවේදනය කළා තම සමාගම වෙළෙඳ පොළ වෙත ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බව. මොවුන් නවතා ඇත්තේ ගෘහස්ත ගෑස් පමණයි. මේ සමාගමේ ක්‍රියාකලාපය නිසා මෙරට දහස් ගණනක් ගෘහස්ත ගෑස් පාරිභෝගිකයන් අසාධාරණයට පත්වෙලා. එම සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන්නේ නම් පාරිභෝගිකයන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සඳහා තැන්පත් කළ මුදල් පොලියද සමඟ නැවත ලබාදීය යුතුයි. ඒ වගේම තැන්පතු මුදලක් ලබා ගත් නිසා එසේ හිතුමනාපේ වහන්න බැහැ. ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සාභාපති රංජිත් විතානගේය.
එහෙත් මොවුන් ගෑස් ප්‍රති අපනයනය නවතා නැත. ඉන්දියාව, බංගලාදේශයට මියෙන්මාරයට ප්‍රති අපනයනය කරති. ගෑස් නතර කර ඇත්තේ දේශීය පාරිභෝගිකයන්ට පමණි. 2021 වසරේ ගෙවල්වල ගෑස් ලිප් ටික නොදැවී පත්තු කරන්නම් අවම වශයෙන් ගෑස් මෙ.ටො. 400,000 ක් ගෙන්වන්න අවශ්‍යයි. ඒ සඳහා ඩොලර් මිලියන 260 ක් අවශ්‍යය වෙයි..
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.
“මෙසේ ස්ථාවර පාරිභෝගික පිරිසක් සහිත භාණ්ඩයක් මිල වැඩි කිරීමේ ඉල්ලීම ඉටු නොකිරීම මත, එය වෙළඳපොළට නිකුත් නොකිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නීතිමය වරදක්. අධිකාරිය මෙසේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවකට පත් වන්නේ ආණ්ඩුව යි. ..“
කෙසේ වෙතත් මේ වන විට ලාෆ් ගෑස් පාරිභෝගිකයන්, අලෙවි නියෝජිතවරු පමණක් නොව ඒ යටතේ සෘජු හා වක්‍ර රැකියා කරන්නන්ගේ රැකියා ස්ථීර වශයෙන්ම නැවති හමාරය.