රට පුරා රෝහල්වල තදබදය පසුපස ඇති තිත්ත ඇත්ත | Page 2 | සිළුමිණ

රට පුරා රෝහල්වල තදබදය පසුපස ඇති තිත්ත ඇත්ත

කොරෝනා වසංගතය පසුගිය වසරේ සිට මුළු ලොවම ගිල ගනිද්දී මරණ බිය අපට එතරම් නොදැනුණේ එදා කොරෝනා රෝගයට ගොදුරු වී මිය ගිය සංඛ්‍යාව ඉතා අල්ප වූ නිසාය. මෙරට 1 වැනි කොරෝනා රැල්ල අවසානයේදී, එනම් 2020 ඔක්තෝබර් 01 වැනිදා වන විටදීත් මෙරට කොරෝනා රෝගයට ගොදුරු වී මිය ගිය මුළු ගණන 13ක් විය. සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3380ක් විය. එහෙත් කොරෝනා 2 වැනි රැල්ලත් සමඟ මරණයේ අඳුරු සෙවණැලි ඉතා දුරින් දිස්වන්නට විය. 2021 අප්‍රේල් 15 වැනිදා වන විට කොරෝනා රෝගයට ගොදුරු වී මියගිය අය 604ක් වීමෙන් එය අපට මනාව පැහැදිලි වේ. එහෙත් කොරෝනා 2වැනි රැල්ලේදීත් මරණ බිය අපේ හතර මායිම පැනගෙන ආවේ නැත.

නමුදු කොරෝනා 3 වැනි රැල්ලත් සමඟ අද වන විට බියකරු මරණය අපේ එළිපත්තටම පැමිණ ඇති බවක් දැනෙන්නේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යන බැවිනි. අද අපට කෙනකු සමඟ කතා කිරීමට සිදු වී තිබෙන්නේ එය අපගේ අවසාන සංවාදය විය හැකිය යන අවිනිශ්චිත බව ද සිත් කොනක රඳවා ගනිමිනි. දැන් කොරෝනා රෝගයට ගොදුරු වී දිනකට මිය යන සංඛ්‍යාව 100 ඉක්මවා තිබේ. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 3 කට වැඩි ය.

එහෙත් අද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන තිබෙන්නේ 224 කි. ඇඳන් සංඛ්‍යාව 33,267කි. දිවයින පුරා පිහිටි දැඩි සත්කාර ඒකකයන් හි තිබෙන ඇඳන් සංඛ්‍යාව 180කි. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීහු 33,346 දෙනෙක් සිටිති. එහෙත් එම සංඛ්‍යාව කොතෙක් දුරට නිවැරදිදැයි දෙවරක් සිතන්නට සිදුවන්නේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී තිබෙන නිසාය. ඇතැම් වාට්ටුවල රෝගීන් සිටින්නේ කොරිඩෝවේ හෝ ඇඳන් යට ය. එම රෝගීන් අසලින් ඔක්සිජන් ටැංකි තබා සවි කර තිබෙන දසුන් ද අපට දැක ගත හැකි වන්නේ ඉන්දියාව මුහුණදුන් ඛේදවාචකය සිහි ගන්වමිනි. අද රෝහල්වල උපරිම ධාරිතාව ද පසු කර තිබේ. වෛද්‍යවරුන්ට සහ හෙද කාර්යය මණ්ඩලයට ප්‍රතිකාර කළ නොහැකි තරම් විශාල ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීමට ඔවුන්ට සිදු වී තිබේ. දිවා රෑ නොතකා රෝහල් කාර්ය මණ්ඩලය ඇපකැප වී සිටියත් ඔවුන් ද විඩාවට පත් වෙන්නේ ඔවුන් යන්ත්‍ර නොවන බැවිනි.

මේ අතරවාරයේ දී වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයේ ඇතැම් අය කොරෝනා රෝගයට ගොදුරු වන්නේ තත්ත්වය වඩාත් නරක අතට ඇද දමමිනි. එවිට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් තරම් කාර්යය මණ්ඩලයක් නොමැති වීමෙන් ඔවුන් තවතවත් අසරණ තත්ත්වයට පත්වේ. කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟම මුළු රටම ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී සිටියි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් අතරින් ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස සැලකෙන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලයි. අයි.ඩී.එච්. රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක සම්බන්ධ කර ගනු ලැබුවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අභියෝගයට මුහුණ දී ඇති ආකාරය පිළිබඳව තොරතුරු දැනගැනීමට ය.

“අපේ රෝහල කොරෝනා රෝගීන් සඳහාම වෙන්වූ රෝහලක්. මේ වන විට සියලුම වාට්ටුවල ඇඳන් ප්‍රමාණය ඉක්මවා රෝගින් සිටිනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 8ම සම්පූර්ණ වී තිබෙනවා. ඒත් සනීප වූ අය ටිකට් කපලා ගෙවල්වලට යන නිසා අපිට දිනපතා ඇඳන් ප්‍රමාණයක් හිස් වෙනවා. කොහොමටත් දවසකට රෝගීන් 25ක් විතර ඇතුළත් වෙනවා. වෙනත් රෝහල්වල අසාධ්‍ය රෝගින් තමයි වැඩිපුරම අපේ රෝහලට එවන්නේ. අමාරු ලෙඩ්ඩුන්ව බිමට දාන්න බැහැනේ. ඒ අයට කොහොමහරි ඇඳන් දෙනවා. දුෂ්කරතා තිබුණත් ප්‍රශ්න මතු වුණත් ඒවාට මුහුණ දෙමින් කළමනාකරණය කරගෙන වැඩ කරනවා.“ යනුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක පැහැදිලි කළේය.

මේ දිනවල රෝහල්වල ඇඳන් යට සහ කොරිඩෝවල කොරෝනා රෝගින් සිටින අයුරු මාධ්‍ය ඔස්සේ ද කතාබහට ලක්විය. එහිදි වැඩි වශයෙන් වාර්තා වූයේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල මහ රෝහල සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් රාගම මහ රෝහලයි. එම රෝහල්වල තත්ත්වය පිළිබඳව විමසිලිමත් වූයේ එබැවිනි.

“කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙනකොට අපිට රෝගින් වෙනුවෙන් වැඩි වාට්ටු සංඛ්‍යාවක් වෙන් කරන්න සිද්ධ වෙනවා. මේ මොහොත වන විට අපි කොරෝනා රෝගීන් වෙනුවෙන් වාට්ටු 5ක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 5යි අධි සත්කාර ඒකකයේ ඇඳන් 20යි වෙන් වී තිබෙන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන්. අපි අපේ රෝහලේ එක් ශල්‍යාගාරයකුත් කොරෝනා රෝගීන් වෙනුවෙන් ම වෙන්කරලා තිබෙනවා. අපේ කළුබෝවිල රෝහලෙන් පාලනය වන, අපේ රෝහලේ කාර්යය මණ්ඩලය සිටින රත්මලාන කඳවල පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 175කට ඉඩ තිබෙනවා. අපි හැකි උපරිම අයුරින් රෝගීන් වෙනුවෙන් ඇඳන් සපයනවා.“ යනුවෙන් පැවසුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා, වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය යි.

ඈ අප සමඟ කතා කරන මොහොතේදී ඇඳන් 221ක කොරෝනා රෝගින් සිටින බව වාර්තා කළාය. තවද රත්මලාන කඳවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 109 දෙනකු ප්‍රතිකාර ලබන බව ද දැනුම් දුන්නාය. එහෙත් එය පැය ගණනකින් වෙනස් වී කොරෝනා රෝගින්ගෙන් පිරී ඉතිරී යා හැක්කේ නිමේෂයකදි කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීම ඉහළ යන නිසාය.

ඔක්සිජන් ටැංකියේ බට නාසයට සවි කරගෙන කොරිඩෝවල දිගා වී සිටින රෝගින් ද සේලයින් බෝතලය ඇඳ කකුලේ ගැට ගසාගෙන ඇඳ යටට වී නිදන රෝගීන් ද අපට සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණු රෝහල් අතරට රාගම ශික්ෂණ රෝහල ද අයත්වේ. රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර සම්බන්ධ කරගනු ලැබුවේ ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමටය.

“අපි රෝහලේ වාට්ටුවලින් වාට්ටු 12ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. රෝගීන්ට ඇඳන් 310ක් තියෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 4ත් අධි සත්කාර ඒකකයේ ඇඳන් 6ත් කොරෝනා රෝගීන් වෙනුවෙන්මයි වෙන් වී තිබෙන්නේ. දවසකට ඇතුළත් වන රෝගීන් ගණන 100ක් විතර. ඇඳන් ලැබෙන තුරු සමහර රෝගින්ව බිම තියාගෙන හරි ප්‍රතිකාර කරන්න වෙනවා. අපි හැමෝම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම උදෙසා උපරිම කැප වෙනවා.“ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර සඳහන් කළේය.

කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළ යන විට ප්‍රතිකාර කරන රෝහල්වල වාට්ටු සංඛ්‍යාව ද දිනෙන් දින වැඩි වන බැවින් මෙම සංඛ්‍යාවන් පත්‍රය වෙළෙඳපොළට නිකුත් වන විට වෙනස් විය හැකිය. අපට දැනගන්නට ලැබෙන ආකාරයට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යවාව 478කි. කොළඹ ජාතික රෝහලේ රෝගීහු 600ක් පමණ ප්‍රතිකාර ලබති. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ වාට්ටු 11ක් වෙන් කර තිබුණත් දැන් වාට්ටු 15ක් වෙන් කර ඇත. ඊට අමතරව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇඳන් 54ක රෝගින් 156ක් සිටින බවත් අපට වාර්තා විය.

මේ අතරවාරයේදී මෙම රෝහල්වල සාමාන්‍ය රෝගීන් සිටින වාට්ටුවලින් ද කොරෝනා ආසාදිතයන් වාර්තා වීමෙන් ප්‍රශ්නය තවත් උග්‍ර වනු ඇත. ඇතැම් විට එම වාට්ටු වසා දැමීමට පවා සිදු විය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කෙරෙන ආකාරය විමසා බැලීමට සිත් වූයේ අද දවසේ කුඩා දරුවන් ද කොරෝනා වසංගතයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවිනි. මේ වන විට කොරෝනා ආසාදිතව මිය ගිය දරුවන්ගේ සංඛ්‍යාව 14කි.

“සාමාන්‍යයෙන් දවසකට කොරෝනා ආසාදිත දරුවන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අපට වාර්තා වෙනවා. අපේ රෝහල තුළ කොරෝනා ආසාදිත දරුවන් වෙනුවෙන් වාට්ටු 5ක් වෙන් කර තිබෙනවා. රෝහල තුළ කොරෝනා ආසාදිත වූ දරුවන් 200ක් විතර නේවාසික ප්‍රතිකාර ලබනවා. රෝහලට පරිබාහිරව රාජගිරිය ආයුර්වේද රෝහලේ එක් මහලක් අපි අරගෙන කොරෝනා ආසාදිත දරුවන් එහි රඳවා අපේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කරනවා.

මේ අවස්ථාව වන විට එහි දරුවන් 50කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 3ත් 4ත් ඇතුළත කොරෝනා ආසාදනය වී දරුවන් මිය ගියේ නැහැ. ඊට පෙර නම් මරණයට පත් වුණා. රෝගී වූ දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගියත් අපේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ඔවුන් සුවපත් වී නිවෙස්වලට යනවා. ඒනිසා තවම නම් දරුවන් ඇතුළත් කර ගැනීමට නොහැකි මට්ටමේ ගැටලුවක් මතු වෙලා නැහැ.“ යනුවෙන් පැහැදිලි කළේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය ය.

මේ අතරවාරයේදී ද සොයිසා කාන්තා රෝහලේ තත්ත්වය ගැන විමසිලිමත් වූයේ මේ වන විට ගැබිනි මව්වරුන් 2400ක් පමණ කොරෝනා ආසාදනය වී ඉන් 19 දෙනකු මරණයට පත් වී ඇති නිසා ය. “මෙහේ සාමාන්‍ය ක්‍රමය තමයි රෝහල්ගත වීමට පැමිණෙන අයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය කරලා එයින් කොරෝනා ආසාදනය වී ඇති අයව ආසාදිතයන් සිටින වාට්ටුවට ඇතුළත් කිරීම. සමහරවෙලාවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ආසාදනය වී නොමැති බවට තහවුරු වුණත් අපිට සැකයක් තියෙනවා නම් අපි පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරලා සැක සහිත රෝගින්ව වෙනත් වාට්ටුවක තබා ගන්නවා.

ඒත් දැන් කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව දවසෙන් දවස ඉහළ යන නිසා අපි සැක සහිත රෝගින්ව රඳවාගෙන සිටින වාට්ටුවත් කොරෝනා රෝගින්ට වෙන් කළා. සැක සහිත අයව රඳවා තබා ගැනීමට රෝහලේ කොරිඩෝවක් ඇඳන් දාලා වෙන් කරලා සකස් කළා. ගොඩාක් අමාරු නැති, සංකූලතා නැති ගර්භණී මව්වරුන්ව මුල්ලේරියාව රෝහලටත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් පිටත් කර යවන අවස්ථා තිබෙනවා. අපිට දවසකට කොරෝනා රෝගින් 40 - 50 අතර පිරිසක් හමුවෙනවා. ගැබිනි මව්වරුන් කොරෝනා ආසාදනය වීමේ ශීඝ්‍රතාව ගැන සලකා බලලා තවත් ඇඳන් 20ක් විතර දාලා වෙනම කොටසක් වාට්ටුවක් බවට පත් කිරීමට සැලසුම් කරගෙන යනවා.“ යනුවෙන් ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂිකා, වෛද්‍ය උපුලි විජේමාන්න සඳහන් කළාය.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම උදෙසා ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් සිය සම්පත් කළමනාකරණය කර ගනිමින් සැලසුම් ඉදිරිපත් කරනු ලැබූවද මේ මොහොතේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා තිබේ. ප්‍රධාන පෙළේ රෝහල් මෘත ශරීරාගාරයන් හි කොවිඩ් මළසිරුරු තැන්පත් කිරීමට ඉඩකඩ නොමැති බවත් මළ සිරුරු ගොඩ ගැසී ඇති බවත් පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කළ ආකාරය අපට අමතක නැත.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ මෘතදේහ 20ක්, මහනුවර මහ රෝහලේ 10ක්, ගම්පහ රෝහලේ 20ක් සහ රාගම රෝහලේ 88ක් වශයෙන් ගොඩ ගැසී ඇති බව වාර්තා කර තිබිණි. “මෘතදේහ තබා ගැනීමේ ගැටලුව අපිට මතු වෙන්නේ නැහැ. අපි මිය ගිය රෝගීන්ගේ සිරුරු පැය 48ක් ඇතුළත අවසන් කටයුතු සඳහා යොමු කරනවා. ඔය ප්‍රශ්නය එන්නේ සාමාන්‍ය රෝහල්වලට. ඒවායේ නාඳුනන මළසිරුරු තබා ගන්නවා. අධිකරණ කටයුතු සඳහා තබා ගන්නා මළසිරුරු තිබෙනවා. අපේ රෝහලේ එහෙම මළසිරුරු නැහැ. ඒ නිසා මෘත ශරීරාගාරවල ඉඩකඩ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.“ යනුවෙන් පැවසුවේ අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායකය.

2017 වර්ෂයේ සිට අද දක්වා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ නාඳුනන මළසිරුරු 40ක් භූමදානය කිරීමට අගෝස්තු 10 වැනි දින අධිකරණ නියෝගයක් නිකුත් කළේ රෝහල් මෘතශරීරාගාරයේ තදබදය අවම කර ගැනීමේ පියවරක් වශයෙනි. ඒ අනුව මළසිරුරු 40ක් මඩකළපුව ඔඩ්ඩමවාඩි සුසාන භූමියේ මිහිදන් කෙරිණි.

රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන කොරෝනා මෘතදේහ කඩිනමින් ආදාහනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැති අතර ඉන් අනතුරුව රාගම රෝහලට ආසන්නයේ ඇති ආදාහනාගාර කීපයකදී මෘතදේහ ආදාහනය කෙරිණි.

රාගම රෝහලේ අධ්‍යක්ෂ සහ කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරිය පැවසුවේ මෘත ශරීරාගාරවල තිබූ මෘතදේහ ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරන බවයි.

මේ අතරවාරයේදී පළාත් පාලන ආයතන යටතේ ඇති සියලුම මෘත ශරීරාගාර කඩිනමින් සූදානම් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඒ, සෑම මිනිත්තු 12කටම වරක් මෙරට කොරෝනා මරණයක් සිදුවීමේ සම්භාවිතාවක් ඇතැයි යනුවෙන් සෞඛ්‍ය ආරංචි මාර්ග අනතුරු හඟවන නිසා විය යුතුය.

Comments