
1. මේ ඩෙල්ටා නව ප්‍රභේදය පැතිරීමේ වේගය අනුව ඉදිරි සති දෙක තීරණාත්මක වන නිසා රට වසා දැමිය යුතු බව සෞඛ්‍ය අංශයේ ඇතැමුන්ගේ ඉල්ලීමක් තිෙයනවා නේද?
2. එන්නත්කරණය සිදු කළද රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වුවහොත් තවත් විකෘති ප්‍රභේද නිර්මාණය වීමේ අවකාශයක් ඇති බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා නේද?
3. එන්නත්කරණය කිරීමෙන් පමණක් මේ නව ප්‍රභේදයට මුහුණ දීමේ හැකියාවක් තිබෙනවාද?
4. මේ වන විට රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවාද?
5. දකුණු ආසියානු රටවල් මේ ප්‍රභේද ය පැතිරීම පාලනය කරගත්තේ කෙබදු ආකාරයකට යන අවබෝධය මේ අවස්ථාවේදී රටට වැදගත් වනවා නේද?
ඖෂධ නිෂ්පාදන සැපැයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන
1සංචරණ සීමා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම සංචරණ සීමාවන් බොහෝම තදින් ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ දැනුම්වත් කර තිබෙනවා. සෞඛ්‍ය අංශ නිර්දේශ කරනවා නම් රට වැසිය යුතුයි කියලා එයට අවශ්‍ය පියවර ඉදිරියේදී ගනු ලබනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියන්නේ වෛද්‍යවරුන්ගෙන් ඉතාම සුළු පිරිසක් නියෝජනය කරන පිරිසක්. පසුගිය කාලයේ ඒ අයගේ හැසිරීම සහ එම සංගමයේ සිටින ඉහළ පෙළේ අය දේශපාලනිකව යම් මතවාදයන්ට නැඹුරුතාවක් දක්වන පිරිස් නිසා ආණ්ඩුව අපහසුතාවට පත් කරලීමට මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවත් අපිට පැහැදිලියි.
ඒ නිසා ඒ අය කියන දේවල් ටිකක් කල්පනා කරලා බලලයි තීන්දු තීරණ ගත යුත්තේ. විශේෂයෙන් වෛද්‍යෙවරුන්ගේ සහ විද්වතුන්ගේ අදහස් පිළිබඳ රජයක් ලෙස අප අවධානය යොමු කරනවා. නිරන්තරයෙන් ගෞරවය ලබා දෙනවා. එහෙත් මෙවැනි අවස්ථාවක වෛද්‍ය , විශේෂඥ වෛද්‍ය කියලා කියාගනිමින් තමන්ගේ දේශපාලනික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්ක කිරීමට උත්සාහ කිරීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවෙයි. අසීරු අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන මහජනතාව නොමඟ යවන්න අප ඉඩ දෙන්නේ නැහැ. මේ අවස්ථාවේ මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට ක්‍රියා කරන පිරිසක් ඉන්නවා; අපි ඒ අය ගැන හොඳ අවබෝධයකින් සිටිනවා.
2 මේ වැනි දරුණු තත්ත්වයකට මෑත ඉතිහාසයේ ලෝකයම මුහුණ දීලා නැහැ. මේ ආකාරයේ ගෝලීය වසංගතයක් ලෝකය පුරා පැතිරුණේ මීට සියවසකට පෙරයි; ඒ ප්‍රභේදය ස්පඤ්ඤ උණ ප්‍රභේදයයි. ඒ අවස්ථාවේදී මෙවැනි එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාවට නැඟුණේ නැහැ. ගෝලීය වසංගතයකට එන්නත්කරණය ක්‍රියාත්මක වන්නේ අප දන්නා ඉතිහාසයේ පළමු වතාවටයි. එයින් ඇති වන අතුරුඵල ගැන තවම අවබෝධයක් නැහැ. ලෝකයේ කාටවත් තවම නිශ්චිතව මේ ගැන කිව නොහැකියි. මේ වයිරසයන් මඟින් විකෘති වයිරස ඇති වන බව සඳහන් කර තියනවා. එහි යම් කිසි තර්කානුකූල බවක් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තවම ඇත්තේ පර්යේෂණ මට්ටමක්. මාත්‍රා දෙකක් සම්පූර්ණයෙන් ගත් අයකුට කොරෝනා වයිරසය සඳහා ඔරොත්තු දීමේ හැකියාව වැඩි වී තිබෙනවා . එන්නත්කරණයට ලක්වූ අයට රෝගයේ දරුණු භාවය අඩුවී තිබෙනවා. එන්නත්කරණය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට ඒමට අප ඉක්මන් විය යුතු නැහැ.
දැනට ජීවිත ආරක්ෂා කර ගැනීමට ඇති එකම පිළියම එන්නත්කරණයයි. එයින් පැන යන්න අපිට බැහැ. රෝගයෙන් ගැලවීම සඳහා ලෝකයම අනුගමනය කරන ක්‍රමවේදය මෙයයි. ජනතාව ලබාදිය යුතු සුදුසුම දේ රජයක් ලෙස අප ලබාදිය යුතුයි. එන්නත් හැර මීට වඩා සුදුසු වෙනත් යමක් වේ නම්, අපි ඒ දේත් ජනතාවට ලබා දෙනවා. දැනට ඇති හොඳම දේ එන්නතයි. ඒ නිසා අපි රටේ බහුතර ජනතාවකට මෙය ලබාදීමට කටයුතු කරනවා.
3 තීරණ ගැනීමට අප ඉක්මන් විය යුතු නැහැ. විකෘතිතා ඇතිවෙන්නේ එන්නත නිසාද කියන්න නියත වශයෙන් කියන්න බැහැ.
ලෝකයේ නිර්මාණය වූ වෙනත් වයිරසවලත් විකෘතිතා ඇති වුණා. එන්තත් ලබා නොදුන් කාලයේදීත් විකෘති ඇති වුණා. එන්නත්කරණය නවත්වන්න තරම් තවම අලාභයක් හෝ අයහපතක් ගැන තවම දැනිලා නැහැ. අපි සෙවිය යුතු වන්නේ යහපත් පැත්ත ගැන පමණයි.
අපේ රටේ මේ දේවල් ගැන මතවාදයන් ඉදිරිපත් කරන විවිධ ගුරුකුල තියනවා. නමුත් ඒ අය එහෙම කිව්වා කියලා එන්නත්කරණය නවත්වන්න පුළුවන් තැනක නොවෙයි අප සිටින්නේ.
4 රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින් නැහැ. අප රෝහල් ධාරිතාව පුළුල් කරමින් සිටිනවා. දැනට කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් වැඩිදියුණු කරන්නට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති කොවිඩ් මර්දන රැස්වීමේදී තීරණයක් ගත්තා දැනට කොවිඩ් මර්දනය සඳහා ඇති රෝහල් වෙනත් වාට්ටු සහ ඒවයේ වෛද්‍ය හෙද ඇතුළු කාර්ය මණ්ඩලයද මේ සඳහා යොදා ගැනීමට. ඒ අනුව ඉක්මනින් කටයුතු කරනවා. ඒ හැරුණු විට කොවිඩ් මර්දනය සඳහා කළුබෝවිල, හෝමාගම සහ රාගම වැනි රෝහල්වල අලුත් ස්ථාන රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ ආකාරයට රෝහල් ධාරිතාව ඉක්මවා නොයන්න අප කටයුතු යොදා තිබෙනවා. මේ වන විට ගෙදර සිට ප්‍රතිකාර ලබා ගන්නා ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ඉදිරියේදි රෝගින් ප්‍රමාණය වැඩිවෙයි යන අදහස ඇතිව ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල තත්ත්වයන් හදාරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
5බොහෝ රටවල් ප්‍රමුඛතාව දුන්නේ එන්නත්කරණයටයි. ඒ රටවලද සංචරණ සීමා පනවා තිබෙනවා. විවිධාකාර තහංචි දාලා විවිධාකාර ක්‍රමවේදයන් අනුගමනය කරලා තිබෙනවා වගේම ඒ ඒ රටවලටම ආවේණික ක්‍රමවේදයන්ද අනුගමනය කර තිබෙනවා. එසේ කරලත් ඉන්දියාවේ ජනතාව විශාල වශයෙන් මිය යෑම සිදු වුණා .
ඉන්දුනීසියාවේ, බ්‍රසීලයේ දරුණු තත්ත්වයන් ඇතිවුණා. ඒ තත්ත්වයට නොයා ඉන්නයි අප උත්සාහ කරන්නේ. ඒ උපාය මාර්ග සියල්ලම අධ්‍යයනය කර ඒ විෂය සම්බන්ධයෙන් අපේ විද්වත් කණ්ඩායමේ උපදෙස් සහ නිර්දේශ අනුව අපි වඩාත් සුදුසු ක්‍රමවේදයන් අනුගමනය කරනවා.
අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු සුදුසුම දේ අප කරනවා.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
1 විශේෂඥ වෛද්‍යවරුන්ගේ යෝජනා අදහස් ඔවුන් අනුමත කරනු ලබන සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව මේ අවස්ථාවේදී ජනතාවගේ ජීවිත රැකගැනීමට ක්‍රියා කළ යුතුයි. මෙහිදී වැදගත් වෙන්නේ එයයි. අපේ ගතික ලක්ෂණයන් වෙනස් කරමින් යා යුතු බව අපි කියනවා. රටක් ලෙස යම් කරුණක් අරමුණු කර ගනිමින් එය ක්‍රියාවට නංවන්න අපේක්ෂාවෙන් සිටියද අපි අපේක්ෂා කළ ඒ පරිසරය වෙනස් විය හැකියි. මේ පවතින යථාර්ථයට අපි දැන් මුහුණ දිය යුතුයි. ඒ අනුව අපේ උපාය උපක්‍රම වෙනස් කිරීමට සිදු වෙනවා. ස්වභාවධර්මය අපිට වෙනස් කරන්න අමාරුයි. එයට අනුගත වීමයි කළයුත්තේ. අවශ්‍ය වෙලාවට එන්නත ලබාදීම සිදුවුණා නම් මේ වන විට ජනගහනයෙන් සියයට හැත්තෑවකටවත් එන්නත දී තිබුණා නම් මේ ප්‍රශ්නය මෙච්චර බැරෑරුම් වෙන්නේ නැහැ. වසංගතය විශාල ලෙස ව්‍යාප්ත වෙන විට රට වැසීම අවශ්‍යයි. නැවත අඩුවුණාම සක්‍රීය විය යුතුයි. නිසි කළමනාකරණය කිරීමයි අවශ්‍ය වන්නේ.
2. ඇතිවීමේ හැකියාවක් තිබෙන බව සමහර අය කියනවා. ප්‍රමාණික දැනුම ඇති පුද්ගලයන් සමඟ මේ සම්බන්ධයෙන් රජය සාකච්ජා කළ යුතුයි. ඒ දේ නොමැති නිසයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ලංකාවෙන් තවත් විකෘති ප්‍රභේදයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා කියලා ඇතැම් වෛද්‍යවරුන් කියනවා. මේ පිළිබඳව ලෝකයේ කවුරුත් නිසි ලෙස සොයාගෙන නැහැ.
මේ වයිරසයන් පිළිබඳව නිසි අධ්‍යනයන් සිදුවීමට තවත් කාලයක් ගතවෙයි. ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් දැක්වූ අදහස් සියල්ල මේ වන විට සැබෑ වී තිබෙනවා. මෙවැනි ජාතික හදිසි අවස්ථාවකදි මෙය දේශපාලනීකරණය කරගැනීම සුදුසු නැහැ. මේ පිළිබඳව ප්‍රශ්න කරන්න කෙනෙක් නැහැ. ජනතාව අසරණ වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ රජයේ කළමනාකරණය අයාලේ යනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය කොහේද තියෙන්නේ?
3එන්නත්කරණය හැර අපට වෙන විසඳුමක් නැහැ. මූලික දේ එන්නත් ගේන්න අවශ්‍ය වේලාවේ ගෙනාවේ නැහැ.මේක මේ තරම් පැතිර යන්න හේතුව එයයි. අනෙක් සියලු රටවල් නිසි අවස්ථාවේ එන්නත් ඇණවුම් කළත් අපේ රට එන්නත් ගන්න පරක්කු වුණා. ඒවාට වගකියන්න කිසිවෙක් නැහැ. මේ ගැන අපිට විපක්ෂය ලෙස ප්‍රශ්නයක්වත් අහන්න බැහැ.
එන්නත විදින වේගයට වඩා ඩෙල්ටා පැතිරීමේ වේගය වැඩියි. මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හිටපු සියලුම දක්ෂ වෛද්‍යවරුන් රෝග පාලන ක්‍රියාමාර්ගවලින් ඉවත් කරලා.
මුලින් මේ සඳහා පත්වුණ වෛද්‍යවරුන් කවුරුත් අද නැහැ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා නම් රට වහන්න කියලා එයට ඇහුම්කන් දිය යුතුයි.
4රෝහල් ධාරිතාවය ඉක්මවා ගිහින් නැහැ කියන්නේ බොරුවක්නේ. රෝහල්වල මිනිසුන් මියයන විදිහ අපි දකිනවා.
මේ දත්ත සමඟ ඒ දේවල් සැසඳෙනවාද කියලා අපිට විශ්වාස කරන්න බැහැ. මිනිසුන් ඇඳන් යට, ගස් යට ඉන්නවා කියලා රෝගීන්ම කියනවා. අනෙක් රටවල් හා සැසඳීමේදී ජනගහනයට සාපේක්ෂව අපේ මරණ අනුපාතයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.
5 ඒ රටවල පාලකයෝ කාර්යක්ෂමව ජනතාවගේ ජිවිත බේරා ගැනීමට ප්‍රමුඛතාව දුන්නා. දැඩි පාලනයක් ඇති කළා. ඒ ඒ අවස්ථාවට අනුකූලව රට කළමනාකරණය කළා. අවශ්‍ය වෙලාවට වැහුවා.
අවදානම අඩු වුණාම නැවත විවෘත කළා. මේ දේවල් කරන්න පුළුවන් ආණ්ඩුවටයි. තුන්වැනි රැල්ල ඒමට හේතුව අවුරුද්දට රට විවෘත කිරීමයි.
දැන් ඕන දෙයක් වුණාවේ කියලා මිනිසුන්ට වැඩට එන්න කියලා. දුම්රිය වාර ගණන සීමා කරලා; බස් අඩුයි; . මීටරේ තියා අඟලේ පරතරයක්වත් නැතුව මිනිස්සු තෙරපිලා වැඩට එනවා. මෙය විහිළුවක්.
ආණ්ඩුවට අනෙක් රටවල ක්‍රියාකලාපය පේන්නේ නැහැ. ලෝකයෙන් ආදර්ශ ගන්නේ නැහැ.
ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් හරියටම අනුගමනය කරන්න සහ එන්නත්කරණයට අනිවාර්යෙන් යොමු වෙන්න කියලා ජනතාවගෙනුත් අපි ඉල්ලනවා.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය
1විශේෂඥ දැනුම ඇති අයගේ උපදෙස් මේ අවස්ථාවේදී අනුගමනය කළ යුතුයි. ඒ උපදෙස් අනුවයි ක්‍රියාත්මක විය යුතු වන්නේ. සෞඛ්‍ය අංශ එවැනි ඉල්ලීම් කරන්නේ රෝහල් ධාරිතාවය අනුව ඒ අයට දරාගත හැකි තත්ත්වය ඉක්මවා ගියොත් මේ රෝගය පාලනය කර ගැනීමට අපහසු වන නිසයි. දැනටමත් එය ඉක්මවා යෑමට ආසන්නයි. සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා කටයුතු කළහොත් මෙය විශාල ඛේදවාචකයක් බවට පත්වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී ආණ්ඩුව කටයුතු කරන්නේ මිනිස් ජීවිත කෙසේ වෙතත්; ආර්ථීකය බේරා ගැනීමක් පිළිබඳවයි. ආර්ථීකය බේරාගන්නේ කා වෙනුවෙන්ද? ආර්ථිකය ගොඩගන්න ජනතාව සිටිය යුතුයි. ඩෙල්ටා වයිරසය ඉතා වේගවත් ලෙස පැතිර යන වයිරසයක් බව සෞඛ්‍ය අංශ කියනවා. ගත යුතු උපදෙස් සෞඛ්‍ය අංශවලින් ගත යුතුයි. සෞඛ්‍ය අංශ දෙන තොරුතුරු ගන්න ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. අවසාන වශයෙන් මිනිස් ජිවිතයි වැදගත් වන්නේ.
2 එවැනි අවදානම් තත්ත්වයක් පිළිබඳව කතාකර තිබුණත් මේ වනතෙක් එවැනි දෙයක් සිදුවෙලා නැහැ. ඒ නිසා දැනට ඇති එකම විසඳුම එන්නත්කරණය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. සෞඛ්‍ය අංශ කියන ආකාරයට මෙවන විටත් රෝහල්වල රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. එයට හේතුව මේ වයිරසයේ ඇති පැතිර යාමේ වේගයයි. අපි දැක්කා ඉන්දියාවේ ඔක්සිජන් නැතිව මිනිසුන් පාරවල්වල මිය ගියා. මේ වන විට ඉන්දුනීසියාවේ තත්ත්වයත් දරුණුයි. රජය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියා කළ යුතුයි. ගොඩනැඟිලි හැදුවට වැඩක් නැහැ.ඒ සඳහා වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලත් අවශ්‍යයි. මේ තත්ත්වය මත සෞඛ්‍ය සේවාවටත් දැන් අවදානමක් ඇතිවී තිබෙනවා. රෝහල් ධාරිතාව ඉක්ම ගියොත් එය සෞඛ්‍ය අංශවලට දරාගැනීමේ හැකියාව නැතිවෙනවා. අපි මුලින් කළ යුත්තේ මේ පැතිර යෑම වැළැක්වීමට කටයුතු කිරීමයි. රජය විශේෂයෙන් මිනිස් ජිවිත පිළිබඳව සිතා බලා කටයුතු කළ යුතුයි.
3එසේ වීමේ අවදානමක් ඇති බව වෛද්‍ය ක්ෂේත්‍ර කියනවා නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුව ජනතාවගෙන් සියයට 70ක්වත් එන්නත්කරණය කළ යුතුයි. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයෙත් මේ සඳහා සුදුසු ඖෂධ ප්‍රතිකාර ක්‍රියාත්මක වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ ධම්මික පැණි වගේ බොරු දේවල් නොවෙයි. එවැනි අංශවල ප්‍රතිශක්තිය ඇති කරන ඖෂධ තිෙයනවා. ඒවායේ උපකාරයත් මේ අවස්ථාවේදී ගත යුතුයි. ජනතාව රෝහල්ගත වන ප්‍රමාණය අඩු කරන්නයි කටයුතු කළ යුත්තේ. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් නිසි කළමනාකරණ වැඩපිළිවෙළක් නැහැ. යුද්ධයක් වුණත් මේ විදිහට කරන්න බැහැ. මේක වංසගතයක් බව තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.
4 වයිසරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙන්න අවශ්‍යයි. මේ වන විට අපිට ලැබී තිබෙන තොරතුරු අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රවල සාමාජිකයන්ට රෝගය ආසාදනය වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙනවා. එවැනි අය රෝගීන් බවට පත් වුවහොත් ඊළඟට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? ඒ නිසා රෝහල්වලට ඇතුළත් වන ආසාදිතයන් සංඛ්‍යාව අවම කර ගැනීමයි කළ යුතු වන්නේ. ව්‍යාප්තිය වැඩිවීමෙන් නව විකෘති ප්‍රභේදයන් ඇතිවීමේ අවදානමක්ද තිබෙනවා.
5. මෙය පාලනය කිරීමට වෙනත් රටවල් ආසාදිතයන් වාර්තා වූ සැණින් දැඩි සංචරණ සීමා පැනවීමට ක්‍රියාත්මක වුණා වගේම ඒ රටවලට ආවේණික ක්‍රමවේදයන් අනුගමයන කළා. අවශ්‍ය වේලාවේදී රට වසා දැමුවා. අවශ්‍ය වෙලාවේ එන්නත් කරණය සිදුකළා. අපේ රටේ එහෙම සැලසුමක් අනුව කළමනාකරණයකින් යුතුව මේ කටයුතු කිසිවක් සිදු නොවුණ නිසා රෝගය ශීඝ්‍රයෙන් පැතිර ගියා. සංචරණ සීමාවන් පැනවිය යුතුයි. අපේ රටෙත් මේ වන විට විශාල රෝගීන් ගණනක් මිය යනවා. මේ අවස්ථාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතුයි.