
අපේ මාර්ග පද්ධතියට දැන් තවත් සුවිශේෂී මාර්ගයක් එක්වී ඇත. සියල්ලන්ගේ සිත් වශීකරන ඒ අලුත් මාර්ගය ගාලු මුවදොර සිට දෙහිවලට ඉදිවූ අඩි 60 ක් පළල ‘මැරීන් drive’ මාර්ගයයි. අපේ රටේ මහා මාර්ග සංවර්ධන වංශ කතාව ලියන විට 2005 - 2015 හා 2020 - 2024 වකවානුව මෙරට මාර්ග සංවර්ධනයේ ස්වර්ණමය අවධිය ලෙස සටහන් වනු නොඅනුමානය. අපේ රටේ ප්‍රධානතම මහා මාර්ග පද්ධතියට දැන් අලුතින්ම එක්වී ඇත්තේ ගාලු මුවදොර සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා ඉදිවූ සමුද්‍රාසන්න මාර්ගය හෙවත් ‘මැරීන් drive’ මාර්ගයයි.
රාත්‍රියට මනරම් ලෙස විදුලි ආලෝකය දැල්වී තිබෙන විට මෙය ශ්‍රී ලංකාව දැයි සිතෙන තරමට සුන්දර ලෙස මෙම මාර්ගය තනිකරම ඉදිකර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟිනි. එහි ඉංජිනේරුවරුන් සේවකයන් ඊට යෙදූ මුදල් සියල්ල අපේය. ඒ අනුව මෙය සැබැවින්ම ශ්‍රී ලාංකික මාර්ගයක් බව මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි පවසයි.
මෙතෙක් කල් සවසට ගාලු මුවදොර සිට දෙහිවල දක්වා හෝ පෙරවරුවේ දෙහිවල සිට ගාලු මුවදොරට තිබූ දැඩි මාර්ග තදබදය ඔස්සේ ගමන් කළ ඔබේ රථයට දැන් ගාලු මුවදොර සිට දෙහිවලට මුහුදු සුළං මැද සුන්දර ගමනක් ඉක්මනින් යෑමට සිත් ඇද තබන අලුත් මහා මාර්ගයක් ලැබී තිබේ. ඒ ‘මැරීන් drive’ නව මාර්ගයයි.
මාස 6 ක් ඇතුළත කිලෝමීටර් 7.8 ක් පමණ දිගට අඩි 60 ක් පළලට ඉදිවූ මේ මං තීරු හතරේ මනරම් මහ මාර්ගය තව නොබෝ දිනකින් මහ ජනතාව සඳහා නිල වශයෙන් විවෘත කරන බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
එමෙන්ම මාර්ගය දෙපස පදික වේදිකා ඉදිකිරීම, සංඥා පුවරු, ජලාපවාහන පද්ධති සකස් කිරීම, වාහන නැවැත්වීමේ පහසුකම් ලබාදීම, වීදි ලාම්පු ප්‍රතිස්ථාපනය කිරීම ආදී යටිතල පහසුකම් ද සංවර්ධනය කර ඇත.
ඒ අනුව මේ අලුත් මහා මාර්ගය ඔස්සේ ඔබේ රථයට ගාලු මුවදොර ස්ටුවර්ඩ් ප්ලේස් සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා විනාඩි 10 - 15 අතර වේලාවක් ඇතුළත ගමන් කළ හැකිය. දැනට පෙරවරු 6 සිට පෙරවරු 10 දක්වා කාලයේ දෙහිවල සිට ගාලු පාරේ කොළඹට ඒමට පැය 1 - 1 1/2 කට ආසන්න කාලයක් ගත වෙන අවස්ථා ඇත. එලෙසම සවස 1.30 සිට සවස 7.00 පමණ වනතෙක්ම ගාලු මුවදොර සිට දෙහිවල හන්දියට යාමට පැය 1 - 1 1/2 ක් ගතවන අවස්ථා ද තිබේ. නමුත් දැන් මේ මාර්ගයේ විනාඩි 10 - 20 අතර වේලාවකදී කොළඹ දෙහිවල අතර ගමන් කළ හැකි ය.
අලුත් මාර්ග ඉදිකිරීම බාරව කටයුතු කරන එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු කේ. සෙල්ලවනාදන් පැවසුවේ කොළඹ ප්‍රධාන නගරය ගාලු පාරේ ප්‍රධාන නගර ඇතුළත් ප්‍රදේශ ආවරණය කරමින් ඉදි කළ මේ මාර්ගය තනිකරම මෙරට ඉදිකරන අධිවේගී මාර්ග ප්‍රමිතියටම සකස් කර සංඥා ලාම්පු ඇවිදින මංතීරු හා විවේක ගැනීමේ ස්ථාන සහිතව ඉදිකර දැන් අවසන් බවයි.
“සරලව කිව්වොත් මේක අලුත් අධිවේගයක් ලෙස අපි සකස් කර තිබෙනවා. කොළඹ නගරයේ ගොඩනැගිලි හා නිවාස රැසක් තිබුණු මේ සමුද්‍රාසන්න මාර්ගය අපි මාස හයකින් ඉදි කළා. එහි තිබුණු ගොඩනැගිලිවලට අපි රුපියල් කෝටි 400 ක් වන්දි ගෙව්වා. මාර්ගය සම්පූර්ණ ලෙස ඉදිකිරීම කෝටි 62 ක් විතර වැය කළා” ඔහු කීය.
මේ පාර මුලින් තිබුණේ කොල්ලුපිටිය ස්ටේෂන් එක ගාව සිට වැල්ලවත්ත දක්වා කිලෝමීටරයක් පමණ ප්‍රදේශයකය. හැබැයි එතෙක් ඒ හරියේ ගාලු පාරේ අධික වාහන තදබදය වෙලාවට වාහන රැසක් ගමන් කළා. ගාලු පාරේ වාහන තදබදය අවම කිරීමට ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධානය යොමු කර මේ මාර්ගය ඉක්මනට සෑදීමට මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නා.
“ඉස්සර මේ පාර තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ළඟට. අපි එතන සිට ගෝල්ෆේස් පැත්තට ස්ටුවර්ඩ් පෙදෙසට මීටර් 600 ක් පාර දික් කළා. ඊට පසු වැල්ලවත්තේ සිට දෙහිවල දුම්රිය ස්ථානය ළඟට අපි මේ පාර ඉදිකළා. කොල්ලුපිටිය සිට ස්ටුවර්ඩ් ප්‍රදේශය ඉදිකිරීම රුපියල් ලක්ෂ 2250 ක් වැය කළා. ඊට පසු වැල්ලවත්ත සිට දෙහිවලට මේ පාර ඉදිකිරීමට රුපියල් ලක්ෂ 4,000 ක් වැය කළා.
පාරට ගත් ඉඩම්වල පදිංචි ඉඩම් හිමියන්ට අපි වර්තමාන වටිනාකම අනුව වන්දි ගෙව්වා.
කොල්ලුපිටිය දුම්රියපළේ සිට ස්ටුවර්ඩ් පෙදෙස දක්වා ඉඩම්වල පදිංචිව සිට ව්‍යාපාර කළ අයට ගෙවූ වන්දි මුදල රුපියල් දස ලක්ෂ 1500 යි. වැල්ලවත්ත සිට දෙහිවල කොටසේ සිටි පදිංචිකරුවන්ට ගෙවූ වන්දි මුදල රුපියල් දස ලක්ෂ 2500 යි. ඒ අනුව අපි මේ මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ගෙවූ සම්පූර්ණ වන්දි මුදල රුපියල් දස ලක්ෂ 4000 ට වැඩියි. නමුත් දැන් මේ මාර්ගය නිසා කොතරම් ඉන්ධන ප්‍රමාණයක් මිනිස් පැය ප්‍රමාණයක් ඉතිරි වෙනවාද? ඒ අනුව මේ මාර්ගය රටේ හැමටම සෙතක්” ව්‍යාපෘති අධ්‍යක්ෂ පවසයි.
අලුත් සමුද්‍රාසන්න මාර්ගය ඉදිරියේදී මොරටුව දක්වා දීර්ඝ කිරීමට මූලික ශක්‍යතා අධ්‍යයනයක් මොරටුව සරසවියේ සහාය ඇතිව සිදු කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. සෙල්වනාදන් පවසයි. ඒ අනුව ඉදිරියේදී දෙහිවල සිට මොරටුව ලුනාව මාර්ගයට මෙම මාර්ගය සම්බන්ධ වෙනු ඇත. එවිට ගාලු මුවදොර සිට මොරටුව දුම්රියපොළ අසලට විනාඩි 20 ක් ඇතුළත ළඟාවිය හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඊට අමතරව මෙම මාර්ගය ඉදිරියේදී කොළඹ වරාය නගරයේ මාර්ග පද්ධතියට ද සම්බන්ධවේ. එය මඟින් පෑලියගොඩ සිට වරාය නගරයට දිවෙන නව අධිවේගී මාර්ගයට ද මේ මඟින් ඉදිරියේදී ගමන් කළ හැකිවනු ඇත.
මෙරට නාගරික ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග තදබදය වැඩි ස්ථානවල අලුත් ගුවන් පාලම් 5 ක් ඉදිකරනු ලැබේ.
ඒ අනුව කොහුවල ගැටඹේ, කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත, උත්තරානන්ද මාවත, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ සිට කොම්පඤ්ඤවීදිය සම්බන්ධ කිරීමට මෙම පාලම ඉදිවේ.
ඒ සඳහා සම්පූර්ණ වියදම රුපියල් දස ලක්ෂ 20100 කි.
ඒ සමඟ පෑලියගොඩදී නව කැලණි පාලම ඉදිකර ඒ අවට අලුතින් ම ගුවන් පාලම් හා සම්බන්ධ කර නව අධිවේගී මාර්ග සම්බන්ධ කරන මාර්ග ජාලයක් ඉදි කරමින් පවතී. ඒ මුළු ව්‍යාපෘතියට වියදම රුපියල් දස ලක්ෂ 53000 කි.
මේ අයුරින් නාගරික මාර්ග සංවර්ධනයට මෙන් ම මෙරට ග්‍රාමීය මාර්ග සංවර්ධනයට වත්මන් රජය සුවිශේෂී ලෙස කටයුතු කර ඇත.
ඒ අනුව රුපියල් කෝටි 15000 ක වියදමින් මෙරට ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හා මෙතෙක් තිබූ ඒදඬු, වැල් පාලම් වෙනුවට නව පාලම් 5000 ක් දැන් ඉදිකරමින් පවතින බව ග්‍රාමීය රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පවසයි.
සමහර ‘යහපාලන’ දේශපාලනඥයන් පැවසූ අයුරින් මේ පාරවල් ‘කන්න’ නොවේ. එතෙර මෙතෙර ජනතාවගේ ගමනාගමන හා ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙනි. එය සැමගේ සතුටට පමණක් නොව රටේ දියුණුවට ද ඉවහල් වනු ඇත.