නිරෝධායන ඇඳිරිනීතිය රජය මගින් ප්‍රකාශයට පත්කෙරුණි. මගේ යතුරුපැදියේ පෙට්‍රල් ටැංකිය පිරෙන්නට තෙල් පුරවාගත් මා සීත කබායකින් ද ගත වසා ගනිමින් එළියට බැස්සේ රාත්‍රි 11.00 පමණය. ඉඳිකටු තුඩක් පොළොවේ පතිත වන හඬ ඇසෙන තරමට හාත්පස පැවතියේ දැඩි නිහඬ බවකි. ගුප්ත බවකි. නිශාවේ කාලවර්ණ අඳුර දුරු කරන්නට සඳ එළියවත් නොමැති අමාවක රැයකි. මිනිස් පුළුටක්වත් පේන මානයක නොසිටි අතර වෙනදාට මහ රෑ වනතුරු විවෘත කර තබන මරදානේ රෑ කඩ ද අගුලු දමා තිබුණි. මා හට වැඩි දුරක් යාමට නොහැකි විය. මරදාන පොලිසිය අසල පොලිස් නිලධාරීහු මාගේ යතුරුපැදිය නතර කළහ. ‘මිස් මේ දොගොඩහරි ජාමෙ කොහෙද යන්නේ. කරේ එල්ලාගෙන සිටි මාධ්‍ය හැඳුනුම්පත පෙන්වූ මා කාරණය පැහැදිලි කළෙමි.
මා නාලන්ද විදුහල අසලින් දෙමටගොඩ පැත්තට ගියේ බේස්ලයින් දුම්රිය මාර්ගය ද පසුකරමිනි. සීතල සුළ රැල්ලකින් මගේ ගතේ හිරිගඩු පිපුණි. හිසේ සිට මුළු ගතම රෙදි කඩමාල්ලකින් පොරවාගත් සිඟන්නෙක් කඩයක් අසල අගුපිලක සුවසේ නිදයි. දෙමටගොඩ ගුවන් පාලම අසල වීදි සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීහු මගේ ගමන මඳකට නවතාලූහ. පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයට යන මාවතේ කැලණි පාලම අසලින් ආපසු හැරෙනු දුටු පොලිස් මාර්ග බාධකයේ නිලධාරින් කඩිමුඩියේ මා වෙත පැමිණියහ. එකම වදන්පෙළ නැවත නැවත කියන්නට සිදු වූයේ නිදහසට කරුණු කියන්නටය.
කැලණි නදිය නිහඬව ගලා බසී. වෙලාව මහ රූ 12ට ආසන්නව තිබුණි. වෙනදාට කඩිගුලක් මෙන් කැලඹෙන කොලොම්පුරය මිනිස් වාසයෙන් තොර දුර ඈත නියම් ගමක් සේය. පාරේ බාධක නැති නිසා වේගයෙන් ගමන් කළ හැකිය. තුරුලතා එහෙට මෙහෙට නැළවෙමින් සිනාසෙන්නේ ආසිරි පවන් සලන්නාක් මෙනිය. මා පසුකරගෙන එක් මෝටර් රථයක් පෑලියගොඩ දෙසට ගමන් කළේය. ඔරුගොඩවත්ත මාවතට සමීපව මහා මාර්ගයේ ඉදිකර ඇති බුදුරුවේ රැස්මාලාව නෙක වර්ණ දල්වමින් අවට ඒකාලෝක කළේය.
මා පසුකරමින් වේගයෙන් ඇදුණු ගිලන් රථයේ නාදය පරිසරයේ නිහඬතාව බිඳ දමමින් මරහඬ තලමින් පියාඹා ගියේය. බොරැල්ල හන්දියේ බෝධිය මානයේ සරණ පරෙයි කුරුල්ලන් නින්දට ගොස් ඇත. බොරැල්ල බස් නැවතුම්පොලේ බිම වාඩිවී සිටියේ අත්රහිත හැට්ටයකින් හා කොට සායකින් සැරසුණු මැදි වයසේ ගැහැනියකි. එහා පැත්තේ නිදාගෙන සිටියේ එවැනිම වූ මැදි වයසේ පිරිමියෙකි.
බාහිර රෝගී අංශයේ සිට ප්‍රධාන පාරේ හදිසි අනතුරු අංශය ඉදිරියෙන් රෝහල් සේවකයන් දෙදෙනෙකු ට්‍රොලියක මිනියක් තල්ලු කරනු දුටුමි. මිනිය සුදු රෙද්දකින් සම්පූර්ණයෙන් වසා තිබුණි. රෝහල සීමාවේ නම් ගැහැනු පිරිමි කීප දෙනෙකුම මගේ ඇස ගැටුණි. සමහරු පැමිණ සිටියේ දුර සිට රෝගීන් බලන්නටය. සමහරු බෙහෙත් ගැනීමට පැමිණි අය ය. එතනින් ඉගිළුණු මම විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපස නගරසභාව ඉදිරියේ පිහිටි බුදුරුව සමීපයේ නතර වීමි. වෙනදාට ජනයාගෙන් අඩු නොවන ඇවිදින මංතීරු අද පාලුවට ගොසිනි. එක යායට විහිදුණු විදුලි බුබුළු මල් යාය නිල් තුරු වියනේ සුන්දරත්වය තව තවත් තීව්‍ර කරයි. කපුටන් පවා නින්දට ගිය සෙයකි. නගරසභාව ඉදිරිපස වවනු ලැබූ පැළවල නෙක වර්ණ මල් යායකි. සාමාන්‍ය දිනක මැදියම් රැයේ විහාරමහා දේවි උයනේ විනෝද වන ළමුන්, දෙමාපියන් කිසිවකුත් නැත. හාත්පස සිසාරා රජයන නිහඬ බව බිඳගෙන පැමිණි පොලිස් ජීප් රථයක් මා සමීපයේ නතර කෙරුණි.
ඩුප්ලිකේෂන් පාර දිගේ කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා ගමන් කළ මා හට ස්ථාන කිහිපයක නැවතී පොලිසියට, හමුදාවට උත්තර බඳින්නට සිදු විය. ඉඳහිට මහපාරේ එහා මෙහා යන වාහනයක්, යතුරු පැදියක් හැරෙන්නට මා පසුකර ගියේ ගිලන් රථ, පොලිස් වාහන පමණි.
ගාලු පාරේ සියලුම රාත්‍රී අවන්හල් වසා තිබුණි. බම්බලපිටියේ පාර අසල ජිප් රථයක් අසල පොලිස් නිලධාරින් තිදෙනෙකු දැක යතුරුපැදිය නැවැත්වූ මා ඔවුන්ගෙන් තොරතුරු විමසීමි. වෙනදාට ජනයාගෙන් පිරී යන ගාලු මුවදොර පිටිය පාලු අමු සොහොනක් සේය. පෙර දිනවල අහස අරා නැගෙන සරුංගල් ද නැත. අයිස්ක්‍රීම් හා කෙටි කෑම ජංගම රථ ද නැත. පිට්ටනිය පුරා ඔබමොබ දුවන දරුවන් ද නැත.
ඈත දියඹේ මුහුදු රළ නැගෙන බිඳෙන හඬ පමණක් සවනත වැකුණි. එහි සිටි පොලිස් නිලධාරින් කීවේ අනේ මිස්ලගේ රාජකාරියනේ කියාය. මා එතනින් පියෑඹුවේ කොම්පඤ්ඤවීදිය දෙසටය. ජනශුන්‍ය පාරවල ඇත්තේ සුනඛයන් පමණි. කිසිදු කඩයක් විවෘත කර නොතිබිණි.
මුළු කොළොම්පුරයම මීයට පිම්බාක් මෙනි. සිනමන් ලේක්සයිඩ් හෝටලය ඇතුළට ඇදෙන සුඛෝපභෝගී රථයකි. ලේක්හවුස් වටරවුම පසු කළ මා මෝදර වීදියෙන් වරාය මාර්ගයෙන් කොච්චි කඩේ පල්ලිය දක්වා ගමන් කළෙමි.
වෙනදාට දැල්වෙන ඉටිපන්දම් අද නැත. පිච්ච මල්මාලා ගොතන තරුණ තරුණියන් ද නැති අතර සියලුම කඩසාප්පු වසා තිබුණි. මහා මාර්ගයේ දැල්වුණ වීදි පහන්වල ආලෝකය නිශා අඳුර පහ කළේය. වීදි සරනා හමුදා වාහනයක් ද මා අසල නවතා තොරතුරු විමසන්නට විය. හෙට්ටි වීදියෙන් අඩි 100 පාර හරහා එද්දී ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිරිසක් කාණුවක් පරීක්ෂා කර මාර්ගය තීන්තවලින් සලකුණු කරනු පෙනුණි.
මේ සංචාරයේදී මට කතාබහට හමුවූයේ එකම කාන්තාවක් පමණි. ඇය මාලිගාවත්තේ ලක්හිරු සෙවනේ පදිංචි 42 හැවිරිදි කේ.ජී. මල්ලිකා ය. ඇය පාරට පැමිණියා කියන්නේ මෝදර කෝවිල් යාමට මල් කඩා ගැනීමටය. කැඩූ සුදු මල් උරයක් හා වට්ටියක් ඈ අත විය.
දැන් වෙලාව රාත්‍රී 2.22ය. මම රථවාහන පොලිසිය අසලින් ගමන් කරද්දී බස්රථ නොමැතිව හෝල්ට් එකේ රැඳී සිටින කිහිපදෙනෙකු යකඩ පුටු මත මදුරුවන් තලමින් නිදි කිරනු දක්නට ලැබුණි. අවුරුදු 25 පමණ තරුණයෙක් බෑග් එක කොට්ටයක් කරගෙන මර නින්දේය. නන්දසේන නාගසිංහ (71) බස් හෝල්ට් එකේ පුටුවක් මත සිටියේ නිවසට යාමට බස් නොමැති නිසාය.
“නැදෑ ගෙදරක ගියා. ඇඳිරි නීතිය කියලා දන්නෙ නෑ. ගෙදරට කතා කරලා කීවා. උදේ 4.00 ඉඳලා බස් ආවාම යනවා. කොරෝනා නිසානෙ ඇඳිරි නීතිය දාන්නෙ.“
සරත් ආනන්ද (55) කඩුවෙල සිට පැමිණියේ කොරෝනා එන්නත් ලබා ගැනීමටය.
“කොටුවට එද්දි බස් නැතුව අතරමං වුණා. උදේ වෙනකම් හෝල්ට් එකේ ඉන්න වෙනවා.“
ඊළඟට මා ගියේ නොනිදන අගනුවර රාත්‍රී කැලෑ පොළ දෙසයට. ඒ වනවිට විශාල වෙළඳුන් ප්‍රමාණයක් පැමිණ පොළ තුළ එළවළු, පලතුරු තබා වාඩි වී සිටියහ. සමහරුන්ට නින්ද ගොස්ය. තවත් අය ලොරි ඇතුලේ නිදි ය. කැලෑ පොළේ ප්‍රධාන සංවිධායක ආර්.ඒ. ආනන්ද (62) සිළුමිණට මෙසේ කීය.
“මේ පොළට ලංකාවෙ හැම පැත්තෙන්ම පිරිස් එනවා. මැනින් මාකට් පෑලියගොඩට ගියාට පස්සේ කොළඹ අයට ලාබෙට බඩු ගන්න තියෙන්නෙ මෙතන විතරයි. ඇඳිරි නීති අවසර පත්‍ර තියන නිසා පැමිණෙන්න වෙළඳාම් කරන්න ගැටලුවක් නෑ. මේකෙන් බඩු ගන්න මැති ඇමතිවරුත් එනවා. 400 විතර වෙළෙඳුන් ඉන්නවා. උදේ 4.00 වෙනකම් අපි පොළ ඇතුළෙ ඉන්නවා.“
කොටුව දෙසට යන මා හට බෑග් ඔසවාගත් තරුණයින් දෙදෙනෙක් හමුවිය. මාතර පදිංචි ෂෙහාන් පබසර (29) විවාහ වී සිටින්නේ කුලියාපිටියේ බවත් බස් නොමැති නිසා කුලියාපිටියේ සිට හලාවත පාරට රු. 700 වියදම් කර ත්‍රිවිලරයකින් පැමිණ, දුර බස් රථයක පෑලියගොඩට පැමිණ, පයින් ටික දුරක් ගොස් නැවත පිටකොටුවට පැමිණි අයෙකි. ගමනට රු. 2000 විතර වියදම් වුණත් තාමත් පිටකොටුවේය. කුලියාපිටියේ සිට කොළඹටම අය කරන්නේ රු. 300 පමණි.
දුම්රියපල ඉදිරිපස යකඩ පුටු මත පිරිමි කීපදෙනෙකි. එක් අයකු නිදාගෙන සිටියේය. ඩී.එම්. නිමල් රත්නසේකර (53) මාතර යුද හමුදා කඳවුරට යාමට පැමිණ සිටියේ ත්‍රිකුණාමලයේ සිටය.
“බස් 6ක ආවා. හමුදා වාහනවලින් අත්‍යවශ්‍ය සේවා බස්වලත් ආවා. හෙට උදේ නිවාඩුව ඉවරයි. කඹුරුපිටියේ කඳවුරට දුර නිසයි කලින් ආවේ. ඉස්සර ත්‍රිකුණාමලේ සිට මාතරට බස් තියනවා. ඇඳිරි නීතිය නිසා තමයි මේ කරදර වුණේ. රාජකාරියට යන්න ආවෙ. මේ රෝග දෙවියන්ටවත් වළක්වන්න බෑ. අපි පරිස්සම් විය යුතුයි.“
එස්.ටී. රිෂාන් (50) පැමිණ තිබුණේ නිකවැරටියේ සිටය. සපුගස්කන්දට පැමිණි බස් රථයකින් එහි ගොස් නැවත නිට්ටඹුවට ගොස් එතනින් කොළඹ පැමිණ ඇත. අතරමඟ පයින් ද සෑහෙන දුරක් ගොස් තිබුණි. සවස 6.30 නිකවැරටියෙන් පැමිණි රිෂාන් කොළඹට පැමිණ ඇත්තේ රෑ 10.45 ය.
චතුර රුවන් ප්‍රියදර්ශන (32) ගුවන් හමුදාවේ සිට මිනුවන්ගොඩට යාමට බස් නැතිව පිටකොටුවේ සිට මට හමුවූයේ පාන්දරය.
කොළඹ මහ රෝහලේ වැඩ බිමකට පැමිණි කේ.කේ. අජන්ත ගාමිණී (43) අගුණකොළ පැලැස්සට යාමට බස් නැතිව රස්තියාදු වී සිටියේය. ඔහු කීවේ මේ වගේ දෙයක් සිදු වූයේ ජීවිතයේ පළමු වතාවට බවය.
එස්.කේ. ලලිත් සුසන්ත (46) පොලොන්නරුවේ සිට කොළඹට පැමිණ තිබුණේ සුගතදාස ක්‍රීඩාංගණයට යාමටය. ඒ සිකුරිටි රස්සාවටය. බස් නොවරදී කෙළින්ම කොළඹට පැමිණ තිබුණේ ඔහු පමණකි.
මාලිගාකන්ද ජල සම්පාදනෙන් ජල කරාමයක් සැකසීමට පැමිණ තිබුණු තිලංග රුචිර කුමාර ඇතුළු පිරිස තාමත් වැඩය. පොලිස් මුරපල 12ක පමණ මාව නතර කරන ලදී.
දැන් වෙලාව පාන්දර 4.30 වේ. මා සිටින්නේ පිටකොටුව බෝගහ සමීපයේය. කපුටන්ගේ නාදයෙන් හාත්පස රජයන නිහැඬියාව බිඳිණි.