
දශක අටක ආයුෂ විඳීමෙන් අනතුරුව පුද්ගලයෙකු සෞඛ්‍ය හේතුවක් මත මිය යෑම විශ්මයක් යැයි කිව නොහැකිය. එවන් මරණයක් තවත් එක් වයෝවෘද්ධ මරණයක් ලෙස පුද්ගලික සන්තාපයට සීමා වීමට ඉඩ තිබියදී බොහෝ බහුශ්‍රැතයන් ඔහුගේ ගුණ සමරන්නේ නම් එම වියෝව සුවිශේෂී පුද්ගලයකුගේ විය යුතු ම ය.
2021 අගෝස්තු 18 වැනි දා අලුයම සිය දශක අටක ගමනේ කතා පෙට්ටිය නිහඩ කළ ඒ විශිෂ්ට සුවිශේෂී මිනිසා සෝමසිරි කස්තුරිආරච්චි නම් ය. රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වූ ජොහානිස් පෙරේරා සහ පොඩිනෝනා රොද්‍රිගූ යන යුවළට දාව 1940 ඔක්තෝම්බර් 07 වැනි දා උපත ලැබූ සෝමසිරි කස්තුරිආරච්චි, දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලේ බාලයා වූවේ ය. වැඩිමහල් සහෝදරියන් තිදෙනාගේ ආදරය මැද හැදී වැඩුණු සෝමසිරි අකුරට පා නැඟුවේ ගොතටුව මහා විද්‍යාලයට ය. පාසලේ දී සෝමසිරි නම් දැරූ දඟයෙකු වුවද කිසිසේත්ම අධ්‍යාපන කටයුතු අතපසු කළ නැත. තම පියා නිරතුරුව පොත් පත් නිවසට ගෙන ඒම නිසා සෝමසිරි කස්තුරිආරච්චිට කුඩා කල සිටම පොත පත කියැවීම ආගන්තුක කටයුත්තක් නොවීය. රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වූ පියා සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස ඇසුරු කරද්දී එම අත්දැකීම්වල කොටස් කරුවකු වන්නටද කුඩා සෝමසිරිට අවකාශ ලැබිණි. තවමත් ගංවතුර පාලනයෙහි ලා ප්‍රධාන මෙහෙයක් කරන ගොතටුව බන්ට් එක, සෝමසිරිගේ පියා විසින් ගොඩ නඟන ලද්දක් බව ඔහු නිරතුරුව පැවසුවේය.
1958 වර්ෂයේ දී ආහාර අමාත්‍යංශයේ සමූපකාර කළමණාකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන සෝමසිරි කස්තුරිආරච්චි සිය ජීවන ජිවීන විලාසිතාව ලේඛන කෞෂල්‍ය බව හැඳින සිටියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර තුනකින් ආහාර අමාත්‍යාංශයේ රැකියාවට සමු දෙන ඔහු දවස පුවත්පතේ වැල්ලම්පිටිය වාර්තා කරු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹුවේය. පුවත්පත් කතුවරයෙකු ලෙස සෝමසිරි කස්තුරිආරච්චිගේ නම කියැවෙන්නට පටන් ගත්තේ 1980 වසරේදී ය. ඔහු රචනා කළ 'වයිරා හීනෙන් බයවෙලා' ළමා කෘතිය වෙනස්ම ආකාරයක ළමා කෘති ශෛලයක් ජනගත කෙරීය. එම අනන්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස එම කෘතිය දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලට පසුව පරිවර්තනය කෙරිණි. හොඳ සුදු පුතා, ජන නායක පොඩිත්තා, මව් ගුණය, මුල්ම අධ්‍යාපන ඇමති කන්නංගර මමයි, පන්සලේ පියතුමා, වෙසක් කැකුළු අතු අග හිඳ, කළුකොඳයාවේ ශ්‍රී පඥාසේකර අපදානය වැනි කෘති ගණනාවක් ඔහුගේ අතින් ලියැවිණි.
ග්‍රන්ත කර්තෘවරයකුගේ භූමිකාවට වඩා මෙරට පාඨක සමාජය සෝමසිරි කස්තුරිආරච්චිව හඳුනා ගන්නේ විශිෂ්ට පුවත්පත් විශේෂාංග ලේඛකයකු ලෙසය. 'ඉතිහාසෙ දවසක පිටුවක්' යන නමින් ඔහු විසින් රිවිර පුවත්පතට සතිපතා ලියූ තීරු ලිපිය බෙහෙවින් පාඨක ප්‍රසාදය දිනා ගන්නට සමත් විය. එමෙන්ම සිළුමිණ, දිවයින, රැස, සුබසෙත වැනි පුවත්පත්වලට සිය නිර්මාණ දායකත්වය ලබා දුන් සෝමසිරි කස්තුරිආරච්චි, පසුගිය සති අන්තය දක්වාම ලංකාදීප පුවත්පතට විශේෂාංග රචනා කළේය. මෙලෙස මෙරට ප්‍රමුඛ පුවත්පත් ආයතන සියල්ල සමඟම කිට්ටු සම්බන්ධතාවක් පවත්වා ගත් කස්තුරිආරච්චි මහතා එම ආයතනවල සියලු දෙනාට සුපුරුදු දසුනක් විය.
ලා කහ පැහැයට හුරු ජාතික ඇඳුමකින් සෑමවිටම සැරසී සිටි ඔහු අත නිරතුරුව රැඳි ගමන් මල්ල තුල මෙරට පුස්තකාලවලින්වත් සොයා ගත නොහැකි තරමේ දුර්ලභ ලේඛන, ඡායාරූප රැසක් ගබඩාව තිබූ බව පුවත්පත් සගයෝ හොඳින්ම දැන සිටියහ. අති විශිෂ්ඨ ස්මරණ ශක්තියක් තිබූ ඔහුව 'ඇවිදින කතා පෙට්ටියක්' ලෙස බොහෝ දෙන හැඳින්වීම අරුමයක් නොවේ. අවුරුදු 80ක් සපිරුණු අවස්ථාවේදී පවා තරුණයෙකු ලෙස කඩිසරව සහ ප්‍රසන්නව සිය ලේඛන කටයුතුවල නිරත වූ සෝමසිරි කස්තුරිආරච්චි මහතා, දිවි සැරිය අවසන් කරන තෙක්ම තරුණ සිතක් සහ අල්පේච්ඡ ජීවිතයක් තිබූ සහෘදයෙකු බව ඔහු ගැන දන්නා, ඇසුරු කළ සෑම දෙනාගේම පිළිගැනීමයි. ඇඳුමෙන් පැළඳුමෙන් සාම්ප්‍රදායික වූ නමුත් ලේඛනයේදී සහ ක්‍රියාශීලීත්වයේදී ඔහු සැබැවින්ම ආදරණීය දඩබ්බයෙකු වූවේය.
බිරිය අනුලා කස්තුරිආරච්චි මහත්මිය සමඟ සිය දිවිය බෙදා හදා ගත් සෝමසිරි කස්තුරිආරච්චි මහතාට ගයානි කස්තුරිආරච්චි, ගයාත්‍රි නවෝදා නම් වූ දියණියන් දෙදෙනෙක් සිටිති. සුචරිත ජය ශ්‍රී යනු ඔහුගෙ එකම පුතාගේ නම යි.
දශක අටක සිය දිවි ගමන අවසන් වන තෙක්ම ඉතාම නිරෝගී පුද්ගලයකු වූ සෝමසිරි කස්තුරිආරච්චි සහෘදයා මීට සති කිහිපයකට පෙර හඳුනාගත් රෝගයක්ට ප්‍රතිකාර කිරීම සඳහා හිසේ සිදු කළ සැත්මකින් අනතුරුව සිහිය නොලබාම ආයුෂ අත්හැර තිබිණි. නමුත් ඔහුගේ ජීවිත කාලය තුළ නිර්මණය කර ඉතිරි කර ගිය විශිෂ්ඨ ලේඛන සහ හිතවතුන්ගේ හදවත්වල ඉතිරි කර ගිය සුන්දර මතකයන් නම් ඉතිහාසයේ සාක්ෂි තුළ අත්නොහැරී ලියැවෙනු ඇත.