ඇෆ්ගනිස්තානය තලේබාන් සතුවීම කලාපයේ ආරක්ෂාවට අභියෝගයක් | සිළුමිණ

ඇෆ්ගනිස්තානය තලේබාන් සතුවීම කලාපයේ ආරක්ෂාවට අභියෝගයක්

“ඔබට ඔබේ සතුරා සමඟ සුහදතාවය ඇති කර ගැනීමට උවමනා නම්, ඔබ සතුරා සමඟ එක්ව වැඩ කළ යුතු ය. එවිට ඔහු ඔබේ හවුල්කරුවා වනු ඇත.” - නෙල්සන් මැන්ඩේලා ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගැනීමට තලේබාන්වරුන් සමත්වීමත් සමඟ එ‍රටේ ඇමෙරිකානු හමුදා ඉවත් වීම බලාපොරොත්තු වූවාටත් කලින් සිදු වූ අතර මෙම හිඩැස දකුණු ආසියාවේ බල තුලනයේ බලගතු පරිවර්තනයකට තුඩුදී ඇත. ඇෆ්ගනිස්ථානය ද, සාමාජිකත්වය දරන දකුණු ආසියානු ජාතීන්ගේ සහයෝගිතා සංවිධානය (SAARC) මේ බාරදූර අවස්ථාවේදී වැදගත් කාර්ය භාරයක් ඉටු කළ යුතුව තිබුණ ද එය එසේ නොවන්නේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පසමිතුරුකම නිසා කලාපීය සංවිධානය අක්‍රිය වී ඇති බැවිනි.

 

කාබුල් නගරයේ බලය අත්පත් කරගැනීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී තලේබාන් නායකයින් සිය දැඩි මතධාරී ආකල්පය ලිහිල් කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් ඉදිරියේදී කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමේ ප්‍රතිපත්තිය අනුගමනය නොකරන බවත් තරුණියන්ට ද පාසල් අධ්‍යාපනය නොකඩවා කරගෙන යාමට අවසර දෙන බවය. එසේම පැරැණි රජයේ සේවය කළ රාජ්‍ය සේවකයින්ට සමාවදී දිගටම රාජකාරි කිරීමට අවසර දෙන බව ය.

කෙසේ වුව ද බොහෝ දෙනා තලේබාන්වරුන්ගේ මෙම පොරොන්දු පිළිගැනීමට සූදානම් නොවන්නේ අතීතයේ තලේබාන් ක්‍රියාකාරීකම්වල අත්දැකීම් අමතක වී නැති බැවිනි. “තලේබාන් නායකත්වය සිය පොරොන්දු කෙලෙස ඉටුකරන්නේ දැයි අපි බලා සිටින්නෙමු.” යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂේල් බැච්ලේ මහත්මියගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මීට දශක දෙකකට පෙර ඇෆ්ගනිස්ථානයේ බලය හිමිව තිබූ අවස්ථාවේදී තලේබාන් නායක මුල්ලා මොහොමඩ් ඔමාර්ගේ රජය කාලයේදී ලෝ ප්‍රකට උරුමයක් වූ බාමියන් ශෛලමය බුද්ධ ප්‍රතිමා විනාශ කළ අන්දම බෞද්ධ ලෝකයට අමතක වී නැත.

තලේබාන් නායකයින් කුමන පොරොන්දුවක් දුන්නද එහි සාමාජිකයින් අවි බලයෙන් සහ ජයග්‍රහණයෙන් මත්ව සිටින බව ඔවුන්ගේ හික්මීමකින් තොර ක්‍රියාවලින් ඔප්පුවේ. බුර්කා පැළඳ නොගත් කාන්තාවකට වෙඩි තබා මරා දැමූ බව ද වාර්තා විය.

තරුණ තලේබාන් කණ්ඩායම් මුදල් හා රන් භාණ්ඩ මංකොල්ල කන බව ද දේපළ විනාශ කරන බව ද මාධ්‍යවේදීහු පෙන්වා දෙති. මේ තත්ත්වය යටතේ කාබුල් පාලනය නිසි ලෙස ස්ථාපිත වීමට කලක් ගතවන බව පෙනේ.

ඇෆ්ගනිස්ථානයේ සාමකාමී පාලනයක් ඇති වනු දැකීම ලෝක ජාතීන්ගේ අභිලාෂය වුව ද ඒ සඳහා ගැළපෙන මැදිහත්කරුවෙකු සොයා ගැනීම ද දුෂ්කර වී තිබේ. කලාපයේ ප්‍රබලම සංවිධානය ලෙස දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (SARRC) හැඳින්විය හැකි වුව ද එය ඉන්දියාව සහ පකිස්තානය අතර අර්බුදය නිසා අක්‍රියවී ඇත. මේ පසුබිම යටතේ සාක් සංවිධානයේ මැදිහත් වීමකට පකිස්තානය එකඟ නොවන අතර තලේබාන් නායකයින් සමඟ පකිස්තාන් ඔත්තු සේවය හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බැවින් ඉන්දියාව සාමාජිකත්වය දරන සාක් සංවිධානයේ මැදිහත්වීම හා ඔවුන් ඉඩ දෙනු ඇතැයි විශ්වාස කළ නොහැක.

ඒ අතරම අර්බුදය වඩාත් සංකීර්ණවී ඇත්තේ පාකිස්තානය වෙනම සමුළුවක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීම නිසාය. ඇෆ්ගන් ප්‍රශ්නය නිරාකරණය සඳහා අසල්වැසි රටවල් වන පාකිස්තානය, ඉරානය, තුර්කිය, චීනය සහ රුසියාව යන රටවල් විදේශ ඇමැති සාකච්ඡාවක් පැවැත්වීමට ඉස්ලාම්බාද් රජය යෝජනා කර ඇත. එහි පැහැදිලි අරමුණ ඇෆ්ගන් ප්‍රශ්නය විසඳීමේ ප්‍රයත්නයන්ගෙන් ඉන්දියාව ඈත්කර තැබීමය. කෙසේ වුව ද ඉන්දියාව මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා පවත්වා ඇත. එක්සත් ජාතීන්ගේ මහ සභාවේ නූතන සැසියේදී ඉන්දියානු විදේශ ඇමැති සුබ්‍රමනියම් ජයිශන්කර් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇ‍ෆ්ගනිස්තානයේ වසන ඉන්දියානු ජාතිකයින් ඉවත් කර ගැනීම සඳහා ඇමෙරිකානු සහය ඉල්ලා ඇත. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් එයට එකඟත්වය පළකර ඇත. විදේශිකයින් ඉවත් කර ගැනීමේ කටයුතු අවසන් වන තුරු කාබුල් ගුවන් තොටුපළ ඇමෙරිකානු හමුදා ආරක්ෂාව යටතේ පවත්වාගෙන යන බව ද ජනපති ජෝ බයිඩන් සහතික කර ඇත.

කෙසේ වුව ද කලින් පැවති රජයටත් ඇමෙරිකානු හමුදාවටත් දිගටම සහය දුන් ඇෆ්ගන් ජාතිකයින් අනාගතය සුරක්ෂිත නොවන බව විචාරකයින්ගේ අදහස වේ. තලේබාන් නායකත්වය කුමන සහතිකයක් දුන්නද ඇමෙරිකාවට සහාය දුන් ඇෆ්ගන් වැසියන්ගෙන් පලිගැනීම් සිදුවනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා බදාදා ඇෆ්ගනිස්තාන් හිටපු ජනාධිපති හමීඩ් කර්සායිට දුරකථනයෙන් කතාකර එර‍ටේ නූතන තත්ත්වය ගැන විමසීමෙන් පසු ඇෆ්ගන් ජනතාවට ශ්‍රී ලංකාවේ සහයෝගය යළි සනාථ කළේ ය. ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ඝානි (ASHRAF GHANI) රටින් පලාගිය අතර හිටපු ජනාධිපති කර්සායි සහ අබ්දුල්ලා යන නායක දෙපළ රටේ පාලනය සාමකාමී ලෙස පැවරීමට මැදිහත්ව සිටිති.

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයේ සිද්ධීන් ගැන දක්වන දැඩි උනන්දුව අගමැතිතුමා හිටපු ඇෆ්ගන් ජනපති සමඟ කළ සාකච්ඡාවෙන් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම අරමුණ එ‍ර‍ටේ වසන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමය. ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙක් පමණ ඇෆ්ගනිස්තානයේ වසන බව විදේශ අමාත්‍යංශය පැවසීය. ඔවුන් අතර ඇමෙරිකානු හමුදාවටත්, එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවලටත් සේවය කළ පිරිස් ඇතුළත් ය.

ඉන්දියානු රජය ඇ‍ෆ්ගනිස්තානයේ වසන ඉන්දියානුවන් ඉවත් කර ගැනීම සඳහා ගුවන් යානා යැවීම ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියාවේ සහය ඉල්ලා ඇත. කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ තවමත් ඇමෙරිකානු හමුදා යටතේ පවතින බැවින් ගුවන් ගමන් සඳහා සහය පළ කිරීමට එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා එකඟත්වය පළ කර ඇත.

කාබුල් නුවර තානාපති කාර්යාල වසා දමා තානාපති නිලධාරීන්ව ඉවත් කර ගත් නමුත් චීනය, පකිස්තානය සහ රුසියාව දිගටම සිය තානාපති කාර්යාල විවෘතව තබා ඇත. ඒවාට ආරක්ෂාව සපයන බව තලේබාන්වරුන් සහතික කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් අන්තවාදීන් ශක්තිමත් වූවේ මීට දශක 4 කට පෙර සෝවියට් හමුදා එරට අල්ලාගත් පසු එම හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකාව මුජහිද්දීන් අන්තවාදීන්ට මුදල් සහ අවි සැපයූ බැවිනි. ඇමෙරිකාවට එරෙහිව එම අවිම උපයෝගි කරගැනීමට අල් කයිදා අන්තවාදීන්ට හැකිවිය. අන්තවාදී අල් කයිදාවරුන්ට සවුදි අරාබියේ සහ පකිස්තානයේ ද අනුග්‍රහය ලැබුණේ ඇමෙරිකාවේ සහය ලැබුණ නිසා ය.

එහෙත් 2001 සැප්තැම්බර් 11 මරාගෙන මැරෙන අල් කයිදා ප්‍රහාර ඇමෙරිකාවට එල්ලවූ පසු තත්වය වෙනස් විය. ඇෆ්ගනිස්ථානයේ කඳුකරයේ තිබූ අල් කයිදා කඳවුරුවලට ඇමෙරිකානු හමුදා විසින් දැඩි ප්‍රහාර එල්ල කිරීම නිසා සිවිල් වැසියන් ද විශාල වශයෙන් මරුමුවට පත්විය. එබැවින් ඇෆ්ගන් ජනතාව තුළ දැඩි ඇමෙරිකානු විරෝධී හැඟීම් උත්පාදනය වූ අතර එහි වාසිය ලැබුණේ අන්තවාදී තලේබාන් වරුන්ටය.

අද තලේබාන්වරුන්ට ඇෆ්ගනිස්ථානයේ බලය යළි අත්කරගත හැකිවී තිබෙන්නේ ඇමෙරිකාවේ වැරදි තීරණ සහ ඇඟිලි ගැසීම් නිසාය. එම නිසා දැන් දකුණු ආසියානු කලාපයේම සුරක්ෂිතතාවයට අභියෝගයක් එල්ල වී ඇත.


 

Comments