නික්ම ගිය ඇවිදින පුස්තකාලය සෝමසිරි කස්තුරිආරච්චි | Page 3 | සිළුමිණ

නික්ම ගිය ඇවිදින පුස්තකාලය සෝමසිරි කස්තුරිආරච්චි

 

මාගේ මතකය මීට දශක තුනකට පමණ ඈතට විහිදී යයි. ඒ මාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිත වකවානුවයි. 80 දශකය මුල භාගයේ දවස පුවත්පත වැසීයාම සමඟ එම නාමඵලකයේ ආකෘතියට සමාන "දිවැස" නමින් පුවත්පතක් මට හමුවිය. සන්නිවේදනයේ අලුත් අත්හදා බැලීමක් වූ මෙය නිසා මම ඔහු සොයා ගියෙමි. විශ්වවිද්‍යාලයේ සිට ඔහු හමුවීමට ගිය දිනය මට තව ම මතකය. මා ඔහු මුලින් ම හඳුනා ගත්තේ එදින ය. එම වර්ගයේ ප්‍රචාරක පුවත්පත් මට ප්‍රදානය කළ අපේ ඒ හිතවතා ඔහුගේ නිවසේ වූ පොත්පත්, සඟරා හා පුවත්පත් අති සමූහය මැදින් මා වෙත පැමිණියේ ය. මා සහ ඔහු විවිධ මාධ්‍ය තොරතුරු, සමාජ ව්‍යාපාරවල තොරතුරු, ඓතිහාසික සමාජ ව්‍යාපාරවල තොරතුරු කතා කළෙමි.

 

විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ පසු මාගේ පර්යේෂණ, නිර්මාණ කටයුතුවලට ඔහු දායකත්වය ලබා දුණි. අනගාරික ධර්මපාල අනුස්මරණය, ජාතික ව්‍යාපාර මාධ්‍ය පිළිබඳව අධ්‍යයන, එස්. මහින්ද හිමි පිළිබඳ අධ්‍යයනය, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා පිළිබඳ අධ්‍යයන ආදී වශයෙන් මාගේ පර්යේෂණ කටයුතුවලට නො මසුරු දායකත්වය ලබා දුණි. දුර්ලභ ඡායාරූප, පැරණි පුවත්පත්, අතිශය දුර්ලභ මූලාශ්‍ර මා වෙත ලබා දෙමින්, ඒවා පිළිබඳව විස්තර සපයමින් මා හට අවශ්‍ය සහයෝගය ලබා දුණි.

සෝමසිරි කස්තුරිආරච්චි මහතා ඒ සියල්ල සමඟ සිළුමිණ, ලංකාදීප, දිවයින, සියදෙස ඇතුළු පුවත්පත් සමූහයකට දීර්ඝ විශ්ලේෂණාත්මක ලිපි ලේඛන ලිව්වේ ය. ඔහු කී පරිදි පුවත්පත් කලා දිවියට ඔහු එකතු වූයේ 60 දශකයේ ඇරඹුණු ඩී.බී.ධනපාලගේ නායකත්වයෙන් ප්‍රකාශයට පත් වුණු දවස පුවත්පත සමඟ ය. ඔහු වැල්ලම්පිටිය දවස ප්‍රවෘත්ති ලේඛකයා විය.

සෝමසිරි මහතා සැමවිට ම බොහෝ අලුත් දේ අතීතය හා ගළපා කරුණු ඉදිරිපත් කළේය. ඔහු නිරන්තරයෙන් පරිණත වැඩිහිටි ලේඛකයන් ඇසුරු කළ පුද්ගලයකු විය. එම ලේඛකයන්ගේ ඇසුර නිතර සිහිපත් කරන කිරීමට ඔහු යොමු විය. මෙසේ ජාතික නිදහස, ජාතික අරගලය, දෙස බස රැස ගැන මහත් උනන්දුවෙන් කටයුතු කළ ඔහු, ඒ වෙනුවෙන් සිය පෑන නොමසුරුව භාවිත කළේය. අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම සංවස්තරය වෙනුවෙන් මා විසින් සංස්කරණය කළ ඡායාරූපමය ග්‍රන්ථයට සම්පත් දායකයකු ලෙස දායක විය.

එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙස අප විසින් මෙහෙය වූ පරිසංවාදය හා රාජ්‍ය උත්සවය සංවිධාන කිරීමේ දී එතුමා කළ කැපවීම හා ලබා දුන් සහයෝගය සිහිපත් කරනු කැමැත්තෙමි.

මෑතකදී ඔහු හා කතා කළ හැම විට ම බොහෝ දේවල් කිරීමට අප සාකච්ඡා කර ගතිමු.

කාල අවකාශ කුරිරු වී ඇත. සෝමසිරි මහතා හදිසි අනතුරකට පත් ව රෝහල්ගත කළේ යැයි ඔහුගේ පවුලේ හිතවතකු මට දන්වන ලදි. ඒ වන විට කළ හැකි ව තිබුණේ දන්නා වෛද්‍යවරයකුට ඒ බව දැන්වීමත් ඔහුට නිදුක් නීරෝගි සුව පැතීමත් ය. දින ගණනකින් පසු ඔහු හදිසියේ ම අප අතරින් වියෝ වූ බව මට දන්වන ලද්දේ පුවත්පත් මණ්ඩලයේ නිරෝෂන් ය.

කාලය අවකාශය විසින් අතීතයේ කළ කී බොහෝ දේ සමඟින් ඒ උත්සහවන්ත සහ ධෛර්යවන්ත පුද්ගලයා සිය පෑනට සමු දුන්නේ ය.

Comments