රට කිරිපිටි අර්බුදේ මොකද්ද මේ කලබලේ | Page 2 | සිළුමිණ

රට කිරිපිටි අර්බුදේ මොකද්ද මේ කලබලේ

කිරිපිටිවල ආනයනික බදු ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය කිරිපිටි හිඟය කියන්නේ කිරිපිටි ආනයනකරුවන්ගේ මාෆියාවක්
- පැලවත්ත කිරි නිෂ්පාදන සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක

දේශීය කිරිපිටි නිෂ්පාදනයෙන් සපුරාලිය හැක්කේ කිරිපිටි ඉල්ලුමෙන් 20%ක් පමණයි
- පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර

කිරිපිටි කිලෝ 1කින් තේ කෝප්ප 40ක් හදනවා. ඒත් කෝප්ප 40කට දියර කිරි අවශ්‍ය වෙන්නේ ලීටර් 2 1/2 යි. ඒ නිසා දියර කිරි පාවිච්චි කිරීම පාරිභෝගිකයන්ට වාසිදායකයි. පිරිමැසුම්දායකයි. 
- මිල්කෝ සභාපති, ලසන්ත වික්‍රමසිංහ

සේවකයන් කොවිඩ් රෝගයට ගොදුරු වීම නිසා මෙට්‍රික් ටොන් 100 වෙනුවට නිපදවන්නේ මෙට්‍රික් ටොන් 15යි 
- ෆොන්ටේරා සමාගමේ ඛාණ්ඩ කළමනාකරු, දිනිත් පතිරණ

ද දවසේ මතු වී තිබෙන අලුත්ම අර්බුදය වන්නේ කිරිපිටි හිඟයයි. ගමේ කඩේ සිට නගරයේ සුපිරි වෙළඳසැල දක්වා කිරිපිටි සොයා ගෙන ඒ මේ අත දිව යන පිරිස අද අපට දැක ගත හැකිය. දුම්රියේ, බස්රියේ මඟතොටේ යනෙන බොහෝදෙනකුගේ මාතෘකාව වී තිබෙන්නේ තම දරුවන්ට කිරිපිටි ලබා ගැනීම පිළිබඳවයි.

රටේ පවතින කිරිපිටි අර්බුදය නිසාම කිරිපිටි ආනයනය කිරීමේ බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී දැනුම් දෙනු ලැබීය. කිරිපිටි මිල වැඩි නොකර රජයට ලබාගන්නා ආදායම අඩු කර හෝ ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණෙන් මෙම බද්ද ඉවත් කළ බව තවදුරටත් ඔහු සඳහන් කළේය.

කිරිපිටි පානය කිරීම දියවැඩියාව, අධික ස්ථුලතාව වැනි රෝග රැසකට හේතු වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙන නමුත් දරුවන්ගේ බුද්ධි වර්ධනය හා ක්‍රියාශීලිත්වයට කිරිපිටි හේතු වන බව කියාපාන ප්‍රචාරණ කලාවත් සමඟ බොහෝ දෙනකු පෙලඹී සිටින්නේ කිරිපිටි මිල දී ගැනීමට ය. වැඩිහිටි පිරිසගේ අදහස වන්නේ ඔවුන්ට තේ කහට කෝප්පයකින් සප්පායම් විය හැකි වුවත් දරුවන්ට කිරි කෝප්පයක් අත්‍යවශ්‍යයෙන් දිය යුතු බවයි. එහෙත් අද කිරිපිටි මිල දී ගැනීමට එය වෙළඳපොළේ නැත.

“කවුද කියන්නේ කිරිපිටි හිඟයක් තියෙනවා කියලා. කිරිපිටි හිඟයක් කියලා ජනතාව බොරුවට බය කරන්න එපා. අපේ කිරිපිටි ඕනෑ තරම් තියෙනවා. අපි දවසකට ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 75,000ක් වෙළෙඳපොළට දානවා. දවසකට මෙට්‍රික් ටොන් 30ක් දානවා. අපි රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම රසකාරක කිසිවක් කවලම් කරන්නේ නැතිව කිරිපිටි නිෂ්පාදනය කරන්නේ. ඒනිසා අපේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපේ සමාගම කිරිපිටි අපනයනය කරන්න තව ෆැක්ටරියක් හදන්න ඉන්නේ. මෙතන තියෙන්නේ ඇත්තටම කිරිපිටි හිඟයක් නොවෙයි. කිරිපිටි ආනයනය කරන හොරුන්ගේ මාෆියාවක්.“ යනුවෙන් පැවසුවේ පැලවත්ත කිරි නිෂ්පාදන සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක ය.

පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම දේශීය දියර කිරි එකතු කර කිරිපිටි නිෂ්පාදනය කරන අපේම සමාගමක් බව මෙහිදී අප අමතක නොකළ යුතුය. මිල්කෝ ආයතනය ද දේශීය කිරි ගොවින්ගෙන් දියර කිරි එකතු කර කිරිපිටි ඇතුළු කිරි නිපැයුම් නිෂ්පාදනය කරන සමාගමකි. මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ සම්බන්ධ කරගනු ලැබුවේ වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය සැබෑ අර්බුදයක් ද ආනයනය කරන සමාගම්වල ගැටලුවක් ද කියා දැනගැනීමේ අටියෙනි.

“මිල්කෝ ආයතනය දේශීය කිරි එකතු කරලා කිරිපිටි නිෂ්පාදනය කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේත් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩවම කළා. ගොවියන්ගේ කිරි අපතේ ගියේ නැහැ. ඒත් අපිට රටේ සම්පූර්ණ කිරිපිටි අවශ්‍යතාව සම්පූර්ණ කරන්න හැකියාවක් නැහැ. ඉල්ලුමට සරිලන ආකාරයට සපයන්න ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය කරගන්න බැහැ. ඒනිසා තමයි වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි විකුණන්නේ. ඒත් මේ දිනවල ආනයනික කිරිපිටි හිඟයක් වෙළෙඳපොළේ තිබෙනවා. ඒනිසා සමහරු අපේ කිරිපිටි තොග හැටියට ගෙනිහින් ගෙවල්වල තියා ගන්නවා. එතකොට කඩේට යන අනිත් කෙනාට ගන්න අපේ දේශීය කිරිපිටි පැකට්වත් නැතිව යනවා. ඒනිසා පාරිභෝගිකයන්ගෙන් මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා කිරිපිටි තොග වශයෙන් අරගෙන රැස් කරගන්න එපා කියලා.“ යනුවෙන් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ පවසමින් ඉල්ලීමක් කිරීමට ද අමතක කළේ නැත.

වෙළෙඳපොළේ කිරිපිටි අවශ්‍යතාව සපුරාලන දේශීය සමාගම් අඛණ්ඩව නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින බැවින් එකී සමාගම්වලින් කිරිපිටි ප්‍රශ්නයක් ඇති වී නැත. ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ආනයනික කිරිපිටි සම්බන්ධයෙනි. ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාරගෙන් විමසුවේ එම නිසාය.

“ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට ඒ කිරිපිටි සමාගම් ඉල්ලීමක් කළා. ඒත් රටේ පවතින මේ වාතාවරණය තුළ කිරිපිටි මිල ඉහළ දැම්මොත් ජනතාව පීඩාවට පත්වෙන නිසා පාරිභෝගික සේවා අධිකාරිය ඊට අවසර දුන්නේ නැහැ. ඒත් ඩොලරයේ අගය වෙනස්වීම සමඟ දැරිය යුතු මිල ගණන් වෙනස් වීමෙන් කිරිපිටි ගෙන්වන ප්‍රමාණය අඩු වුණා. අපේ රටේ කිරිපිටි නිෂ්පාදනය කළත් දේශීය වෙළෙඳපොළේ කිරිපිටි ඉල්ලුමෙන් 20%ක් වැනි ප්‍රමාණයක් පමණයි සපුරාලීමට හැකි වී තිබෙන්නේ. ඒනිසා පාරිභෝගිකයන්ට කිරිපිටි මිල දී ගැනීමට නොහැකිව හිඟයක් ඇති වෙලා තියෙනවා. මේ වෙලාවේදී පාරිභෝගිකයන්ට යම් යම් විකල්පවලට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. මොකද ආනයන සීමා කිරීම්, ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම් වැනි ක්‍රියාමාර්ගවලට ගියොත් තවතවත් පීඩාවට පත් වෙන්නේ පාරිභෝගිකයන්මයි. දියර කිරි භාවිතය වැනි විකල්ප කරා යෑමෙන් පාරිභෝගිකයන්ට යම් සහනයක් සලසා ගත හැකියි.“ යනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර විස්තර කළේය.

කිරිපිටි ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක් තිබේ. නමුත් කාලයක් කිරිපිටි ආනයනය කළ ප්‍රමුඛ සමාගමක් වන නෙස්ලේ ලංකා සමාගම ඉන් ඉවත් වී තිබෙන්නේ වසර ගණනාවකට පෙර සිටය. මෙම සමාගම මෙරට කිරිපිටි නිෂ්පාදනය අරඹා ඇතත් දැන් මාස 6, 7ක් වැනි කාලයක සිට එය ද නවතා දමා ඇත. එබැවින් ආනයනික කිරිපිටි පිළිබඳව නෙස්ලේ සමාගමෙන් විමසා ඵලක් නැත.

ලංකාවේ ඉතාමත් ජනප්‍රිය මෙන් ම අලෙවියෙන් ඉදිරියෙන් සිටින කිරිපිටි වර්ග 2ක්ම ආනයනය කරන ෆොන්ටේරා සමාගමෙන් අදහස් විමසුවේ එබැවිනි.

“මේ දවස්වල වෙළඳපොළේ අපේ කිරිපිටි නැති තරම්. ඇත්තටම හිඟයක් තියෙනවා. ගොඩාක් දෙනා කියන්නේ මිල ඉහළ දැමීමට අවසර නුදුන් නිසා කිරිපිටි ගෙන්වන්නේ නැහැ කියලා. ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවෙලා තියෙන නිසා ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒත් අපි කිරිපිටි ගෙන්වන්නේ මව් සමාගමෙන්. ඒ නිසා අපිට කිරිපිටි ආනයනය කිරීමේ ගැටලුවක් නැහැ. අපිට ඇතිවෙලා තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි කොවිඩ්. අපේ බියගම ප්ලාන්ට් එකේ 24 දෙනාගෙන් 18 දෙනකුට කොවිඩ් හැදිලා. අපි දවසකට කිරිපිටි මෙට්‍රික් ටොන් 100ක් නිෂ්පාදනය කරනවා. දැන් නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 15යි. දැන් අපි ළඟ ඉන්න 6 දෙනාත් කොවිඩ් රෝගයට ගොදුරු වුණොත් අපිට ටොන් 1ක්වත් නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා.“ යනුවෙන් තොරතුරු අනාවරණය කළේ ෆොන්ටේරා සමාගමේ ඛාණ්ඩ කළමනාකරු දිනිත් පතිරණය.

සේවකයන් කොවිඩ් රෝගයට ගොදුරු වීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීම නිසා කිරිපිටි හිඟයක් ඇති විය හැකිය. එමෙන්ම ආනයනික සීමා පැනවීම, ඩොලරයේ අගය ඉහළ යෑම වැනි විවිධ හේතු නිසා ද මෙරට වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි හිඟයක් ඇති වීමේ සම්භාවිතාවක් පවතී. එබැවින් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර සඳහන් කළ ආකාරයට විකල්පවලට හැඩ ගැසීම කාලෝචිත ක්‍රියා මාර්ගයකි.

“ඇත්තටම අපේ රටේ ජනතාව දියර කිරි භාවිතයට හුරු වෙනවා නම් මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලබා ගන්න පුළුවන්. කිරිපිටි කිලෝ 1ක් හදන්න කිරි ලීටර් 8ක් අවශ්‍ය වෙනවා. ඒකට නිෂ්පාදන පිරිවැය වැඩියි. කිරිපිටි කිලෝ 1කින් තේ කෝප්ප 40ක් හදන්න පුළුවනි. තේ කෝප්පයක් කියන්නේ මිලි ලීටර් 180ක්. දියර කිරි කවලම් කරලා තේ හදනවා නම් දියර කිරි මිලි ලීටර් 60කට කහට මිලි ලීටර් 120ක් එකතු කරලා තේ හදාගන්න පුළුවන්. එතකොට තේ කෝප්ප 40ක් හදාගන්න අවශ්‍ය වෙන්නේ දියර කිරි ලීටර් 2 1/2යි. ඒ නිසා දියර කිරි පාවිච්චි කිරීම පාරිභෝගිකයන්ට වාසිදායකයි. පිරිමැසුම්දායකයි.“ යනුවෙන් පැවසුවේ මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ය.

එහෙත් මේ වන විට කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරීම හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව දේශීය වෙළෙඳපොළට කිරිපිටි තොග ගෙන්වීම සඳහා රජය පියවර ගෙන තිබේ. එබැවින් නුදුරු දිනයකදී කිරිපිටි හිඟය අවසාන වනු ඇත.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

Comments