අපේ රටේ සංස්කෘතික අනන්‍යතාව ඔපවත් කළ මනමේ | සිළුමිණ

අපේ රටේ සංස්කෘතික අනන්‍යතාව ඔපවත් කළ මනමේ

 

මහාචාර්ය සරච්චන්ද්‍රයන් වියෝවී 2021 අගෝස්තු 16 දාට   විසිපස් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

 

කිසියම් නාට්‍ය කෘතියක් විවිධ රසඥතා මට්ටම් නියෝජනය කරන රසික රසිකාවන්ගේ ප්‍රසාදයට බඳුන් වෙමින් අඩ සියවසක් ඉක්මවූ කාල පරිච්ඡේදයක රංගගත වෙමින් ‘නොව පැරණිය වන රමණිය’ වේ නම් ඒ වූ කලී ලොව ඕනෑම දේශයක කලා ක්ෂේත්‍රයේ අසිරිමත් සිද්ධියක් වන්නේ ය. එම විශ්ම ජනක සිදුවීම ප්‍රකට කරවන ශ්‍රී ලාංකේය කලා කෘතිය වූ කලී අදට හැටපස් වසරකට පෙර, එනම් වර්ෂ 1956 නොවැම්බර් 3 දා මස ප්‍රථම වරට කරලියට ආ ‘මනමේ’ මිස අනෙකක් නොවේ.

මනමේ නාට්‍යයේ චතුර්වාර්ගික අභිනය හා බැඳුණු විශිෂ්ටත්වය පිළිබඳ විවිධ විචාර, ඇගයීම් එදා මෙන් ම අදත් ඉදිරිපත් වෙමින් පවතී.

මනමේ නාටකය තුළින් මෙරට ඇති වූ සංස්කෘතික ප්‍රබෝධය පිළිබඳව විමසීමේ දී එය බිහිවීමේ පසුබිම ගැන පූර්වාවබෝධයක් තිබිය යුතු බැවින් ප්‍රථමයෙන් ම ඒ දෙසට අපේ නෙත් යොමු කරමු. බටහිර ජාතීන්ගේ යටත් විජිත බවට පත්වී අධිරාජ්‍යවාදීන් ගේ ආඥා චක්‍රය බලපැවැත්වූ වකවානුවේදී ආසියාතික දේශයන්හි සංස්කෘතිය ඉමහත් කැලඹීමකට බඳුන් වී සංස්කෘතිමය සංඝට්ටනයක් මතු විය. වසර ශතසහශ්‍ර සංඛ්‍යාත විදග්ධ සංස්කෘතියකට උරුමකම් කියන ආසියාතික සංස්කෘතිය, ඊට හාත්පසින්ම වෙනස් වූ යු‍රෝපීය සංස්කෘතිය හා ගැටීමෙන් මතුවූ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම කාලීන අවශ්‍යතාවයක් බැව් දේශීය ගිහි පැවිදි උගතුන්ට අවබෝධ විය.

මෙහි බීජ අවස්ථාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති දහනමවන සියවසේ මැද භාගයේ පටන් මෙරට ජාතිකානුරාගී ව්‍යාපාර තුළ දක්නට ලැබුණු බැව් අපි දනිමු. ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර උගත් ගිහි පැවිදි උගතුන්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ මේ ව්‍යාපාරයේ විවිධ විලාස පුවත්පත් කලාව, නාට්‍ය කලාව, ආගමික චින්තනය, සාහිත්‍ය ව්‍යාපාර තුළ දක්නට ලැබුණි. මීට සමගාමීව භාරතයේ පැවති අධිරාජ්‍ය විරෝධී අරගලයේ උණුසුම තුළින් ලත් උත්තේජනයෙන් ආභාසයක් ලත් ඇතැම් තරුණ පිරිස් දේශීය සංස්කෘතියේ සුජාත ලක්ෂණ ගවේෂණයට නම්න වනු විසිවන සියවසේ මුල් භාගය වනවිට දක්නට ලැබුණි. මේ වූ කලී දේශීය අනන්‍යතා ගවේෂණය යනුවෙන් හැඳින්වුව ද වරදක් නොපෙනේ.

මෙම කාර්යයේ යෙදුණු පිරිස් අතුරින් එ දවස ද්විභාෂා උගත් (ඇතැම්විට බහු භාෂා ද උගත්) බුද්ධිමතුන් කැපී පෙනේ. යටත් විජිත යුගයේදී පටන් පරිහානියට පත් වෙමින්, නොඑසේ නම් සංකර බවට පත්වෙමින් ‘අවජාත’ ලක්ෂණ පිළිබිඹු කළ සංස්කෘතිකාංග නිදහස් නිවහල් ජාතියකට යථායෝග්‍ය පරිදි පුනරුත්ථාපනය කිරීමේ උභතෝකෝටික ප්‍රශ්නය මතු වූ අවස්ථාවේදී මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ව්‍යාවෘර්ත වූ බුද්ධිමතුන් අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ඉටු කරන ලද්දේ ප්‍රමුඛ කාර්යයකි. ඒ සඳහා විවිධ අත්හදා බැලීම් මෙන්ම ශාස්ත්‍රීය වූත් නිර්මාණාත්මක වූත් ක්ෂේත්‍ර ගණනාවකටම ව්‍යාවෘර්ත වීමට එතුමාට සිදුවිය.

ශාස්ත්‍රවන්තයෙකු වශයෙන් දර්ශනය, නිර්මාණ සාහිත්‍ය, විචාරය, සංගීතය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි තම නැණ නුවණ මෙහෙයවූ සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට කා‍ර්ය සාධනය වූයේ මෙරට ජනතාවට ආවේණික වූ නාට්‍ය සම්ප්‍රදායක් සාදා පාදා ගැනීම ය. චිරාගත නාට්‍ය සම්ප්‍රදායක සුලකුණු දක්නට නොලැබූ ශ්‍රී ලංකාවේ අපේම යයි කිව හැකි නාට්‍ය රංග කලාවක් සොයා යමින් අනන්‍යතා ගවේෂණයක යෙදීමේ දුෂ්කර කටයුත්තකට අත ගැසූ සරච්චන්ද්‍රයෝ දිගු කලක් ක්ෂේත්‍ර පර්යේෂණ මෙන්ම නිර්මාණාත්මක අත්හදා බැලීම්වල නියුක්ත වූහ. එතුමා කොළඹ යුනිවර්සිටි කොලීජියේ ශිෂ්‍යයකු වශයෙන් මෙන් ම පසුව ආචාර්යවරයකු වශයෙන් සේවය කරද්දී බටහිර සම්භාවය නාට්‍ය සිංහලට අනුවර්තනය හා පරිවර්තනය කිරීමේ කාර්ය ආරම්භ කරන ලද්දේ ඩී. ජේ. විජේරත්න හා ඒ.පී. ගුණරත්නයන්ගේ සහාය ඇතිවය. ප්‍රංශ ජාතික මෝලියෙර්, රුසියානු ජාතික ගොගොල් ආදීන්ගේ නාට්‍ය කෘති මේවා අතර විය.

නාට්‍යකරුවකු වශයෙන් සරච්චන්ද්‍ර බටහිර ස්වභාවික රංග කලාව ආරම්භයේදී අනුගමනය කළ නමුත් දේශීය රංග සම්ප්‍රදායක් පිළිබඳ කුතුහලය ඒ වනවිටත් එතුමා තුළ නොනැසී පැවැතුනේ ය. එහි උපත ඇත්ත වශයෙන් ම සරච්චන්ද්‍රයන් ගේ ළමා විය හා බද්ධ වී පැවති බව ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් කෘතියේ සඳහන් තොරතුරුවලින් අනාවරණය වේ. ඔහු එහි මෙසේ සඳහන් කර තිබේ. “මගේ පියා අවුරුදු හතරක්ම හේවාහැට තැපැල් කාර්යාලයේ වැඩ කළේ ය. ඒ කාලය තුළ දී ‍මම පාසලෙන් අස්වී විශ්ව විද්‍යාලයට පිවිසීමට සූදානම් වෙමින් උන්නෙමි. මෙය එක්තරා නිශ්චිත දිශාවකට මගේ ජීවිතය ගමන් කරවීමකට තුඩුදුන් කාල සීමාවක් වී යයි මට දැන් පෙනේ. සිංහල ගැමි නාට්‍යය කෙරෙහි ද උඩරට වන්නම් ආදී සිංහල සංගීතය කෙරෙහි ද මා තුළ පළමුවෙන් උද්‍යෝගයක් උපන්නේ ඒ දවස්වල ය.” රබීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සරච්චන්ද්‍ර යෞවනයාගේ ජීවිතයට අනල්ප බලපෑමක් කළේ මේ අවධියේය. රබීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ ‘ශාප මෝචන’ නම් මුද්‍රා නාටකය නැරඹීමත් උදය ශන්කර් ගේ නැටුම් සන්දර්ශනය නැරඹීමෙනුත් තමා ලත් උත්තේජනය පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ එතුමා දක්වා ඇත්තේ මෙ අයුරිනි.

“රවීන්ද්‍රනාථ කවින්ද්‍රයන්ගේ මුද්‍රා නාටකය ද, උදය ශන්කර්ගේ නැටුම් ද නැරඹූ විට මට දැනුණේ ඉතා සුභාවිත, සුලලිත, නෘත්‍ය ගීත ප්‍රසංගයෙන් යුත් විසිතුරු ලොවක් මා හමුවෙහි මැවුණා සේය. ඒ සමඟම මේ වූ කලී අපට උරුම වූ එහෙත් දැන් අපට අහිමිවී ඇති අධ්‍යාත්ම වශයෙන් පරිපෝෂිත අතීතයෙන් බිඳක් නොවේ ද යන විදියේ හැඟීමකුත් මා තුළ හට ගති”

රවීන්ද්‍රනාථ කවීන්ද්‍රයාණන්ගේ ශාප මෝචන නම් මුද්‍රා නාට්‍ය හා උදය ශංකර් ගේ භාරතීය නෘත්‍ය විලාස දැකීමෙන් ලත් ආස්වාදය, ශාන්ති නිකේතන ආශ්‍රම පදයට යාම, එහිදී ලත් පුහුණුව හා අත්දැකීම, භද්‍රයෞවනයේ පටන් උඩ පහත දෙරට නැටුම් මෙන්ම සිංහල සංගීතය කෙරෙහි තිබූ අනල්ප උද්‍යෝගය හා කුතුහලය හා බැදුණු ශාස්ත්‍රීය පරිචය දේශීය නාට්‍ය රීතියක් පිළිබඳ සරච්චන්ද්‍රයන් මෙහෙයවූ සමාරම්භක සාධක වූ බැව් පෙනේ.

වර්ෂ 1952 දී සරච්චන්ද්‍රයන් ලියා නිෂ්පාදනය කළ පබාවතී නාට්‍ය මෙරට නාට්‍ය වංශ කතාවේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරන නිෂ්පාදනයක් විය. අද්‍යතන ව්‍යවහාර බසින් රචිත එම නාට්‍යයේ පොතේ ගුරුගේ භූමිකාවක් හා ගීත කීපයක් ද ඇතුළත්වූ අතර එය දේශීය නාට්‍ය රීතියක් පිළිබඳ කරන ලද අත්හදා බැලීමක් වීය. කුස ජාතකය පදනම් කර ගත් පබාවතී නාට්‍යයට‍ විචාරකයන් විසින් එල්ල කරන ලද විවේචන අතර එදා රාජකීයන්ගේ බස අද්‍යතන ව්‍යවහාර බස ද යන ප්‍රශ්නය මතු විය.

සජීවී නාට්‍ය කලාවක් ස්ථාපනය කරමින් කලා ළැදි ජනතාව අතරට යාමේ දී දේශීය නාට්‍ය කලා රීතියක් ස්ථාපනය කළ යුතු බැව් අවබෝධ කරගත් සරච්චන්ද්‍ර මෙරට ගැමි නාටකය පිළිබඳ ක්ෂේත්‍ර පර්යේෂණ හා නිරීක්ෂණ ඇසුරින් සංශෘහිත THE SINHALESE FOLK PLAY යන හිසින් 1952 දී ඉංග්‍රීසියෙන් පළ කරන ලද ‘සිංහල ගැමි නාටකය’ නම් කෘතිය තුළින් මෙරට අවශිෂ්ටව තිබූ ගැමි නාටක පිළිබඳ සාර ගර්භ විමසුමක් කරන ලදී. මෙම කෘතිය උදෙසා ජාත්‍යන්තර අවධානය යොමුවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඇමෙරිකාවේ රොක්ෆෙලර් මූල්‍යාතනය මඟින් සරච්චන්ද්‍රයන්ට තමාට අභිමත ඕනෑම රටකට ගොස් නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමට ශිෂ්‍යත්වයක් පිරිනැමීම ය. මනමේ නාටකය බිහිවීමේ වැදගත්ම අවස්ථාවක් වූයේ එම ශිෂ්‍යත්වය යි.

සරච්චන්ද්‍රයෝ පළමුව ඉන්දියාවට ගියෝය; එදා භාරතීය පුරා අවශිෂ්ටව පැවති නාට්‍ය නැරඹූහ; ආරංචි අනුව ගුජරාටි, මරාථි, පාර්සි, හින්දි ආදී වූ විවිධ ප්‍රාදේශීය භාෂාවලින් රඟ දැක්වූ නාටකත් අහුමුලුවල රඟහල් කරා ගොස් නැරඹූහ. මහා රාෂ්ට්‍රයේ දී ඔහු දුටුවේ නාට්‍ය රසයට වඩා ගීත රසයට ප්‍රමුඛ තැනක් දුන් නාටකය.

මදුරාසියේදී ඔහු දුටු‍වේ ගොරහැඩි රංග භූමි අලංකාරයෙන් යුත් නාටක වූ අතර කල්කත්තාවේ දී දුටුවේ බටහිර තාත්වික සංවාද ශෛලියේ නිර්මාණයන් ය. එ නමුත් ගුජරාටි බසින් ඉදිරිපත් කරන ලද ‘මෙනා ගුර්ජරී’ නම් නාටකයේ පෙරදිග රංග සම්ප්‍රදායට අයත් එනම්, විශේෂයෙන් ම සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායේ ලක්ෂණ ඇති බැව් එතුමා සඳහන් කර තිබේ. ඇමෙරිකා‍ව යන අතරතුර ජපානයට ගොඩ බැසීම, අහම්බෙන් මෙන් කබුකි රඟහලකට පිවිසීම, කබුකි මෙන්ම ‘නෝ’ නාට්‍ය නැරඹීමෙන් ලත් උත්තේජනය, පෙරදිග නාට්‍ය රංග කලාවේ චාතුර්වාර්ගික අභින ක්‍රමයන්ගෙන් සමලංකෘත ලක්ෂණ ආසියාවේ දකුණු ඉසව්වෙන් අභාවයට පත්වූව ද ජපානයේ ජීවමාන රංග කලාවක් වශයෙන් පැවැතීම, චීනයේ බෙයිජිං ඔපෙරාව තුළ දක්නා සුලක්ෂණ ආදී වූ අත්දැකීම්වලින් පරිපූර්ණව, මෙරට ගැමි නාඩගම් සම්ප්‍රදායේ ද තත් ලක්ෂණ අවශිෂ්ටව පවත්නා බැවින් ඒ මත පිහිටා 1956 ‘මනමේ’ නාට්‍ය ලියා නිෂ්පාදනය කිරීම නාට්‍ය කලාවට දේශීය රීතියක් සොයා අපේ අනන්‍යතාව සොයා යාමේ අවසන් ප්‍රතිඵලය විය. එමතුද නොව සරච්චන්ද්‍රයන්ම පවසා ඇති පරිදි මනමේ කතාවේ වස්තු බීජය පවා සින්දු නාඩගමකට ආශ්‍රය කොට ගත හැකි බව එතුමාට වැටහී ගියේ ජපානයේ දී අකිර කුරොසව විසින් අධ්‍යක්ෂණය කරන ලද ලෝ ප්‍රකට ‘රෂොමොන්’ නම් වූ චිත්‍රපටිය නැරඹීමෙන් පසුව ය.

තතු මෙසේ වුව ද මනමේ වූ කලී මෙරට පැවැති නාඩගම් සම්ප්‍රදාය පුනර්ජීවනය කිරීමක් හෝ ගැමි නාටකය පුනර්ජීවීකරණය කිරීමක් හෝ බටහිර ‘ඔපෙරා’ සම්ප්‍රදායට සමීපස්ථ වීමක් හෝ ජපන් නෝ කබුකි සම්ප්‍රදාය අනුකරණය කිරීමක් හෝ නොව ඒ සියල්ල තුලනාත්මකව නිරීක්ෂණය කරමින් විවිධ සම්ප්‍රදායන් තුළින් ලත් කලාත්මක විනය තම අපූර්ව ප්‍රතිභාවෙන් පරිසමාප්තියට පත් කරමින් කරන ලද විශිෂ්ට නිර්මාණයකි. කලක් භාරතයේ සජීවී කලාවක් වශයෙන් පැවත ආ පසුව අභාවයට පත්ව පෙරදිගට ආවේණික වූ ‘සුජාත’ නාට්‍ය සම්ප්‍රදාය අවශෝෂණය කර ගැනීමකි. එමතු ද නොව එම සම්ප්‍රදාය මත පිහිටා නූතන රසිකයා පිනවීමට සමත් ‘සම්ප්‍රදායේ හා නවීනත්වයේ’ අගනා සුසංයෝජනයකි. මේ වූ කලි මනමේ නාටකයේ විශිෂ්ට කාර්ය සාධනයකි. අපේ ජාතික සංස්කෘතියේ හැඩ ගැස්මට මනමේ දායක වූ අයුරු සඳහා වූ කදිම නිදසුනකි. පෙරදිග රංග කලාවේ සුජාත ලක්ෂණ පහදා දුන් ප්‍රමුඛ නාට්‍යවේදියා වූයේ ද මහාචාර්ය සරච්චන්ද්‍රයන් ය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සර්ව විශිෂ්ට ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක සේවාව ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ අවස්ථාවන්හිදී; එනම් භාරතයේ කේරළ ප්‍රාන්ත රජය විසින් ‘කුමාරන් අසාන්’ විශ්ව සම්මානය ප්‍රදානය කරනු ලැබූ අවස්ථාවේදී මෙන් ම මැග්සේයේ ජාත්‍යන්තර සම්මානය ප්‍රදානෝත්සවයේදී ද හේතු පාඨ වශයෙන් දක්වා ඇති ‘විදේශාධිපත්‍යට දිගු කලක් නතු වී තිබූ ආසියාකරයේ පාරම්පරික සංස්කෘතියේ මූලයන් පුනර්ගවේෂණයට ගත් අභීෂ්ට ප්‍රයත්නය උදෙසා එකී සම්මාන පිරිනැමීමට තීරණය වූ බැව්” ප්‍රකාශ වීමෙන් ම එතුමාගේ තත් ව්‍යායාමය මුළුමහත් ආසියාවේම ගෞරවාදරයට පාත්‍ර වූ බැව් පෙනේ. මෙනයින් එතුමෝ ආසියාතික මහා නාට්‍ය සම්ප්‍රදායේ කොටස් කරුවෙකු බවට අපේ නාට්‍ය සම්ප්‍රදාය ද පත් කිරීමට මනමේ තුළින් සමත් වූහ.

මනමේ තුළින් ජනිත ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ප්‍රබෝධය මෙරට ද්‍රවිඩ නාට්‍ය කලාවේ ඉදිරිගමනට ද උත්තේජකයක් වූ බැව් ද්‍රවිඩ භාෂා සාහිත්‍යයේ හසළ උගත්හු පිළිගනී. මෙරට ගැමි නාටක හා ද්‍රවිඩ ගැමි නාටක අතර පවත්නා සහසම්බන්ධතාවය සරච්චන්ද්‍රයන් විසින් පෙන්වා දෙනු ලැබීමෙන් අනතුරුව සිංහල හා ද්‍රවිඩ උගතුන්ගේ අවධානය එය බඳුන් විය.

ජාතීන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට නම් ඒ ඒ ජාතීන්ගේ අධ්‍යාත්මය අප ගැඹුරින් අවබෝධ කරගත යුතු ය. සරච්චන්ද්‍රයන්ගේ මනමේ තුළින් සිංහල - දෙමළ අනන්‍යතා අවබෝධයට පිටුවහලක් ලැබූ අතර පේරාදෙණිය සරසවියට කේන්ද්‍ර කොට ගනිමින් මහාචාර්ය විත්යානන්දන් නිර්මාණය කළ නාට්‍ය නැරැඹීමට ඒ දවස්වල සරසවි උපාධි අපේක්ෂකයන් වූ අප ද ගිය අන්දම මෙහිදී සිහිපත් වේ. යාපනය සරසවිය විසින් ‘සාහිත්‍ය ශූරී’ ගෞරව උපාධිය සරච්චන්ද්‍රයන්ට පිරිනමන ලද්දේ එබැවින් ය. යාපනය සරසවියෙන් සම්භාවනාවට පාත්‍රවූ ප්‍රථම සිංහල මහාචාර්යවරයා වූයේ සරච්චන්ද්‍රයන් ය.

කිසියම් ජාතියකගේ අනන්‍යතාව ප්‍රකට කරවන ප්‍රධාන සාධක දෙක නම් භාෂාව හා ආගමය. එසේම එකී ජනතාවගේ අධ්‍යාත්මය ප්‍රකාශ කළ හැකි මාධ්‍ය වන්නේ ද එම ජාතියට උරුම වූ භාෂාව ය. මුල සිට අග දක්වාම සුමියුරු, සුගම සුභාවිත ගී සමුදායකින් පරිපූර්ණ මනමේ නාටකයේ භාෂා නෛපුණ්‍යය සංගීතය සමඟ ද ඵලදායි ලෙස සුසංගතව තිබේ. මනමේ උදෙසා උපයුක්ත භාෂාව මෙරට සම්භාව්‍ය මෙන් ම ජන බසේ අපූර්ව සංකලනයක් වූවා පමණක් නොව ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කළ හැකි බසක් වීම ද නිසා තම අත්දැකීම ප්‍රකාශනයට යොදා ගත යුතු බස් වහර පිළිබඳ පූර්වාබෝධයක් ජනිත කිරීමට ද මනමේ සමත් වූ බව අමතක නොකළ යුතු ය. මනමේ තුළින් උපත ලබා සිංහබාහු තුළින් පරිපාකයට පත්ව පෙමතෝ තුළින් තවදුරටත් හැඩ වැඩ ගැන්වී ගලා ගිය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කෘතීන් හි භාෂාව තුළින් නිර්මාණ කාර්යයන්හි දී අප විසින් සිංහල බස උපයුක්ත කොටගත යුත්තේ කුමන මූලධර්මයන් මත ද යන වග ව්‍යංගවන් කිරීම පමණක් නොව මෙරට භාෂාවේ පෝෂණයට ද සිදු වූ සේවාව උතුම් ය.

තවදුරටත් මනමේ නාටකය මෙරට සමාජ - සංස්කෘතික ඉතිහාසයේ වැදගත් සිදුවීමක් වන්නේ මනමේ රංග ගත වීමත් සමඟ එතෙක් මෙරට සමාජ සංස්ථාව තුළ දක්නට ලැබූ නාගරික හා ගැමි යන අංශද්වයේ දුරස්ථ වූ පරතරය මනමේ හේතුවෙන් වෙනස් වීම ය; නැතහොත් සමීපස්ථ වීම ය. එක් විචාරකයෙකු වරක් පැවසුවා සේ ‘ගමේ හා නගරයේ වැට කඩොලු මනමේ තුළින් බිඳ වැටුණි.

මනමේ බිහි වූ අවධිය වන විටත් මෙරට නාගරික ඉහළ මාධ්‍යම පාන්තිකයන් සිංහල උගතුන් විසින් හඳුන්වනු ලැබුවේ ජාතිභ්‍රෂ්ටයන් වශයෙනි. ඒ ඔවුන් බටහිර අනුකාරකයන් වීම නිසා බැව් ප්‍රකට කරුණකි. සිංහල පත පොත නොකිය වූ සිංහල නොදත් ඔවුන් අනු ක්‍රමයෙන් මනමේ වෙත ආකර්ශණය වූයේ ඉංග්‍රීසියෙන් පළවූ විචාර කියැවීමෙන් පසුව වූවද ඒ වනවිට මෙරට ඇතිවෙමින් තිබූ සංස්කෘතික ප්‍රබෝධයට ඔවුන්ට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණේ මනමේ නාටකය නැරඹීමෙන්ය. ඒ දවස කොළඹ කුරුඳුවත්තේ බොහෝ බංගලාවල ආලින්දයේ තිබූ ඉංග්‍රීසි පුවත්පත් සඟරා අතර මනමේ රංග පත්‍රිකාව අනිවාර්ය සලකුණක් බවට පත්වී යයි සඳහන්ව තිබේ. මුල් මනමේ පෙළ ඇතුළත් කෘතියේ ජනප්‍රිය වූ මනමේ සින්දු කීපයකට සිංහල ස්වර ලිපි මෙන් ම ඉංග්‍රීසි ස්වර ලිපි ද ඇතුළත් කර ඇත්තේ ඉහළ මධ්‍යම පාන්තික ඉංග්‍රීසි රසිකයන්ගේ වින්දනය උදෙසා විය යුතු ය. මනමේ රස විඳීමට ස්වර ලිපි ඔවුනට උපකාරී වූවාට සැක නැත.

මනමේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු මහල් තලය සංකේතවත් කරන විශ්වවිද්‍යාලයීය පරිසරයේ ඇති කරන ලද සංස්කෘතික විප්ලවය ද මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු ය. ඒ වනවිටත් ‘බමුණු කුලයේ අවසන් බළකොටුව’ යනුවෙන් නිර්දය විවේචනයට බඳුන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළදීම ශිෂ්‍ය මෙන් ම ආචාර්ය පක්ෂයේ ද සහභාගිත්වයෙන් මනමේ නිෂ්පාදනය කිරීම සරසවියට එල්ලවූ සහේතුක චෝදනා උදෙසා දෙන ලද ‘පිළිතුරක් බඳු’ ය. සරසවිය හා පොදු ජනතාව අතර සමීපස්ථ සංවාදයක් ජනිත කිරීමට මෙන් ම ජනතා අවධානය පුළුල් කිරීමට මනමේ නාටකය මුල් වූ අයුරු මෙහිදී හඳුනාගත හැක.

සරච්චන්ද්‍ර එළිමහන් රඟහල අද දක්වාම සරසවිය හා පොදු ජනයා එක්වන කේන්ද්‍රස්ථානයකි. පේරාදෙණි සරසවිය තුළින් බිහිවූ සාහිත්‍ය කලා නවෝදයේ මංගල අවස්ථාව මනමේ බිහිවීම ය. පේරාදෙණිය තදාසන්න ගම්මුන් ප්‍රථම වතාවට සරසවි බිම දී නැරඹූ නාට්‍යය මනමේය.

අපේ සංස්කෘතියට අයත් ධර්මකෝෂ්ඨාගරයක් බඳු වූ ජාතක කතාවන්හි විශ්වසාධාරණ මානුෂික චරිත ලක්ෂණ ප්‍රථම වරට ඉස්මතු කොට දැක්වූ ප්‍රාඥයා මාර්ටින් වික්‍රමසිංහයන් බව අපි දනිමු. එකී විශ්ව සාධාරණ මානුෂික චරිත ලක්ෂණ මෙරට ජනතාවගේ රසාත්මක වින්දනයට නතු කරමින් ‘කලාවෙන් ලබන ආස්වාදය ප්‍රඥාවෙන් කෙළවර විය යුතු ය’ යන්න ප්‍රායෝගිකව පෙන්වා දුන්නේ සරච්චන්ද්‍රයෝ ය. එහි සමාරම්භක පියවර චුල්ලධනුද්ධර ජාතකය තේමාකොට ගනිමින් නිෂ්පාදිත මනමේ නාටකය යි.

සරච්චන්ද්‍රයන් ගේ අවශේෂ නාට්‍ය මෙන් ම මනමේ තුළින් ද පාරම්පාරික චින්තනයට අභියෝගයකුත් නව චින්තනයට ප්‍රවිෂ්ටයකුත් ලබා දෙමින් ‘කලාවෙන් ලබන ආස්වාදය ප්‍රඥාවෙන් කෙළවර විය යුතුය’ යන සංකල්පය මනාව විශද කරවයි.

මෙරට සංස්කෘතික විඥානය පිළිබඳව එතුමා සතු වූ ගැඹුරු පරිපූර්ණ දැනුම, එහි පදනම වූ ‍බෞද්ධ දර්ශනයේ උත්තරීතර මානුෂික ගුණය හා සර්වකාලීන වැදගත්කම, මිනිසාගේ ඉරණම වැනි ගැඹුරු දහම් අතැඹුලක්සේ දත් සරච්චන්ද්‍රයන්ට ලෝක සංස්කෘතින් පිළිබඳව ලත් පරිචය ද තුළින් කාලය, දේශය ඉක්මවා යන අර්ථ රස පූර්ණ නිර්මාණ කිරීමට හැකිවීම එක් අතකින් විස්මයට හේතුවක් ද නොවේ.

සරච්චන්ද්‍රයෝ තම නාට්‍ය තුළින් විශ්ව සාධාරණ බෞද්ධ සාරධර්ම පදනම් කරගත් එහෙත් නාට්‍ය කලාවේ සීමා ඉක්ම නොගියා වූ රසවත් හරවත් දෘශ්‍යතාවය කලාවක් බිහි කිරීමේ පුරෝගාමියා වූහ. එහි උපත සනිටුහන් කරන්නේ 1956 නිෂ්පාදිත ‘මනමේ’ නාටකය යි.

 

 

Comments