
වසරක් නිමා වී තවත් වසරක් ආරම්භ වන මොහොතේ පවුලේ සියලුදෙනාම එකතු වී නව වසර පිළිගත්තත් 2021 වසර එළඹෙන මොහොතේ රෝයි ටෙරන්ස්ට නිවසේ සිටින්නට සිදු වූයේ හුදකලාවම ය. ඊට හේතුව පවුලේ සියලුදෙනාම ඒවන විට කොවිඩ් රෝගයට ගොදුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබීමයි. එහෙත් ජනවාරි 02 වැනිදා රෝයි ටෙරන්ස්ව කැටුව යෑමට පැමිණියේ ඒවන විට ඔහුට ද කොවිඩ් ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වූ නිසාය. ඔහුව රැගෙන යනු ලැබුවේ ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ය.
“ඔයා ආයෙත් ආවද? දෙවෙනි පාරටත් කොවිඩ් හැදුණද? යනුවෙන් එහි සිටි සමහරුන් රෝයිගෙන් විමසද්දී තවත් අය ඔහු දෙස පුදුමයෙන් මෙන් බලන්නට වූහ. ඔවුන් එදා රෝයි දෙස දෙවරක් හැරී බැලුවේ ඔහුගේ රූපය හා සමානව තවත් අයකු එහි ප්‍රතිකාර ලැබූ නිසාය. එසේ ප්‍රතිකාර ලැබුවේ රෝයිගේ නිවුන් සොහොයුරාය. රෝයි ටෙරන්ස්ගේ නිවුන් සොයුරා වන්නේ රෆායල් ට්‍රෙවිස් ය.
රෆායල් ට්‍රෙවිස් ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ තිබුණේ 2020 දෙසැම්බර් මාසයේ අග සතියේ ය. ජනවාරි 02 වැනිදා රෝයි ටෙරන්ස් එහි යන විට රෆායල්ගේ හිතවතුන් පැමිණ “අන්න උඹ වගේම එකෙක් ඇවිත් ඉන්නවා“ යනුවෙන් දැනුම් දී තිබුණි. සිය නිවුන් සොහොයුරා ද කොවිඩ් රෝගයට ගොදුරු වී එහි පැමිණ ඇති බව රෆායල් දැනගෙන තිබෙන්නේ ඒ අනුවය.
“අයියායි මමයි උපන්දා ඉඳලා එකටමයි ඉන්නේ. අපි එකම ඉස්කෝලේ එකම පන්තියේ එකට හිටියේ. පන්ති ගියෙත් එකට. ගෙදරත් අපි දෙන්නා එකම කාමරයේ ඉන්නේ. අපි දෙන්නා විනාඩි 11ක පරතරයක් ඇතිව ඉපදුණේ. ඒ නිසාම වෙන්න ඇති අපි දෙන්නා ගොඩාක් යාළුයි. අපි හිතන පතන විදිහ, අපි කැමති අකමැති දේවල් හැමදේම එක සමානයි. ඕනැම දේකට මට අයියා ඉන්නවා, අයියාට මම ඉන්නවා කියන හැඟීම අපිට තියෙනවා. අපේ පවුලේ අම්මායි තාත්තායි අක්කායි අපි දෙන්නායි ඉන්නේ. අයියාට කොවිඩ් හැදුණම මම හොඳටම බය වුණා. ගෙදර හැමෝටම කොවිඩ් හැදිලා තියෙද්දි මාව විතරක් බේරෙන්නේ නැහැ කියලා මම දැනගෙන හිටියා. ඒවගේම මමත් කොවිඩ් රෝගයට ගොදුරු වුණා. ඒ වෙලාවේ මම සෞඛ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා මාවත් අයියා ඉන්න ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනියන්න කියලා. ඒ විදිහට තමයි මම ඉරණවිලට ගියේ.“ යනුවෙන් රෝයි ටෙරන්ස් පැවසීය.
දැන් 26 වැනි වියේ පසුවන රෝයි ටෙරන්ස් සහ රෆායල් ට්‍රෙවිස් කොළඹ මෝදර පදිංචිකරුවෝ වෙති. ඔවුන් කොවිඩ් රෝගයට ගොදුරු වූයේ කොවිඩ් 2 වැනි රැල්ලෙනි. ඒ වන විට මෝදර ප්‍රදේශය අගුළු ළා තිබුණේ ද එම ප්‍රදේශයේ කොවිඩ් රෝගය දරුණු ලෙස ව්‍යාප්ත වූ නිසාය. රෝයි සහ රෆායල් රැකියාවල නිරත වී සිටින්නේ ද එකම ක්ෂේත්‍රයක වීම ද විශේෂයකි. රෝයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කරයි. රෆායල් සේවය කරන්නේ පුද්ගලික රක්ෂණ සමාගමක ය. කොවිඩ් රෝගයට ගොදුරු වූ අය අතර රෝයි සහ රෆායල් වැනි තවත් නිවුන් සහෝදර සහෝදරියෝ සිටිති. කෑගල්ලේ විහඟ විමර්ශන රණවීර කොවිඩ් රෝගයට ගොදුරුවූ තවත් එක් නිවුන්නෙකි.
“මම කොවිඩ් ආසාදිතයෙක් වෙලා දැන් දවස් 5ක් 6ක් වෙනවා. කැස්ස, හෙම්බිරිස්සාව හැදුණා. උණ නම් නැහැ. ඒත් ඇඟපත රිදෙනවා. මාත් එක්ක වැඩ කරන යාළුවෙක් කොවිඩ් ආසාදිතයෙක් වුණ නිසා මමත් පී.සී.ආර්. එකක් කළා. එතකොට මටත් හැදිලා කියලා දැන ගත්තා. තවම නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ වෙනත් නිලධාරි කෙනෙක් ගෙදරට ආවේ නැහැ. අපි දැනුම් දීලා තියෙන්නේ. ගමේ අය අපේ ගෙදරට එන පාර වැහුවා. ගමේ අය අපට අවශ්‍ය සෑමදෙයක්ම ගෙනත් ගේට්ටුව ළඟ තියලා යනවා. මම කාමරයට වෙලාම ඉන්නවා. ගෙදර අම්මා, තාත්තා සහ මල්ලි නිරෝධායනය වෙනවා. මගේ නිවුන් සොහොයුරු අයියා කිරිබත්ගොඩ නැවතිලා එහේ ඉඳලා වැඩට යනවා. ඒනිසා නිවුන් සහෝදරයාට හැදුණේ නැහැ. ඒත් එයා හැමදාම කෝල් කරලා මගේ දුක සැප බලනවා.“ යනුවෙන් විහඟ රණවීර විස්තර කළේය.
21 හැවිරිදි විහඟ විමර්ශන රණවීර ඖෂධ අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරයි. ඔහු වෛද්‍යවරුන් හමුවීමට යෑම, ෆාමසිවලට යෑම, රෝහල්වලට යෑම නිරන්තරයෙන් සිදු කළ නිසා ඔහුට කොවිඩ් වැලඳුණු ආකාරය ඔහුට සිතා ගැනීමටත් බැරිය. විහඟ SLIM ආයතනයේ අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන අතර ඔහුගේ නිවුන් සොයුරා වන නිසල් තීක්ෂණ රණවීර විවෘත විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවක් හදාරයි. නිසල් තීක්ෂණ පුද්ගලික බැංකුවක නිලධාරියෙකි.
“අයියායි මායි විනාඩි 11ක පරතරයක් ඇතිව උපන්නේ. අපි දෙන්නා පුංචි කාලේ ඉඳලා සෙල්ලම් කළේ එකට. පාඩම් කළේ එකට. අපි දෙන්නාගේ සිතුම් පැතුම්, අදහස් උදහස්, රුචි අරුචිකම් එක සමානයි. ඒත් අපි දෙන්නා ඉන්නේ නම් කාමර 2ක. ඉස්කෝලේදි 1වැනි සහ 2වැනි පන්තිවල විතරයි අපි දෙන්නා එකට හිටියේ. 3වැනි පංතියේ ඉඳලා අපි පන්ති 2ක හිටියේ. හැබැයි සාමාන්‍ය පෙළ වෙනතුරු අපි එකට පාඩම් කළා, පන්ති ගියා. උසස් පෙළදි අපි විෂයන්වලින් වෙන්වුණා. අයියා කළේ ගණිතය විෂය ධාරාව. මම ඉගෙන ගත්තේ ජීව විද්‍යාව අංශයෙන්. ඒත් අපි දෙන්නගේ විෂයන් 2ක් සමාන වුණු නිසා එකට පාඩම් කළා. ඊටපස්සේ රැකියාවෙදි ආයේ අපි දෙදෙනා වෙනස් මාවත් 2ක ගියා.“ යනුවෙන් සඳහන් කළේ විහඟ විමර්ශන රණවීර ය.
ඔවුන් දෙදෙනා උපන්දා සිට පැමිණි මගේ වෙනස්වීම කොවිඩ් රෝගයට ද බලපෑවේය. ඒ, විහඟ කොවිඩ් රෝගයට ගොදුරු වීම සහ නිසල් කොවිඩ් රෝගයට ගොදුරු නොවීමෙනි.
කැස්බෑවේ පදිංචි කලිකා කෞමදනී රත්නායක සහ කජිනි කනකාංජලි රත්නායක යන නිවුන් සොහොයුරියන් දෙදෙනා ද කොවිඩ් හේතුවෙන් මේ දිනවල නිවසේ නිරෝධායනය වී සිටිති. ඔවුන්ට නිවසේ නිරෝධායනය වීමට සිදු වී තිබෙන්නේ ඔවුන්ගේ මව සහ පියා කොවිඩ් රෝගීන් වන බැවිනි.
“අප්පච්චිට ඔෆිස් එකෙන් හැදුණා කියලා තමයි හිතන්නේ. අම්මාටත් අප්පච්චිටත් අමාරුවක් නැහැ. දෙන්නාම එන්නත් මාත්‍රා දෙකම අරන් තියෙන්නේ. ඒ දෙන්නා ගෙදරම වෙන්වෙලා ඉන්නවා. අපි දෙදෙනාට වැඩිමහල් අක්කාත් අපි දෙන්නාත් ගෙදර නිරෝධායනය වෙනවා. අහල පහල අය අපිට අවශ්‍ය හැමදේම ගෙනත් ගේට්ටු ළඟින් තියලා යනවා.“ යනුවෙන් පැවසුවේ කලිකා කෞමදනි රත්නායක ය.
කලිකා රත්නායක නංගී ය. කජිනි කනකාංජලි රත්නායක විනාඩියකින් ඉස්සර වී අක්කා වී සිටියි. දැන් 15වැනි වියේ පසුවන මෙම නිවුන් දරුවන් දෙදෙනා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 10වැනි වසරේ ඉගෙනුම ලබති. කුඩා වියේ සිටම එකට සෙල්ලම් කරමින් එකම පන්තියේ ඉගෙනුම ලබමින් එකම විලාසිතාවට අඳින පලඳින මෙම නිවුන් සොහොයුරියන් දෙදෙනාගේ බලාපොරොත්තුව උසස් පෙළ සඳහා එකම විෂය ධාරාවක් තෝරා ගැනීමයි.
“අප්පච්චිගේ නිරෝධායන දින 14 අවසන් වෙන්න නම් ළඟයි. ඒත් අපිට ඉදිරියට තව දින කීපයක් නිරෝධායනය වෙන්න වෙනවා. මොකද අම්මාට හැදුණේ පහුවෙලානේ.“ කලිකා සඳහන් කළාය.
ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ සම නිර්මාතෘවරිය සහ ලේකම් ධුරය හොබවන චමලි ගමගේ ද කොවිඩ් ආසාදනය වී මේ දිනවල නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබයි.
“මුලින්ම කොවිඩ් හැදුණ් මගේ සැමියාට. 02 වැනිදා එයාගේ පී.සී.ආර්. වාර්තාව ලැබුණා. 03 වැනිදා මගෙත් ඇඟ ගැහෙන්න පටන් ගත්තා. මම හුමාලය ඇල්ලුවා. උණුවතුර බිව්වා. සෙම ගතිය එන්න ඉස්සෙල්ලා ගන්න බෙහෙත් ගත්තා. ඊටපස්සේ මට කිසිම අමාරුවක් ආවේ නැහැ. මගේ මහත්තයාට නම් අමාරු වුණ නිසා එයාව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කළේ අගෝස්තු 06 වැනිදා. මමත් එයා ළඟ නැවතුණා. එදා මටත් පී.සී.ආර්. කළා. 07 වැනිදා දැනගන්න ලැබුණා මමත් කොවිඩ් ආසාදිතයෙක් කියලා. දැන් අපි දෙන්නා එකම කාමරයේ නැවතිලා ප්‍රතිකාර ගන්නවා. මට නම් කිසිම ගණනක් නැහැ කෑමවල රස, ගඳ සුවඳ එහෙම දැනෙන්නේ නැතිව ගියා. ඒත් මම ඇඟට පෝෂණය අවශ්‍ය නිසා හිතලාම කෑම කෑවා. සමහරු නම් කෑම රස නැහැ කියලා කන්නේ නැතිව ඉන්නවානේ. ඒත් මම ලෙඩේට ඔරොත්තු දෙන්න ඕනෑ නිසා කෑම බීම ගත්තා. පොඩි දුරක් ඇවිද්දත් වෙහෙසක් දැනුණා. ඒනිසා මම විවේකයෙන් හිටියා. හෙට අනිද්දා වෙනකොට මට ගෙදර යන්න පුළුවන් වෙයි.“ යනුවෙන් චමලි ගමගේ විස්තර කළාය.
චමලි ගමගේගේ නිවුන් සොයුරිය වන්නේ උපුලි ගමගේ ය. ඔවුන් දෙදෙනා එකට උපත ලැබූවත් කොවිඩ් රෝගයට ගොදුරු වූයේ චමලි පමණි. මේ වන විට ඔවුන් විවාහ වී වෙන් වෙන්ව වාසය කිරීම ඊට හේතුවයි.
ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘවරියන් වන්නේ උපුලි සහ චමලි ගමගේ යන නිවුන් සොයුරියන් දෙදෙනා ය. උපුලි එහි සභාපති ධුරය හොබවන අතර චමලි ලේකම් ධුරය හොබවයි. 1993 අගෝස්තු 23 වැනි දින බිහි වූ ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ මේ වන විට නිවුන් සාමාජික සාමාජිකාවෝ 28,000ක් පමණ සිටිති. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි සියලුම ජාතින්ට සියලුම ආගම්වලට අයත් මෙම නිවුන් සාමාජික පිරිස ශ්‍රී ලංකා භූමියේ ජන්මලාභය ලැබූ අය වෙති. ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 28 වැනි උපන්දිනය අගෝස්තු 23 වැනි දින (හෙට දින) යෙදී ඇත. සෑම වසරකදීම උපන්දිනය සමරන දා නිවුන් ගායක කණ්ඩායම, නිවුන් නර්තන කණ්ඩායම, නිවුන් ක්‍රිකට් කණ්ඩායම වැනි නවාංගයක් දායාද කිරීමට උපුලි සහ චමලි නිවුන් සොයුරියන් දෙදෙනා කටයුතු කර තිබේ.
හෙට දිනයට යෙදෙන 28 වැනි උපන්දිනය දා නිවුන් බැඩ්මින්ටන් සංචිතයක් එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණත් එය කල් දැමීමට සිදු වී තිබෙන්නේ මෙරට ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය නිසාය.