ගජ­මි­තු­රන් තිදෙ­නෙක් වැව් පතුලේ සඟවා ගත් කටු­ග­හ­ගල්ගේ ශෝකා­න්තය | සිළුමිණ

ගජ­මි­තු­රන් තිදෙ­නෙක් වැව් පතුලේ සඟවා ගත් කටු­ග­හ­ගල්ගේ ශෝකා­න්තය

වමේ සිට, ගිමාෂ් කෞෂාන්, ධනංජය දේශාන් සහ රන්දිල් තාරුක
වමේ සිට, ගිමාෂ් කෞෂාන්, ධනංජය දේශාන් සහ රන්දිල් තාරුක

 

කොවිඩ් වසංගතයෙන් රටම සෝසුසුම් හෙළමින් සිටියදී පසුගිය 14 වැනි සෙනසුරාදා සවස් වෙද්දී මොනරාගල නගරය ඇතුළු අවට පෙදෙස්හි ලැව්ගින්නක් සේ ඇළලී ගියේ පාසල් සිසුන් තිදෙනෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙනි. ඇතැම් සමාජ මාධ්‍යයන්හිද එම පාසල් සිසුන් තිදෙනා සොයා ඔවුනගේ මිතුරන් පුවත්ද පළකර තිබුණේය.

 

ඒ අතර පසුදා එනම් 15 වැනිදා පෙරවරුවේ තිදෙනාටම වූයේ කුමක්ද යන්න හෙළිදරව් වූහ. ඉන් මොනරාගල ඇතුළු අවට පෙදෙස්හි සැවොම කම්පාවට පත් වූයේ කුරා කුහුඹුවකුටවත් එවන් විපතක් අත්නොවේවායි ප්‍රාර්ථනා කරමිනි.

ඒ වන විට පාසල් සිසුන් තිදෙනාගේ ජීවිත රුදුරු ජල රකුසා බිලිගෙන තිබුණේ වැවක දිය නෑමට ගොස් වූ ඛේදවාචකයකිනි. ඔවුන් තිදෙනා මොනරාගල නගරයේ සිට කිලෝමීටර් 22ක් පමණ දුරින් වූ බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගිය විට හමුවන කටුගහගල්ගේ වැවේ දිය නෑමට ගොස් තිබුණේ යතුරුපැදි දෙකක නැඟි 14 වැනි සෙනසුරාදා දහවල් කාලයේයි.

එලෙස කටුගහගල්ගේ දිය රකුසාට බිලි වූ තිදෙනා වූයේ මොනරාගල මහානාම ජාතික පාසලේ උසස් පෙළ වාණිජ අංශයේ 12 C3 පන්තියේ ඉගෙනුම ලැබූ 18 හැවිරිදි සිසුන් දෙදෙනෙක් වූ රන්දිල් තාරුක ප්‍රියදර්ශන, ගිමාෂ් කෞෂාන් සහ එම පාසලේම ගණිත අංශයෙන් උසස් පෙළ පන්තියේ හැදෑරීම් කළ 19 හැවිරිදි ධනංජය දේශාන්ය.

පෙර පාසල් අවදියේ සිටම එක කුස උපන්නවුන් සේ හැදී වැඩුණු තිදෙනා අවසන් ගමන් ගියේත් දෛවයේ සරදමක් මෙන් එකටමය.

රන්දිල් සහ ගිමාෂ් 2003 වසරේ ජූනි මාසයේ උපන්දින සැමරුවන්ය. රන්දිල් තාරුක ජුනි 08 වැනිදා උපන් දිනය සමරද්දී ගිමාෂ් ඊට දින දහයකට පසු එනම් ජුනි 18 වැනිදා උපන්දිනය සැමරුවේය.

මොනරාගල නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ එපිටින් වූ රත්තනපිටියේ, වැල්වත්තරොද විසූ ගිමාෂ් කෞෂාන්ට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් විය. මොනරාගල නගර මධ්‍යයේ වූ මහානාම ජාතික පාසලට කිලෝමීටර් දෙකක පමණ දුරින් විසූ රන්දිල් තාරුක මොනරාගල නගරයේ බස් හා නිවාඩු නිකේතන හිමි ව්‍යාපාරික පවුලක එකම පිරිමි දරුවා විය. ඔහුට සහෝදරියන් දෙදෙනෙක් වූයේය.

මොනරාගල නගරයේ සිට කිලෝමීටර් හයක් පමණ දුරින් වූ බටුගම්මන, දෙබැද්දෙකිවුලේ විසූ ධනංජය දේශාන් මොනරාගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ සහෝදරයකුගේ පුත්‍රයායි. ධනංජයටද සහෝදරයෙක් සහ සහෝදරියක් වූයේය. ඉගෙනීමටද හපන්කම් පෑ සිසුන් තිදෙනා පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව තිබු අතර ඊට ත්‍යාග ලෙස දෙමාපියන් විසින් යතුරුපැදිද මිලට ගෙන දී තිබුණේය. එම යතුරුපැදිවල නැඟුණු සිසුන් තිදෙනා පසුගිය සෙනසුරාදා පෙරවරුවේ නිවෙස්වලින් පිටවී ගොස් තිබුණේ මිතුරන් හමුවීමට යන බව පවසමිනි.

ඒ පිළිබඳ තිදෙනාගේ මරණ පරීක්ෂණයේදී ධනංජය දේශාන්ගේ පියා වන 52 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ ආරියරත්න කඳුළු පිරි දෙනෙතින් යුතුව පැවැසුවේ මෙවැන්නකි. “මේ තුන්දෙනාම පොඩි කාලේ ඉඳලම එකටම හැදුණු වැඩුණු හොඳම යාළුවෝ. එදා 14 වැනිදා මමත් ගෙදර හිටියේ. පුතා කිව්වා ළඟකට ගිහිල්ලා එන්නම් කියලා. ඒත් යන තැනක් කිව්වෙ නෑ. වෙනදට ගිය සැණින් එනවා. ඒත් එදා දහවල් වෙනකල්ම ආවේ නෑ. හවස් වෙනතුරුත් නෑ. කෝල් ගත්තත් කතා කළේ නෑ. හවස 4.30ට විතර ගිමාෂ් කෞෂාන්පුතාගේ තාත්තත් ඇවිත් ඇහුවා එයාගේ පුතා අපේ ගෙදර ආවද කියලා. ඊට පස්සෙ අපි සේරම එක්ක පුතාලා යන-එන හැමතැනම බැලුවා. තොරතුරක් ලැබුණේ නෑ. පස්සෙ පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.“

එහෙත් ගිමාෂ් කෞෂාන්ගේ පියා වන මොනරාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ රියැදුරකු ලෙස සේවය කරන 44 හැවිරිදි කෝරාල ගමගේ මහේෂ් ගේෂාන් පැවසුවේ එදින දහවල් 11ට පමණ තම පුත්‍රයා ධනංජය සමඟ යතුරුපැදියේ යද්දී හමුවූ බවයි.

“මම උදේ 8ට විතර වැඩට යනකොට ගිමාෂ් ගෙදර හිටියේ. මම ඔෆිස් එකේ වාහනේ යන විට කච්චේරිය හන්දියේදී පුතා තවත් පුතෙක් සමඟ යතුරුපැදියක නැඟි වැල්ලවාය දෙසට යනවා දුටුවා. එතකොට 11ට විතර ඇති. මං වාහනේ නතර කරලා ඇහුවා ‘කොහේද යන්නෙ‘ කියා. ‘නාන්න යනවා‘ කිව්වා. හැබැයි යන තැනක් කිව්වෙ නෑ. පාරේ ට්‍රැෆික් නිසා මාත් එම ස්ථානයෙන් ඉක්මනින් ගියා. අන්තිමට හවසත් ගෙදර ආවේ නැති නිසා හැමතැනම හෙව්වා. හුලංදාව කිට්ටුව තියෙන ඉන්ධන පිරවුම්හලේ සීසිටීවී කැමරා පරීක්ෂා කරද්දී එහි සටහන් වෙලා තිබුණා දරුවන් තුන්දෙනා බයිසිකල් දෙකේ යන හැටි. පස්සෙ ඉරිදා උදේ මගේ මිතුරෙක් කතා කරලා කිව්වා, බුත්තල කටුගහගල්ගේ වැවේ බයික් දෙකක් තියෙනවා. අන්තිමට එදා උදේ අපි එතැනට ගියා.“

ජල රකුසාට බිලිවූ රන්දිල් තාරුක එදින නිවෙසෙන් පිටව ගොස් තිබුණේ සිය පියාගෙන් රුපියල් දෙසියක මුදලක්ද ඉල්ලාගෙනයි. 45 හැවිරිදි සිරිගල පදිංචි ව්‍යාපාරිකයකු වන තාරක ප්‍රියන්ත දුක්කඳුළු සලමින් පැවැසුවේ,

“රන්දිල් මගේ එකම පුතා. මහානාම ජාතික පාසලේ ඉගෙන ගත්තෙ. එදා උදේ මගෙන් රුපියල් දෙසීයකුත් ඉල්ලගෙන මෝටර් සයිකලෙන් නගරයට යනවා කියලා ගියේ. ඒත් හවස් වනතුරුත් ආවේ නෑ. පස්සෙ පුතාගේ යාළුවන්ගේ නිවෙස්වලට ගිහින් බැලුවා. කෞෂාන් පුතාගේ තාත්තා කිව්වා උදේ යතුරුපැදිවලින් වැල්ලවාය දෙසට යනවා දැක්ක කියලා. පස්සෙ අපි සියලු දෙනා මොනරාගල පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. නැවතත් මම පුතාගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා. ඒ වෙලාවේ පිළිතුරු දුන් කෙනා කිව්වා, ‘කටුගහගල්ගේ වැව අසල මෝටර් සයිකල් දෙකක් සහ ඇඳුම් වගයක් තියෙනවා... ඒත් කවුරුත්ම පේන්න නැහැ‘ කියලා.“

ඒ වන විට සියල්ල සිදුවී තිදෙනා කටුගහගල්ගේ වැව් පතුලේ සැඟවී ගොස් හමාරය. මියගිය තිදෙනාගේ දෙමාපියන් ඇතුළු පොලිසිය වැව අසලට යන විට පසුදා තිදෙනා ගිය යතුරුපැදි ඔවුන් නතර කර තිබූ ස්ථානයේම විය. ඇඳුම් සහ ජංගම දුරකථනද බෑගයක බහා තිබුණේය.

කටුගහගල්ගේ වැව

බුත්තල පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කටුගහගල්ගේ වැව් බැම්ම ආසන්නයේ වූ තිදෙනාගේ මළසිරුරු තුන ගොඩට ගත්තේය. අඩි 16ක් පමණ ගැඹුරු වැව් පතුලේ වූ තිදෙනාගේ සිරුරු ගොඩට ගත් ශානික පුෂ්පකුමාර පැවැසුවේ, “මගේ නිවෙස තියෙන්නෙ වැව ඉදිරිපිටමයි. මිනිස්සු කලබලයෙන් වැව පැත්තට යනවා දැක්කා. වැවේ දරුවෝ තුන්දෙනෙක් ගිලිලා කියලා කතා වුණා. මම තවත් දෙදෙනෙක් සමඟ වැවේ ගිළුණු තිදෙනා ගොඩට ගන්න කතා වුණා. මං මුලින්ම කිමිදුණා. එක්කෙනෙක්ගෙ අතක් අහුවුණා. එතැන අඩි 16ක් විතර ගැඹුරුයි. තිදෙනාගේම සිරුරු ගොඩට ගත්තා.

ප්‍රදේශයේ විශාල වැවක් වන කටුගහගල්ගේ වැවෙහි පිටවාන නිර්මාණය කර තිබෙන්නෙ ස්වාභාවිකව පිහිටා තිබෙන ගල් තලාවක් මතයි. තිදෙනා දියේ ගිලී මියගොස් සිටියේ එම ඉසව්වේයි. එම ස්ථානය දිය නෑමට ඉතාම අවදානම් බව වැව පිළිබඳව හරිහැටි තතු දත්තෝ කියන කතාවයි.

අවාසනාවන්ත ලෙස යොවුන්විය එළිපත්තෙ වූ පාසල් සිසුන් තිදෙනාගේ ජීවිත රුදුරු ජල රකුසා බිලිගෙන හමාරය. මේ වන විට තිදෙනාගේම ඉරණම් ගමන ඉතාම ශෝචනීය අන්දමින් කෙළවර වී අවසානය.

මෙරට තුළ සාමාන්‍යයෙන් දිනකට ජීවිත 2ත් 3ත් අතර සංඛ්‍යාවක් රුදුරු ජල රකුසාට බිලි වන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ දත්තවලින් පෙන්නුම් කෙරේ. 2019 වසරේදී දිය ගිලී මියයාම් 716ක් පමණ වාර්තා වී තිබේ. එය 2018 වසරේදී 828 කි. 2015 වසරේදී 1100කි. ලෝකයේම 2019 වසරේ දියේ ගිලී මියගිය සංඛ්‍යාව 236000කි. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ රටපුරා විසිරි සිටින 2,300ක් පමණ වූ පිරිස විසින් දියේ ගිලීමට යාමෙන් වසරකට දිවි බේරාගන්නා පිරිසද 300ක් පමණ වේ.

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර පවසන්නෙ මෙලෙසිනි.

“ඇත්තටම අපි ජීවත්වන රට දූපතක්. වටේම වතුර. රට තුළත් ගංගා, ඇළදොළ, වැව් අමුණු විශාල ප්‍රමාණයක් තියෙනවා.

මේ රටේ මිනිස්සුන්ට ජලයත් සමඟ ගනුදෙනු කිරීමට කුඩා කාලයේ සිටම මනා පුහුණුවක් මෙන්ම දැනුමක් ලබාදිය යුතුයි. මෙලෙස ජිවිත අහිමි වීම ගැන කාටවත් දොස් කියලා හරියන්නෙ නෑ. අපේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කළ යුතුයි ජලයත් සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය.

මිනිසා වතුරෙන් ඈත් කළ යුතු නෑ. වතුරත් සමඟ ගනුදෙනු කළ යුතු ආකාරයේ දැනුමක් දිය යුතුයි. එහිදී පිහිනීම ඉගැන්වීමම කළ යුතු නෑ. පිහිනීම ඉගැන්වීම දෙවැනුව කළ යුතු දෙයක්. අපට වාර්තා වුණ ආකාරයට ඔය මියගිය තිදෙනාගෙන් කෙනෙකුටත් ඉතාම හොඳින් පිහිනීමට හැකි අයෙක්.

මේ අයව දැනුවත් කළ යුත්තෙ ජලය තුළදී ආරක්ෂා විය යුතු ආකාරයයි. ඒ පිළිබඳව අවශ්‍ය දැනුම අවශ්‍ය අයට ලබා දෙන්න අපට පුළුවන්. එම නිසා ජලයට බැසීමට පෙර මේ රටේ සියලු දෙනාම දැනුවත් විය යුතුයි. එහෙම නැති වුණොත් මෙලෙස අවාසනාවන්ත ලෙස නිරපරාදේ ජීවිත අහිමි වීම ඉදිරියටත් වළක්වාගන්න අමා රුයි.“

 

Comments