ඩෙල්ටා පාල­න­යට දින 10කට රට වැසේ | සිළුමිණ

ඩෙල්ටා පාල­න­යට දින 10කට රට වැසේ

වයි­ර­සයේ ව්‍යාප්තිය පාල­නය කිරීම සඳහා ඉකුත් සතියේ නගර රැසක්ම වසා දැමී­මට වෙළෙඳ සංගම් විසින් ස්වේඡා­වෙන් තීර­ණය කළ අතර මේ අනු­රා­ධ­පුර නග­රයේ කඩ­සාප්පු වසා දමා තිබූ අයු­රුය.
වයි­ර­සයේ ව්‍යාප්තිය පාල­නය කිරීම සඳහා ඉකුත් සතියේ නගර රැසක්ම වසා දැමී­මට වෙළෙඳ සංගම් විසින් ස්වේඡා­වෙන් තීර­ණය කළ අතර මේ අනු­රා­ධ­පුර නග­රයේ කඩ­සාප්පු වසා දමා තිබූ අයු­රුය.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ඉකුත් 19 වැනිදා සිට ඇරඹි මෙම නව ක්‍රමවේදය දුරකතන ඇමතුම් හා කෙටි පණිවිඩ ඔස්සේ ක්‍රියාත්මක කෙරේ.

කොවිඩ් ආසාදිතයන් පහත තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩයක් 1904 දුරකතන අංකයට යොමු කළ යුතු අතර, ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ. තොරතුරු දැන්විය යුතු වන්නේ මෙසේය.

ස්වසන අපහසුතා ඇති රෝගීන් - A ලෙස ටයිප් කර <space>, උණ තත්ත්වයෙන් පෙළෙන රෝගීන් - B ලෙස ටයිප් කර <space>, කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් - C ලෙස ටයිප් කර <space> ලෙස තොරතුරු ලබාදීම කළ යුතුයි.

වයස <space>, ජාතික හැඳුනුම්පත් අංකය <space>, ලිපිනය <space> ලෙස SMS මඟින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලැබේ.

රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු දුරකතන අංක 247 මඟින් ඔවුන් සම්බන්ධ කොට ගෙන රෝග තත්ත්වය නිශ්චය කර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත. (ඒ සඳහා ගිලන්රථ සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සැලසෙයි), වෛද්‍ය කණ්ඩායමක් නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන රෝගීන් සමඟ නිරතුරුව සම්බන්ධ වෙමින් අවශ්‍ය සේවා ලබා දෙනු ඇත.

(මේ සඳහා වෙන් වූ දුරකතන අංක 1390 ඔස්සේ එම පහසුකම් සලසනු ලැබේ)

 

ලක්ෂ 50ක් එන්නත්කරණය සම්පූර්ණ කරයි

කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ මෙරට ජනගහනය ඉකුත් 18 වැනිදා වන විට ලක්ෂ 50 ඉක්මවනු ලැබිණි. ඒ අනුව කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ගත් මෙරට ජනගහනය 12,019,193ක් බවත් එය ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 56කි. මිලියන 14ක ජනගහනයක් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය මුලින් සැලසුම් කර තිබුණද ඉකුත් 9 වැනිදා වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී තිබූ බව දත්ත වාර්තාවලින් අනාවරණය වේ. එම එන්නත්වලින් මාත්‍රා මිලියන 11.26ක් පළමු මාත්‍රාව ලෙස ද එන්නත් මාත්‍රා මිලියන 3.25ක් දෙවන මාත්‍රාව වශයෙන්ද භාවිත කර ඇත. ලබන සැප්තැම්බර් 30 වැනිදා වන විට වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කිරීම රජයේ අපේක්ෂාවයි.

මේ අතර සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ගෙන් සියයට 95කගේ සිරුර තුළ කොවිඩ් මර්දන ප්‍රතිදේහ නිපදවා ඇති බව පර්යේෂණ වාර්තාවලින් තහවුරු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රකාශ කළාය. සියලු එන්නත්වලින් සිදුවන්නේ අසාධ්‍ය බවට පත්වීම සහ මරණයට පත්වීම මැඬපැවැත්වීම බවත් මෙරට ජනගහනයෙන් විශාල පිරිසකට සයිනොෆාම් එන්නත දී ලබාදී ඇති බවත් ඇය සඳහන් කළාය.

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති 3ක් ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය. ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව හෙතෙම පැවසීය.

මීට පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 - 70ත් අතර වේගයකින් පැතිර යන බවද සඳහන් කළේය.

 

නිවසේ ප්‍රතිකාර ලබන්නන්  අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීති

කොරෝනා වයිසරසය ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් තමන් ආසාදිත බවට පරීක්ෂණ මඟින් තහවුරු වූ දින සිට අවම වශයෙන් දින 14 ක් හෝ රෝග ලක්ෂණ සුව වන තුරු නිවසේ රැඳී සිටීම සුදුසු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය. රෝග ලක්ෂණ පහව යාමෙන් පසුවද සති කිහිපයක් අනවශ්‍ය ලෙස වෙහෙසීමෙන් වැළකිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර කොවිඩ් ආසාදිත දරුවන් නිවෙස් තුළ තබා ගනිමින් ප්‍රතිකාර සිදු කිරීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් සිදු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කළේය. එහෙත් වයස අවුරුදු 2කට අඩු දරුවන් හා නිදන්ගත රෝගාබාධ සහිත ආසාදිත දරුවන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ යුතු බව බවද ‌හෙතම අවධාරණය කළේය.

 

 


 

Comments