
ධම්මික පැණිය කොරෝනා වසංගතයේ ආරම්භයත් සමග කා අතරත් කතාබහට ලක්වූවකි. කොරෝනා සඳහා බෙහෙතක් හඳුනාගෙන නොතිබූ එම අවදියේ ධම්මික පැණිය සොයා මිනිසුන් පොරකෑ අයුරු බොහෝ දෙනෙකුට තවමත් අමතකව නැත. වැල නොකැඩී පැමිණි පිරිස වෙනුවෙන් පැණිය බෙදාදීමට දන්සැල්ද පැවැත්විණි. කාලයත් සමඟම ධම්මික පැණිය පිළිබඳ මතකයද ජනතාව අතරින් කෙමෙන් දුරස්වන්නට විය.ඒ මතකය පසුගිය සතියේදී යළි අලුත් වූවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවකිනි. එහිදී කියවුණේ කොරෝනා වයිරසයට එරෙහිව කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවට සායනික පරීක්ෂණවලින් අසමත් වූ බැවින් ධම්මික පැණිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන ලෙසට ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් ධම්මික බණ්ඩාර යන අයට දැන්වූ බවකි.
එම ලිපිය ලැබීමෙන් පසු ධම්මික බණ්ඩාර වෙද මහතා ඔහු සතුව තිබූ ධම්මික පැණිය වළ දමන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට ජනමාධ්‍ය මඟින් විකාශනය විය.ඒ සම්බන්ධයෙන් ධම්මික බණ්ඩාර වෙද මහතාගෙන් විමසා බැලීමට අප තීරණය කළේ එබැවිනි.
![]() |
පැණි බෝතල් ගොඩ ගසා ඇති අයුරු |
“හැමදාම මිනිසුන් ගෙන් බැණුම් අහන්න, රජයෙන් බැණුම් අහන්න, නින්දා අපහාස විඳින්න මට ඕනෑකමක් නැහැ. ඒ හින්දා මම බේත් බෝතල් අටදහස් ගණනක් වළ දැමුවා.මම මේ බෙහෙතෙන් ලෙඩ්ඩු කොච්චර ප්‍රමාණයක් බේරාගත්තාද?ඒකට මට කවුරුවත් ආශිර්වාද කළේ නැහැ. හැමදාම මට එක එක්කෙනා කතා කළෙත්, අර නිවුස් එකෙන් මේ නිවුස් එකෙන් බනිනවා කියලා තමයි. මනුෂ්‍යයකුට ඕනෑම දෙයක් හිතේ සතුටෙන් කරන්න තියෙන්න ඕනෑ.එහෙම නැතිනම් ඒ දෙය කිරීමෙන් වැඩක් නැහැ“.
මෙම කරුණට අදාළ වූ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ධම්මික පැණිය නිෂ්පාදනය තහනම් කරන ලෙස දැන්වූ ලිපිය පිළිබඳ වෙද මහතා පවසන්නේ මෙබන්දකි.
“මගේ ධම්මික පැණිය ප්‍රතික්ෂේප කළා කියලා දන්වලා ඊයේ පෙරේදා ලිපියක් ලැබුණා. ඒත් ඒ තාක්ෂණ පරීක්ෂණ කමිටුවට බෙහෙත නිෂ්පාදනය කළ මාව ඒ අය සම්බන්ධ කරගත්තේ නැහැ. මොන හේතුවකටද දන්නේ නැහැ.ඒ කට්ටිය පරීක්ෂණයක් කළෙත් නැහැ. විද්වත් කමිටුවක් තිබෙනවානේ. අපේ අම්මා භද්‍රකාලි මෑණියෝයි මේ බෙහෙත මට දුන්නේ.
ඉතින් මම බෙහෙත් ටික වළලලා දැම්මා.
![]() |
භාවිතයට ගත් ගෑස් සිලින්ඩර ගොඩ ගසා ඇති අයුරු |
මම මේක කළේ සද්භාවයෙන් ලෙඩ්ඩු බේරාගන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. මම පුළුවන් තරම් නින්දා අපහාස වින්දා. මගේ දේ නැතිකර ගත්තා. මට කවුරුවත් ප්‍රශංසාවක් කළේ නැහැ. හැමදාම ලැබුණේ නින්දා අපහාස විතරයි. තවත් මට නින්දා අපහාස විඳින්න වුවමනා නැහැ. ඒකයි මගේ ළඟ ඉතිරි බෙහෙත් වළ දැමුවේ. තවත් මොකටද මම ඉවසන්නේ. මම බොහොම කලකිරීමෙන් ඉන්නේ.
මුල් කාලයේදී දහස් ගණනකට ධම්මික පැණිය බෙදාදෙනු ලැබිණි.මේ කිසිවකුගෙන්වත් ප්‍රශංසාවක් ලැබුණේ නැති ද? මම තවත් පැනයක් විමසූවෙමි.
“කිසිම කෙනෙක් මේ වෙනකල් කතා කළේ නැහැ. ලංකාව පුරාම රජයේ ඉහළ ආයතන හැම කෙනෙක්ම මේ බෙහෙත ගෙන ගියා. හැම කෙනෙක්ම අරගෙන ගිහින් බීවා.බෙහෙත ප්‍රසිද්ධ වෙන්න කලින් නාවික හමුදාවට දුන්නා. මගේ ළග පොටෝ තියෙනවා. නාවික හමුදාවේ, එස්ටීඑෆ් එකේ හැම කෙනෙක්ම මම සනීප කරලා දුන්නා. ඒවා ඒ කට්ටිය කියනවා. මම කොතනට ගියත් ඒ නිලධාරින්ගේ ගෞරවය අදටත් තියෙනවා.
![]() |
පැණි බෝතල් වැළලීම සඳහා ලොරිවලින් ගෙනා අයුරු |
ඇත්තම කියනවා නම් මම ආයුර්වේද වෛද්‍යවරයෙක් නෙවෙයි. මම ඒක පිළිගන්නවා. හැබැයි ආයුර්වේදය කියන්නෙත් ඉන්දියාවෙන් ගෙන ආ දෙයක්.මගේ වට්ටෝරුව හොරකම් කරලා බෙහෙත හැදුවත් ඒ අයට කවදාවත් මේ ලෙඩේ සනීප කරන්න බැහැ. ඒ හින්දා මේ ගැන මම මොකවත් කතා කරන්නේ නැහැ. වට්ටෝරුව ඒ අය මගෙන් ඉල්ලා ගත්තා. මගෙන් මුල ඉඳලාම වට්ටෝරුව ඉල්ලලායි රණ්ඩු කළේ. ඒ අය පළමුවෙනි ආයුර්වේද සභාවෙදිම මාත් එක්ක රණ්ඩු කළේ වට්ටෝරුව දෙන්න කියලා. එදා ඉඳන්ම මට අරියාදු කළා. මම වට්ටෝරුව දුන්නා. මට මොකටද වට්ටෝරුව. ඒ අයට සනීප කරන්න කියලා අපි බලාගෙන ඉඳිමු. ඒ අයට පුළුවන් මට දුන්නා කියන බලපත්‍රය අහෝසි කරන්න විතරයි. මගේ හැකියාව අහෝසි කරන්න කාටවත්ම බැහැ.
මේ දවස්වල සංචරණ සීමා නිසා මගේ දේවාලයට මිනිස්සුන්ට එන්න බැහැ. ඒ හින්දා අපි දේවාලයේ වැඩ කරන්නේ නැහැ. ඒත් මිනිස්සුන්ට කාලි මෑණියන්ගේ සත්‍යය තුළින් ප්‍රතිකාර කරනවා. පිලිකා හැඳුණු, කොවිඩ් හැඳුණු ලෙඩ්ඩුන්ට දැනටත් පිහිට වෙනවා. ඒක මගේ දෙයක්. මගේ කොවිඩ් බෙහෙත හරියට බීපු අයට අදටත් කොවිඩ් හැදිලා නැහැ. බීපු හැම කෙනාම නිරෝගී වුණා. එහෙම වුණත් කාලි අම්මාට අගෞරව කළාට පස්සේ මට ඒ බෙහෙතෙන් වැඩක් නැහැ. මිනිස් ජීවිත ගත්තොත් විසි අටදාහක් විතර සනීප කරන්න තිබුණ බෙහෙත් තමයි මම දේවාලේ වත්තේම වල දැමුවේ.“
![]() |
භාවිතයට නොගෙන අතහැර දමා ඇති උපකරණ |
![]() |
පැණි බෝතල් වලවල් කපා දමන අයුරු |