
පළමු කොවිඩ් රැල්ලේදී 0.38%ක්ව තිබූ මෙරට කොවිඩ් ආසාදිත මරණ අනුපාතය මේ වන විට 1.98% දක්වා ඉහළ ගොස් ඇත. වත්මනෙහි ගෝලීය කොවිඩ් මරණ ප්‍රතිශතය වන්නෙ 2.08%කි. ශ්‍රී ලංකාවේ අගෝස්තු 19 සිට 25 දක්වා වූ සතිය තුළ පමණක් පළමු වරට මෙරටින් දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වූ 209 සිදුව තිබුණේ 25 බදාදාය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා වන විට 8,157 දක්වා ඉහළ ගොස් තිබිණි.
කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මෙරට ඇතිවූ 1 සහ 2 වැනි රැල්ලේදී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාවට වඩා දොළොස් ගුණයකට අධික මරණ සංඛ්‍යාවක් 3 වැනි රැල්ල ආරම්භ වූ ඉකුත් අප්‍රේල් මස 15 වැනිදා සිට අගෝස්තු මස 25 වැනිදා දක්වා සිදුව ඇති බව ඒ පිළිබඳ දත්ත වාර්තාවලින් හෙළි වේ.
මෙරට පළමු කොවිඩ් රැල්ල යැයි සැලකෙන 2020 වසරේ ජනවාරි 27 සිට මාර්තු 10 වැනිදා දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 13ක් වන අතර 2 වැනි රැල්ල ලෙස සැලකෙන 2020 අප්‍රේල් මස 10 වැනිදා සිට 2021 වසරේ අප්‍රේල් 14 වැනිදා දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 591කි.
මෙරට 3 වැනි කොවිඩ් රැල්ල ආරම්භ වූවා යැයි සැලකෙන ඉකුත් අප්‍රේල් මස 15 වැනිදා සිට අගෝස්තු 25 දක්වා ගතවූ මාස පහකටත් අඩු කාලය තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 7,553ක් සිදුව ඇත.