
ඇතැම් මිනිසුන්ගේ අමනුස්ස ගති සොබා ඉස්මතුව තිරිසනුන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන අවස්ථා එමටය. පොඩි දේටත් සිත්පිත් නැත්තවුන් සේ හැසිරෙමින් මනුෂ්‍ය ඝාතනයන්ට පෙලඹෙන්නෙ මහ පොළොව නුහුලන අපරාධ කරමිනි. එවැනි හද කම්පා කරවන මිනිස් ඝාතන දිනෙන් දින රටේ සතර දිග්භාගයෙන්ම වාර්තා වෙයි.
![]() |
ඝාතනය වූ රමණි සේපාලිකා |
පසුගිය 23 වැනිදා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ, අඹගස්දෝව පොලිස් වසමෙන්ද එලෙස කාන්තාවක ඝාතනය කොට වළ දමා තිබූ පුවතක් සැල විණි. එම කාන්තාවගේ වළ දමා තිබූ මළසිරුර ගොඩ ගත්තෙ තවත් ඛේදවාචකයක සුලමුල සියල්ල හෙළි වෙමිනි. වසර අටක පමණ කාලයක් එකම වහලක් යට දීග කමින් සිටි සිය අනියම් සැමියා විසින් ඝාතනය කර තිබුණේ 36 හැවිරිදි රමණි සේපාලිකා නමැති සිවුදරු මවකි. අඹගස්දොව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියරත්න ඒකනායකට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් ලැබුණු හෝඩුවාවක් මත එම ඝාතනය සිදු වී දින කීපයක් තුළ සැකකරුද අත්අඩංගුවට ගෙන සියල්ල හෙළි කරගැනීමට සමත් විණි. එම ශෝචනීය කතාන්දරයේ අගමුල මෙලෙසිනි.
රමණී සේපාලිකා අඹගස්දෝව පොලිස් වසමේ කන්දෙඇළ, ගොඩකුඹුරේ විසූ කාන්තාවකි. ඇය වසර අටක පමණ කලෙක සිට විසුවේ 40 හැවිරිදි ඉන්දික ප්‍රේමතිලකගේ අනියම් බිරිය ලෙසිනි. ඉන්දික සමඟ අඹගස්දෝවේ, මැදහින්නෙ විසූ දෙදෙනාට දාව වයස අවුරුදු පහක සහ තුනක දරුවන් දෙදෙනෙකි. සේපාලිකා ඊට පෙරද නීත්‍යනුකූලව විවාහ වී සිටි කාන්තාවකි. එම විවාහයෙන්ද ඇයට දරුවන් දෙදෙනෙකි. නීත්‍යනුකූල විවාහය හැර දමා ඉන්දිකගේ අනියම් බිරිය ලෙස පැමිණීමත් සමඟ ඇගේ දෙමාපියන්ද ඇයව සිය පවුලෙන් ඉවත් කළාය.
ඉන්දික වසර පහක පමණ කාලයක් යුද හමුදාවේ සිට පලා ආ අයෙකි. ඔහු යුද හමුදා සේවයේ යෙදී සිටියදිත් අනුරාධපුරයේ කාන්තාවක හා විවාහ වී සිටියේය. අනතුරුව එම කාන්තාව අත්හැර දැමු ඉන්දික වැලිමඩ, නැදුන්ගමුවේ කාන්තාවක හා විවාහ විය. එම විවාහයෙන් දරුවෙක්ද සිටී. කල්ගත වෙද්දී ඉන්දික එම කාන්තාවද අත්හැර දැමුවේය. මේ වන විට එම කාන්තාව ඉන්දිකගෙන් දික්කසාද වීමට අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇත.
හරිහැටි රැකියාවක්ද නොකළ මත්පැන් පානයටද අධික ලෙස ඇබ්බැහිව සිටි ඉන්දික පසුගිය කාලයේ කල් ගෙවූයේ පළාතේ ප්‍රබල මංකොල්ලකාරයෙක් ලෙසිනි. ඔහුට එරෙහිව අධිකරණවල නඩු 25කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව පොලිසිය සඳහන් කරයි. එසේම ඔහුට තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගේම ඇසුර තිබූ බවත් පොලිසියට වාර්තා වී තිබිණි. පසුගිය කාලයේ ප්‍රදේශයේ සිදුවූ කොල්ලකෑම් ගණනාවක් නිසා ඉන්දිකට කිහිප විටෙකදීම බන්ධනාගාරයේ කූරු ගනින්නටද වූයේය.
එසේ රිමාන්ඩ් බාරයේ සිටින කල ඔහුගේ අනියම් බිරිය සේපාලිකා වෙනත් පුද්ගලයන් හා සබඳතා පවත්වන බවට ඉන්දික පසු වූයේ දැඩි සැකයකිනි. එම සැක සංකා නිසා දෙදෙනා අතර පසුගිය කාලයේ බොහෝ අවස්ථාවලදී අඩදබරද හට ගැනිණි. එවැනි අවස්ථාවලදී සේපාලිකා දින, සති, මාස ගණන් නිවෙසෙන් ගොස් නැදෑ හිතවතුන්ගේ නිවෙස්වල කල් ගත කළ බවත් සැල වේ.
දිනය පසුගිය 15 වැනිදා රාත්‍රී 11ට පමණය. එදින ඉන්දික පදමට සූර් වී සිටියේය. දෙදෙනා අතර බහින්බස් වීමක් හටගත්තෙ සැක සංකා කතන්දර නිසාවෙනි. බහින්බස් වීම කෙළවර වූයේ ඉන්දික පොල්ලකින් සේපාලිකාට තඩි බෑමත් සමඟිනි. පොලු පහර කෑ සේපාලිකා එම කුඩා නිවෙසේ වූ එකම කාමරයේ ඇඳෙහි දරු දෙදෙනාද තුරුලු කරගෙන නිදාගත්තාය. ඉන්දික ඒ අසල පුටුවක නින්දට වැටුණි. නිවෙසේ විදුලියද නොවූ හෙයින් ගන අන්ධකාරය නිසා සිදු වූයේ කුමක්ද යන්න දෙදෙනාටම එතරම් වැටහීමක් නොවිණි.
අලුයම අවදි වූ ඉන්දික, සේපාලිකා ගැන සෝදිසි කර බැලුවේය. ඇයට එල්ල කළ පොලු පහර නිසාවෙන් ඒ වන විටත් සේපාලිකා මිය ගොස් සිටියාය.
ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දික මුලින්ම දරුවන් දෙදෙනා රැගෙන ගොස් නතර කළේ සිය නිවෙසට යාබද ඉන්දිකගේ තාත්තා විසූ මහ ගෙදරයි. නැවතත් නිවෙසට පැමිණි ඉන්දික මුළු නිවෙසම සෝදා පිරිසුදු කළේ ගැටුමෙන් වූ ලේ පැල්ලම් ඇතුළු සියලු සලකුණු ඉවත් කිරීම සඳහායි. එදින නිවෙසේ ගත කළ ඔහු රාත්‍රියේ සේපාලිකාගේ මළසිරුර නිවෙසේ වූ කර්ට්න් රෙදිකඩකින් ඔතා නිවෙසට මීටර් 30ක පමණ ඈතින් වූ තම පියාට අයත් වගා භූමියට රැගෙන ගියේය. එහි අඩි හතරක් පමණ ගැඹුරැති වළක් කපා වළ දැමුවේය.
කිසිවක් නොවූ පරිදි එම නිවෙසේම දින දෙකක් පමණ ගත කළ ඉන්දිකට සිහිපත් වූයේ වැලිමඩ, නැදුන්ගමුවේ වෙසෙන තම නිත්‍යානුකූල බිරියයි. පසුගිය 18 වැනිදා දින ඔහු එම නිවෙසට යන්නට ගියේ දරුවන් දෙදෙනා තම පියාට බලා ගැනීමට කියමිනි. නැදුන්ගමුවේ නිවෙසට ගිය ඉන්දිකගෙන් නිත්‍යානුකූල බිරිය විමසන්නට වූයේ,
![]() |
වළ දමා තිබූ ස්ථානයෙන් සේපාලිකාගේ සිරුර ගොඩගනිමින් |
"මොකෝ මෙහේ ආවේ..." කියායි.
"මං අර ගෑනිත් එක්ක තිබුණ සම්බන්ධය නතර කළා. මට දැන් ඒකිව එපාවෙලා තියෙන්නෙ... ගහලා පැන්නුවා... මට ඔයත් එක්කයි ඉන්න ඕනෙ..." ඉන්දික බැගෑපත්ව කියන්නට වූයේය. "නෑ... නෑ... මං තමුසෙත් එක්ක ඉන්න කැමැති නෑ... තමුසෙට විරුද්ධව මං නඩු දාලා තියෙන්නෙ... මං තමුසෙත් එක්ක එක මොහොතක්වත් ඉන්න කැමැති නෑ..." නීත්‍යානුකූල බිරිය ඉන්දිකගේ ඇඟට කඩා පනින්නට වූවාය. එහෙත් ඉන්දික, එම කාන්තාවගේ දෙපා මුල වැඳ වැටී සමාව අයැදිමින් පින්සෙණ්ඩු වූයේ ඇය සමඟ එම නිවෙසේ විසීමට කැමැති බව කියමිනි. ඊට ඇයගේද හිත උණු වූවාය. ඉන්පසු ඉන්දික එම නිවෙසේ විසූවේය. සියල්ල කාලයා විසින් අකාමකා දමා විසඳාවි යැයි ඉන්දික සිතූහ.
එහෙත් පසුගිය 22 වැනිදා අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියරත්න ඒකනායකට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් හෝඩුවාවක් ලැබුණේය.
"සර්... මැදහින්නෙ හිටියා සේපාලිකා කියලා කාන්තාවක්... ඇය ජීවත් වුණේ අනියම් සැමියා සමඟ... පසුගිය දින ටිකේම ඒ කාන්තාව පේන්න නෑ... කතාවක් යනවා අනියම් සැමියා ඒ කාන්තාව මරලා වළ දාලා කියලා..."
ස්ථානාධිපතිවරයා විසින් ලැබුණු තොරතුර පිළිබඳව බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල ද සිල්වා ද දැනුම්වත් කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේද උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි බී. එච්. එස්. කළණසිරි ගේද මඟපෙන්වීමෙන් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයකට ස්ථානාධිපතිවරයා විසින් මුල පිරුවේය.
අනතුරුව ස්ථානාධිපතිවරයා ප්රමුඛ නිලධාරි කණ්ඩායමක් මුලින්ම මැදහින්නෙ, සේපාලිකා විසූ නිවෙසට ගොස් සෝදිසිකර බැලුවේ හෝඩුවාව සත්‍යයද යන්නයි. නිවෙසේ කිසිවෙක් නොවූහ. යාබද නිවෙසේ වූ සේපාලිකාගේ අනියම් සැමියා වන ඉන්දිකගේ පියාගෙන් නිලධාරින් විමසුවේ, "කෝ... පුතා... කොහේද ගියේ මිනිහා..." කියායි.
"සර්... දැනට සතියකට විතර ගෑනියි මිනිහයි රණ්ඩු වුණා... ඉන්දිකයා දරුවෝ දෙන්නත් මෙහේ දාලා පළවැනි ගෑනිගේ ගෙදර යනවා කියලා ගියා.හැබැයි සේපාලිකා නම් කොහේ ගියාද දන්නෙ නෑ සර්..." කියාය.
"කොහේද පළවැනි ගෑනු කෙනාගේ ගෙවල්..."
"නැදුන්ගමුවේ සර්..."
![]() |
සේපාලිකා දිවි ගෙවූ නිවෙස |
ක්ෂණයෙන් පොලිස් නිලධාරීන් යන්නට වූයේ අඹගස්දෝවේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් වූ වැලිමඩ පොලිස් වසමට අයත් නැදුන්ගමුවේ පිහිටි ඉන්දිකගේ නිත්‍යානුකූල බිරියගේ නිවෙසටයි. පොලිස් නිලධාරීන් යන විට ඔහු නිවෙසේ විය.
"කෝ තමුසෙගෙ ගෑනු මනුස්සයා... " ස්ථානාධිපතිවරයා විමසුවේය.
"අනේ සර්... ගෑනි තරහ වෙලා ගියානේ... එයා මීට පෙරත් තරහවෙලා ගෙදරින් යනවා... මාස ගණන් එයාගේ යාළුවන්ගේ නැත්නම් නෑදැ ගෙවල්වල ඉඳලා එන්නෙ... එහෙම ගිහින් එනවා... බලන්න සර් මාසයක් විතර... දෙවියන් පල්ලා සර්... " වෙවුලමින් ඉන්දික පවසන්නට වූයේය. නිලධාරින්ට ඔහුගේ ඉරියව්හි වෙනස්කම් හොඳින්ම දිස්වන්නට විය.
"ඇත්ත කියනවා... අපට තොරතුරක් ලැබිලා තියෙනවා මරලා වළ දාලා කියලා..." ස්ථානාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ ඉන්දික වෙව්ලන්නට විය.
"මොකද තමා මේ වෙවුලන්නෙ..." නිලධාරීහු විමසූහ.
පොලිස් නිලධාරින්ගෙන් ගැලවීමක් නොමැති බව ඉන්දිකට වැටහිණි.
"අනේ සර්... මං ඇත්ත කියන්නම්... ඔව් සර්... මං ඒ අපරාදේ කළා... එදා මං බීලා හිටියේ... මට මුකුත්ම හිතාගන්න බැරි වුණා..."
එම පාපෝච්චාරණයත් සමඟ සේපාලිකාට සිදුවූ ඛේදනීය ඉරණමේ සියලු තතු හෙළි වන්නට විය. එකී පාපතරයා නිසා සේපාලිකා මෙලොව හැර යද්දී අහිංසක දරු පැටවුන් දෙදෙනාට තම මවත්, පියාත් දෙදෙනාම අහිමි වී ගොසිනි.
අනතුරුව අධිකරණ නියෝග මත පසුගිය 23 වැනිදා වැලිමඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ජයසේකර ඉදිරියේ ඉන්දිකගේ පාපෝච්චාරණ මත සේපාලිකාගේ සිරුර ගොඩ ගැනිණි. දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එච්.එම්. සුරංග විසින් දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කරනු ලැබීය.
ඡායාරූප - ආර්.එම්.විජේරත්න - හාලිඇල සමූහ